පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී!

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) ප්‍රකාශය

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය!

2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී!

කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව විසින්, “අප්‍රේල් 21 සිකුරාදා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉල්ලා ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව ශක්තිමත් මිනිස් දාමයක් නිර්මාණය කිරීම සඳහා පුරවැසියන් වෙත කරන ලද ඉල්ලීම”ට ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය (CMU) සිය සහයෝගය ප්‍රකාශ කර සිටී.

පුද්ගලයන් 272 දෙනෙකුට මරු කැඳවමින් ශ්‍රී ලංකාව පුරා පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල්වල රැස්ව සිටි පවුල්වලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරවලට වසර හතරක් ගත වී ඇත. මියගියවුන් අතර ළමුන් 45 දෙනෙකුද, බරපතල තුවාල ලැබූවන් ගණනාවක්ද, දරුවන් 179 කුට දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වී ඇත. ප්‍රහාරයේ 4 වන වසර පිළිබඳ සිය ප්‍රකාශයේ කතෝලික පල්ලිය පෙන්වා දී ඇත්තේ “මෙම ප්‍රහාර පිටුපස සිටි අපරාධකරුවන් හඳුනා ගැනීමට සහ වගකිව යුත්තන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති” බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට එරෙහිව අපරාධ නඩු පැවරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව (ජවිකොස) නිර්දේශ කර ඇතත් ඒ සඳහා නීතිපතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ හැසිරීම් සම්බන්ධයෙන් ජවිකොස නිර්දේශයන්ට අනුකූලව දෙපාර්තමේන්තු පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන නොමැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්, විශේෂයෙන්, කැළඹීමට ලක්ව ඇති කරුණ නම්, මෙම බිහිසුණු ප්‍රහාර මැතිවරණ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා නිර්දය ලෙස සැලසුම් කළ හැකිවිණැයි දැන්තබොහෝ දෙනෙකු අතර පවතින සැකයයි. කතෝලික පල්ලිය සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ “මෙම ප්‍රහාර දේශපාලන බලය ලබා ගැනීම සඳහා සංවිධානය කරන ලද කුමන්ත්‍රණයක් බව අපට සහ තවත් බොහෝ දෙනෙකුට පැහැදිලි” බවයි. 2021 මැයි මාසයේදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ “2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් පවතින” බවයි. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඔහු කැඳවා ඇත්තේ මේ දැන් පමණි.

ශ්‍රී ලංකාවේ දේශපාලකයින්, රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් විසින් ජනතාවට එරෙහිව සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවල අපරාධකරුවන්, එවැනි අපරාධ පිළිබඳ අතිවිශාල සාක්ෂි තිබියදී පවා, නිර්ලජ්ජිත ලෙස ආරක්ෂා කිරීමට අනුප්‍රාප්තික රජයන් වසර ගණනාවක් තිස්සේ උත්සාහ කර ඇත. බොහෝ කලක සිට ඔවුන් මෙයින් ඇඟ බේරා ගෙන ඇත. ප්‍රහාරයෙන් පසුව රට පාලනය කළ ජනාධිපතිවරුන්ට මෙන්ම දේශපාලනඥයන්ට අමතරව, “… වත්මන් ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන්, මෙම ප්‍රහාර පිටුපස සිටින වැරදිකරුවන් ආරක්ෂා කිරීම සඳහා,  සත්‍යය වසන් කිරීමේ උත්සාහයක කොටස්කරුවන් බව” කතෝලික පල්ලියේ ප්‍රකාශය මගින් පෙන්වා දී තිබේ. මෙම ම්ලේච්ඡ ප්‍රහාර පිටුපස ඇති සත්‍යය ලුහුබැඳ යාමට අසමත්ව සිටින මෙම ආන්ඩුව ම ත්‍රස්තවාදයට එරෙහි පනතක් දැන් දැන් කඩිමුඩියේ ම ගෙන ඒම කුහකකමකි. මෙම කාරණය නොපසුබස්නා ලෙස ඉදිරියට ගෙනයමින් යුක්තිය සොයා යාමට කතෝලික පල්ලිය දරණ උත්සාහය පැසසිය යුතුය සහ ඊට සහයෝගය දැක්විය යුතුය. 

CMU සැමවිටම පෙනී සිටින්නේ යුක්තිය වෙනුවෙන්; විශේෂයෙන්ම, පීඩිතයන් සහ සූරාකෑමට ලක්වූවන් වෙනුවෙනි. ජනතාවට එරෙහිව අපරාධ කරන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි නිරන්තරයෙන්ම් ඉල්ලා සිටියෙමු. මෙම සාඩම්බර සම්ප්‍රදායට අනුව යමින්, අප්‍රේල් 21 වැනි දින, හැකි සෑම තැනකම, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා ක්‍රියාමාර්ගයට සහය දෙන ලෙසත්, පාස්කු ඉරිදා වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කරන ලද කැඳවීමට සහයෝගය ප්‍රකාශ කිරීම සඳහා තම සේවා ස්ථානවල පෙරවරු 8.45 ට විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් රකින ලෙසත් අපගේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමු.