පී. රාජනායගම් – වාර්ගික සුළුතරයන්ගේ ස්වයං නිර්ණය අයිතිය සහ මානව හිමිකම්, කම්කරු අයිතීන්, දරිද්‍රතාවය යනාදිය අතර පවතින සම්බන්ධය ප්‍රකාශ කිරීමේ පුරෝගාමියෙකි.

රෙඩ්ලි සිල්වා සහ විල්ප්‍රඩ් සිල්වා විසිනි

ශ්‍රී ලංකාවේ වමේ මෙන්ම කම්කරු පංති ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ බිහිවූ, කම්කරු හා සියළුම ජනවර්ගවලට අයත් පීඩිතයන්ගේ විමුක්තිය, සමානාත්මතාවය හා සහයෝගය මත පදනම්වූ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පදනමකින් යුත් අරගලයක් හරහා දිනා ගැනීමට අඛණ්ඩ හා අප්‍ර‍තිහත අරගලයක යෙදුනු පී.රාජනායගම් සහෝදරයා අප අතරින් නික්ම ගොසිනි. 

රාජනායගම් සහෝදරයාගේ වියෝව ගැන දැන ගැනීම අපට ඉමහත් දුකක් ගෙනදුන් අවස්ථාවවකි. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවේ, එක්සත් රාජධානියේ සහ වෙනත් රටවල සිටින රාජා සහෝදරයාගේ ඥාතීන්, මිතුරන් සහ සහෝදරවරුන් වෙත අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් ප්‍රදේශවල සුළුතර ජනවාර්ගිකයන්ගේ මානව හිමිකම් සහ ස්වයං නිර්ණ අයිතිය සාමකාමීව දිනා ගැනීම සහ ආරක්‍ෂා කිරීම සඳහා තම ජීවිතය කැප කළ මේ අපූර්ව මිනිසාගේ අපූර්ව ජීවිතය ගැන අපි සැවොම ඔබ සමඟ ශෝක වන්නෙමු.

වසර 86 කට පෙර ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම්හි උපත ලැබූ පී. රාජනායගම් සහෝදරයා, පාසැල් ශිෂ්‍යයකු වශයෙන් සිටි අවධියේම ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයකු බවට පත්වූ අතර අනතුරුව රජයේ ලිපිකරු සේවයට යෑමෙන් පසු වෘත්තීය සමිති ක්‍රියාධරයකු බවට පත්විය. රජයේ ලිපිකරු සේවා සංගමයේ නායකත්ව කාර්යභාරයක් ඉටුකළ රාජනායගම් සහෝදරයා, ඒම වෘත්තීය සමිතියේ ප්‍රකාශනයක්වූ “The Red Tape” සගරාවේ මෙන්ම ඒහි දෙමළ භාෂා ප්‍රකාශණයවූ “Nava Uthayam” හි කතුවරයා වශයෙන් කටයුතු කළේය. 

අනතුරුව එළඹි අවධිය තුළ ඔහුගේ පුද්ගලික ජීවිතය මෙන්ම දේශපාලන ජීවිතයද තීරණය කරනු ලැබූයේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසය විසිනි. මෙම අවධිය තුළදී, බාහිර ශිෂ්‍යයකු වශයෙන් පෙනී සිටිමින් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් BSc  උපාධියක් ලබාගත් රාජනායගම් සහෝදරයා, අඛණ්ඩව රජයේ ලි්පිකරු සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූවා පමණක් නොව ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවටද තෝරා පත්කර ගනු ලැබිණ. 1960 මහා මැතිවරණය සදහා ලංකා සමසමාජ පක්ෂය ගෙනගිය මැතිවරණ ව්‍යාපාරයේදී, ඒම පක්ෂය විසින් ඉදිරිපත් කළ වැදගත් ලියවිල්ලක් වූ “පෙඩරල් පක්ෂය සහ දෙමළ කථා කරන ජනතාව” (The Federal Party and the Tamil Speaking People) නමැති ‌ෙඑෟතිහාසික ලියවිල්ල රාජනායගම් සහෝදරයා විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලදී. 

ඔහුගේ දේශපාලන ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් වූයේ 1964 වර්ෂයයි. ලංකා සම සමාජ පක්ෂයේ බහුතරය, ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ‘ධනපති සභාගයකට” යෑමට තීරණය කිරීමත් සමග ඒම ස්ථාවරයට විරුද්ධව බාලා තම්පෝ හා ඒඩ්මන්ඩ් සමරක්කොඩි සහෝදරවරුන් ඇතුළු කණ්ඩායම සමග සම සමාජ පක්ෂයෙන් වෙන්වූ රාජනායගම් සහෝදරයා ලංකා සම සමාජ (විප්ලවකාරී) පක්ෂය පිහිටුවීමට උර දුන්නේය. ඔහු එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වූ අතර 1964 සිට 1973 වර්ෂයේදී ලංකාවෙන් බැහැරව ඒංගලන්තයට යන අවස්ථාව වනතෙක් ඔහු ඒම පක්ෂයේ දේශපාලනිකව ක්‍රීයාකාරී විය. 

මෙම අවධිය තුළ ඔහු කම්කරු අයිතීන් මෙන්ම මානුෂික හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් හැමවිටම පෙනී සිටි අතර විශේෂයෙන් 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව දේශපාලන සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සහ සභාග ආණ්ඩුවේ දිගුකාලීන හදිසි නීති පාලනයට එරෙහිව ලංකා වෙළද සේවක සංගමය (CMU) සහ විප්ලවීය මාක්ස්වාදී පක්ෂය (1973 දී ලංකා සම සමාජ (විප්ලවවාදී) පක්ෂයේ නම වෙනස් කරන ලදී.) ගෙන ගිය ක්‍රියාකාරකම්වලට රාජනායගම් සහෝදරයා විශේෂ දායකත්වයක් ලබාදෙන ලදී. 

බ්‍රිතාන්‍යයේදී නීතිඥයෙකු වශයෙන් කටයුතු කිරීමට පටන්ගත් ඔහු මිනිස් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි අතර ලංකා සහයෝගිතා ව්‍යාපාරය ( Ceylon Solidarity Movement) ආරම්භ කිරීමට දායක විය. ලංකාවේදී අත්අඩංගුවට ගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාිකයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් ලත් අත්දැකීම් පදනම් කරගෙන “ The Island of Terror “ නමැති ප්‍රකාශය ලියා පළ කිරීමට රාජා දායකත්වය ලබා දෙන ලදී. ඒවක පටන් රාජාගේ මුළු ජීවිත කාලය පුරාම ඔහුගේ නිවස ලංකාවේ සිට ලන්ඩනයට පැමිණෙන වාමාංශිකයන්ගේ මෙන්ම අනිකුත් සමාජ ක්‍රියාකාරීන්ගේද නවාතැනක් බවට පත්වී තිබූ අතර විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණ හා දේශණවලට ඔහුගේ දායකත්වය හැමවිටම ලැබුණි. ශ්‍රි ලංකාවේ මිනිස් අයිතීන් කඩකිරීම් සම්බන්ධ ප්‍රශ්න ජිනීවාවලට ගෙනයාමට ඔහු විශේෂ මෙහෙවරක් ඉටු කළේය. 

ජේ.ආර්. ජයවර්ධන පාලන තන්ත්‍රය විසින් ලංකාවේ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල මිලිටරි මැදිහත්වීම් උත්සන්න කිරීමත්, දෙමළ ජනතාවට විරුද්ධව රටපුරා අමානුෂික ප්‍රහාරයන් දියත් කිරීමත් සමඟ ඒම තත්ත්වයන්ට එරෙහිව හඬ නැඟීම සඳහා ඉදිරිපත්වූ රාජා, SCOT ( Standing Conference of Tamils) සංවිධානය ආරම්භ කිරීමට මූලිකත්වය ගත් ප්‍ර‍ධාන පුද්ගලයන්ගෙන් කෙනෙකි. මෙසේ ගොනුවූ පිරිසේ සිටි ටික දෙනෙකු විසින් 1981 දී Tamil Times නමින් ඉංග්‍රිසි සඟරාවක් ආරම්භ කිරීමට මුල පුරන ලදී. මෙම සඟරාවේ කතෘත්වය රාජාට භාර ගැනීමට සිදුවූ අතර වසර 25 ක් පුරා ඒම කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීමට රාජාගේ පූර්ණ දායකත්වය ලබාදෙන ලදී. 

ඔහු වසර 25 ක් පුරා අඛණ්ණ්ඩව පළ කළ  “ටැමිල් ටයිම්ස් සගරාව“  මාධ්‍යයේ බලය සහ එක් පුද්ගලයෙකුගේ සරල වැඩකටයුතුවලට ඕනෑම දුෂ්කර තත්ත්වයක් යටතේ ප්‍ර‍ගතිශීලී වෙනසක් කළ හැකි බවට සාක්ෂියක් ලෙස පෙනී සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය, පීඩිතයන් සවිබල ගැන්වීම, මිලිටරිවාදය මුලිනුපුටා දැමීම සහ සමානාත්මතාවය සහ සහයෝගීතාවය සඳහා වූ ඔහුගේ කැපවීම මෙන්ම, නොපසුබස්නා අධිෂ්ඨානයකින් කටයුතු කළ  රාජාගේ උත්සාහය කෙරෙහි අප සැමගේ ගෞරවය ඔහුට හිමි විය යුතුය.

රාජා වාර්ගික සුළුතරයන්ගේ ස්වයං නිර්ණය අයිතිය සහ මානව හිමිකම්, කම්කරු අයිතීන්, දරිද්‍රතාවය යනාදිය අතර පවතින සම්බන්ධය ප්‍රකාශ කිරීමේ පුරෝගාමියෙකි. ඔහු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සහ වෙනත් තැන්වල පීඩිත ජනතාවගේ පරමාදර්ශ සහ අරමුණු ඉදිරියට ගෙන යාමට දායක විය.

වසර ගණනාවක් පුරා අවස්ථා ගණනාවකදී රාජා සමඟ සමීපව කටයුතු කිරීමට තරම් අපි වාසනාවන්ත වී ඇත්තෙමු.

අප ඔහුව මුණගැසුණු සෑම අවස්ථාවකම, ඔහුගේ පෞරුෂයේ බලය සහ ඔහුගේ බුද්ධියේ ගුණාංගය යන දෙකින්ම අප සිත් ඇඳ බැඳ ගත්තේය.

මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගතිය පසුපස හඹා යෑම සඳහා ඔහුගේ උරුමය අප සැමට ආදර්ශයක් වනු ඇත.

රෙඩ්ලි සිල්වා සහ විල්ප්‍රඩ් සිල්වා