මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

ඓතිහාසිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් නඟා සිටුවීමේ පදනම වනුයේ කම්කරු පංති ව්‍යාපාරයයි!

මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් – විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින් ඇති ආකාරය දෙස බැලුවොත්– ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය දැඩි සත්කාර ඒකකයේ තිබෙන බව පෙනීයනු ඇත.

වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රය වේ: එකක් නොමැතිව අනෙක තිබිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත ගොඩනැගුණු දීර්ඝ ඉතිහාසයක් ඇති ලොව විශාලතම සමාජ ව්‍යාපාරය ලෙස ගෝලීය වෘත්තීය සමිති ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ යළි ගොඩනැගීමට සිය සාමූහික බලය යෙදවිය යුත්තේ එබැවිනි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයේ (ITUC) දක්වා ඇති පරිදි, මෙම මැයි දිනයේ අපගේ අධිෂ්ඨානය විය යුත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තීය සමිතිවල ඓතිහාසික දායකත්වය සහ සේවා ස්ථානයේ, සමාජය තුළ සහ ගෝලීය මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සුරැකීමට සහ වැඩිදියුණු කිරීමට බලමුලු ගැන්වීමය.

වසර ගණනාවක් පුරා කර ඇති, වාර්තා සහ සමීක්ෂණ මගින් පෙන්වා දෙනුයේ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අඛණ්ඩව ඛාදනය වී ඇති බවයි. ස්ටොක්හෝම් හි ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් 2023 වසරේ නිකුත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගෝලීය රාජ්‍ය වාර්තාවට අනුව, 2018 සිට ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන්හි ප්‍රගතිය බොහෝ රටවල් තුළ පසු බැස ඇත.

2023 සඳහාවූ ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට(The Economist Intelligence Unit Democracy Index for 2023) අනුව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යය 2022 දී 5.29 සිට ගැටුම් සහ යුද්ධයේ බලපෑම මත 2023 දී 5.22 දක්වා පහත වැටී ඇත. ලෝක ජනගහනයෙන් සියයට 45.5ක් යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදයක වාසය කරන අතර, ‘පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයේ’ ජීවත් වන්නේ සියයට 7.8ක් පමණක් බවත්, සියයට 39.4ක් අධිකාරීවාදී පාලනයන් යටතේ සිටින බවත් වාර්තාව හෙළි කරයි.

ITUC හි 2023 ගෝලීය හිමිකම් දර්ශකය මේ අතර භයානක ප්‍රවණතා පෙන්වයි. ඒ අනුව ලෝකයේ රටවල්වලින් සියයට 87 ක් වැඩවර්ජන කිරීමේ අයිතිය සහ රටවල් සියයට 79 ක් සාමූහික කේවල් කිරීමේ අයිතිය උල්ලංඝනය කරයි. එවැනි උල්ලංඝනය කිරීම් පසුගිය වසර දහය තුළ අඛණ්ඩව සහ සීතල ආකාරයෙන් (chillingly)

ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය ඉහළ යන ආර්ථික අසමානතාවය සහ අනාරක්ෂිතභාවය සමඟ සහසම්බන්ධ වේ.

වෘත්තීය සමිතිවල පැවැත්ම ශක්තිමත් නම්, ධනය හා බලය බෙදා හැරීම වඩා සාධාරණ වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් කෙරෙහි විශ්වාසය වැඩි වේ. මෙයට එක් නිදසුනක් වනුයේ, වෘත්තීය සමිති සාමාජිකත්වය සියයට 49ක් සහ සාමූහික ගිවිසුම් මගින් ආවරණය සියයට 72.5ක් වන නෝර්වේහි සාකච්ඡාමය සහ සමානාත්මතා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් බව පිළිගැනේ. කෙසේ වෙතත්, ගෝලීය වශයෙන්, වෘත්තීය සමිති සාමාජිකත්වය අඩුවෙමින් පවතින අතර, මෙම තත්ත්වය සේවා ස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන්ට සහ වෘත්තීය සමිතිවල ශක්තියට හානි කරයි.

ෆැසිස්ට්වාදය, ජාතිකවාදය සහ විජාතික භීතිකාව වැනි ආන්තික දෘෂ්ටිවාදයන් ගෙනයන දේශපාලන ප්‍රධාන ප්‍රවාහයේ පුනර්ජීවනය, ධනේශ්වර ආර්ථිකයන් විසින් ක්‍රියාත්මක කරන ලද කප්පාදු පියවරයන් මගින් වඩ වඩාත් ශක්තිමත් වේ. ‘රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ දේශපාලන ප්‍ර‍තිවිපාක’( ‘The political costs of austerity’) නමින් 2022 දී කරන ලද අධ්‍යයනයක් මඟින්, යුරෝපය පුරා මැතිවරණ 200ක් විශ්ලේෂණය කළ අතර මෙම කප්පාදු පිලිවෙත් අන්තවාදී පක්ෂවල නැගීම, ඡන්ද ප්‍රකාශනය අඩු කිරීම සහ විශාල දේශපාලන ඛණ්ඩනයකට සම්බන්ධ වන බව හෙළි කළේය. මෙම ආර්ථික ප්‍රතිපත්ති මගින් සිදුවනුයේ ලාභය පුද්ගලීකරනය කිරීමත් සමග පාඩුව සමාජගත වීමත් වන අතර එමගින් ජනතාව තුල විශ්වාසය ඛාදනය වීමයි.

මෙම අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී වෘත්තීය සමිති ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටුවද වන අතර, ප්‍රතිපත්ති සම්පාදනයේ දී රජයන් විසින් බිම් මට්ටමේ සිට එන හඬට සවන් දීමට සහ ඒවාට රජයන් අවනත කර ගැනීම සහතික කරයි. වෘත්තීය සමිතිවල ශක්තිය පවතින්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවනතාවන්ට එරෙහිව ප්‍රබල බලවේගයක් බවට පත් කරමින්, කර්මාන්ත හරහා කම්කරුවන් සංවිධානය කිරීමට සහ බලමුලු ගැන්වීමට ඇති හැකියාව තුළ ය.

ආර්ථික විෂමතා පුළුල් වන අතර දේශපාලන නිදහසට තර්ජනයක් එල්ල වන විට, සමාජ සාධාරණත්වය, සාධාරණ ආර්ථික බෙදා හැරීම සහ දේශපාලන විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතිවල ක්‍රියාකාරී ස්ථාවරය වඩාත් වැදගත් වේ. වෘත්තීය සමිති සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා අත්‍යවශ්‍ය වන්නාවූ සහභාගීත්වයේ සහ සාකච්ඡාවේ සංස්කෘතියක් පෝෂණය කරයි. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සිවිල් කටයුතුවල වැදගත්කම පිළිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උත්සාහයන් මඟින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට සැලකිය යුතු ලෙස දායක වේ.

මෙම අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් ITUC “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ව්‍යාපාරය” දියත් කළේය. සමිතියේ නිදහස සහ වැඩවර්ජන කිරීමේ අයිතිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සහ සමානාත්මතා සමාජයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා වෘත්තීය සමිතිවල අත්‍යවශ්‍ය කාර්යභාරය මෙයින් අවධාරනය කෙරේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරම් ශක්තිමත් කිරීම සඳහා ITUC තීරනාත්මක අංශ තුනකින් බලපෑම් කරයි; එනම්,සේවා ස්ථානය, සමාජය සහ ගෝලීය තලයයි.

වැඩ කරන ස්ථානයේ දී, වෘත්තීය සමිති සංවිධානය වීමේ අයිතිය තහවුරු කිරීම, සාමූහික කේවල් කිරීම, සමාජ සංවාදය, සියලු කම්කරුවන්ට සමාන සැලකීම සහ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් අවසන් කරන ලෙස ඉල්ලා සිටියි. සමාජය තුළ, වෘත්තීය සමිති විරෝධතා දැක්වීමේ අයිතිය සහ කතා කිරීමේ අයිතිය, අසාධාරණයන් හෙළිදරව් කිරීමට හැකි නිදහස් මාධ්‍යයක්, සැබෑ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, විශ්වීය සමාජ ආරක්ෂණ අරමුදල් සඳහා සාධාරණ බදුකරණය, සියලු කම්කරුවන් සඳහා සාධාරණ සංක්‍රාන්තියක් සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී  සංගතවල (බහුජාතික සමාගම්වල) ආධිපත්‍යයට එරෙහි වීමේ අයිතිය අවධාරණය කරයි. ගෝලීය වශයෙන්, වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ පුද්ගලික ලාභයට වඩා මහජන සුභසාධනය, මානව හිමිකම් සහ කම්කරු ප්‍රමිතීන්ට ප්‍රමුඛත්වය දෙන පද්ධති නිර්මාණය කිරීම සඳහා ජාත්‍යන්තර ආර්ථික ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම, නියෝජිත බහුපාර්ශ්විකත්වය සහ සාධාරණ ගෝලීය සහයෝගීතාවය ඉදිරියට ගෙන යාමයි.

අපි මැයි දිනය සමරන විට, ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීම සඳහා වෘත්තීය සමිතිවල ඓතිහාසික කාර්යභාරය පමණක් නොව, අද ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීමට සහ පුනර්ජීවනය කිරීමට වෘත්තය සමිති බල ගැන්වීම ද කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ව්‍යාපාරය යනු ප්‍රජාතන්ත්‍රවාදී නව්‍යකරණයක් (for democratic renewal) කිරීම සඳහා එක්සත් වීමට ගෝලීය වශයෙන් කම්කරුවන්, වෘත්තීය සමිති සහ මිත්‍ර පාක්ෂිකයින් වෙත කැඳවුම් කිරීමකි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් දේශපාලන පරමාදර්ශයක් පමණක් නොව එය සැමට දෛනිකව, සජීවී ජීවිතයේ අත්දැකීමක් ලෙස පවතින බව සහතික කරමින්, පවත්වා ගැනීමට, ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කම්කරුවන් අනන්‍ය ලෙස සුදුසුකම් ලබා ඇති යථාර්ථයකි. සාමූහික ක්‍රියාකාරීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ස්ථීර කැපවීම තුළින්, වඩා සාධාරණ, වඩා සාධාරණ ලෝකයක් සඳහා වන අරගලයේ පෙරටුගාමී බලඇණිය වශයෙන් වෘත්තීය සමිති පවතිනු ඇත.

මෙම මැයි දිනයේදී වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සහ යළි ගොඩනැගීමේ කේන්ද්‍රස්ථානය විය යුතුය.