මිනිස් ශිෂ්ටාචාරය බිද වැටීමේ අනතුරක්!බිලියන ගණනක් වන ගෝලීය මිනිස් ජනගහණය ඒ් සදහා සූදානම්ද?

මෑත කාලීනව දේශගුණික හා කාලගුණික විපර්යාෂ සම්බන්ධයෙන් නිකුත්වී ඇති වාර්තාවලින් අනතුරු අගවා ඇත්තේ පාරිසරික විපර්යාෂ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් අද අප ජීවත් වන ලෝකයේ ඉරණම ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බවයි.
කාර්මික විප්ලවය ආරම්භවූ දිනවල පටන් පෘතුවිය ඉතා‌ වේගයෙන් උණුසුම් වීමට පටන් ගෙන ඇති බවත්, වත්මන් ලෝක ප්‍රජාවට මෙම තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමාණවත් පියවර ගැනීමේ වගකීම පැවරී ඇති බවත් විද්‍යාඥයන් බහුතරයක් විසින් පෙන්වා දී ඇත. මෙම පරිසර විනාශයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් සිදුවී ඇත්තේ 1975 න් පසු වන අතර 1880 තිබූ තත්ත්වයේ සිට මේ දක්වා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙන්ට්‍රිගේට් අංශක 0.8 තරම් කුඩා ප්‍රමාණයක් වුවද, ඒය සෙන්ට්‍රිගේට් අංශක 1 සිට 2 දක්වාවූ ප්‍රමාණයකට වැඩි වුවහොත් ඇතිවිය හැකි විනාශය සිතාගත නොහැකි දෙයකි. උෂ්ණත්වය වැඩිවීමේ ප්‍රතිඵල වශයෙන් සිදුවෙමින් පවතින අසීමිත දේශගුණික හා කාලගුණික විපර්යාෂයන් මේ දිනවල ලොව පුරා සෑම රටකම දැකිය හැකිය. ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රධාන නගර ගණනාවක උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 50 ට වඩා ඉහළ අගයක් ගන්නා අතර බටහිර යුරෝපයේ මේ දිනවල පැවතිය යුතු උෂ්ණ දේශගුණය ( හිරු එලිය) වෙනුවට නිතර වෙනස්වන සුළු අසාමාන්‍ය ශීත දේශගුණයක් සහ වැසි සහිත කාලගුණයක් දැකිය හැකිය. මෙම තත්ත්වය බෝග වගාවන් විනාශවී යාමට සහ අස්වැන්න නොලැබී යාමට හේතුවී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගික භාණ්ඩ හිගයක් හා මිල ඉහළ යාමක් දැකිය හැකිය.

පාරිසරික විපර්යාෂයන්ට දායකවී ඇති ඒක් ප්‍රධාන කාරකයක් වනුයේ වායුගෝලයට නිකුත් කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයයි. මෙයට හේතුවී ඇති මිනිස් ක්‍රියාකාරකම් වනුයේ ගල් අගුරු වැනි පොසිල ඉන්ධන භාවිතය සහ වනාන්තර විනාශ කිරීමයි. මෙම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කාර්මික විප්ලවය සිදුවූ අවධියේ පටන් මේ දක්වා පාරිසරික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සියයට 30%කින් වැඩිවී ඇත. ඒනම්, පෘතුවි ඉතිහාසයේ පසුගිය වසර 650,000 තුළ කිසිම අවධියක නොවූ පරිමාණයෙන් පෘතුවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ මට්ටමකට පැමිණ ඇත. අද ලෝකයේ වැඩිම කාබන් ප්‍රමාණයක් වායුගෝලයට නිකුත් කරන රටවල් අතර තුන්වන තැනට ඉන්දියාව පැමිණ ඇත.

අද ශ්‍රී ලංකාවේද බල ශක්ති අර්බුදය, සමස්ත දේශපාලන, සමාජ-ආර්ථික අර්බුදයේ ප්‍රධාන තැනක් ගන්නා අතර ගල් අගුරු ආශ්‍රිතව බලශක්තිය නිපදවීම නිසා පැන නැගී ඇති ගැටළු මෙන්ම විල්පත්තුව හා සිංහරාජ වනාන්තරය ඇතුළු වන විනාශය විවිධ පාරිසරික හා දේශගුණික ගැටළු නිර්මාණය කර ඇත. මෙම භයානක පාරිසරික විපර්යාසයන් පිළිබදව ධනපති පාලක පංතිය හා ඔවුන් නියෝජනය කරන ධනපති පංති ප්‍රභුහු නිසි අවධානයක් කොහෙත්ම යොමුකර නොමැත.

පාරිසරික වෙනස්කම් විසින් නව ආර්ථිකයක් ඉල්ලා සිටියි!

අද ධනපති ක්‍රමය ලෝක පරිමාණයෙන් අසාර්ථකවී ඇත. මෙම තත්ත්වය තුළ පාරිසරික විපර්යාෂවලින් ආරක්ෂාවීමට අපට නව ගමන් මගක් අවශ්‍යයි!

අද අපි බලශක්ති ව්‍යුහයන්ගේ පරිවර්තන අවධියකට වහාම අවතීර්ණවීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන්නෙමු. පාරිසරික විනාශය නිසා ඇතිවී තිබෙන අදහාගත නොහැකි පාරිසරික වෙනස්කම් විසින් නව ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගැනීම හදිසි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. බලශක්ති ව්‍යුහයන්ගේ දැවැන්ත වෙනස්කම්වලට සහ පාරිසරික විනාශයට විසදුම් ලබාදීමට, අද පවතින ධනපති ආර්ථික න්‍යායන්ට සහ ආර්ථික මොඩලයන්ට හැකියාවක් නොමැත. ඒ් මක්නිසාදයත්, මෙම ආර්ථික න්‍යායයන් සහ මොඩලයන් ලොවපුරා පාරිසරික සම්පත් විනාශකාරී ලෙස අපතේ යවන ලද හා ලාභදායක (බාල වර්ගයේ) බලශක්ති සම්පත් පරිභෝජනයට තදින් බැදී ඇති හෙයිනි. වත්මන් ධනපති ආර්ථික ක්‍රමය අසාර්ථකවී ඇති අතර මෙම ක්‍රමය දිගටම පැවතුනහොත් ඇස්තමේන්තු කළ නොහැකි (අපට සිතාගත නොහැකි තරම්වූ) විනාශකාරී ප්‍රතිඵලවලට සියළුම ලෝක සත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇත. මෙම අවධානමට මුහුණදීමට අවශ්‍ය වන්නාවූ ප්‍රතිපත්ති රාමුවක් ගැන සලකා බැලීමේදී, බලශක්තිය, දේශගුණය සහ පරිසරය ආරක්ෂා කළ හැකි නව ආර්ථිකයක් කවරාකාර විය යුතුදැයි ප්‍රගතිශිලී ජනතාවගේ සංවාදයට වහාම ලක්විය යුතු කරුණකි.

මෙම ගැටළුවේදී, අපට සාර්ථක ආර්ථික පිළිවෙතක් ගොඩනගා ගැනීමට නම් සමස්ත පුරවැසියන්ගේ හැකියාවන් සහ තීරණ ගන්නා පුද්ගලයන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් මෙන්ම ගෝලීය පරිමාණයේ ප්‍රශ්නයක් ලෙස සලකා ක්‍රියා කළ යුතුව ඇත. එනම් මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමට ගෝලීය ආර්ථික පිළිවෙතක් අවශ්‍ය වන්නේය. තවදුරටත්, අද මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමට ඇති හදිසි අවශ්‍යතාවය හේතුකොටගෙන ආයතනගත බුද්ධිමතුන්ගේ සීමාවෙන් ඒහාට ගොස් ජනතාවගේ පූර්ණ සහභාගිත්වය ඇතිකරන මැදිහත්වීම් මාර්ගයක් අවශ්‍යව ඇත. පාරිසරික විනාශය අවම කිරීමට වත්මනේ ප්‍රතිපත්ති තීරකයන් හා මාධ්‍යකරුවන් වැන්නන් ගෙනයන සංවාදය ප්‍රමාණවත් නොවන්නේය. පාරිසරික වෙනස්කම්වලට හුරුවීමට සහ පරිසර හානි අවම කිරීමට අවශ්‍ය වන්නාවූ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික වෙනස්කම් පිළිබද පැහැදිලි දැක්මක් සහ නිශ්චිත අරමුණක් සහිත ජාතික මට්ටමේ මෙන්ම ගෝලීයබ මට්ටමේද ක්‍රියාකාරී වන්නාවූ නව ජනතා ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේය.