ප්‍ර‍කාශනයේ අයිතිය හා මාධ්‍ය නිදහස රැක ගැනීමට සටන් වදිමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

ලොව පුරා මහත් ආන්දෝලනයකට හේතුවූ ජූලියන් අසාන්ජ්ව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට පසුගිය ජූනි 17 දින බ්‍රිතාන්‍ය රජය විසින් අනුමැතිය ලබාදී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ජනතාවට නිවරැදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අගයන, නිදහස් මාධ්‍ය අගයන බොහෝ කොටස්වලට අනුව බ්‍රිතාන්‍ය රජය මෙහිදී ක්‍රියාකොට ඇත්තේ අමෙරිකාව නමැති තම හාම්පුතාගේ ඔඩොක්කු කුක්කකු විලසටය.

ජුලියන් අසාන්ජ් යනු විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයාය. ඔහුගේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් 2010 සහ 2011 පමණ සිට ඇෆ්ගන් සහ ඉරාක යුද්ධ පිලිබඳ වූ ලේඛන හා වීඩියෝ දස දහස් ගනණක් ප්‍රසිද්ධ කරන ලදී. එයට එක්සත් ජනපද හමුදා බුද්ධි විශ්ලේෂක Chelsea Manning විසින් සපයන ලද ලේඛන / වාර්තා 750,000 ක් පමණ ඇතුළත් විය. 2010දී ඔවුන් ඇෆ්ගනිස්ථාන යුද්ධයට සම්බන්ධ ලේඛන / වාර්තා 91,000ක් පමණ හා ඉරාක යුද්ධයට සම්බන්ධ තවත් ලේඛන / වාර්තා 400,000ක් පමණද ප්‍රසිද්ධ කරනු ලැබීය. 2009දී සිවිල් වැසියන් 147 දෙනෙකු මිය ගිය, අමෙරිකාව විසින් එල්ල කළ Granai ගුවන් ප්‍රහාරයේ දර්ශනද මේවාට ඇතුළත් විය. ඉරාකය තුළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් සහ තවත් 9 දෙනෙකු කෑලි කෑලිවලට පුපුරුවා හරිමින්, ළමුන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කරමින්, 2007 වසරේ අමෙරිකානු ගුවන් ප්‍රහාරයක පරිගත කිරීම්ද ඒ අතර විය. මෙම හෙළිදරව් කිරීම් මඟින් බටහිර අධිරාජ්‍යවාදයේ මිනීමරු කෲරත්වය ලොවටම හෙළිදරව් කළේය.

විකිලීක්ස් විසින් හෙළිකළ තොරතුරු / වාර්තා මඟින් අමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයේ යුධ වියරුව හා කෲරත්වය ලොවට කියාපෑම, අමෙරිකාවටත් බටහිර අධිරාජ්‍යවාදයටත් ඉවසුම් නොදෙන්නක් විය. බලාපොරොත්තු විය යුතු ආකාරයටම අමෙරිකාව හා බටහිර අධිරාජ්‍යවාදීන් විසින් තොරතුරු ලබාදුන් අය දඩයම් කිරීම ඇරඹීය. විකිලීක්ස් වෙත තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් Chelsea Manning හට 2010 සහ 2017 අතර වසර හතක් සිරගත වීමට සිදුවිය. ඇය විකිලීක්ස්ට එරෙහිව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා 2019දී වසරකට වැඩි කාලයක් නැවතත් සිරගත කරන ලදී. විකිලීක්ස් විසින් ඇෆ්ගනිස්ථාන සහ ඉරාක යුද්ධවලට අදාළ ලේඛන දස දහස් ගනනක් ප්‍රකාශයට පත් කිරීම හරහා අමෙරිකානු ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගැනීම සහ හෙළිදරව් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අමෙරිකාව අසාන්ජ් වෙතද චෝදනා නැඟීය. මෙම චෝදනා ඔප්පු වුවහොත් අසාන්ජ් හට වසර 175කට වැඩි සිර දඬුවමක් නියම වීමට පවා ඉඩ ඇත.

අමෙරිකාව නිල වශයෙන් අසාන්ජ් හට චෝදනා ගොනුකොට සිටියේ 2019 මැයි මාසයේදී වුවත් 2010 සිටම අසාන්ජ් තම රටට නෙරපීමේ නියෝගයක් ලබා ගැනීමට විවිධ රාජ්‍යන් උපයෝගී කර ගනිමින් විවිධාකාර උපාමාරු යොදමින් සිටි බව නොරහසකි. මේ නිසාම 2010 සිට ජුලියන් අසාන්ජ් හට දිගින් දිගටම අධිකරණ ක්‍රියාවලීන්ට මුහුණ දීමට සිදුවූ අතර 2012 අගෝස්තු සිට 2019 අප්‍රේල් දක්වා බ්‍රිතාන්‍යයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්‍යාලය තුල දේශපාලන රැකවරණ ලබා ගැනීමටද ඔහුට සිදුවිය. අමෙරිකාවේ හා බටහිර බලපෑම් මත 2019 අප්‍රේල් මාසයේදී ඉක්වදෝර් රජය විසින් අසාන්ජ් හට දේශපාලන රැකවරණ ලබාදීම අවසන් කළ අතර ඒ සමඟම ඔහු බ්‍රිතාන්‍ය පොලීසියේ අත් අඩංගුවට පත්විය.

තමන්ට එරෙහිව අමෙරිකාව ගෙන ඒමට නියමිත අධිකරණ ක්‍රියාවලිය කිසි ලෙසකින්වත් ස්වාධීන හෝ අපක්ෂපාතී එකක් නොවන බව අසාන්ජ් කියා සිටී. ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කළ අමෙරිකාව විසින් එසේ තමන්ට එරෙහිව සාධාරණ හා ස්වාධීන නඩු විභාගයක් නොපවත්වනු ඇතැයි ඔහු සැක කිරීම නිවැරදිය. අමෙරිකාවට අවශ්‍යව ඇත්තේ තම අධිරාජ්‍යවාදී වුවමනාවන්ට අභියෝග කිරීමට තරම් එඩිතර කමක් ඇති අයට පාඩමක් ඉගැන්වීමටය. ජුලියන් අසාන්ජ්, චෙල්සියා මෑනිං, එඩ්වඩ් ස්නෝව්ඩන් වැනි අය ආදර්ශයට ගැනීමට බලාපොරොත්තුවන අනාගත පරම්පරාවන් අධෛර්‍යමත් කිරීමටය.

වරක් විකිලීක්ස්හි ප්‍රධාන කතෘ විසින් කියා තිබුණේ, “ප්‍රකාශකයන්ට තම ප්‍රකාශන නිසා තාඩන පීඩනවලට ලක් වීමට සිදුව ඇති විටෙක සහ බලවතුන් විසින් වගකිව යුතු කරුණු කියා සිටීම නිසා මාධ්‍යවේදීන්ට තම ජීවිතය හා ජීවනෝපාය ගැන බියෙන් ජීවත් වීමට සිදුව ඇති විටෙක, මාධ්‍ය නිදහසට එල්ල කොට ඇති තර්ජනය විසින් අප සියල්ලන්ම අනතුරේ හෙළා ඇත” යනුවෙනි. මෙය පැහැදිලි සත්‍යයකි. මේ වනවිට Chelsea Manning හට වසර ගණනාවක සිර දඬුවමක් විඳීමට සිදු වූයේත්, අසාන්ජ් හට ජීවිත කාලයම සිරගත වීමට නියමිතව ඇත්තේත් ඔවුන් විසින් අමෙරිකාව හා බලවත් රටවල මිනීමරු කෲරත්වය පිළිබඳ සත්‍යය ලොවට කියා සිටීම නිසාය.

අන් රටවලට, විශේෂයෙන් තමන් නුරුස්නා රටවලට ප්‍රජාත්න්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස ගැන නරිවාදම් දොඩවන අමෙරිකාවේ හා බටහිර අධිරාජ්‍යවාදී රටවල ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ හා මාධ්‍ය නිදහසේ සැබෑ තත්ත්වය මෙයයි. මොවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස යනු තම අධිරාජ්‍යවාදී වුවමනා එපාකම් වෙනුවෙන් වුවමනා විටෙක භාවිතා කිරීමටත් එපා වූ විට විසි කර දැමීමටත් හැකි මෙවලමක් පමණි. පාලක පන්තියට තම අධිකාරියට අභියෝග කිරීමට හෝ ඔවුන්ගේ අවශ්‍යතාවලට වල කැපීම වෙනුවෙන් ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ යොදා ගැනීමට ඉඩ දිය නොහැක. තවද, අධිරාජ්‍යවාදය හා ධනපති ක්‍රමය කිසිම විටෙක සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කිසිවක් නොකරනු ඇත. ඒ එමඟින් සිදුවන්නේ ඔවුන්ගේම මිනී වළවල් හාරා ගැනීම පමණක් බව ඔවුන් දන්නා නිසාය.

අවශ්‍ය යැයි සලකන විට, ඔවුන් අනෙකුත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා ඉවත ලනු ඇත. කම්කරු පන්තිය විසින් දැඩි අරගලයකින් දිනාගත් එකී අයිතීන් අහෝසි කිරීමට ඔවුන් පසුබට නොවනු ඇත. ධනේශ්වර ක්‍රමය දැඩි අර්බුදයකට ලක්ව ඇතු මෙම කාල පරිව්ඡේදය තුළ, මාධ්‍ය නිදහස, ගබ්සාව සහ ඡන්ද අයිතිය ඇතුළුව අතීතයේ සිට කම්කරු පන්ති ව්‍යාපාරය හා ජනතාව දිනාගත් සියලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ පාගා දමන ආකාරය අපට දැකිය හැක්කේ මේ නිසාය. 

අසාන්ජ් විසින් කළ එකම ‘අපරාධය’ සත්‍ය හෙළි දරව් කිරීම පමණි.  එසේ හත්‍ය හෙළි දරව් කිරීම නිසා හිසනයට ලක්ව ඇති අසාන්ජ් හට සහාය දැක්වීම සෑම සවිඥානික කම්කරුවෙකුගේමත්, ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස ගරු කරන සෑම අයෙකුගේමත් යුතුකමක් හා වගකීමක් ලෙසින් අප ඉදිරියේ පවතී.

අධිරාජ්‍යවාදයේ කුණුවූ ස්වභාවය හෙලිදරව් කරන මෙකී රහස් හෙලිකරන්නන්ගේ ක්‍රියාවන් අපි අගය කරන අතරම, විකිලීක්ස් විසින් නිරාවරණය කරන ලද රුදුරු අපරාධ සහ භීෂණයන්ට වගකිව යුතු ක්‍රමය අවසන් කළ හැක්කේ කම්කරු පන්තියේ නායකත්වය සහිත ජන අරගලයක් තුළිනි.

අපි මෙසේ කියා සිටිමු:

• ජූලියන් අසාන්ජ් නිදහස් කරනු !

• අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහස ආරක්ෂා කරනු !!

• අධිරාජ්‍යවාදය හා ධනවාදය පෙරළා දමමු !!!