දේශපාලනයට නව දැක්මක්

May 11

1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය

දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත්  ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු වැඩි වසයෙන් ඇති කලකිරීම්වලින් සහ රැවටුණු රැවටිලිවලින් පැහැදිලි වේ. තව දුරටත් ඒ වංචාවේ ගොදුරු බවට පත්වීමට අපට නො හැකි ය.

 එබැවින් මෙතෙක් කලක් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ‘බලය අත්පත් කර ගැනීම’ මුල් කොට අපේ දේශපාලන කතිකාව මෙහෙය වූ දේශපාලන සුසමාදර්ශය (paradigm) වෙනුවට අපේ පොදු අභිලාෂ සම්බන්ධයෙන් ‘සැමට යුක්තිය ඉටු කර ගැනීම’ මුල් කරගත් නව දේශපාලන සුසමාදර්ශයක් ගොඩනගා ගත යුතු ව ඇත. 

නව සුසමාදර්ශයක් යනු යථාර්ථය විමසීම සඳහා උපයෝගී කර ගන්නා මුඛ්‍ය අදහස් සමුදායක් මත ගොඩ නැගූ උපකල්පන, නිගමන, වටිනාකම්, අනන්‍යතා සහ භාවිතවලින් සමන්විත සිතුවිලි පද්ධතියකි. එය දැනට පවතින සුසමාදර්ශයේ මුඛ්‍ය අදහස සමතික්‍රමණය කළ යුතුවා පමණක් නො ව අදාළ ප්‍රස්තුතයට නව තේරුමක් ද ගෙන ආ යුතු ය.

ඉතිං, සුසමාදර්ශීය වෙනසක් යැයි කිව හැකි මට්ටමේ දේශපාලන පරිවර්තනයක් ඇති කරන්නේ කෙසේ ද? සුසමාදර්ශීය වෙනස්වීම් පිළිබඳ අදහස හඳුන්වා දුන් තෝමස් කුන් ඔහුගේ Structure of Scientific Revolutions නම් පොතේ සඳහන් කරන අන්දමට සුසමාදර්ශීය පරිවර්තනයක් හිටි හැටියේ සිදු නො වේ. එයට කලක් ගත විය හැකි ය. එහෙත් ඒ සඳහා වැදගත් ම දෙය වන්නේ තමන් මෙතෙක් විශ්වාස කළ දේවල් තවදුරටත් නිවැරදි නො වන බව මිනිසුන්ට ඒත්තු යන සේ පර්යේෂණ හා විශ්ලේෂණ මඟින් මතු කර ගත් සාක්ෂි ඔවුන් ඉදිරියේ ගෙන හැර තැබීමයි. තෝමස් කූන් මේ සම්බන්ධයෙන් උදාහරණයක් ලෙස ගන්නේ සෞරග්‍රහ මණ්ඩලය විස්තර කිරීමේ දී සම්ප්‍රදායික විද්‍යාව හා නූතන විද්‍යාව ඉදිරිපත් කරන නිගමන අතර ඇති වෙනස යි. ක්‍රි.පූ. 384-322 විසූ ඇරිස්ටෝටල්ගේ කාලයේ සිට 14 වැනි සිය වසේ මැද භාගය දක්වා ම මිනිසුන් විශ්වාස කළේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රීය වස්තුව පෘථිවිය බව යි. ඒ අනුව සූර්යයා සහ සියලු ග්‍රහ වස්තු පොළොව වටා කරකැවෙන වස්තු ය යන්න එකල සම්ප්‍රදායික විද්‍යා චින්තනය බවට පත් වී තිබුණි. එහෙත් පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තු කක්ෂ ගත ව ඇත්තේ පෘථිවිය වටා නො ව සූර්යයා වටා බව නිකොලොස් කොපර්නිකස් 1543 දී සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ ය. එතැන් සිට අද දක්වා ම නූතන විද්‍යාව පදනම් ව ඇත්තේ  කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රීය න්‍යාය මඟින් හඳුන්වා දුන් ඒ සුසමාදර්ශීය වෙනස මත යි. සාමාන්‍ය තත්ව යටතේ විටින් විට එක් වෙන කරුණු සහ න්‍යාය මත විද්‍යාත්මක දැනුම ක්‍රමික ව තහවුරු වෙනවා වෙනුවට විප්ලවකාරී විද්‍යාවක් හෙවත් විද්‍යාවේ සුසමාදර්ශීය වෙනසක් බොහෝ විට ඇති වන්නේ කලින් ප්‍රතික්ෂේප කළ හෝ නො සලකා හරින ලද සාධක නව පර්යාලෝකයක් තුළ නැවත අවධානයට ලක් කිරීමෙන් බව තෝමස් කූන් පැවසීය. 

යුක්ති සහගත සමාජයක් ගොඩ නැගීමේ ප්‍රයත්න මීට පෙර ද තිබිණි. ඉන් සමාජවාදී යැයි හඳුන්වන ලද ඇතැම් ඒවා සමාජ විෂමතා අවම කිරීම ප්‍රකාශිත අරමුණ කරගත් නමුත් වැඩිකල් නො ගොස් මං මුලාව ගොස් මහජනතාව අතර අපකීර්තියට ලක් විය. එවැනි අසාර්ථක ප්‍රයත්නවල දක්නට ලැබුණු පොදු ලක්ෂණය වූයේ ඒ සියල්ල බලය අත්පත් කර ගැනීම මුඛ්‍ය කරගත් ප්‍රයත්න වීම යි. ඒ නිසා නව දේශපාලන සුසමාදර්ශයක් බිහි කළ හැකි කතිකාවක දී ‘බලය අත්පත් කර ගැනීමට’ විකල්ප වූ ‘යුක්තිය ඉටු කර ගැනීමේ’ සමාජයීය දේශපාලන ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන වෙනස් ආකාරයක මුඛ්‍ය අදහස් පද්ධතියක් අප ඉස්මතු කර ගත යුතු ය. එම අදහස් ගැඹුරින් සංවිචාරණයට (deliberation) ලක් කිරීමෙන් යුක්තිය අත්පත් කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? දේශපාලන බලය ස්වාමිත්වකාමි අත්පත් කර ගැනීම් මඟින් නො ව සමාජයේ සංවිචාරණීය අභිමතය අනුව නිරන්තර මහජන සහභාගීත්වය පදනම් කොට මෙහෙයවෙන දෙයක් බවට පත් කළ නො හැකි ද?  බංකොලොත් ව්‍යාජ නියෝජන ක්‍රමවලින් මුලා නො වී එම අදහස් පාදක කරගත් අරමුණු කරා යෑමට අවශ්‍ය කරන ව්‍යුහාත්මක දේශපාලන හා ආර්ථික වෙනස්කම් කෙබඳු විය යුතු ද? යන්න පිළිබඳ ව නිශ්චිත අදහස් ද  ජනනය කර ගත හැකි ය. එහෙත් එම අදහස් පවතිනා දේශපාලන හා ආර්ථික ක්‍රමය නිසා උද්ගත වී ඇති ප්‍රශ්නවලට උචිත පිළිතුරු සැපයීමට හැකි ඒවා ද විය යුතුය.  

බලය අත්පත් කර ගැනීමේ දේශපාලනය වෙනුවට යුක්තිය ඉෂ්ට කර ගැනීමේ දේශපාලනය ආදේශ කළ යුතු ය යන අදහස මෑතක දී මුලින් ම ඉදිරිපත් කළේ ඇලන් බදියු විසින් ඔහුගේ  ‘In Praise of Politics’ නමැති කෘතියෙනි. ප්‍රකට ප්‍රංශ බුද්ධිමතෙකු වන ඇලන් බදියු පවසන අන්දමට බලය ගැන කරදර වීමට වඩා මේ අවස්ථාවේ දී වැදගත් වන්නේ කෙබඳු ජනසමාජයක් බිහි විය යුතු ද යන්න පිළිබඳ ව හොඳ උපාය මාර්ගික දැක්මක් ඇති ජනතාවක් ඇති කර ගැනීමයි.[1].ප්‍රායෝගික ව බැලූ විට දේශපාලනය යනු තමන් ජීවත් වන ජන සමාජයේ අනාගතය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් ඇති ජනතාවක් සහ එවැනි සමාජයක් බිහි වීමේ හැකියාව අතර ඇති සම්බන්ධතාව පිළිබඳ ප්‍රකාශනය බව බදියු පවසයි. එකී උපාය මාර්ගික දැක්ම පවතින දේශපාලන සුසමාදර්ශය විස්ථාපනය කිරීමෙන් බිහි කර ගත යුත්තකි.  ඒ දැක්ම කල් තියා ගොඩනගා ගැනීමට නො හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල මහජන නැගිටීම් අර්ථ විරහිත ලෙස අවසන් වූ අතර  තවත් රටවල ජනතාවට පටු ජාතිකවාදී ඉන්ද්‍රජාලිකයන් සරණ යෑමට සිදු විය. මෙය අපට පමණක් සීමා වූ ගැටලුවක් නො වේ. ඒ නිසා නව දේශපාලන සුසමාදර්ශයක් බිහි කිරීම යනු ගෝලීය පර්යාලෝකයකින් විමසිය යුතු කරුණකි. 

ශ්‍රී ලංකාව ද ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන බොහෝ රටවල දැනට පවතින දේශපාලන සුසමාදර්ශයේ නිශ්චිත මුඛ්‍ය ලක්ෂණ දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ බලය ඉල්ලන කණ්ඩායම් අතරින් ආණ්ඩු බලය අල්ලා ගන්නා කණ්ඩායම කලින් කලට පැවැත්වෙන මැතිවරණ මඟින් තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය වසයෙන් සැලැකීමයි. අනෙක බලය අල්ලා ගත් පාර්ලිමේන්තු කණ්ඩායමේ වගකීම ‘හෝමෝ එකොනොමිකස්  (Homo Economicus)[2]හෙවත් “මිනිසා යනු ස්වාර්ථය තකා කටයුතු කරන තාර්කික ආර්ථික සත්වයෙකි” යන ධනවාදී ආර්ථික චින්තනය මත ආර්ථිකය මෙහෙයවීමට ආධාර කිරීම යි.  

ඒ අනුව බලය අත්පත් කර ගන්නා කණ්ඩායම්වල යුතුකම වසයෙන් සැලකෙන්නේ දේපළවල ස්වාමිත්වකාමි (possessive) පුද්ගලික අයිතිය පදනම් කොට ප්‍රාග්ධන සමුච්චයනය හෙවත් ධනය ඒකරාශි වීම පිණිස නිෂ්පාදන මාර්ග හා සම්පත් නිර්බාධක ව උපයෝගී කර ගැනීමට පහසුකම් සපයනු ලැබීමයි. ඒ නිසා ඇති වෙතැ’යි විශ්වාස කරන ආර්ථික වර්ධනයක ප්‍රතිලාභ පහළට ගලා යෑම මඟින් සමස්ත සමාජය ද ප්‍රගතිය කරා දක්කනු ඇතැ’යි යන විශ්වාසය ද පවතින දේශපාලන සුසමාදර්ශය තුළ අඩංගු වන මුඛ්‍ය උපකල්පනයකි. ඒ අනුව ආර්ථිකයේ වර්ධන වේගය වැඩි වීම ප්‍රගතියේ දර්ශකයක් ලෙස සැලකේ. නව දේශපාලන සුසමාදර්ශයක් බිහි කිරීමේ හැකියාව විමසා බැලීමේ දී බලය අත්පත් කර ගැනීම මෙන් ම ස්වාර්ථකාමී ආර්ථික එළඹුම යන අංග දෙකේ ම ඵල විපාක හා ඒවායේ දුර්ගුණ පිටු දැකිය හැකි විකල්ප මොනවා දැයි විමසා බැලීම ප්‍රයෝජනවත් ය. 

පවතින දේශපාලන සුසමාදර්ශය පිළිබඳ ව අපට තවදුරටත් විශ්වාසයක් නැත්තේ ප්‍රජාතන්ත්‍රවාදය යන නමින් විකෘතියක් තෝරා ගැනීමට සිදුවීමෙන් හෙම්බත් වීම නිසා ම පමණක් නො වේ. ධනවාදී ආර්ථික ක්‍රමය තුළ එම විකෘතියට බෙහෙවින් තුඩු දුන් නවලිබරල්වාදී (neoliberal) ආර්ථික එළඹුමේ ඵලයක් ලෙස තීව්‍ර වී ඇති සමාජ විෂමතා, බදු හා මූල්‍ය වංචා, කොටස් වෙළඳපොළ ජාවාරම්, පොදු දේපළ මංකොල්ල කෑම, වාර්ගික ධ්‍රැවීකරණය, සමාජ අසහනය සහ තෘෂ්ණාධික රේඛීය වර්ධනය නිසා පෘථිවි සම්පත් ක්ෂය වීම වැනි අත්දැකීම් ඊට හේතු වෙයි. මේ නවලිබරල්වාදී ආර්ථික එළඹුමේ දේශපාලන දැක්ම නිසා සිදු වූ හානිය අපි ඉදිරි පරිච්ඡේද තුනකින් සවිස්තර ව සාකච්ඡා කරමු. දේශපාලනයේ සුසමාදර්ශීය වෙනස මඟින් ම පිළිබිඹු වන නව ආරක ආර්ථික චින්තනයක් අවශ්‍ය වන්නේ එම හානිය පූරණය කිරීම සඳහා ය. 

ඒ හැර තවමත් බරපතළ අවධානයකට ලක් වී ඇති බවක් නොපනෙන ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා ඇතිවීමට නියමිත තීරණාත්මක අර්බුදය පවතින දේශපාලන සුසමාදර්ශය තුළ ඵලදායක ලෙස ආමන්ත්‍රණය කිරීම ද  සැලකිය යුතු අභියෝගයක් වී තිබේ. ගෝලීය උණුසුම වැඩි වීම සහ අක්වෙරළ ගිණුම් උපයෝගී කර දැවැන්ත ලෙස බදු වංචා කිරීම මඟින් සමාජීය වගකීම පැහැර හැරීම වැනි ඇතැම් ගැටලු පවතින දේශපාලන සුසමාදර්ශයේ පදනම වන ජාතික රාජ්‍ය නමැති පාලන ඒකකය තුළ පමණක් විසඳිය හැකි ඒවා නො ව ගෝලීය සහයෝගිතාව මත විසඳිය යුතු ඒවා ය. ගෝලීය මට්ටමින් ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට සිදුවීම කිසියම් දුරකට කෝවිඩ්-19 වසංගතය අපට මතක් කර දුන්නේ ය. තවමත් ඇති තරම් මහජන අවධානයට ලක් කර නොමැති ගෝලීය උණුසුම පිළිබඳ ප්‍රශ්නය ඊටත් වඩා ගෝලීය සහයෝගිතාවක් ඉල්ලා සිටින්නකි. ඒ නිසා ගෝලීය උණුසුම වැඩි වීම නිසා උද්ගත විය හැකි අවදානම ගැන ලුහුඬින් හෝ ආරම්භයේ දී ම පැහැදිලි කර ගැනීම වටී. 

දඩයමින් හා ස්වාභාවික ශාක ආහාරවලින්  යැපෙමින් ගත කළ ප්‍රාථමික අවධිය ඉක්මවා ගොස් කෘෂිකර්මයට හුරු වූ මිනිසුන් ස්ථිර ජනාවාස ඇති කර ගෙන, ශිෂ්ටාචාර බිහි කර ගෙන තව මත් අවුරුදු දහ දොළොස් දහසකට වඩා කාලයක් ගත වී නැත. භූ විද්‍යාඥයන් මේ කාල වකවානුව හඳුන්වන්නේ ‘හොලෝසීන (Holocene) යුගය’ යන නමිනි. මේ යුගයේ සුවිශේෂ ලක්ෂණය වූයේ එම කාල වකවානුව පුරා ම පෘථිවිය මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ආසන්න වසයෙන් සෙන්ටිග්‍රෙඩ් අංශක 15 ක් ලෙස ස්ථාවර ව පැවතීමයි. ඊට පෙර පැවති යුගවල දී පෘථිවියේ මතු පිට උෂ්ණත්වය ඒ සා දීර්ඝ කාලයක් එසේ ස්ථාවර ව නො පැවතුණි. උදාහරණයක් ලෙස භූ විද්‍යාත්මක පර්යේෂණවලින් සොයා ගෙන ඇති පරිදි මීට අවුරුදු 19,000 කට පෙර පෘථිවියේ මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍යය සෙන්ටිග්‍රෙඩ් අංශක 7.8 ක් ව පැවති බව අපි දැන් දනිමු.[3] එහෙත් සෙන්ටිග්‍රෙඩ් අංශක 15ක සාමාන්‍යයක් සමඟ ස්ථාවර ගෝලීය උෂ්ණත්වයක් තිබූ ‘හොලෝසීන යුගය’ ඉන් පෙර නො තිබුණ ලෙස අපට කෘෂිකර්මය සඳහා අවශ්‍ය සමබර දේශගුණ රටාව ඇති කර දුන්නේ ය. අප කෘෂිකර්මයට හුරුපුරුදු වන්නේත්, ජනාවාස හා ශිෂ්ටාචාර ගොඩ නගන්නේත් පසු ගිය වසර දස දහස තිස්සේ පෘථිවිය මතු පිට ස්ථාවර උෂ්ණත්වයක් පැවතුණ බැවිනි. එසේ නො වන්නට අපට සතුන් හීලෑ කර ගැනීමට හෝ වී, තිරිඟු, ඉරිඟු, ආදී ධාන්‍ය වර්ග වැඩි දියුණු කර වගා කර ගැනීමට හෝ ජනාවාස බිහි කර ගැනීමට හා ලේඛන ක්‍රම ඇති කර ගැනීමට හෝ හැකි වන්නේ නැත. නූතන මිනිසාගේ පැවැත්ම සහතික කිරීමට ‘හොලෝසීන යුගයේ’ පැවති ඒ ස්ථාවර උෂ්ණත්වය සහ ඒ නිසා ඇති වූ ස්ථාවර දේශගුණ රටාව අත්‍යවශ්‍ය විය. 

මේ මුලු ‘හොලෝසීන යුගය’ තුළ ම පෘථිවි උෂ්ණත්ව සාමාන්‍යයේ කිසියම් වෙනසක් සිදුවී නම් එය සෙන්ටිග්‍රෙඩ් අංශක එකකින් අඩු වීම හෝ වැඩි වීම අතර ඉතා කුඩා පරාසයකට පමණක් සීමා විය. එහෙත් 18 වන සිය වසේ සිට කාර්මික යුගය ඇරඹීමත් සමඟ එතෙක් මෙතෙක් අප විසින් ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ගෑස් වායු වසයෙන් ඉතා අධික කාබනික ඉන්ධන ප්‍රමාණයක් දහනය කිරීමෙන් ස්වභාවයෙන් සිදු ‍වෙනවාට වඩා අතිවිශාල අමතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එක් කොට තිබේ. සාමාන්‍යයෙන් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් සංයුතිය 0.0407% ක් තරම් අල්ප ප්‍රමාණයක් වන නමුත් එම සංයුතියේ වෙනස් වීම ගෝලීය උණුසුම නියාමනය වීම කෙරෙහි තීරණාත්මක ව බලපායි.[4] ඊට හේතුව වායුගෝලය තුළ තාපය සිර කර ගැනීම පිණිස කාබන් ඩයොක්සයිඩ් ‘හරිතාගාර වායුවක්’[5] ලෙස ක්‍රියා කිරීමයි. වසර 1980 දී වායුගෝලීය කොටස් මිලියනයකට තිබුණු කාබන් ඩයොක්සයිඩ් කොටස් ප්‍රමාණය 336ක් වූ නමුත් වසර 2020 වන විට එම ප්‍රමාණය කොටස් 415 දක්වා වැඩි වී තිබේ. කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම හේතු කොට උග්‍ර වී ඇති හරිතාගාර කාරකත්වය (උණුසුම වායුගෝලය තුළ ම සිර වීම) නිසා ගෝලීය උණුසුම වසරක් පාසා වැඩි විය.

unknown.jpg

වර්ෂ 1850-2020 අතර කාලය තුළ ගෝලීය මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය‍ය ඊට පෙර වසර ලක්ෂයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අන්දම වම්‍ පස සටහන මඟින් ද ස්වභාවයෙන් ම සිදු විය යුතු උෂ්ණත්ව වෙනස්කම්වලට සාපේක්ෂව මානව ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ ගොස් ඇති ආකාරය දකුණු පස සටහනින් ද දැක්වේ. – උපුටා ගැනීම Climate Change 2021: The Physical Science Basis. Contribution of Working Group I to the Sixth Assessment Report of the Intergovernmental Panel on Climate Change (IPCC). 

මේ ගෝලීය උණුසුම වැඩි වීම තීරණාත්මක කඩයිම් ලක්ෂ්‍ය ඉක්මවා යෑම නතර කර ගැනීමට ඉදිරි දස වසර තුළ අපට නො හැකි වුව හොත් අප ජීවත් වන කිලෝමීටර් 10ක් පමණ තුනී වූ පෘථිවි වායුගෝලය තුළ සිදු විය හැකි බරපතළ වෙනස්කම් අපේ පැවැත්මට ඉමහත් තර්ජනයක් විය හැකි ය. ඒ නිසා ඇති වෙන අත්‍යන්ත දේශගුණික වෙනස්කම්, බව භෝග විනාශය, ජල හිඟය, බල ශක්ති අර්බුදය, නියඟ, ලැව්ගිනි, සුළි කුණාටු, ගංවතුර, සාගත සහ වසංගත, විතැන් වෙන ජන සන්නිපාත, සාගර ජල මට්ටම ඉහළ යෑම නිසා දූපත්වලට සහ වෙරළාසන්න නගරවලට සිදු වන හානි වැනි අස්ථායීකාරක ඵල විපාක සමාජ වියවුල්වලට පමණක් නො ව ඇතැම් විට ප්‍රචණ්ඩ යුද්ධවලට පවා හේතු විය හැකි ය. මානව ක්‍රියාකාරකම් නිසා වැඩි වෙන කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවශෝෂණය වන්නේ හරිත ශාක පත්‍ර තුළ ප්‍රභාසංස්ලේෂණය නමින් සිදු වන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය මගිනි. ප්‍රභාසංස්ලේෂණයේ දී සිදුවන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ ඛනිජ ලවණ සූර්යාලෝකය මඟින් ඔක්සිජන් සහ ශක්ති ජනක කාබනික සංයෝග බවට පරිවර්තනය කරනු ලැබීමයි. ඒ හැර සාගරය තුළ හා මහ පොළොවේ කාබනික ද්‍රව්‍ය වසයෙන් තැන්පත් වීම ද කාබන් ඩයොක්සයිඩ් වායුවේ වායුගෝලීය සංයුතිය පාලනයට උපකාරී වේ.  

දැනටමත් නැවත වන වගාව වැනි ඇතැම් සාම්ප්‍රදායික පියවර මඟින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය පාලනය කිරීමට දරන  සීමිත දේශීය ප්‍රයත්න ගැන ලොව පුරා වාර්තා වී තිබේ.[6] ගෝලීය මට්ටමෙන් ගත් විට මෑත කාලයේ දී  ශාක ගහණය හෙක්ටෙයාර් මිලියන 2.24 කින් වැඩි වී ඇති බවට 2018 දී මේරිලන්ඩ් විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිදරව් වීම මෙවැනි ප්‍රයත්නවල ප්‍රතිඵල විය හැකි ය. එහෙත් ජාතික මට්ටමින් ගත් විට ප්‍රධාන වනාන්තරවලට (primary forests) වෙන් වී ඇති ප්‍රමාණය රක්ෂිත වසයෙන් දිගින් දිගට ම පැවතීම මේ මඟින් සහතික කළ නො හැකි ය. කුඩා ප්‍රමාණයේ නැවත වන වගාවලින් ප්‍රධාන වනාන්තර පද්ධතිවලින් ඉටු වන පාරිසරික මෙහෙය කිසි සේත් ම සපුරා ගත නො හැකි ය.[7] ඒ නිසා වඩාත් ඵලදායී වන්නේ විශාල වසයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුසු කරන ඛනිජ ඉන්ධන වෙනුවට නිර්කාබනික විකල්ප බලශක්ති ප්‍රභව යොදා ගැනීම මඟින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කර ගැනීමයි.  

 එහෙත් ඒ සමඟ ම අපේ තෘෂ්ණාධික පාරිභෝගික සංස්කෘතිය හා ඊට ම ගැළපෙන ලෙස සම්පත් අපතේ යවන නාස්තිකාරී රේඛීය (linear) නිෂ්පාදන ක්‍රමය ද නිසා නිපදවෙන දැවැන්ත කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය පරිසරයට මුදා හැරීම ද අවම කර ගත යුතු ය. නාගරික ප්‍රදේශවල බිහි වෙන අපද්‍රව්‍යවලින් 70% ක් ම කාබනික අපද්‍රව්‍යයි. අසාධිත (untreated) කාබනික කසල බැහැර කෙරෙන ගොහොරුවලින් ද කාබන් ඩයොක්සයිඩ්, මීතේන් ඇතුළු හරිතාගාර වායු අධික ව නිපදවේ. බල ශක්ති භාවිතය සහ අපද්‍රව්‍ය නිෂ්කාශනය යන දෙකෙන් ම ඇතිවෙන හරිතාගාර වායු ජනනය හා පාරිසරික හානියෙන් මිදීමට නම් දැනට පවතින ගන්න-හදන්න-ඉවත දමන්න යන ක්‍රමයට කටයුතු සිදු වෙන රේඛීය නිෂ්පාදන ක්‍රමය වෙනුවට සම්පත් ප්‍රතිචක්‍රීකරණයට (recycling) මුල් තැන දෙන නිෂ්පාදන ක්‍රමයක් ආදේශ කළ යුතු ය. එසේ නොමැති ව හුදෙක් අතරින් පතර කෙරෙන නැවත වන වගාවකින් පමණක් අනාගතයේ ඇතිවීමට නියමිත ව්‍යසනවලට ඵලදායක ලෙස මුහුණ දීමට අපට නො හැකි වනු ඇත.   

එනිසා ඉවක් බවක් නැති ව ගෝලීය මධ්‍යම පංතියේ සුඛවිහරණය සඳහා පෘථිවි සම්පත් අපතේ යවන රේඛීය ආර්ථික නිෂ්පාදන විධි ක්‍රමය වෙනුවට, අප ගොඩ නගන නව දේශපාලන සුසමාදර්ශය තුළ ජීවී පරිසරය රටක සමස්ත ආර්ථිකයේ ම කොටසක් ලෙස සලකන ප්‍රතිජනනීය (regenerative) චක්‍රීය ආර්ථික නිෂ්පාදන ක්‍රමවේදයක් (Circular Economy) හඳුන්වා දීම සඳහා කටයුතු යෙදීම අත්‍යවශ්‍ය වන්නේ ය. රේඛීය ආර්ථිකයක් වෙනුවට චක්‍රීය ආර්ථිකයක් ආදේශ කිරීමේ හැකියාවන් පිළිබඳ ව 21 වැනි පරිච්ඡේදයේ සිට සවිස්තර ව සාකච්ඡා කරමු.  

මේ සියලු කටයුතු හුදෙක් ජාතික රාජ්‍ය දේශපාලනය තුළ පමණක් සාක්ෂාත් කර ගත හැකි ඒවා නො වේ. එහෙත් ජාතික රාජ්‍ය ඉක්මවා යන විසඳුම් සෙවීමේ දී ද ඒ සඳහා අප ජාතික මට්ටමෙන් අනුගත විය යුතු සංවිධාන ක්‍රමය හා ආණ්ඩුකරණය (governance) කෙබඳු විය යුතු ද යන්න විමසීම වැදගත් ය. ඒ නිසා මේ කතිකාව මෙතෙක් අප අත්දැක ඇති ආණ්ඩුකරණයේ අසාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී වරය විචාරශීලී ව විමසීමෙන් ඇරඹීම ප්‍රයෝජනවත් විය හැකි ය.

2. ප්‍රජාතක්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය 

නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ වග වීමයි.[8] දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට  පමණක් සීමා වූවක් නොවේ.  සෘජු ව හෝ සංවිධිත ව හෝ දේශපාලන කටයුතු වලට සහභාගි වීම,  විසම්මුතිය, අදහස්  ප්‍රකාශ කිරීම, ආණ්ඩු කිරීම සංනිරීක්ෂණයට දායක වීම, රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ හා වැඩ වර්ජනය කිරීම ආදිය ද මහජන සහභාගීත්වයේ විවිධ ස්වරූපයෝ ය. 

කෙසේ වෙතත් ඉංග්‍රීසින් විසින් පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන් දා සිට ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් කරන ලද්දේ රාජ්‍යයේ ස්වරූපය පිළිබඳ ආකෘතියක් ලෙස මිස සමාජයක සාමාජිකයන්ට සාමූහික ව ජීවත් වීම සඳහා උපයෝගී වන සහභාගිත්ව දේශපාලන යන්ත්‍රණයක් ලෙස නො වේ. එංගලන්තයේ පළමුවැනි එඩ්වඩ් (1272-1307) රජුගේ සමයේ ඉංග්‍රීසි පාර්ලිමේන්තුව පිහිටුවන ලද්දේ මූලික වසයෙන් ම රජුට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස බදු පැණවීමේ දී එම බදු අය කර දීම පැවරෙන රදල නායක කාරකාදීන්ගේ ද කැමැත්ත විමසිය යුතු ය යන එකඟත්වය ක්‍රියාත්මක කිරීම සඳහා ය.[9] බදු ආදායමකින් තොර ව රජයක් පවත්වා ගෙන යා නො හැකි ය. ඒ නිසා පාර්ලිමේන්තුව රාජාණ්ඩුවේ අත්‍යවශ්‍ය ධනෝපායන මෙවලමක් විය. කලක දී සාමිවරයන් සහ සාමාන්‍යයන් වසයෙන් වෙන වෙනම  රැස්ව ව්‍යවස්ථා හා නීති අනුමත කිරීම කළ ද පාර්ලිමේන්තුවේ මූලික භූමිකාව වූයේ රජුට අවශ්‍යය අරමුදල් සැපයීම යි.

ප්‍රජාතන්ත්‍රවාදයේ බළකොටුව ලෙස බොහෝ විට හඳුන්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත්කරුවන් වඩා සැලකිල්ලක්  දැක්වූයේ හොඳ සමූහාණ්ඩු ක්‍රමයක් පිහිටු විය යුත්තේ කෙසේ ද යන්න ගැන මිස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳ ව නො වන බව හෙලන් ලැන්ඩ්මොර් පෙන්වා දෙයි.[10] ප්‍රජාතන්ත්‍රවාදය කලහකාරයන්ගේ පාලනයකට සම කළ ග්‍රීක දාර්ශනික ප්ලේටෝගේ මතය සමඟ බොහෝ ඇමෙරිකානු ව්‍යවස්ථා සම්පාදකයන් එකඟ වූ බව පෙනේ. විශේෂයෙන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රමුඛ කෙටුම්පත්කරුවෙකු වූ ජේම්ස් මැඩිසන් ට අවශ්‍ය වූයේ රාජාණ්ඩුවාදී සුළුතරයකට මෙන් ම පීඩාකාරී බහුජන ආධිපත්‍යකට ද නතු නො වෙන නව ආරක සමූහාණ්ඩු ක්‍රමයකි. ඒ සඳහා ඔහු අනුදත් ක්‍රමයට විශේෂ ලක්ෂණ කිහිපයක් ම අයත් විය.  

ඉන් පළමුවැන්න වූයේ නියෝජන ක්‍රමයක් මඟින් ලිබරල් මතධාරී ඇමරිකන් ඉඩම් හිමි ප්‍රභූවරයන්ගේ අභිමතය නව ආණ්ඩුව තුළ බල ගැන්වීමයි. නියෝජන ක්‍රමය මඟින් බහුතර මහජනතාවගේ ‘අවිශිෂ්ට මතවාද’ ශුද්ධ පවිත්‍ර කර මැඩපවත්වා ගත හැකි බව මැඩිසන්ගේ අදහස විය. ඒ හැර ෆෙඩරල් ක්‍රමය, ද්වි මණ්ඩල මන්ත්‍රණ සභා, ජනාධිපති සතු නිෂේධ බලය සහ අධිකරණය සතු සන්නිරීක්ෂණ බලය ද බහුතරයේ ආධිපත්‍ය ඉස්මතු වීම වැළැක්වීම පිණිස ඇමෙරිකානු ව්‍යවස්ථා සම්පාදකයින් විසින් යොදා ගනු ලැබූ අනෙකුත් වැදගත් උපාය මාර්ග වෙයි.  

මැඩිසන් වඩාත් සැලකිලිමත් වූයේ ඉපැරණි විවෘත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට වෙනස් ව මහජනතාව සාමූහික ව ආණ්‍ඩුකරණයේ කොටස්කරුවන් වීම වැළැක්වීම කෙරෙහි ය.[11]ඒ අනුව ඇමෙරිකානු ආණ්ඩුක්‍රමයේ සමාරම්භකයින් ඔවුන්ගේ නව සමූහාණ්ඩුවේ සුවිශේෂ ලක්ෂණය ලෙස හුවා දැක්වූයේ එය මහජන බලය මත රඳා පවතින ආණ්ඩුවක් නො ව තෝරා පත්කර ගත් ප්‍රභුන්ගේ බලය මත ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ලෙස ය. එය ආණ්ඩුකරණය අත්පත් කර ගැනීම සඳහා මහජන කැමැත්ත ලබා ගැනීමක් මිස ආණ්ඩුකරණය සඳහා මහජන සහභාගිත්වය අපේක්ෂා කළ ආණ්ඩුක්‍රමයක් නො වී ය. 

එහෙත් නියෝජනය පිළිබඳ ව මහජනයා අනුදත් මතය මැඩිසන් වැනි ආණ්ඩුක්‍රම කෙටුම්පත් කමිටු සාමාජිකයන් තුළ පැවති මතය ම නො වී ය. ඇමෙරිකානු විප්ලවය (1765-1791) පිළිබඳ ඉතිහාසඥයෙකු ලෙස සැලකෙන ගෝර්ඩන්. එස්. වුඩ් පෙන්වා දෙන අන්දමට  නියෝජිතයන් පත් කිරීම නිසා සිය දේශපාලන ක්‍රියාකාරිත්වය අහෝසි වෙන බවක් පොදු ඇමෙරිකානුවෝ කිසි සේත් ම පිළිනොගත්හ. The American Revolution: A History නම් සිය කෘතියේ වුඩ් ඒ බව මෙසේ සඳහන් කරයි: 

“නිදහස ලැබීමෙන් පසු ගත වූ දශකය තුළ ඇමෙරිකානු දේශපාලන සංස්කෘතිය බෙහෙවින් පරිවර්තනය විය. පැහැදිලි ව පෙනෙන පරිදි ඇමෙරිකානුවන් පරමාධිපත්‍යය සහ නීති සම්පාදනයේ අධිකාරය යටත් විජිත රජයේ ආයතනවලින් පොදු ජනතාව වෙත මාරු කර තිබුණි. ඉංග්‍රීසින් මෙන් නො ව සිය නියෝජිතයන් තෝරා පත් කර ගැනීම නිසා තමන්ගේ දේශපාලන පැවැත්ම අහෝසි වන බව පිළිගැනීම  ඇමෙරිකානු ජනතාව 1776 සිට ම ප්‍රතික්ෂේප කර තිබුණි. “දොරින් පිට සිටින” (out of door) අය ලෙස සැලකුණු පොදු ජනතාව ආණ්ඩුවේ සියලු ම නිල ආයතනවලට බැහැරින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූහ. 1780 ගණන්වල දී ඇමෙරිකානු ජනතාව සිය දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට හා දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට නොයෙකුත් ආකාරයේ කොමිටි, සම්මන්ත්‍රණ සහ නිල නො වන ආයතන සංවිධානය කළහ. ඒ මඟින් ඔවුහු ඇමෙරිකානු විප්ලව සමයේ යොදා ගත් දේශපාලන භාවිතය ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන ගියහ. මිල පාලනය,  අධික ලාභ ගැනීම වැළැක්වීම සහ ටෝරිවරුන්ට (යටත්විජිතවාදීන්ට) දඬුවම් කිරීම ආදිය ඉටු කර ගැනීමේ ලා නව ඇමෙරිකානු රජය බොහෝ විට අපොහොසත් විය. එහෙත් සුපරීක්ෂාකාරී ව සිටීමෙන් සහ නොයෙක් ආකාරයේ මහජන ක්‍රියාන්විත දියත් කිරීම මඟින් කඩිනමින් හා කාර්යක්ෂම ව ඒවා ඉටු කර ගැනීමට මහජනතාවට හැකි විය. හැම තැනක දීම “නියම මහජන නියෝජනය” පිළිබඳ තර්කය තවදුරටත් පුළුල් කරමින් ආණ්ඩුවේ ආයතනවලට සෘජු ව උපදෙස් දීමට සහ ඒවා මහජන සන්නිරීක්ෂණයට නතු කිරීමට මහජනතාව කටයුතු කළහ. බ්‍රිතාන්‍යයන් හා ඔවුන්ගේ පාර්ලිමේන්තුව අතර පැවති නියෝජන සම්බන්ධතාව මෙන් නො ව එකල ඇමෙරිකානුවෝ කිසිදු දේශපාලන ආයතනයකට හෝ සියලු දේශපාලන ආයතනවල එකතුවකට හෝ තමන් සතු පූර්ණ හා අවසාන පරමාධිපත්‍ය බලය යටත් නො කළහ.”[12]

ගෝර්ඩන් එස් වුඩ්ගේ මේ නිරීක්ෂණය ඉතා වැදගත් ය. දිගු කලක් තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති නීත්‍යනුකූල වර්ණ භේදවාදය අභියෝගයට ලක් කරමින් 1954-1968 කාලයේ දී වීදි බට ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සහ ඇමෙරිකාව වියට්නාම් යුද්ධයට මැදිහත් වීමට එරෙහිව 1965 දී මහජන සහභාගිත්වය උච්ච වූ යුධ විරෝධී ව්‍යාපාරය වැනි මහජන ක්‍රියාන්විත මේ සම්ප්‍රදායේ ගති ලක්ෂණය. බෙහෙවින් සාර්ථක වූ එම ව්‍යාපාර දෙකම මහජන පරමාධිපත්‍යය නියෝජිතයන්ට පවරා දීමට සූදානම් නැති එහෙත් බලය වෙනුවට යුක්තිය අත්පත් කර ගැනීමට සංවිධානය වූ ඒවා වසයෙන් සැලකිය හැකි ය. බලය අත්පත් කර ගැනීමේ දේශපාලනය වෙනුවට යුක්තිය අත්පත් කිරීමේ දේශපාලනය ආදේශ කිරීමේ දී ඊනියා මහජන නියෝජිතයන්ගේ අත්තනෝමතික අභිමතය වෙනුවට ජන සංවිචාරණය (peoples’ deliberation) මගින් රාජ්‍ය විචාරණය කළ හැකි අන්දමේ ව්‍යුහාත්මක වෙනස්කම් ආණ්ඩුක්‍රමයට ඇති කළ යුතු ය.   

කෙසේ වෙතත් රාජ්‍යයේ ආකෘතියක් ලෙස සැලකූ විට නොයෙක් ආකාරයේ පාර්ලිමේන්තුවලට මහජනයා විසින් තෝරා පත් කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රම ලෙස අඟවා සිටීමට හැකි ව තිබේ. එහි දී තර්කනය වන්නේ මැතිවරණයක දී මහජනයා අතරින් බහුතරය විසින් තෝරා ගනු ලබන මහජන නියෝජිතයන් නීති සම්පාදකයන් ලෙසත් රාජ්‍යයේ කළමනාකරණය හොබවන විධායකයන් ලෙසත් කටයුතු කිරීමට මහජනයා විසින් තෝරා පත් කරනු ලබන බවයි. 

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ සුලබ සංකල්පයේ ප්‍රවර්ධකයන්ට අනුව රජය ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ එසේ මැතිවරණයකින් තෝරා පත් කර ගන්නා මහජන නියෝජිතයන් මඟින් රජයට නිරතුරුව ම මහජන මතයට කන්දීමට හැකි වන නිසා ය. අනෙක් අතට තමන් විසින් තෝරා ගනු ලැබූ මහජන නියෝජිතයන් කටයුතු කරන ආකාරය ගැන තමන්ට පැහැදීමක් නැති නම් ඊළඟ මැතිවරණයක දී ඔවුන් වෙනුවට වෙනත් අය පත්කර ගැනීමට මහජනතාවට ඉඩ ලැබෙන බව ද මේ ප්‍රවර්ධකයෝ අපට මතක් කර දෙති. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් දේශපාලන බලය අත්පත් කර ගන්නා කණ්ඩායම කවුරුන්ද කියා මැතිවරණයෙන් තීරණය කිරීම නම් අපට ඒ කියන වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් කිසිදු අඩුවක් නැත.

එහෙත් අප අත්විඳින ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ බවට එක් හේතුවක් වන්නේ ද හුදෙක් මැතිවරණයක දී අපේ ඡන්දය යදින අපේක්ෂකයන් අතරෙන් කිසියම් පිරිසක් නියත වශයෙන් ම නිශ්චිත කලකට තෝරා පත්කර ගත යුතුය කියා එකී ප්‍රජාතන්ත්‍රවාදය ම අපට බලපෑම් කිරීමයි. අනෙක් අතට මෙසේ තෝරා ගැනෙන “මහජන නියෝජිතයන්” බලය අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රමුඛත්වය දෙන්නේ අපට දුන් පොරොන්දුවලට නො ව සැබවින්ම දේශපාලනය මෙහෙයවන ධනය සමුච්චයනය කරන පෙළැන්තියේ අවශ්‍යතා පිරිමැසීම සඳහා වීමයි. එසේ අපේ සැබෑ අවශ්‍යතා නියෝජනය කිරීම පැහැදිලිව ම නො සලකා හරින විට අභිමත පරිදි ඔවුන්ගේ මහජන නියෝජන භූමිකාව අවලංගු කිරීමට පවතින දේශපාලන සුසමාදර්ශයට අනුව අපට ඉඩක් නැත. 

ඒ අනුව මැතිවරණ ක්‍රමය මඟින් ව්‍යවස්ථාදායකයට හෙවත් පාර්ලිමේන්තුවකට ‘මහජන නියෝජිතයන්” තෝරා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවෙතැ’යි යන ඇදහිල්ල තව දුරටත් වලංගු නො වන බව අප ඇති තරම් අත් දැක ඇත. මේ ක්‍රමයේ අසාර්ථකත්වය මූලික ව දෙයාකාරයකින් දැකිය හැකි ය:

  1.  මැතිවරණ පැවැත්වෙන විකෘති ක්‍රමවේදයේ දූෂිත බව;
  2. තෝරා ගැනෙන නියෝජිතයන්ගේ දුෂ්චර්යාව.

මේ විකෘතියට බලපා ඇති මූලික කරුණු අතර මැතිවරණ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන මුදල් සපයා ගන්නා ආකාරය, සද්භාවී දේශපාලනයකට නොගැළපෙන අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලැබීම සහ පක්ෂග්‍රාහී ජනමාධ්‍ය ආවරණය යන සාධක තුන ප්‍රධාන වේ. 

මැතිවරණ ව්‍යාපාර සඳහා විශාල මුදලක් අවශ්‍ය වේ. එම අවශ්‍යතාව බොහෝ විට සපුරන්නේ සමුච්චයනය වන නොහොත් ඒකරාශි වන ධනයකට හිමිකම් ඇති ධන හිමියන් මගිනි. ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් මුදල් බලය බලපාන්නේ කෙසේ ද යන්න මැතිවරණ නීති හා ඒවා ක්‍රියාත්මක කරන ආකාරය අනුව රටින් රටට වෙනස් විය හැකි වුණත් ඡන්දයෙන් පත් වන රජය කෙරෙහි තම බලපෑම පවත්වා ගැනීම පිණිස මුල් පෙළේ ව්‍යාපාරිකයෝ, ජාවාරම්කාරයෝ සහ ධන හිමියෝ කෙසේ හෝ ප්‍රධාන පක්ෂවලට මැතිවරණ අරමුදල් සැපයීමට උත්සුක වෙති. මේ නිසා ධන හිමියන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැති පක්ෂ සහ අපේක්ෂක කණ්ඩායම් මැතිවරණයට පිවිසෙන්නේ ම අවාසිදායක තත්වයක් යටතේ ය. එහි ප්‍රතිඵලය කුමන ප්‍රධාන පක්ෂයක් බලය අල්ලා ගත්තත් බොහෝ දුරට ඇත්ත බලය හිමි වන්නේ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කළ දෙස් විදෙස් ධන හිමියන්ට වීමයි.

මෙය බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන මැතිවරණ ගොදුරු කර ගනිමින් සිටින බරපතළ ව්‍යසනයකි. සාමාන්‍ය ජනතාව විසින් පවුල් බලය සහ මුදල් බලය ආදී වසයෙන් හැඳින්වීමට පුරුදු ව සිටින මේ බලපෑම එක්තරා ආකාරයකට පවුල නොහොත් කුටුම්බ ක්‍රමයේ මැදිහත් වීමක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත් එසේ පැවසිය හැක්කේ නව පරපුරේ ආර්ථික විද්‍යාඥයෙකු වන තෝමස් පිකෙටි සිය Capital in the 21st Century නමැති ප්‍රකට කෘතියෙන් මතු කරන කුටුම්බ දෙවර්ගය පිළිබඳ දෘෂ්ටිකෝණයට අනුව ය. කවුරු කුමක් උපයන්නේ ද පමණක් නො ව කවුරුන් ට කුමක් අයත් දැ’යි විමසීමෙන් දෙවර්ගයක කුටුම්බ හඳුනා ගත හැකි බව පිකෙටි අපට පෙන්වා දෙයි. ඉන් එක් වර්ගයක් නම් ඉඩම්, ගොඩනැගිලි සහ මූල්‍ය වත්කම් වැනි සැලකිය යුතු ප්‍රාග්ධනයක් හිමි කුටුම්බයෝ ය. එමඟින් ඔවුන්ට කිසිදු වෙහෙසකින් තොර ව නිතිපතා බදු කුලිය, ලාභාංශ සහ පොලිය උපයා ගැනීමට හැකි ය. අනෙකුත් වර්ගය නම් හුදෙක් තම ශ්‍රමය අලෙවි කිරීමෙන් වැටුප් පමණක් උපයන කුටුම්බයි. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ බදු වාර්තා විශ්ලේෂණය කරන පිකෙටි කලක් තිස්සේ මෙකී ආදායම් ප්‍රභවවල වර්ධනයේ වෙනස් වන ස්වභාවය අනුව බටහිර ආර්ථික සහ ඒවා අනුකරණය කරන වෙනත් ආර්ථික ඉතා අසාධාරණ සමාජ අසමානතාවක් ජනිත කරන ඒවා බවට පත් වී ඇති බව නිගමනය කරයි.[13] ඊට හේතුව වසයෙන් ඔහු පෙන්වන්නේ එම රටවල සමස්ත නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනයට වඩා ඉඩම්, ගොඩනැගිලි සහ මූල්‍ය සම්පත් ආදී වත්කම් ප්‍රාග්ධනය සඳහා ලැබෙන ප්‍රතිලාභ ශීඝ්‍රයෙන් වැඩි වීමයි. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ධනවත් කුටුම්බ අතර ධනය වඩ වඩා ඒකරාශි වීම නොහොත් සමුච්චයනය වීම සහ ප්‍රාග්ධන හිමියන් සහ  වැටුප් ශ්‍රමිකයන් අතර ආදායම් විෂමතා පරතරය එන්න එන්න ම වැඩිවීම යි. එම ගතිකය ඉන් පසු ධන හිමියන්ගේ සමාගම්වල ලොබි කිරීම්වල හා බලපෑම්වල සිට මැතිවරණ අරමුදල් ලබා දීම දක්වා ක්‍රමවලින් රටක දේශපාලනය කෙරෙහි ආනුභාවය පතුරවමින් දැනටමත් ධනවත් වී ඇති අයගේ අවශ්‍යතා තව තවත් ප්‍රවර්ධනය කරන බව පිකෙටි පෙන්වා දෙයි. එමඟින් අත්තනෝමතික සහ ඔරොත්තු නො දෙන සමාජ අසමානතා ජනනය කරමින් ධනවාදය ස්වයං ක්‍රියාකාරී ව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පදනම වසයෙන් සැලකෙන කුසලතාවාදී (meritocratic) වටිනාකම් විනාශ  කරන බව ද පිකෙටි සඳහන් කරයි. 

මැතිවරණ සඳහා ලැබෙන පුද්ගලික මුදල් ප්‍රදානවලින් සැලකිය යුතු ප්‍රමාණයක් රැස්වීම්, පෝස්ටර්, ජනමාධ්‍ය දැන්වීම් හා සමාජ මාධ්‍ය මෙහෙවර ආදී ප්‍රචාරක කටයුතුවලටත් මැතිවරණ කටයුතු සඳහා බඳවා ගන්නා සහකරුවන් සඳහාත් වැය වේ. බොහෝ විට මේ සමාජ මාධ්‍ය මෙහෙවරවල අරමුණ තම ප්‍රතිපාක්ෂික අපේක්ෂකයන් හැකි තරම් අපකීර්තියට ලක් කිරීමයි. කෙසේ වෙතත් මේ ප්‍රචාරක ව්‍යාපාර තුළ අදාළ දේශපාලන පක්ෂයට අපේක්ෂකයාගේ ඇති පක්ෂපාතිත්වය ඉස්මතු කිරීම හැර අපේක්ෂකත්වයේ සද්භාවය පිළිබඳ ව ඡන්දදායකයාට ද සහභාගී විය හැකි ප්‍රයෝජනවත් සවිචාරී කතිකාවකට ඉඩක් නො ලැබේ. 

එමෙන් ම දේශපාලන පක්ෂවලට බොහෝ මැතිවරණ සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට සිදු ව ඇත්තේ සද්භාවී දේශපාලනයක් කළ හැකි නැණවත් පුද්ගලයන් නො ව ධන බලය, මැර බලය, කුල බලය, ආගම් හා වර්ගවාදය මැතිවරණ ජය සඳහා යොදා ගත හැකි පුද්ගලයන් ය. බොහෝ විට මේ දේශපාලන පක්ෂවල කිසිදු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති අතර අපේක්ෂකයන් තෝරා ගන්නේ හුදෙක් පක්ෂ නායකත්වයේ අභිමතය පරිදි ය. ඒ අතර කලාතුරකින් සද්භාවයෙන් දේශපාලනයට පිවිසෙන දැන උගත් අපේක්ෂකයන් ද සිටිය හැකි නමුත් තේරී පත් වූ විට ඔවුන්ට කටයුතු කිරීමට සිදුවන්නේ ද තම හෘදසාක්ෂියට අනුව නො ව පක්ෂයේ නායක කාරකාදීන්ගේ බලපෑම් හා සිතැඟිවලට අනුව ය. මේ යථාර්ථය සහ මැතිවරණ තරඟ ක්‍රමවලින් ඇති කර තිබෙන ප්‍රායෝගික බාධා නිසා බොහෝ විට අවංක හා දක්ෂ තරුණ තරුණියන්, ප්‍රජා ප්‍රසාදය දිනා ගත් ප්‍රජා නායකයන් සහ සමාජ ක්‍රියාකාරීන්, ඇසූපිරූතැන් ඇති ගුණ යහපත් ස්ත්‍රීන් සහ පුරුෂයන් පාර්ලිමේන්තු  මැතිවරණවලට ඉදිරි පත්වීමෙන් වළක්වා තිබේ. 

කපටි දේශපාලනඥයෙකුට එරෙහි ව සාපේක්ෂ ව දක්ෂ ගුණ යහපත් අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද දෙදෙනා අතර ඇති වෙනස ගැන ඡන්දදායකයන්ට නිසි අවබෝධයක් ලබා ගැනීමට අපහසු වන එක් තීරණාත්මක හේතුවක් වන්නේ මැතිවරණයට ඉදිරිපත් වන අය සම්බන්ධ උසස් මට්ටමේ ස්වාධීන ජනමාධ්‍ය සන්නිරීක්ෂණයක් නොමැති වීම යි. අපක්ෂපාතී වෘත්තීය භාවිතයක් නොමැති ජනමාධ්‍ය රජයන රටක ආණ්ඩු බලය අත්පත් කර ගෙන ඇති හෝ අත්පත් කර ගැනීමට බෙහෙවින් ඉඩ ඇති පක්ෂවලට මාධ්‍ය හිමිකරුවන්ගේ සහාය සෘජු හා වක්‍ර මාර්ගවලින් පහසුවෙන් ම ලබා ගත හැකි ය. බොහෝ මාධ්‍ය හිමියෝ සිය ජනමාධ්‍ය ආයතන පවත්වා ගෙන යන්නේ ම ජයග්‍රහණය කරතියි අපේක්ෂා කරන ආණ්ඩුවෙන් තම ව්‍යාපාර කටයුතුවලට අනුග්‍රහ ලබා ගැනීම පිණිස ය. එනිසා ජනමාධ්‍ය පක්ෂග්‍රාහිත්වය මහා මැතිවරණවල දක්නට ලැබෙන පොදු දුර්ගුණයක් බවට පත් ව ඇත. අන් මාධ්‍ය මෙන් නො ව ඡන්ද දායකයාගේ මතය හැඩ ගැස්වීමේ ලා විශාල බලපෑමක් ඇති කළ හැකි රූපවාහිනී හා ගුවන් විදුලිය වැනි විද්‍යුත් ජනමාධ්‍යයේ සෘජු හෝ වක්‍ර හෝ පක්ෂග්‍රාහීත්වය මැතිවරණ ක්‍රමයක ඇතිවිය හැකි දුෂ්ටතම විකෘතිවලින් එකකි. 

විද්‍යුත් ජනමාධ්‍ය විකාශන කටයුතු පවත්වා ගෙන යන්නේ පොදු දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත යොදා ගැනීමෙනි. ඒ අනුව විද්‍යුත් සංඛ්‍යාත පොදු යහපතට පටහැණි කටයුතු සඳහා යොදා ගත නො හැකි ය. එහෙත් විද්‍යුත් ජනමාධ්‍යයේ භූමිකාව සම්බන්ධයෙන් ඇති වැරදි වැටහීම කොතරම් දැයි කිව හොත් මැතිවරණයක දී වැදගත් දෘෂ්ටිකෝණ සියල්ල දැන ගැනීමට ඡන්ද දායකයාට ඇති අයිතියට වඩා විද්‍යුත් මාධ්‍ය හිමියාගේ ප්‍රකාශන අයිතිය වැදගත් යැයි සැලකූ ඇතැම් ආණ්ඩුක්‍රම උපදේශකයෝ මැතිවරණයක දී විද්‍යුත් මාධ්‍ය හිමියන්ට තමන් අභිමත පක්ෂයකට සහය දීමට විද්‍යුත් මාධ්‍ය යොදා ගැනීමට ඉඩ සලසන විධිවිධාන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක් කිරීමට තැත් කළහ.[14] මුල් පෙළේ විද්‍යුත් මාධ්‍ය තම අභිමත මතය තෝරා ගන්නේ විවිධ මතවාද එකිනෙකා අතර බෙදා ගැනීමට එකඟ වීමෙන් නො ව ඒ අදහස් අතරින් තම ව්‍යාපාරික හා දේශපාලනික අවශ්‍යතාවලට ගැළපෙන මතය කුමක්දැ’ යි යන තක්සේරුව මතය. ඒ හේතුව නිසා ම බොහෝ දියුණු මැතිවරණ ක්‍රම ඇති රටවල් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, විවාදාත්මක කරුණු පිළිබඳ කාලීන සාකච්ඡා සහ විශේෂයෙන්ම මැතිවරණවල දී විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතිත්වය තහවුරු කරන නියාමන නීති රීති හඳුන්වා දී තිබේ. 

අපක්ෂපාතිත්වය පිළිබඳ මේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන නීතියේ නො තිබෙන්නට 2017 මැතිවරණයේ දී ලේබර් පක්ෂයට එතරම් ආසන ගණනක් දිනා ගැනීමට ඉඩ නො ලැබෙනු ඇතයි කාඩිෆ් සරසවියේ සංනිවේදන මහාචාර්ය ජස්ටින් ලුවිස් වරක් පෙන්වා දුන්නේ ය.[15] මාධ්‍ය හිමියන් අතර අධිරාජයෙක් සේ සැලකෙන රූපට් මර්ඩොක්ට අයත් පුවත්පත් ඇතුළු වැඩියෙන් විකිණෙන සියලු ප්‍රධාන බ්‍රිතාන්‍ය පුවත්පත් එකී මැතිවරණයේ දී පක්ෂපාතිත්වය දැක්වූයේ කොන්සර්වෙටිව් පක්ෂයට යි. එහෙත් සිය පුවත්පත් යොදා ගත් අන්දමින් මර්ඩොක්ට ඔහු සතු විද්‍යුත් මාධ්‍ය ද කොන්සර්වෙටිව් පක්ෂයට වාසි වෙන ලෙස යොදා ගත නො හැකි විය. ඊට හේතු වූයේ බ්‍රිතාන්‍ය නියාමන නීතිය මඟින් පනවා ඇති විධි විධාන නිසා මැතිවරණවල දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතිත්වය රැකීමට ඔහු බැඳී සිටි බැවිනි. ඒ අනුව ලේබර් සහ කොන්සර්වෙටිව් යන පක්ෂ දෙකට ම සමාන ව සැලැකීමට මර්ඩොක් සතු විද්‍යුත් මාධ්‍යවලට සිදු විය. ඒ නිසා මැතිවරණයේ දී මහජන මතය සම්පූර්ණයෙන්ම තමන්ට අභිමත අන්දමින් මෙහෙයවීමට ඔහුට නො හැකි විය.

විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍රලාභීන් අපක්ෂපාතිත්වය උල්ලංඝනය නො කළ යුතු අවස්ථා බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන නීතියේ වෙසෙසින් දක්වා තිබේ. ඒ අනුව දේශපාලනික සහ වෘත්තීය අරගල සම්බන්ධ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් ද(matters of political or industrial controversy), තත් කාලීන පොදු ප්‍රතිපත්ති පිළිබඳ ව කරුණු සම්බන්ධයෙන් ද (matters relating to current public policy) මැතිවරණවල දී ද පැත්තක් නො ගෙන අපක්ෂපාතී ව වාර්තාකරණය ඉටු කිරීමට විද්‍යුත් මාධ්‍ය නීතියෙන් බැඳී සිටී. ඒ නිසා එවැනි කරුණුවල දී තමන්ගේ අභිමතය අසන්නන් හෝ නරඹන්නන් මත පටවනවාට වඩා මතභේදාත්මක කරුණුවල දී සියලු වැදගත් දෘෂ්ටිකෝණ අසන්නන් හෝ නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට විද්‍යුත් මාධ්‍යයට සිදුවේ. පුද්ගලික සමාගම්වලට අයත් විද්‍යුත් මාධ්‍යවලට අතිරේක ව පොදු අරමුදල් යොදා ඥානෝද්දීපනය (enlightenment) මුල් කොට පවත්වා ගෙන යන ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (Independent Public Service Broadcasting) ද පවතින්නේ නම් මේ අපක්ෂපාතිත්වය තවදුරටත් තහවුරු වේ. 

අපක්ෂපාතිත්වය පිළිබඳ නියාමනයෙන් මූලික වසයෙන් ම ඉටු ‍කෙරෙන්නේ අන් මත වාරණය කොට තම අභිමතයට අනුකූල වන ලෙස මහජන මතය මෙහෙයවීමට විද්‍යුත් මාධ්‍ය හිමිකරු ට ඇති හැකියාව අවම කිරීමයි. මේ අනුව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවා වී අන් මතධාරීන්ට අවස්ථාවක් නො දී සිටීමට විකාශන බලපත්‍ර හිමියාට ඉඩ නො ලැබේ. මන්ද අපක්ෂපාතිත්වය ආරක්ෂා කළ හැක්කේ මතභේදාත්මක කරුණු ඇතුළත් වැඩසටහන්වල දී බහුවිධ මතවාදවලට ඉඩ සැලසීමෙන් පමණක් වන බැවිනි. 

‘එක් එක් විද්‍යුත් මාධ්‍යයට තම අභිමත මතය ප්‍රකාශ කිරීමට, ප්‍රමුඛත්වය දීමට ඉඩ දිය යුතු ය, ඒ අනුව මහජන මතයේ ස්වරූපය දැන ගැනීමට අවශ්‍ය අයගේ වගකීම නම් නාලිකා කිහිපයක් ම නැරඹීම යැ’යි කෙනෙකුට තර්ක කළ හැකි ය. අපක්ෂපාතී මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක් නොමැති විට සියලු පෞද්ගලික විද්‍යුත් මාධ්‍යවලට එක ම පක්ෂයකට සහයෝගය දීමේ අවස්ථාවක් එළඹුනොත් ඉහත තර්කයට කුමක් වේ ද? එවැනි තර්ක විශ්ලේෂණයේ දී කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්ය රිචර්ඩ් සැම්බ්රූක් පෙන්වා දෙන සමානුකූලතාව (Homophily) නිසා ඇතිවිය හැකි බලපෑම පිළිබඳ කාරණය අවධානයට ලක් කිරීම වටී.[16] 

මෙහි දී සමානුකූලතාව යන්නෙන් අදහස් වන්නේ තිබිය හැකි අනෙක් අදහස් නො තකා තමන් දන්නා හෝ තමන්ට එකඟ විය හැකි අදහස්වලට පමණක් එකඟ වීමට මිනිසුන් දක්වන නැඹුරුවයි. තොරතුරු ගහණය අතිශයින් ඉහළ යන තොරතුරු තාක්ෂණික යුගයක මෙය එක්තරා ආකාරයක අවදානමකි. මන්ද ඒ නිසා අන් මත නො තැකීමේ බුද්ධි ශෝධනයකට (brain-wash)ඡන්ද දායකයා ගොදුරු වීමට තිබෙන ඉඩ කඩ වැඩි බැවිනි. මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම් ඒ නිසා තර්ක බුද්ධිය විසින් යුක්ති යුක්ත කළ හැකි සමාජ කතිකාවක් ගොඩ නැගෙනු වෙනුවට අපේකම, වර්ගවාදය, කුලය, ආගම, අන්ධ විශ්වාස ආදි දේවල් මත විවිධ කල්ලිවලට ජනසමාජය අවිචාරශිලී ව බෙදී යෑමට සමානුකූලතාව හේතුවක් වන බව මහාචාර්ය සැම්බෘක් පෙන්වා දෙයි. 

ඒ නිසා ඒකපාර්ශ්වික, සීමිත මතවාද පතුරවන විද්‍යුත් මාධ්‍ය නාලිකා වෙනුවට වෙනත් කවරදාකටත් වඩා අද අපට අවශ්‍ය වන්නේ අපක්ෂපාතී ලෙස බහුවිධ අදහස් හා මතවාද සංනිවේදනය කරන සහ ඒවා මැනවින් සන්නිරීක්ෂණයට ලක් කරන පොදු යහපත මුල් කරගත් විද්‍යුත් මාධ්‍යයයි. එසේ නොමැතිව තම තොරතුරු ප්‍රභවය තමන්ට කැමති මතය උත්කර්ෂණයට නංවන නාලිකාවකට සීමා කර ගැනීමට ග්‍රාහකයන් පෙලඹීමෙන් සිදු වන්නේ අන් මතවල සබුද්ධිමත් බව තක්සේරු කිරීමට නො හැකි ව ජන සමාජය අනවශ්‍ය ලෙස ආධානග්‍රාහී කොටස්වලට ධ්‍රැවීකරණය වීමයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මඟින් යුක්තිය අත්පත් කර ගැනීම සඳහා සුසමාදර්ශයක් නිර්මාණය කිරීමේ දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතිත්වය සහ ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක ජාලයක පැවැත්ම ද අතිශයින් තීරණාත්මක ය. 

‘දුස්තොරතුරු (misinformation) ප්‍රචාරය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බලවත් තර්ජනයකි’ යනුවෙන් වර්ධනය වෙමින් පවතින මතය අපට පමණක් සීමා වූවක් නො වේ.  හිතාමතා ම ජන මනස විකෘති කිරීම සඳහා හෝ ලාභය සඳහා හෝ දුස්තොරතුරු එනම් සාවද්‍ය සහ නො මඟ යවන තොරතුරු ප්‍රචාරය කිරීම, එන්න එන්න ම වැඩි වෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක් බව යුරෝබැරෝමීටර (Eurobarometer) සමීක්ෂණයක දී ප්‍රතිචාර දුන් යුරෝපීයන් අතුරෙන් 85% ක් ම ප්‍රකාශ කළහ. මේ සන්දර්භය තුළ ඵලදායක ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා “බහුවිධ මාධ්‍ය තාක්ෂණ වේදිකා මඟින් විශ්වාසදායක අර්ථාන්විත සහ අපක්ෂපාතී මාධ්‍ය අවකාශයක් සැපයිය හැකි බවට සියලු පුරවැසියන්ට වග වෙන අව්‍යාජ ස්වාධීන මහජන සේවා මාධ්‍ය (public service media) ක්‍රමයක් මහජන අරමුදලින් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව”[17]  නැවත නැවතත් තහවුරු වෙමින් පවතී. 

මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීමට හේතු වන ඊ ළඟ වැදගත් කාරණය වන්නේ පාර්ලිමේන්තුවලට හෝ ව්‍යවස්ථාදායක සභාවලට මැතිවරණවලින් තෝරා පත් වන නියෝජිතයන්ගේ දුෂ්චර්යාව යි. ඒ අතරින් බහුල ව දක්නට ලැබෙන දුෂ්ක්‍රියාවක් වන්නේ අල්ලස් හා දූෂණ ය. තෝරා ගත් පුද්ගලයන්ට හා ව්‍යාපාරිකයන්ට වැඩි වාසි සැලසෙන අන්දමින් අයථා ලෙස කටයුතු කිරීම ද දූෂණ අතර ප්‍රමුඛ වේ. එවැනි වාසි අතර බදු සහන ලබා දීම, ඒකාධිකාර ඇති කිරීමට මග සලසා දීම, රාජ්‍ය දේපොළ අයුතු ලෙස අත්පත් කර ගැනීමට ආධාර කිරීම, පිළිගත හැකි සාධාරණීකරණය කිරීමකින් තොර ව නොයෙකුත් වාසිදායක වරප්‍රසාද ලබාගැනීම, අයථා ලෙස මත්පැන් අලෙවි බලපත්‍ර, විකාශන බලපත්‍ර, කැණීම් බලපත්‍ර ආදිය ලබා ගැනීම ලබා දීම හා තුන්වැනි පාර්ශවයකට වැඩි මිලට අලෙවි කිරීම, වාසි දායක කොන්දේසි යටතේ රජයේ කොන්ත්‍රාත්තු පිරි නැමීම, කොමිස් ගැනීම පිණිස තෝරා ගත් ව්‍යාපාරිකයන්ට අයුතු ලාභ ලබා ගැනීමට සැලැස්වීම ආදිය අයත් වේ. මේ අකටයුතු බොහෝමයක් ම ජනමාධ්‍ය මඟින් ඇති සැටියෙන් අනාවරණය වීම වැළැක්වීමට ද මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය යොදා ගැනේ. එවැනි පසුබිමක් යටතේ ස්වාර්ථය මුල්කරගත් දේශපාලන හා ආර්ථික දැක්මක් ඇති දේශපාලනඥයන් වෙතින් සදාචාරීය අධිකාරයක් (moral authority) බලාපොරොත්තු විය හැක්කේ කෙසේ ද?. 

 පාර්ලිමේන්තු මන්ත්‍රණ සභාවල අසමත් බවට තවත් හේතුවක් වන්නේ අදාළ දේශපාලන පක්ෂයේ අනම්‍ය මතවාද නිසා එමඟින් තෝරා පත් වන නියෝජිතයන්ට නිර්මාණශීලී ව නව විසඳුම් ගැන කල්පනා කිරීමට හෝ සමාජ ප්‍රශ්නයක් පිළිබඳ ව විවෘත ව සාකච්ඡා කිරීමට අසීරු වීමයි. පක්ෂයේ දෘෂ්ටිවාදය විසින් බොහෝ විට ඔවුන්ගේ දැක්ම සීමා කරනු ලැබේ. හුදෙක් පක්ෂය විසින් තීරණය කරන ලද විසඳුම්වලට අනුකූලව මිස වෙනත් ආකාරයකට ප්‍රශ්න දෙස නො බැලීමට ඡන්දයෙන් පත් වන විට ම මේ ඊනියා මහජන නියෝජිතයන්ට සිදුවේ. සියලු ම පක්ෂවලට එක් වී විශේෂඥ මත ද සැලකිල්ලට ගෙන කිසියම් ප්‍රශ්නයක් ගැන සුදුසු ම විසඳුම සොයා ගත හැකියැ’යි කෙනෙකුට තර්ක කළ හැකි නමුත් එය එසේ සිදු නො වෙන්නේ ඒ නිසා තරඟකාරී විරුද්ධ පාර්ශවයකට කීර්තියක් අත් වීමේ බිය විසින් එවැනි සාමූහික ප්‍රයත්න ඇතිවීම නිරන්තරයෙන් වළක්වන බැවිනි. 

මේ පක්ෂග්‍රාහී එළඹුම නිසා යුක්තිගරුක ප්‍රතිපත්ති සහ සමාජ වටිනාකම් ප්‍රකාශ වන සාකච්ඡා සඳහා දේශපාලනඥයින් විසින් වැය කළ යුතු මානව හා මූල්‍ය සම්පත් ඒ වෙනුවට සිය විරුද්ධවාදීන් අපකීර්තියට ලක් කළ හැකි හා පොදු ජනතාව රැවටිය හැකි කුටෝපායික ක්‍රියා මාර්ගවලට සහ ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැණේ. සැබෑ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) අගයන සමාජයක නම් ව්‍යවස්ථාදායකයක සාමාජිකයන්ට මෙන් ම රටවැසියන්ට ද දේශපාලන කතිකාව මඟින් මතු වූ නව කරුණු හා තර්ක විතර්ක අනුව තමන්ගේ දැක්ම හා මතවාද අවංක ව යළි සලකා බැලීමට ඉඩ ලැබේ. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය ගැන පස් වැනි පරිච්ඡේදයෙන් වඩා ගැඹුරින් සාකච්ඡා කරන විට අපට මෙය තවදුරටත් විමසා බැලිය හැකිය. දැනුවත් සංවිචාරණීය කතිකාවකින් තොර හුදු පක්ෂ භජනයෙන් මෙහෙය වෙන ව්‍යවස්ථාදායකයක සාමාජිකයන්ට මහජන ප්‍රජාතන්ත්‍රවාදයක සුජාතභාවයක් නියෝජනය කළ නො හැක්කේ ම ය.  

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වසර 70ක් තිස්සේ අත්දුටු විකෘතිය සහ ඒ පිළිබඳ ව අපේ ඇති කලකිරීම් බොහෝ විට දේශපාලනඥයන්ගේ අකටයුතුකම්වලට ලඝු කිරීමෙන් පිළිබිඹු වන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක් වසයෙන් කෙසේ වෙතත් ප්‍රමිතියක් වසයෙන් අප තවමත් පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් කොට සලකන බවයි. එහෙත් අප අත්දකින ආකාරයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයකට ඒ පරමාදර්ශය අපට අත් කර දිය නො හැකි බව පෙනේ.  

අප නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යැයි හඳුන්වන දෙය ඇත්ත වසයෙන් ම දහඅටවැනි සියවසේ ඥණවිභාගය හා තාක්ෂණය විසින් නිපදවන ලද්දක් බව හෙලන් ලැන්ඩ්මොර් පෙන්වා දෙයි.[18] ඇයට අනුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගොඩ නැගූ සංකල්පයකට වඩා ලිබරල් රිපබ්ලිකන්වරුන් විසින් ගොඩ නගන ලද සංකල්පයක් ලෙස සැලකිය යුතු ය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණ වූයේ පුරවැසියන් සවි බල ගැන්වීමට වඩා කිසියම් පෙළැන්තියක පුද්ගල අයිතීන් තහවුරු කර ගැනීම යි. ඒ අනුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය බලය භාවිත කිරීම සඳහා මහජන කැමැත්ත ලබා ගැනීමක් මිස මහජනයා මඟින් බලය භාවිත කිරීමට දරන ලද වෑයමක් ලෙස නො සැලැකිය යුතු බව ලැන්ඩ්මොර් පෙන්වා දෙයි. එවැනි විකෘති ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයකින් තෝරා පත් වන ප්‍රභූන් විසින් ගනු ලබන තීන්දු මහජන කැමැත්ත ලෙස සැලකීම විහිළුවකි.  

කෙසේ වෙතත් ප්‍රභූවරයන්ගේ සහ ප්‍රභූවරයන් වීමට තැත් කරන අයගේ මැතිවරණ දේශපාලනය පසෙකින් තැබුවොත් පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේ බලාපොරොත්තු මුළුමනින් ම සුන් කර ගැනීමට තව මත් කල් වැඩි ය. මන්ද මහජන සහභාගිත්වය මුල් කරගත් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වැදගත් ආදර්ශ අපට තව මත් සොයා ගත හැකි බැවිනි. විවෘත දේශපාලන කතිකා සඳහා එක්සත් ජනපදයේ පැවැත්වෙන ටවුන් හෝල් රැස්වීම් වැනි බිම් මට්ටමේ කටයුතුවල සිට කලකට පෙර ජාතික මට්ටමෙන් බ්‍රසීලයේ පැවති පොදු ප්‍රතිපත්ති පිළිබඳ ජාතික සමුළු වැනි විවෘත රැස්වීම් දක්වා කටයුතු ඒ සඳහා ඇතැම් උදාහරණයි. සමලිංගික විවාහ හා විසමලිංගික විවාහ එක සමාන කොට සැලැකීම පිළිබඳ පින්ලන්ත වැසියන් දියත් කළ කතිකාව හරහා 2012 දී පින්ලන්ත පාර්ලිමේන්තුව විසින් නව විවාහ නීතියක් සම්මත කරනු ලැබීම තවත් එවැනි උදාහරණයකි. එරට ව්‍යවස්ථාව අනුව රටවැසියන් 50,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකඟ වී යෝජනා කරන පනත් කෙටුම්පතක් පින්ලන්ත පාර්ලිමේන්තුව විසින් අනිවාර්යයෙන් ම සාකච්ඡා කරුණු ලැබිය යුතු වේ.[19]

එතෙක් අපරාධයක් ව පැවති සමලිංගික සම්බන්ධතා නිරපරාධයක් කිරීම පිණිස අයර්ලන්තය ද ඒ හා සමාන ක්‍රමයක් යොදා ගත්තේ ය. ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කුසපත් ඇදීමෙන් හෙවත් සීට්ටු ක්‍රමයට අහඹු (random)ලෙස තෝරා ගත් රටවැසියන් තුනෙන් දෙකකින් සහ නිල පාර්ලිමේන්තු සාමාජිකයන් තුනෙන් එකකින් සමන්විත මහජන සභාවක් කැඳවනු ලැබී ය. දකුණු කොරියානු විධායකයේ බලශක්ති ප්‍රතිපත්තියට විකල්පයක් ඉදිරිපත් කිරීමට දියත් කළ බලශක්තිය පිළිබඳ ජාතික කතිකාවකට අනුව දකුණු කොරියානු රටවැසියන් 2017දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳ නිර්දේශ පාර්ලිමේන්තුවෙන් සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදය විවෘත කිරීම පිළිබඳ තවත් වැදගත් උදාහරණයකි.[20]2017 දී මොන්ගෝලියාව සම්මත කරගත් මහජන මතය පිළිබඳ නව නීතියකට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීමට පෙර ඒ සඳහා අහඹු ලෙස තෝරා ගනු ලබන රටවැසියන්ගෙන් සමන්විත තාවකාලික මහජන කතිකා මණ්ඩපවල නිර්දේශ අවශ්‍ය වේ.[21] එය තරමක් දුරට සමාජ විද්‍යා පර්යේෂකයන් විසින් යොදා ගන්නා කේන්ද්‍රීය කණ්ඩායම් සාකච්ඡා (focus group discussion) ක්‍රමය හා සමාන වේ.

වසර 2019 බෙල්‍ජියමේ ජර්මන් බස කතා කරන ප්‍රජාවේ පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කිරීමේ දී සහාය වීම පිණිස කුසපත් ඇදීමේ ක්‍රමයට අහඹු ලෙස තෝරා ගන්නා රටවැසියන්ගෙන් සමන්විත පුරවැසි කවුන්සලයක් පිහිටුවීමේ යෝජනාවක් සම්මත කර ගන්නා ලදී. එම වසරේ ම දෙමසක් පුරා ප්‍රංශ වැසියන් මිලියන1.5ක ආසන්න පිරිසක් සහභාගි වූ දේශගුණ විපර්යාසය පිළිබඳ මහා කතිකාවක් පැවැත‍්විණි. ඊට අනුපූරකයක් ලෙස ගෝලීය උණුසුම ඉහළ යෑමට සමාජ සාධාරණත්වය මත විසඳුම් නිර්දේශ කිරීම පිණිස අහඹු ක්‍රමයට තෝරා ගත් පුරවැසියන් 150 ස් දෙනෙකුගෙන් සැදුම් ලත් පුරවැසි සම්මේලනයක් (Citizen Convention on Climate Change) කැඳවනු ලැබීය. අයිස්ලන්තයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා කැඳවන ලද ජාතික සමුලුවල බහුතරය තෝරා ගනු ලැබුවේ ද කුසපත් ඇදීමෙනි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලකම් අවම කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එවැනි නවමු අත්හදා බැලීම් ගණනාවක් ලොව පුරා ක්‍රියාත්මක කර තිබේ. මේ පිළිබඳ මීළඟ පරිච්ඡේදවලින් සවිස්තර ව සාකච්ඡා කරමු.

3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරා ගැනීමෙන් නො වේ. බලය අල්ලා ගැනීමේ දේශපාලනය වෙනුවට ‘යුක්තිය අත්පත් කර ගැනීමේ ක්‍රියාකාරී මහජන දේශපාලනයක්’ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීමෙනි. ඒ වැඩපිළිවෙළ තුළ දේශපාලනය පමණක් නො ව නවලිබරල්වාදී ආර්ථික සුසමාදර්ශයෙන් මිදීම ද ඒ සමඟ සාකච්ඡා කළ යුතු ය. මන්ද ඒ දෙක ම අන්‍යෝන්‍ය වසයෙන් ප්‍රතිපෝෂණය වන ප්‍රත්‍යවර්ත්‍ය ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල වන බැවිනි.

කෙසේ වෙතත්  අපට මේ සාකච්ඡාවට පිවිසීමට සිදු වන්නේ ජාතික රාජ්‍ය සන්දර්භයක සිට ය. මන්ද බලය අත්පත් කර ගැනීමේ දේශපාලනය මෙන් ම ආර්ථික සංවර්ධනය පිළිබඳ සංකල්ප ද ඇති වී තිබෙන්නේ ජාතික රාජ්‍ය විශ්ලේෂණ ඒකකය (unit of analysis) ලෙස ගෙන ඇති නිසා ය.  ජාතික රාජ්‍යයේ ‘බලය අත්පත් කර ගැනීම’ යන්න දේශපාලනය සම්බන්ධයෙන් වම සහ දකුණ යන දෙකට ම අයත් දේශපාලන දෘෂ්ටිවාදවල මුඛ්‍ය පරමාර්ථය විය. මේ දෙපාර්ශවය අතරින්,  අල්ලා ගත් බලය යොදා ගත යුත්තේ ධනය සමුච්චයනය වීම මත පදනම් වන ධනවාදී ආර්ථික වර්ධනය පුළුල් කිරීම සඳහා ය යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් දක්ෂිණාංශයට තිබුණි. එහෙත් රාජ්‍ය බලය අල්ලා ගත් පසු තමන් විසින් සිදු කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ විශිෂ්ට අවබෝධයක් වාමාංශිකයන්ට නො තිබුණු බව සමාජවාදය පිළිබඳ ඔවුන් කළ ප්‍රකට අත්හදා බැලීම් අසාර්ථක වීමෙන් පැහැදිලි වේ. බැරි වෙලාවත් ආණ්ඩු බලය ලැබුණොත් කරන්නේ මොනවාද කියා හිතා ගැනීමට අදටත් බොහෝ වාමාංශිකයන්ට නො හැකි බව බොරුවක් නො වේ.

ඒ නිසා රාජ්‍ය බලය අත්පත් කර ගැනීම මුඛ්‍ය කර ගැනීම වෙනුවට “යුක්තිගරුක සමාජයක් ඇති කර ගැනීම” පිණිස පෘථුල සමාජ සහභාගිත්වයක් ඇති කර ගත හැකි දේශපාලනයේ නව සුසමාදර්ශීය වෙනසක් කරා යොමු වීමේ අභියෝගයට අප මුහුණ දිය යුතු ය. එහි දී එම සුසමාදර්ශය මහජන මතය බවට පත් කිරීමේ ළා අප විසින් සලකා බැලිය යුතු මූලික දේශපාලනික ආර්ථික පිළිවෙත් කෙබඳු විය හැකි ද යන්න විමසා බැලීම ද අපේ සාකච්ඡාවේ මුඛ්‍ය කාරණයක්  විය යුතු ය. ඊට හේතුව මෙතෙක් උත්කර්ෂයට නංවන ලද නවලිබරල්වාදී ආර්ථීක ක්‍රමයේ අසාධාරණකම් සහ අසාර්ථක වීම් කලක සිට නිරන්තරයෙන් හෙළිදරව් වෙමින් තිබුණ ද එයට ඵලදායක විකල්පයක් යෝජනා කිරීමේ කටයුත්ත සාකච්ඡාවට ලක් කිරීමට එහි බොහෝ විවේචකයන් තවමත් මැලි වී ඇති බැවිනි.

ඒ අනුව මුලින් ම නව දේශපාලන සුසමාදර්ශයක් ඇති කර ගැනීමේ හැකියාව විමසා බැලීමට ප්‍රවේශයක් ලෙස ප්‍රංශ දාර්ශනිකයෙකු හා දේශපාලන විචාරකයෙකු වන ඇලන් බදියු 2017 දී ඕඩ් ලැන්සෙලින්  සමඟ එක් ව පළ කළ ‘In Praise of Politics’ (‘දේශපාලනය පසසනු වස්’) නම් කෘතියේ ඉදිරිපත් කරන දේශපාලනය වෙනත් ආකාරයකට සංකල්ප ගත කිරීම පිළිබඳ අදහස තවදුරටත් විමසා බැලීම අපට වැදගත් විය හැකි ය. රාජ්‍ය බලය අත්පත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නය මුල් කර ගැනීමක් ලෙස දේශපාලනය උත්කර්ෂණයට නංවනවා වෙනුවට ඇලන් බදියු යෝජනා කරන්නේ දේශපාලනය හා නෛසර්ගික සම්බන්ධයක් ඇති ‘යුක්තිය සාක්ෂාත් කර ගැනීමේ කටයුත්ත’ අප උත්කර්ෂයට නැංවිය යුතු බවයි.[22] දේශපාලනය යන්න නිර්වචනය කිරීමේ දී යුක්තිය යන්න ද නෛසර්ගික ව අන්තර්ගත වන්නේ නම් දේශපාලනය යන්න හුදෙක් බලය අත්පත් කර ගැනීම සඳහා කරන අරගලයක් වසයෙන් තැකිය නො හැකි ය. යුක්තිය යනු සමාජ සාධාරණත්වය යි. බදියුට අනුව ඇත්ත වසයෙන් ම මෙහි දී යුක්තිය සම්බන්ධයෙන් මුඛ්‍ය ප්‍රශ්නය විය යුත්තේ “සාධාරණ බලය යනු කුමක් ද?” යන්නයි. ඒ අනුව දේශපාලනය පිළිබඳ විවාදය හුදෙක් බලය උපයෝගී කර ගැනීම පිළිබඳ කතිකාවකට වඩා බලය සන්නිරීක්ෂණයට ලක් කරන උපමාන ද බලය සහ ප්‍රජාව අතර ඇති සහසම්බන්ධය(correlation) ද දේශපාලන බලයේ අභිමතාර්ථ යුක්ති යුක්ත ව සුජාතකරණය කිරීමේ මහජන සහභාගිත්ව ක්‍රියාන්විතයක් ද පිළිබඳ කතිකාවක් බවට පත් විය යුතු ය.  

අප අත් දකින්නේ මුළුමනින් ම රාජ්‍යයේ බලය කේන්ද්‍ර කර ගැනීම මත මෙහෙයැවෙන දේශපාලනයකි. ඊට විකල්පයක් වන්නේ ප්‍රජා සමූහය සහ එහි සාමාජිකයන්ගේ අභිමතාර්ථ මොනවා ද ඔවුන් අතර තිබිය යුතු සමානාත්මතාව, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස කෙබඳු විය යුතු ද වැනි කරුණු ගැන අවධානය යොමු කරන යුක්තිය කේන්ද්‍ර කරගත් දේශපාලනයකි. මේ දෙක අතර සම්බන්ධතාවක් මෙන් ම ඝට්ටනයක් ද පවතින බව බදියු පෙන්වා දෙයි.[23] යුක්තිය කේන්ද්‍ර කරගත් සහ බලය කේන්ද්‍ර කරගත් දේශපාලනයක් අතර සම්බන්ධතාවක් ඇත්තේ යුක්තිය යන්න රාජ්‍ය නමැති යථාර්ථය කෙරෙහි කිසිදු බලපෑමක් නැති වියුක්ත දෙයක් විය නො හැකි බැවිනි. ඒ නිසා යුක්තිය පිළිබඳ ප්‍රශ්නය බදියු පෙන්වා දෙන අන්දමට අවශ්‍යයෙන්ම ‘යුක්ති සහගත බලය’ පිළිබඳ ප්‍රශ්නයක් බව ද සැලකිය යුතු ය. 

අනෙක් අතට බැලුවොත් ඉතිහාසය පුරාම පෙන්නුම් කර ඇති පරිදි. ඉහත කී සංකල්ප දෙක අතර ගැටුමක් ඇති වීමට හේතුව, යුක්ති සහගත නො වන හැම විට ම දේශපාලන බලය සමාජයේ අවරෝහණය පිළිබඳ කේන්ද්‍රීය සාධකය බවට පත් ව තිබීමයි. ඒ නිසා ජන සමාජය මත යෙදීමට සිදු වන රාජ්‍ය බලය සාධාරණ ව යුක්ති යුක්ත කළ හැකි සහභාගිත්ව දේශපාලනයක් සහිත සමාජ සංස්කෘතියක් බිහි කිරීම අපේ වෑයම විය යුතු ය.

ඒ අනුව අපේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ මධ්‍යගත රාජ්‍ය බලය ශක්තිමත් වීම වළක්වා ඊට විකල්ප ව යුක්තිය කේන්ද්‍ර කොට රාජ්‍ය බලය නිරන්තරයෙන් සන්නිරීක්ෂණය කිරීමට පමණක් නො ව නිවැරදි කිරීමට ද සමත් තිරසාර අන්තර්ග්‍රහනීය (inclusive) මහජන ව්‍යාපාරයක් ගොඩනගා සක්‍රියව පවත්වා ගෙන යෑමයි. එහි දී ලැබිය යුතු සක්‍රිය මහජන දායකත්වය වීදි මට්ටමේ සිට සෘජු ව සහතික කිරීමට හැකි සංවිධාන ව්‍යුහයක් ඇති කර ගත යුතු ය. ඒ අර්ථයෙන් ම රාජ්‍ය පාලනය පිළිබඳ වග වීම ඉල්ලා සිටීමේ සන්නිරීක්ෂණ ක්‍රමවේද  ද බිම් මට්ටම දක්වා විමධ්‍යගත විය යුතු ය. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය නමින් දැනට පවතින විකෘතියට හාත්පසින් ම වෙනස් ව ගොඩ නගන්නේ කෙසේ ද යන්න තවත් දුරටත් විමසා බලමු. 

ප්‍රජාතන්ත්‍රවාදය එහි වර්තමාන විකෘත වීම්වලට වඩා හාත්පසින් ම වෙනස් අන්දමට සංකල්ප ගත කිරීමේ හැකියාවක් ද තිබේ. ග්‍රීක නිරුක්තියට අනුව ප්‍රජාතන්ත්‍රවාදයට කියන ‘ඩිමොක්‍රසි’ යන නම සැදී ඇත්තේ මහජනතාව යන තේරුම ඇති ‘ඩිමොස්’ සහ බලය යන තේරුම ඇති ‘ක්‍රැටෝස්’ යන දෙපද එක්වීමෙනි. ඒ නිසා ග්‍රීක යෙදුම අනුව නිශ්චිතව ම ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජන බලයයි. එහෙත් මහජන නියෝජනය වෙනුවට හුදෙක් මහජන බලය අවධාරණය කිරීම නිසා ඒ අන්දමින් ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගැනීම අනීතිකයැ’යි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරම්බාන අය කියනු ඇත. ඒ කාරණය දිගු කලක් තිස්සේ විවාදයට ලක් වූවකි. ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් පාර්ලිමේන්තුව මඟින් කෙරෙන නියෝජනය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සැලැකීම අයුතු බව 18 වැනි සියවසේ විසූ ප්‍රකට ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ජීන් ජැක් රූසෝ පළ කළේ ය. ඔහුගේ විචාරයට අනුව කිසියම් කාලපරිච්ඡේදයකට වරක් තෝරා පත් කරන නියෝජිතයන් අතින් සිදු වන්නේ තමන් අභිමත දෙයක් කිරීමත් ඒ කාලය තුළ මහජනතාවට බොරු දෙසා බෑමත් පමණි.  

“පැරණි සමූහාණ්ඩුවල මහජනතාවට නියෝජිතයෝ නො සිටියහ. මිනිස්සු තමන් ව නියෝජනය කිරීමට ඉඩ දුන් මොහොතේ සිට තම නිදහස නැති කර ගත්තෝ ය” යනුවෙන් ද රූසෝ සිය ප්‍රකට Social Contract කෘතියේ ලීවේය.[24]එනිසා ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය අප භාවිත කරන්නේ නම් ඒ මඟින් නිශ්චිතව ම අදහස් කරන්නේ කුමක් ද යන්න ද පැවසිය යුතු ය. වඩාත් පැහැදිලිව කිව හොත් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප අදහස් කරන්නේ මැතිවරණය හා නියෝජනය පාදක කරගත් රාජ්‍ය බලයට යටත් වූ ක්‍රමයක් ද නැතහොත් නියෝජන ක්‍රමවල ඇති දුර්වලකම් අවම කරන සුවිශේෂ කරුණු කාරණා සම්බන්ධයෙන් මහජන කැමැත්ත ප්‍රකාශ කළ හැකි විවෘත මහජන සංවිචාරණය (deliberation) මත පදනම් වූ ක්‍රමයක් ද යන්නයි. 

ප්‍රජාතන්ත්‍රවාදය සුජාතකරණය කිරීම සඳහා බොහෝ විට යොදා ගන්නා මූලධර්මය වන්නේ කිසියම් කණ්ඩායමක් විසින් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලැබීම  අනුමත කළ හැකි වන්නේ ඒ සඳහා එම බලයට නතු වන සමාජයේ සාමාජිකයන්ගෙන් ලැබෙන සාමූහික අනුමැතියක් මත පමණක් ය යන අදහසයි. ඒ අනුව මැතිවරණ පවත්වන්නේ එකී ජනතා අනුමැතිය ලබා දීමට ය. මැතිවරණයක දී අන් අපේක්ෂකයන් අබිබවා  වැඩි කැමැත්ත දිනා ගන්නා අපේක්ෂකයන් මහජන නියෝජිතයන් වසයෙන් සැලකේ. ඔවුහු ජන සමාජයේ සාමූහික අධිකාරය සංකේතවත් කරන මන්ත්‍රණ සභාවක රැස් වී මහජනතාව වෙනුවෙන් රාජ්‍ය විචාරණය පිළිබඳ  කරුණු කාරණා පොදු යහපත මුල් කර ගනිමින් සාකච්ඡාවට ලක් කරති. එසේ මහජන නියෝජිතයන් විසින් සාකච්ඡා කොට වැඩි ඡන්දයෙන් එළඹ ගත් තීන්දු තීරණ අනුව රාජ්‍ය බලය පරිශීලනය කළ යුතු ය. මෙය පරමාදර්ශීය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සැලකිය හැකි ය.

එහෙත් ‘නියෝජනය’ නමැති සංකල්පයේ ඉතිහාසය විමසන විට එයට ම ආවේණික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නොමැති බව පමණක් නො ව කිසියම් අවදියක දී ඒ අදහස් දෙක එකිනෙකට පටහැණි ව යෙදුණු බව මොනිකා බ්‍රිටෝ වේරා හා ඩේවිඩ් රන්සිමාන් පෙන්වා දෙති.[25] ඔවුන් පෙන්වා දෙන පරිදි නියෝජනය යන යෙදුමට  දේශපාලනික තේරුමක් ලබා දිය හැකි භාවිතයක් යුරෝපයේ උද්ගත වූයේ 13 වන සිය වසේ දී පමණ ය. එකල නියෝජනය යනුවෙන් තේරුම් ගනු ලැබුවේ පාලකයා, එනම් රජු ජනතාව නියෝජනය කරන බවයි.  ඒ අනුව රජතුමා වනාහි ජනතාව වෙනුවෙන් කටයුතු ඉටු කරන සහ ජනතාව මූර්තිමත් කරන ජනතා සංකේතයයි. ‘නියෝජනය’ යන්න මෙහි දී තේරුම් කරනු ලැබුවේ පුරවැසියන් තම අදහස් ඔවුන්ගේ රජතුමාට ප්‍රකාශ කරන මාර්ගයක් ලෙස නො ව නව අය බදු සඳහා රජතුමා විසින් වැඩ වසම්  ප්‍රභූ පෙළැන්තියේ එකඟත්වය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ය. ඒ අනුව ඒ අවධියේ දී නියෝජනය යන්න යොදා ගන්නා ලද්දේ ප්‍රභූ බලය භාවිත කිරීමේ ක්‍රමයක් ලෙස මිස ප්‍රභූ බලය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස නො වේ.   

ඇතැම් විචාරකයන්ට අනුව වෙනත් අය වෙනුවෙන් පෙනී සිටීම නියෝජනය වසයෙන් පිළිගැනීම රෝම නීතියේ එන මූලධර්ම දෙකකින් උද්ගත වූවකි.[26]‘ප්ලීනා පොටෙස්ටාස්’ (plena potestas) නමින් හැඳින්වෙන පළමු මූලධර්මය වන්නේ ‘ප්‍රොක්ටර්වරයෙකු’ හෙවත් නියෝජිතයෙකු ලවා තමුන් ව නියෝජනය කරවා ගැනීමට කිසියම් පුද්ගලයෙකු හෝ සාමුහිකයක් එකඟ වීම යි. ඒ අනුව ඔවුන් වෙනුවෙන් එකී ප්‍රොක්ටර්වරයා විසින් පොරොන්දු වනු ලබන දේවල් ඉටු කිරීමට ඒ පුද්ගලයා හෝ සාමූහිකය අනිවාර්යයෙන් ම බැඳී සිටි. ‘ක්වොඩ් ඔම්නෙස් ටැන්ජිට්’ ‘Quod omnes tangit’, යන ආප්තයෙන් හැඳින්වෙන දෙවැනි මූලධර්මය අනුව කිසියම් සමූහයක සියලු සාමාජිකයන්ගේ  බැඳියාවලට බලපාන ඕනෑ ම කාරණයක් ඒ සමූහය විසින් සියල්ලන් වෙනුවෙන් ම කටයුතු කිරීමට බලය පවරන ලද නියෝජිතයන් මඟින් අනුමත කළ යුතු ය.[27] 

එංගලන්තයේ පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹෙන මුල් අවධියේ නියෝජනය පිළිබඳ අදහස භාවිත වූයේ රජුගේ පාලන බලය අර්ථවත් ලෙස සීමා කිරීමේ සංකල්පයක් ලෙස නො වේ. ඒ වෙනුවට ඇත්ත වසයෙන් ම සිදු වූයේ රජුගේ අධිකාරි බලයේ මෙවලමක් ලෙස පාර්ලිමේන්තුව භාවිත කොට රජුට වාසිදායක වන ලෙස ආණ්ඩුවේ නව විධිවිධාන සහ මූල්‍යමය අවශ්‍යතා සඳහා පාර්ලිමේන්තුවේ මනාපය ලබාගැනීම යි. මේ අනුව නියෝජන ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ භූමිකාව වූයේ ආණ්ඩුවේ මධ්‍යගත තීරණ ප්‍රාදේශික මට්ටමින් ද ඉටු වන බවට වග බලා ගනිමින් ඒවාට මනාපය සහතික කිරීම මිස රාජ්‍ය බලය යෙදිය යුතු ආකාරය පිළිබඳ ව රජු හා කේවල් කිරීම නො වේ. 

දාහත්වැනි සිය වස වන විටත් ‘නියෝජනය’ යන්න භාවිත වූයේ හුදෙක් කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින්නෙකු යන තේරුමෙන් මිස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වැදගත් සංකල්පයක් වසයෙන් නො වේ. සාමාන්‍යයෙන් එකල ප්‍රජාතන්ත්‍රවාදය සැලකුණේ රාජතාන්ත්‍රික, ප්‍රභූතාන්ත්‍රික සහ ප්‍රජාතාන්ත්‍රික යන අංග තුනෙන් ම සමන්විත අස්ථිර ආණ්ඩුක්‍රමයක් ලෙස ය.[28] නියෝජනය යන්නෙන් ඒ වන විට අදහස් වුණේ කතිකා කොට ඥානාන්විත තීරණ ගැණීම  සඳහා ප්‍රභූ පෙළැන්තිය විසින් යොදා ගනු ලබන ක්‍රමවේදයක් ලෙස ය.  

මේ නිසා පැරණි පාර්ලිමේන්තුව යනු මහජනයා හමුවේ රජු නියෝජනය කිරීම පිණිස සැකසුණ ආයතනයක් මිස රජු හමුවේ මහජනයා නියෝජනය කිරීම පිණිස සැකසුණු ආයතනයක් නො වීය.[29]අද්‍යතන ව්‍යවහාරයකින් කිව හොත් එකල පාර්ලිමේන්තු ක්‍රමය යනු කිරීටයේ පණිවුඩය ප්‍රකාශයට පත් කිරීමට යොදා ගත් මෙවලමයි. එහෙත් ඒ අතරම පාර්ලිමේන්තු මඟින් වෙනත් කටයුතු ද ඉටු විය. විශේෂයෙන් යුද්ධයක් වැනි අවස්ථාවක ඒ සඳහා සහයෝගය ලබා දීමට බැඳී සිටින අයගෙන් සහයෝගය ඉල්ලා සිටීම රජතුමාගේ වගකීමකි යන වැඩ වසම් සංකල්පය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව යෙදා ගැණිනි.[30] ඒ අතර ම මධ්‍ය කාලීන එංගලන්තයේ රජතුමා විසින් පිරිනමන ලද සංස්ථාපිත අනන්‍යතාවයක් සහිත කවුන්ටි, සුලු නගර සභා, කෝරල සහ නගරසභා ආදී විවිධාකාර ස්වයංපාලන ප්‍රජා ඒකක ප්‍රාදේශීය මට්ටමෙන් බිහි වීම වැඩි වෙමින් තිබුණි. ඒ නිසා ජාතික මට්ටමේ කරුණු සම්බන්ධයෙන් මනාපය ලබා දීම පිණිස ඒවාට නියෝජනය ලබා දිය යුතු ය යන අදහස ද  පාර්ලිමේන්තුවේ භූමිකාව පුළුල් කිරීමට හේතු විය. 

ඒ හැර රජු සහ රාජකීය උපදේශක මණ්ඩලයේ අවධානය සඳහා දුක්ගැනවිලි යොමු කිරීම පිණිස පෙත්සම් ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස ද පාර්ලිමේන්තුව වැදගත් විය.  මෙම පෙත්සම් පාර්ලිමේන්තුව හරහා පැමිණිය යුතු විය. ඇතැම් රාජකීය ප්‍රතිපත්තිවල ඇති දෝෂ පෙන්වා දෙමින් නයිට්වරු සහ නාගරික පුරවැසියන් සාමූහික ව ඉදිරිපත් කළ පෙත්සම් නිසා කිසියම් දුරකට පාර්ලිමේන්තුව රාජ්‍ය විචාරණය පිළිබඳ විවේචන ඉදිරිපත් වන තැනක් බවට ද අනුක්‍රමයෙන් පත් විය. පාර්ලිමේන්තුව කිරීටය නියෝජනය කිරීමේ නෂ්ටාවශේෂ රාජාසන කතාවේ සිට මහජන පෙත්සම්  කාරක සභාව දක්වා අද ද දැක ගන්නට ලැබේ.   

කෙසේ වෙතත් නූතන පාර්ලිමේන්තු තුළ දේශපාලන පක්ෂ ක්‍රමය අනුව කටයුතු ඉටු කිරීමේ දී මහජන නියෝජිතයන්ගේ නියෝජන භූමිකාව එම පක්ෂවල දේශපාලන දෘෂ්ටිවාදය විසින් නියම කරනු ලබන ප්‍රමාණයට සීමා වෙයි. මේ නිසා ඇත්ත වසයෙන් ම සිදු වන්නේ ඡන්දදායකයන් නියෝජනය කිරීම පිණිස මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමකට වඩා ඉදිරිපත් ව ඇති අපේක්ෂකයින් විසින් නියෝජනය කරනු ලබන සීමිත දෘෂ්ටිවාද සංඛ්‍යාවක් අතරෙන් තමන් විසින් තෝරා ගනු ලැබිය යුතු කුමන දෘෂ්ටිවාදය දැ’යි තීරණය කිරීමට ඡන්දදායකයාට සිදුවීමයි.  ඉතින් එය ඡන්දදායකයන් නියෝජනය වන ප්‍රජාතන්ත්‍රවාදයක් වන්නේ කෙසේ ද?

ඒ නිසා දේශපාලනික නියෝජනය නිරායාසයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වේ යැ‘යි සිතීම වැරදි ය. එහෙත් හැම ප්‍රජාතන්ත්‍රවාදයක් ම වාගේ කිසියම් ආකාරයක නියෝජනයක් මත යැපෙන අතර හැම නියෝජන ක්‍රමයකට ම ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග නිරූපණය කිරීමේ විභවය පවතින බව ද සැබෑවකි. එබැවින් මැතිවරණයෙන් නියෝජිතයන් තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය වසයෙන් සැලැකීම ඉක්මවා යන දේශපාලන කතිකාවක් අපට අවශ්‍ය ය. 

පැරණි ග්‍රීසියේ පැවති පෞර ආණ්ඩුක්‍රම අතරින් ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගත්තේ ස්පාටා නුවර පැවති ආණ්ඩුක්‍රමය යටතේ පමණි. එහෙත් ඇතන්ස් නුවර වැසියෝ එය සැලකුවේ කතිපයාධිපත්‍යයේ ම හෙවත් කුඩා බල කණ්ඩායමක් විසින් ආණ්ඩු බලය අල්ලා ගැනීමේ සටකපටකමක් ලෙස ය. ඇතන්ස් නුවර පැවතුණේ ඊට වඩා හාත්පසින් ම වෙනස් ක්‍රමයකි. එහි දී සිදු වුණේ දේශපාලන නිලතල සඳහා අවශ්‍ය කරන පුද්ගලයන් කුසපත් ඇදීම මඟින් තෝරා ගැනීම යි. තනතුරුවලට පත් කිරීමට පෙර කුසපත් ඇදීමෙන් තේරුණු පුද්ගලයන්ගේ පුරවැසිභාවය සහ චර්යාව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයන් නව දෙනෙකුගෙන් යුත් අධිකරණයක් ඉදිරියේ විනිශ්චයට ලක් වේ. ඒ හැර තනතුරට පත්වීමෙන් පසුව ද ඕනෑම පුරවැසියෙකුට එසේ පත් වූ අයගේ චර්යාව ගැන අධිකරණයක දී අභියෝග කළ හැකි ය. එසේ කුසපත් ඇදීමෙන් තෝරා ගත් පුද්ගලයන් අයථා ක්‍රමවලින් මුදල් උපයා ඇත් දැ’යි සොයා බැලීම පිණිස ඔවුන්ගේ ගිණුම් වාර්ෂික ව විගණනයට ලක් කෙරේ. 

ඇතන්ස් නුවර පැවති කුසපත් ඇදීමෙන් පාලන තනතුරුවලට තෝරා ගැනීමේ ක්‍රමය පුරවැසි සමානාත්මතාව යන සංකල්පය මත ඇති වූවකි.[31]අද පවා ස්වාධීන අධිකරණවල දී ‘සමානයන් විසින් විනිශ්චයට භාජනය කරනු ලැබීම’ යන සිද්ධාන්තය මත ජූරි සභිකයන් තෝරනු ලබන්නේ මෙකී කුසපත් ඇදීමේ ක්‍රමයට ය. මෙසේ කුසපත් ඇදීමේ ක්‍රමය මඟින් දේශපාලන නිලතලවලට පුද්ගලයින් තෝරා ගැනීම නිසා ධනය, ආගම, කුලය හා ජනවර්ගය, බලවත්කම, කල්ලිවාදය වැනි සාධක මත දේශපාලන බලය අත්පත් කර ගැනීම අසීරු ය.

12 හා 13 වැනි සියවස්වල ඉතාලියේ popolo නමින් හැඳින්වුණු නාගරික කොමියුන පාලන තන්ත්‍රයේ ද පාලනාධිකාරිය තෝරා ගනු ලැබුවේ ද කුසපත් ඇදීමේ ක්‍රමයෙනි. වැඩ වසම් රදල- ප්‍රවේණි දාස ක්‍රමය ගරාවැටීමත් සමඟ නිදහස් නගර ඇතිවීමත් වෙළඳ ශ්‍රේණිවල පාලනයට එම නගර නතු වීමත් සමඟ එසේ කුසපත් ඇදීමේ ක්‍රමය නගර පාලනාධිකාරිය තෝරා ගැනීමට බොහෝ සේ යොදා ගැණිනි. වැඩ වසම් ක්‍රමය පවත්වා ගනිමින් පරවේණියට අනුව තවදුරටත් රදල පෙළැන්තියට බලය ලබා දීම වැළැක්වීම සඳහා වාණිජ ශ්‍රේණිවල මෙහෙයවීමෙන් කුසපත් ඇදීමේ ක්‍රමය යොදා ගැනිණි. ෆ්ලොරන්ස් සහ වැනීසිය වැනි නගරවල පාලනාධිකාරිය පත් කර ගැනීමට කුසපත් ඇදීම යොදා ගත් බව කුසපත් ඇදීමේ දේශපාලනික විභවය විචාරයට ලක් කරමින් The Political Potential of Sortition නම් කෘතිය ලියූ ඔලිවර් ඩොව්ලන් පැහැදිලි කරයි.[32]

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලියමින් තෝමස් පේන් සිය Common Sense නමැති කෘතියෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා ගැනීම පිණිස ද කුසපත් ඇදීමේ ක්‍රමය යොදා ගත යුතු බව යෝජනා කළේ ය. ඔහු කළ යෝජනාවට අනුව එක්සත් ජනපද ෆෙඩරල් රාජ්‍යයේ සාමාජික ජනපද 13 න් හැම එකක් ම දිස්ත්‍රික්ක 30 ක් බැගින් වූ ඡන්ද කොට්ඨාසවලට වෙන් කොට ඒවා නියෝජනය කිරීමට නියෝජිතයන් පත් කළ යුතු ය. අනතුරු ව ජනාධිපති ධුරය හිමි වන්නේ කිනම් ජනපදයකට යන්න කුසපත් ඇදීම මඟින් තෝරා ගත යුතු ය. ඉන් පසු එම ජනපදයට අයත් නියෝජිතයන් පමණක් ඔවුන් අතරෙන් ජනාධිපති තනතුරට පත් කළ යුතු තැනැත්තා ඡන්දයකින් තෝරා ගත යුතු ය. මේ යෝජනාව අනුව ජනාධිපතිගේ ධුර කාලය වසරකට සීමා වෙන අතර එම වසර අවසානයේ ඊ ළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා කුසපත් ඇදීමේ දී ජනපද 13 ට ම අවස්ථාව ලැබෙන තෙක් ඊට පෙර ජනාධිපතිවරුන් පත් වූ ජනපදවලට කුසපත් ඇදීමට සහභාගි විය නො හැකි ය. මේ ක්‍රමය මඟින් අනෙක් ජනපද අබිබවා එක් ජනපදයක් බලසම්පන්න වීම වැළකෙන බවත් ෆෙඩරල් ක්‍රමය තුළ සියලු ජනපද ඒකාග්‍රවී කටයුතු කිරීමට පෙලඹෙන බවත් පේන් විශ්වාස කළේ ය.

ඇමෙරිකානු යුද හමුදාව පිහිටුවීමේ ක්‍රමය සම්බන්ධයෙන් 1780 දී තෝමස් පේන් කළ යෝජනාවට ද කුසපත් ඇදීමේ ක්‍රමය යොදා ගෙන තිබුණි. ඒ අනුව එක් හමුදා භටයෙකු තෝරා ගැනීම පිණිස එක කණ්ඩායමකට තිහක් බැගින් වූ කණ්ඩායම්වලට සියලු වැඩිහිටියන් වර්ග කළ යුතු ය. ඉන් අනතුරුව එකී තිස් දෙනා අතරින් කුසපත් ඇදීමේ ක්‍රමයට එක් තැනැත්තෙකු හමුදා භටයා ලෙස තෝරා ගත යුත්තේ ය. එහෙත් ඉතිරි 29 දෙනා සිය හමුදා භටයාගේ බරපැන දැරීමට සහ උපකරණ මිලට ගැනීමට වියදම සම සම ව දැරිය යුතු ය. 

ප්‍රංශ විප්ලවයට පසු 1792දී කුසපත් ඇදීමේ ක්‍රමයක් මත දේශපාලනඥයන් තෝරා ගැනීමෙ ක්‍රමයක් ප්‍රංශ ව්‍යවස්ථා සම්පාදන සාකච්ඡාවේ දී තියඩෝර් ලෙසූර් (Theodore Lesueur) විසින් යෝජනා කරන ලදී. වඩා මෑතක 2007 දී ප්‍රංශ ජනාධිපතිවරණයට සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වූ සෙගොලින් රෝයාල් මහත් උද්‍යෝගයකින් ප්‍රවර්ධනය කළ ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයට’ අනුව ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා නියෝජිතයන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම පිණිස කුසපත් ඇදීම මඟින් තෝරා ගන්නා ස්වාධීන පුරවැසි කමිටු පිහිටුවීමේ පොරොන්දුවක් ඇගේ මැතිවරණ ප්‍රකාශයට අඩංගු කළා ය. 

කුසපත් ඇදීමේ ක්‍රමය මඟින් බොහෝ විට වැළැක්වීමට තැත් කර තිබෙන්නේ අද අප නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වන ක්‍රමය නිසා ඇති වන විකෘතිය බව පැහැදිලි ය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඇති වන විකෘති අවම කිරීම සඳහා එකක් නියෝජන ක්‍රමය යටතේ ද අනෙක කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ ද පත් කෙරෙන ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායක ක්‍රමයක් ජෝන් ගැස්ටිල් සහ එරික් ඔලින් රයිට් වැනි විචාරකයෝ යෝජනා කරති.[33]ඔවුන් යෝජනා කරන අන්දමට මණ්ඩල දෙකට ම එක සමාන ව නීති සම්පාදන බලය ලැබෙන අතර එසේ සම්පාදනය වන නීති කෙටුම්පත් මණ්ඩල දෙකේ ම වැඩි ඡන්දයෙන් අනුමත විය යුතු ය. මැතිවරණවලින් නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ දී මතවාදී  හා පංතිමය ළැදිකමට සහ මුදල් බලයට අවනත වීමට ඇති ඉඩ කඩ වැඩිය. එහෙත් කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ ව්‍යවස්ථාදායක සභිකයන් තෝරා ගැනීමේ දී ඒ ඉඩ කඩ සීමා වෙයි. කුසපත් ඇදීමේ ක්‍රමය නිසා නුසුදුස්සන් තේරීම වැළැක්වීමට පැරණි ඇතන්ස් ප්‍රජාතන්ත්‍රවාදයේ දී මෙන් නුසුදුස්සන් අභියෝගයට ලක් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය හැකි ය. කුසපත් ක්‍රමය යටතේ තේරීමේ දී මුදල් බලය මෙන් ම පක්ෂග්‍රාහී ජනමාධ්‍ය මඟින් ද බලපෑමක් කළ නො හැකි ය.  මැතිවරණයක දී නැවත තරඟ කොට ජය ගැනීමේ අවශ්‍යතාව නිසා ඇති වන පීඩනය සහ පක්ෂ විනයකට යටත් වීමේ අවශ්‍යතාව කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ අදාළ නො වේ. එනිසා අවශ්‍ය තොරතුරු සහ දැනුම සැපයෙන්නේ නම් කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ පත් වන මන්ත්‍රණ සභාවකට සාම්ප්‍රදායික පක්ෂ විභජනය අබිබවමින් විවෘත මනසකින් යුක්ත ව අදාළ කරුණු සාකච්ඡා කළ හැකි විය යුතු ය.

ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය වේදිකාවක් පවතින විට අදාළ ගැටලු ගැන හෘදයංගම මහජන කතිකාවකට මැදිහත් වීමට කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ පත් වන මන්ත්‍රණ සභිකයන්ට වැඩි හැකියාවක් ලැබේ. ඒ හැර දේශපාලන පක්ෂවල ධුරාවලිය විසින් පනවනු ලබන සීමා නොමැති බැවින් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට මහජනතාව සමඟ විවෘත ව අදහස් හුවමාරු කර ගත හැකි ය. එහෙත් කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ පත් වන සභිකයන්ගේ කාර්ය සඵලතාව අසතුටුදායක නම් ඔවුන් ආපසු කැඳවීමේ හැකියාව මහජනතාවට තිබිය යුතු ය. කෙසේ වෙතත් කුසපත් ඇදීමේ ක්‍රමය යොදා ගැනීමේ දී වැදගත් ම කාරණය වන්නේ පොදු මහජනතාව සක්‍රිය දේශපාලනයේ නිරත කර ගැනීමට හැකි ස්වාධීන මහජන සංවිධාන හා ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය වාතාවරණයක් නිරන්තරයෙන් පවත්වා ගෙන යෑමයි. 

ඒ හැර ආණ්ඩු බලය මහජනයා විසින් විවෘත ව භාවිත කිරීම පිණිස යොදා ගත් විවිධ ක්‍රම පිළිබඳ සාර්ථක උදාහරණ කිහිපයක් ම පෙර අපර දෙ දිගින් ම දැකිය හැකි ය. උදාහරණයක් ලෙස 2017 දී දකුණු කොරියාවේ ජනාධිපති විසින් ප්‍රකාශ කළ බලශක්ති සැපයුම සඳහා න්‍යෂ්ටික බලය යොදා ගැනීම වහා ම අත්හිටවීමේ ප්‍රතිපත්තිය පුරවැසියන්ගේ සංවිචාරණීය මත විමසුමක (deliberative opinion poll) ප්‍රතිඵල අනුව වෙනස් කිරීමට රජයට සිදු විය. මේ සඳහා කොරියානු ජනාධිපති මූන්ග්ගේ රජය අහඹු ලෙස (random) තෝරා ගත් පුරවැසියන් 500 දෙනෙකුට න්‍යෂ්ටික බලයට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම්වලට කන්දීමටත් න්‍යෂ්ටික බලයේ ආරක්ෂාව හා බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ විශේෂඥයන්ගේ ඉදිරිපත් කිරීම් සාකච්ඡා කිරීමටත් අවස්ථාව සැලසූහ. මෙම කතිකාව පුරා මාසයක් තිස්සේ පැවතුණ අතර ඉන් දෙමසකින් තව දුරටත් ඒ ගැන කරුණු කාරණා තක්සේරු කර බැලීමට එකී පුරවැසියන්ට අවස්ථාව ලැබුණු පසු අවසාන මත විමසුමට කැඳවන ලදී. ඒ සඳහා එකී පුරවැසි කණ්ඩායමෙන් 471ක් දෙනෙක් සහභාගි වූහ. විවාදයේ මූලික කාරණය වී තිබුණේ දැනට මත් සැලකිය යුතු ආයෝජනයක් කර ඇති පරමාණු බලාගාර දෙකේ ඉතිරි කටයුතු නිම කර ප්‍රයෝජනයට ගැනීම ද නැතහොත් ජනාධිපති මූන්ග් විසින් යෝජනා කළ පරිදි න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම වහා ම නතර කළ යුතු ද යන්නයි. දැනට මත් සිදු කර ඇති ආයෝජනය සහ ආරක්ෂාකාරී න්‍යෂ්ටික බලය බලශක්ති ප්‍රභවයක් ලෙස ඛනිජ තෙල් යොදා ගැනීමට වඩා පරිසරයට හිතකර වේ යන මතය අනුව පුරවැසි කණ්ඩායමෙන් 59% ක් ජනාධිපතිවරයාගේ යෝජනාවට  පටහැණි ව  න්‍යෂ්ටික බලාගාර දෙකේ වැඩ කටයුතු වහාම අත්හිටු වීම ප්‍රතික්ෂේප කළහ.  

ගබ්සා කිරීම අපරාධයක් කොට සැලකීම අවසාන කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අයර්ලන්තය කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගත් පුරවැසියන් 99 දෙනෙකුගෙන් යුත් පුරවැසි කතිකා පර්ෂදයක් කැඳවීය. එහි දී සාකච්ඡා කොට සම්මත කරගත් නිර්දේශ 2018 මැයි මාසයේ අයර්ලන්තයේ පැවති  ජනමත විචාරණයකින් වලංගු කරන ලදී.[34] මේ පුරවැසි කතිකා මත විමසුම්වලට අහඹු ලෙස පත් කරගත් පුරවැසියන් අතරට තේරී  සිටියේ වෘත්තීය දේශපාලනඥයෝ නො ව සාමාන්‍ය පුරවැසියෝ ය. එහි මුලසුන දැරුවේ කාන්තාවකි.  

ඉහත සඳහන් විධික්‍රම හැරෙන විට නියෝජිතයන් විරහිත ව විවෘත සහභාගිත්වය ප්‍රමුඛ කොට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන නොයෙක් අවස්ථා ද තිබේ. එවැනි අවස්ථා වැඩවර්ජන වැනි කාර්මික අරගලවලට සහභාගි වීම සම්බන්ධයෙන් සාමූහික තීරණ ගැනීමේ දී මෙන් ම ඉන්දියාවේ දූෂණ විරෝධීන් අන්නා හසාරේගේ ජන් ලොක්පාල් ආන්දෝලන ව්‍යාපාරයේ මුල් කාලයේ දී තමන්ගේ ම වූ දූෂණ විරෝධි පනතක් සම්මත කර ගැනීමට ගත් වෑයමේ දී ද, නිව්යෝර්ක් නුවර ටයිම් චතුරශ්‍රයේ පැවති ‘අත්පත් කර ගැනීමේ’ (Occupy Now!)වැනි උද්ඝෝෂණවල දී ද අපි දුටුවෙමු. එවැනි දැවැන්ත මහජන ව්‍යාපාර තම කටයුතු මැතිවරණ පාදක කරගත් මහජන නියෝජිතයන්ට ස්ථිරව ම පවරන්නේ නැත. එවැනි ව්‍යාපාරවල දෘෂ්ටිවාදී හා ප්‍රායෝගික කටයුතු මහජනතාව එක් රැස් වෙන විවිධ මට්ටමේ විවෘත රැස්වීම්වල දී ද එවැනි රැස්වීම්වල ගනු ලබන තීරණ අනුව පිහිටුවන කණ්ඩායම් රැස්වීම්වල දී ද මහජන විශ්වාසය දිනා ගත් කථිකයන් හා නායකයන්ගේ මෙහෙයවීමෙන් තීරණය වේ. ඒ  කථිකයන් හා නායකයන් කෙරෙහි මහජනතාව විශ්වාසය තබන්නේ ඔවුන්ගේ සදාචාරාත්මක චර්යාව පිළිබඳ ව ඇති පැහැදීම, ඔවුන්ගේ නිපුණ බව සහ අවබෝධය පිළිබඳ ඇති පිළිගැනීම මත මිස ඔවුන් කිසියම් මහජන නියෝජන විධික්‍රමයකට අනුගත වීම නිසා නො වේ. ඒ නිසා ම එකී නායකයන් අතින් තම සදාචාරාත්මක බව හා පොදු යහපත සම්බන්ධයෙන් ඇති කැපවීම නිරන්තර ව නිරූපණය විය යුතු ය.

අද අප අත් දකින ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නො වන බව බොහෝ අය. පිළිගන්නා කරුණකි. යථා ලෝකයේ දී දේශපාලනික සහ ආර්ථික මෙහෙයවීම් කටයුතු පිළිබඳ ඇත්ත තීරකයන් වන්නේ ආණ්ඩු කිරීමේ දී මහජනතාව නියෝජනය කිරීම පිණිස යැ’යි අදහමින් තෝරා පත්කර ගන්නා අය ම දැ’යි අපට නිශ්චිත ව කිව නො හැකි ය. බොහෝ විට අපේ ඡන්දයෙන් පත් වන ඊනියා නියෝජිතයන්ට සිදු වන්නේ තමන්ට වඩා බෙහෙවින් බලගතු කොටස්වල අභිප්‍රායන්ට අවනත වීම යි. උදාහරණයක් වසයෙන් බහුජාතික සමාගම්වල විධායකයන් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන් මහජන ඡන්දයෙන් පත් වන අය නො වේ. එහෙත් තම කොටස්කරුවන් වෙනුවෙන් කිසිදු මහජන නියෝජන සභාවකට නැති අන්දමින් ආණ්ඩු මෙහෙයවීමේ හැකියාවක් ඔවුන්ට ඇත්තේ ය. 

වර්තමාන ආර්ථිකය හා මූල්‍ය ගනුදෙනු පිළිබඳ කරුණු කාරණා සාමාන්‍ය මහජන නියෝජිතයන්ට නො තේරෙන තරම් සංකීර්ණ කර ඇති බැවින් ඒ සඳහා මහජන නියෝජිතයන් බොහෝ විට මැදිහත් වන්නේ හුදෙක් ප්‍රදර්ශනය සඳහා මිස ඇත්ත වසයෙන් ම මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සඳහා නො වේ. එවැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ඔය කියන මහජන නියෝජිතයන්ට කිසිදු බලයක් නැත. ඒවා තීරණය කරන්නේ භූ දේශපාලනයේ බලගතු පාර්ශවකරුවන්, බහුජාතික සමාගම් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන්, ව්‍යවසායක පැලැන්තිය, බැංකු, මුදල් විශුද්ධිකරුවන්, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් සහ ඉහළ පරිපාලකයන් යනාදීන්ගේ අවශ්‍යතා අනුව ය. ඒ නිසා ආණ්ඩුකරණය සම්බන්ධ සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරී සහභාගිත්වය වසර පහකට හෝ හතරකට වරක් පැවැත්වෙන මැතිවරණයකට සීමා වෙයි. ඒ අනුව ඇත්ත වසයෙන් ම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු වෙනත් තැනක සිට රාජ්‍ය බලය හොබවන අය විසින් ගනු ලබන තීන්දු තීරණවලට අනුගත වීම සඳහා සකසා ගත් ක්‍රමයකි. 

ඒ නිසා බදියු පෙන්වා දෙන්නේ කලින් කලට මැතිවරණ මඟින් පත් කෙරෙන රාජ්‍ය මූලික තෝරා පත් කිරීම් මත රැඳෙනු වෙනුවට සුවිශේෂ ආර්ථික, දේශපාලනික හා සමාජීය කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම පිණිස රට වැසියන්ගේ චින්තන ක්‍රියාවලිය හා සෘජු ලෙස අනුබද්ධ වන ක්‍රියාශීලී බිම් මට්ටමේ මහජන සහභාගිත්ව ක්‍රමයක් උපයෝගී කර ගත යුතු බවයි. කුසපත් ඇදීමෙන් අහඹු ක්‍රමයට තෝරා ගත් රටවැසියන් ප්‍රමුඛ කොට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම පිළිබඳව හයවැනි පරිච්ඡේදයේ දී සාකච්ඡා කරන විට බදියුගේ මේ අදහස මතක තබා ගැනීම වටී.  බදියු අදහස් කරන අන්දමට එවැනි ජන සහභාගිත්ව දේශපාලනයක් සංකල්ප ගත කිරීමේ දී එම ක්‍රමය රාජ්‍ය සමඟ වහාම සම්බන්ධ වන ආකාරය ගැන වද වීමට අවශ්‍ය නො වේ. මන්ද වැඩි අවධානයක්  රාජ්‍ය සඳහා යොදන විට සිදු විය හැක්කේ දේශපාලනය හුදෙක් රාජ්‍ය බලය අල්ලා ගැනීමකට සීමා වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ බලය නැති බැවින් රාජ්‍ය බලය අල්ලා ගැනීමකින් තොර ව අපට කිසිවක් කළ නො හැකි ය යන හැඟීම ඇතිවීමයි.  

එහෙත් එය එසේ වීම අවශ්‍ය නැත. දේශපාලනය යන්නට මූලික විය යුත්තේ මනුෂ්‍යයන් ලෙස ප්‍රජාව කෙබඳු දියුණුවක් අත්පත් කර ගත යුතු ද යන්න සම්බන්ධයෙන් අපට ඇති දැක්ම යි. ඒකකයක් වසයෙන් ගත් විට මේ ප්‍රජාව අන්තර්ජාතික, කලාපීය හා ජාතික වැනි විශාල ඒකකවල සිට ප්‍රාදේශීය, නාගරික, ග්‍රාමීය, අසල්වාසික සහ වැඩපොළ මට්ටම දක්වා වූ වඩා කුඩා පරිමාණයේ ප්‍රජා කණ්ඩායම් සහ සමාජ ජාලවලින් ද සංයුක්ත විය හැකි ය. එහෙත් එවැනි දේශපාලනයක් ඇති කර ගත හැක්කේ කාට ද එවැනි දේශපාලනයක ප්‍රායෝගික තීන්දු තීරණ හැම ප්‍රජා මට්ටමකට ම කාන්දු වන ලෙස අර ගන්නේ කෙසේ ද වැනි ගැටලු මතු වෙයි. එම කටයුත්ත ඉටු කළ හැක්කේ මානව සමාජයේ අනාගතය කෙබඳු විය යුතු ද වැනි කරුණු පිළිබඳ ව පැහැදිලි උපාය මාර්ගික දැක්මක් ඇති අයට බව බදියු පවසයි. මන්ද බදියු පෙන්වා දෙන පරිදි ප්‍රායෝගික යථාර්ථය අනුව දේශපාලනය යනු එක් අතකින් සමාජයේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇති මහජනතාවක් සිටීම සහ සුදුසු තත්වයක දී එවැනි සමාජයක් බිහි වීම අතර තිරසාර සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම යි.  

ඒ නිසා මේ සඳහා හොඳ  ක්‍රියාකාරිකයෝ අවශ්‍ය වෙති. ක්‍රියාකාරිකයන් යනු ප්‍රජාවේ අනාගත ඉරණම ගැන දැක්මක් ඇති නව සමාජ මං පෙත් ගවේෂණය කිරීමට කැප වූ, විවිධ අයහපත් තත්ව යටතේ ජීවත් වන මනුෂ්‍යයන් සැලකිය යුතු සංඛ්‍යාවක් නිතර මුණ ගැසෙන හා ඔවුන් මුහුණ දී ඇති ජීවන තත්වය සාකච්ඡාවට ලක් කරන, ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ගෝලීය පර්යාලෝකයකින් තේරුම් ගැනීමට උදව් කරන පුද්ගලයෝ ය. ඒ අතර ම ඔවුන් අධ්‍යාපනික කටයුතු, සාකච්ඡා, පැහැදිලි කිරීම් ආදියේ නිරන්තරයෙන් නිරත වන, අර කී විවිධ අයහපත් තත්ව යටතේ ජීවත් වන මනුෂ්‍යයන්ට උනන්දුවෙන් කන් දෙන සහ අවසානයේ දි එකී තත්ව වෙනස් කිරීමට ඔවුන් හා එක් ව විවිධ මට්ටමින් වැඩ කරන අයයි.  එකී විවිධ මට්ටම් යනු වැඩපොළක්, වීදියක්, ගමක්, නගරයක්, හෝ ඇතැම් තත්ව යටතේ රටක් හෝ කලාපයක් වුව ද විය හැකි ය. බදියු පෙන්වා දෙන අන්දමට එය රඳා පවතින්නේ උද්ගත වන අවස්ථානුගත සිද්ධි අනුව යි. සාමාන්‍යයෙන් ඒවා හැඳින්වෙන්නේ ඓතිහාසික අවස්ථා ලෙස ය.  

ඒ නිසා බදියු පෙන්වා දෙන අන්දමට දේශපාලනය සහ ඉතිහාසය අතර ඇති වන අන්තර් ඡේදනය ඉතා වැදගත් කරුණකි. ඇත්ත වසයෙන් ම දේශපාලනය ඓතිහාසික වන්නේ අසාමාන්‍ය අවස්ථාවල දී ය. සාමාන්‍යයෙන් එවැනි අසාමාන්‍ය සිදුවීම් හඳුන්වන්නේ මින් පෙර නො වූ විරූ අවස්ථා මහා පරිමාණයෙන් මහජනතාවට පිරිනැමෙන සිද්ධි ලෙසයි.[35] එවැනි එක් ඓතිහාසික සිදුවීමක් නම් පැරණි ග්‍රීසියේ ඇතන්ස් නගරයේ රදලයන්ට එරෙහිව කලක් තිස්සේ පැවති ගොවි ජන අසහනය නිසා උද්ගත වූ දැවැන්ත විරෝධය සෝලොන් සහ අනතුරුව ක්ලයිස්තීනස් වැනි ප්‍රතිසංස්කරණකරුවන්ගේ මැදිහත් වීමෙන් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය බවට පරිවර්තනය කර ගැනීමයි.[36]තවත් එවැනි ඓතිහාසික සිද්ධියකට උදාහරණයක් නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය බිහි වීමට තුඩු දුන් 17 හා 18 සියවස්වල එංගලන්තයේ ඇති වූ සිවිල් යුද්ධයයි. 

එවැනි ඓතිහාසික සංසිද්ධියක් සම්බන්ධයෙන් වඩා මෑතක උදාහරණයක් ලෙස 2010 දී ටියුනීසියාවේ රැකියා විරහිත මොහොමඩ්‍ බුවාසිසි ගිනි තබා ගෙන සිය දිවි නසා ගැනීමත් සමඟ උද්ගත වූ ‘අරාබි වසන්තය’ යනුවෙන් හැඳින්වෙන මහජන නැගිටීම සැලකිය හැකි ය.  එහෙත් එවැනි අවස්ථා වහා ම උද්ගත වන බවක් දක්නට නැත්නම් වඩා සුලු පරිමාණයෙන් කටයුතු කර ගෙන යෑමට ප්‍රතිසංස්කරණකරුවන්ට සිදු වෙනු ඇත. මහා පරිමාණයේ සංසිද්ධියක් ඇති වෙන විට තීරණාත්මක ලෙස යොදා ගත හැකි වන්නේ යැ’යි යන දේශපාලන අවබෝධයකින් යුතු ව එවැනි කුඩා පරිමාණයේ සිදුවීම් නිශ්චිත කර ගත යුතු ය. කොටින් ම මෙහි දී අරමුණ වන්නේ දේශපාලනය යනු නායකයන් හෝ පක්ෂ තෝරා ගැනීම නො ව කිසියම් උචිත අවස්ථාවක දී  උපයෝගී කර ගත හැකි ‘තීරණාත්මක අදහස් ප්‍රමාණයක්’ ජනනය කිරීම බව ඒත්තු ගැන්වීම යි. දේශපාලනයේ නිරත වීමේ දී අවශ්‍ය වන්නේ අනාගතයේ දී කෙබඳු තත්වයකට ප්‍රජාව පත් විය  යුතු ද යන්න පිළිබඳ ව සංවිචාරණීය සාකච්ඡා (deliberative discussions) මත පදනම් වූ දැක්මකි. එම දැක්මට ග්‍රාමීය මට්ටමේ සිට කලාපීය හා ගෝලීය මට්ටම දක්වා හැකි හැම මට්ටමක දීම මහජනයා එක්රැස් කිරීමට ද යොදා ගැනීමට ද හැකියාවක් තිබිය යුතු ය. 

මහා දේශපාලන සංසිද්ධියක් යනු එකී හැකියාව විශාල පරිමාණයකින් උද්ගත වන අවස්ථාවකි. සිය අදහස් නො පැකිළ ව ප්‍රකාශ කිරීමට මහජනතාව ඉදිරිපත් වන්නේත් බිම් මට්ටමේ කතිකා සහ පිවිසීම් මත පදනම් ව සිදුවීම්වල දිශානතිය තීරණය කිරීමට මහජනතාව ක්‍රියාකාරී ව මැදිහත් වන්නේත් එවැනි අවස්ථාවල දී ය. රාජ්‍ය බලය අල්ලා ගැනීම අත්‍යවශ්‍ය වේ යන්නට වඩා දේශපාලන සංසිද්ධිවල දී වැදගත් වන්නේ කුඩා පරිමාණයෙන් ආරම්භ වී ප්‍රජා ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය යැ’යි සාකච්ඡාවට ලක් වූ මූලික යෝජනා අධිෂ්ඨානශීලී ව ක්‍රියාත්මක කිරීමට දැනුවත් ව මැදිහත් වීමයි. ඒ සඳහා මූලික ව අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා හා නීති සම්පාදනයට විවෘත ලෙස මහජනතාවට මැදිහත් වීමට ඉඩ සලසන වැදගත් ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීමයි. අනෙක් මුඛ්‍ය කාරණය අණපනත් සහ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය බලය කාර්යක්ෂම ලෙස මහජන සන්නිරීක්ෂණයට ලක් කරන ඵලදායක සංරචක හා නියාමන විධිවිධාන පනවා ගැනීමත් ය. මහජන පරිමණ්ඩලය අන්තර්ග්‍රහනීය ව පවත්වා ගෙන යෑමට හැකි ජනමාධ්‍ය පද්ධතියක් හා වෘත්තීය ජනමාධ්‍ය සංස්කෘතියක් ඒ අවශ්‍යතාවේ ම අනිවාර්ය අංගයකි.

4. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය

“හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම, ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අදටත් වලංගු ය.[37]  ඒ වන විට ආර්ථික විද්‍යාඥ ජෝශප් ෂුම්පිටර් 1942 දී පළ කළ ඔහුගේ ප්‍රකට ‘Capitalism, Socialism, and Democracy’ නමැති කෘතියේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කර තිබුණේ මිනිසුන්ගේ මනාපය පරිදි කටයුතු කිරීම පිණිස “නායකත්වයට පත් වීමට බලාපොරොත්තු වන අය විසින් මැතිවරණයක දී ඡන්ද සඳහා කරනු ලබන තරඟයක්” ලෙසයි.[38] 

ෂුම්පිටර්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු චේතනාවක් නො ව “දේශපාලනමය, ව්‍යවස්ථාමය සහ පරිපාලනමය තීරණ ගැනීම පිණිස සකසන ලද කිසියම් ආයතන පද්ධතියක් පිළිබඳ ක්‍රමවේදයකි”.[39]වඩාත් ම හොඳින් සන්නද්ධ ව සිටින තරඟකරුවන් අතර දේශපාලන නායකත්වය සඳහා නිර්ප්‍රචණ්ඩ තරඟයක් එම ක්‍රමය මඟින් ප්‍රවර්ධනය කරන බව ෂුම්පිටර්ගේ මතය විය. ඡන්ද සඳහා වන දේශපාලන තරඟය තරඟකාරී වෙළඳ සමාගම් විසින් සිය අභිමතයට අනුව පාරිභෝගික මතය හැඩ ගස්වනු ලැබීමට සමාන බව ෂුම්පීටර් පැවසීය. ඒ අනුව  මැතිවරණයක් යනු දේශපාලන පක්ෂ විසින් කරනු ලබන නියාමනය හරහා තරඟකාරී දේශපාලන ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ගැන තීරණය කිරීමේ සටනකි.[40]ෂුම්පිටර්ගේ එම නිර්වචනය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සරල, සකසුරුවම් සහ විශිෂ්ට නිර්වචනයක් ලෙස එකල සැලකුණි.

බහුජන කැමැත්ත යනු ඇත්ත වසයෙන් ම බහු ජනතාවගෙන් ජනිත වන්නක් නො ව තරඟකාරී නායකයන් විසින් හැඩ ගස්වනු ලබන්නක් බව ජෝශප් ෂුම්පිටර් කියා සිටියේ ය. මැතිවරණයක දී සිදුවන්නේ පුරවැසියන් තමන් විසින් තෝරා ගනු ලබන නායකයින්ගේ මතවාදයට අනුගත වීමයි. මැතිවරණය සඳහා අවශ්‍ය කරන කොන්දේසි කිහිපයක් ගැන ෂුම්පිටර් සඳහන් කරන නමුදු ඔහුගේ නිර්වචනයට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ හරය මැතිවරණයයි. ෂුම්පිටර්ගේ සිද්ධාන්තය තුළ පුරවැසි සහභාගිත්වයට වැදගත් ස්ථානයක් නො ලැබෙනවා පමණක් නො ව නිශ්චිත කාලසීමා අතර පැවැත්වෙන මැතිවරණවලට සහභාගී වීම හැරෙන විට පුරවැසියන්ට වෙනත් කිසිදු භූමිකාවක් නැත. ඒ නිසා ෂුම්පිටරියානු වර්ගයේ සාම්ප්‍රදායික සිද්ධාන්ත අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු නායකත්වය සඳහා සුළුතර ප්‍රභූ පිරිසක් අතර කෙරෙන තරඟයක් සඳහා බහු ජනතාව අනුග්‍රහය ලබා දිය යුතු ක්‍රමයකි.  

සියවස් දෙකකට ආසන්න කාලයක් ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රමය ඊට බොහෝ වෙනස් වූවකි. ඇත්ත වසයෙන් ම සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ගැන පැරණි ම නිදර්ශනයක් වසයෙන් බොහෝ අය සලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිජ බිම ලෙස සැලකෙන ඇතන්ස් නුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදයයි. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් වන්නේ නියෝජිතයන් වෙනුවට දේශපාලන තීන්දු තීරණ ගැනීම සෘජු ව ම පුරවැසියන්ට පැවරෙන ප්‍රජාතන්ත්‍රවාදී  විධික්‍රමයකි.  

ඇතීනියානුවන්ගේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනෙකුත් බොහෝ ග්‍රීක පෞර රාජ්‍යවල පැවති පාලන ක්‍රමවලට වඩා අඩු ම වසයෙන් ලක්ෂණ දෙකකින් වෙනස් විය. පළමුවෙන් ම ඇතන්ස් නුවර නීති සම්පාදනය කිරීම කිසියම් ප්‍රභූ කණ්ඩායමකට සීමා නො වීය. ඒ වෙනුවට, වහලුන්[41]හා ස්ත්‍රීන් හැර, ඇතන්ස් නුවර විසූ අන් හැම පුරුෂයෙකු ම එකිනෙකා සමඟ සංවිචාරණය (deliberation) කරමින් හෙවත් ‘හේතු යුක්ති සහගත ව සාකච්ඡා කරමින්’ නීති සම්පාදනය හා ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමට සාමූහික ව සහභාගි විය යුතු ය. මේ සහභාගිත්වය තීරණය වූයේ සහභාගි වන්නාගේ පරම්පරාව, වංශය හෝ ගෝත්‍රය අනුව නො ව නාගරික පදිංචිය, නිවහලෙකු වීම සහ නගරවැසියන් අතර පැවති අන්‍යෝන්‍ය-උපජීවනය (interdependence) යන කරුණු මතයි. ඇතන්ස් නුවර පුරවැසිභාවය යනුවෙන් හැඳින්වුණේ එය යි.  

එක්ලෙසියා (ecclesia) නමින් හැඳින්වුණු ඇතන්ස් මන්ත්‍රණ සභා රැස්වීම පැවතුණේ ප්‍රේක්ෂකයන් 14,000 කට රැස් විය හැකි එළිමහන් රඟමඩලකයි. එම රැස්වීමක සාමාන්‍ය ගණපූරණය 6000 කි. හාවඩ් සරසවියේ දේශපාලන විද්‍යා මහාචාර්යවරියක වන ජේන් මැන්ස්බ්‍රිජ් පෙන්වා දෙන අන්දමට එක්ලෙසියා සභාව යනු “සිය පුද්ගලික කුටුම්බය පිළිබඳ ළැදිකම් අමතක කොට හැම දෙනෙකු ම හවුලේ භුක්ති විඳින ලෝකයක එකිනෙකා අභිමුඛ වන සහ සිය සහෝදර පුරවැසියන්ට වග වෙන පුරවැසි සභාවකි”.[42] ඊට සහභාගි වන හැම පුරවැසියෙකුට ම යුද්ධ ප්‍රකාශ කිරීමේ සිට බදු අය කර ගැනීම දක්වා වූ ඕනෑ ම විෂය කරුණක් ගැන සම්පාදනය විය යුතු යැයි තමන් විශ්වාස කරන නීතියක් යෝජනා කළ හැකි විය. එසේ නැති නම් වෙනත් පුරවැසියෙකුට එරෙහි ව විභාග කළ යුතු චෝදනාවක් ඉදිරිපත් කිරීම කළ හැකි විය. තීරණ ගැනීම සිදු වූයේ සම්මුතියට පැමිණීමෙන් බැවින් යෝජනාවට හෝ චෝදනාවට හෝ පක්ෂ ව ඉදිරිපත් කරන කරුණු තාර්කික සහ යුක්ති යුක්ත කළ හැකි ඒවා විය යුතු ය. නො වැදගත් යෝජනා සහ බොරු චෝදනා ඉදිරිපත් කළ හොත් ඒ සම්බන්ධ ව විභාග කිරීමට කුසපත් ඇදීමෙන් තෝරා ගත් ජූරි සභාවක් ද විය. කෙසේ වෙතත් මේ සා විශාල පිරිසක් එක් ව කරන සාකච්ඡාවක් නිසියාකාර ව පවත්වා ගැනීමට නම් සෑම පුරවැසියෙක් ම සැලකිය යුතු ඉවසීමකින් සහ අවධානයකින් කටයුතු කළ යුතු ය. එපමණක් නො ව විසම්මුතික අවස්ථාවල දී  සහෝදර පුරවැසියන් යනු අවධානයකින් යුතු ව සවන් දීමට තරම් වටිනා අය බව පිළිගත හැකි නිවැරදි මනෝ ගතියක් ද රැස් වන පුරවැසියන් තුළ තිබිය යුතු විය. කොටින් ම සියලු පුරවැසියන් මිතුරන් ලෙස හැසිරිය යුතු ය. ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් පැවසූ අන්දමට හොඳ මිත්‍රත්වයක් යනු “යහපත් සහ සත්ගුණවත් බවින් එක සමාන, එකිනෙකාට යහපත පතන මිනිසුන්ගේ බැඳීමකි”. 

ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ වැඩි ඡන්දයෙන් තීරණ ගැනීමක් සිදු නො වූ තරම් ය. තීරණ ගැනීම හැකි තාක් දුරට සම්මුති එකඟත්වය මත ම සිදු කිරීම සම්ප්‍රදාය විය. මැන්ස්බ්‍රිජ් තේරුම් කරන අන්දමට “සාකච්ඡාව අවසානයේ එක් සාමාජිකයෙක් හෝ සාමාජිකයන් කිහිප දෙනෙක් සාකච්ඡාවලට අනුව ඒ වන විට සභාවට එළඹිය හැකි නිගමනය කුමක් ද යන්න කෙටියෙන් පැහැදිලි කරති. එලෙස ඉදිරිපත් කළ නිගමනය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නො වී නම් එම නිගමනය එක්ලෙසියා සභාවේ සම්මුතිය ලෙස සැලකෙයි.”[43] එහෙත් විරුද්ධත්වයක් ඇතිවී නම් කුමක් විය හැකි ද? සම්මුතියට එළඹීමේ විධික්‍රම විවිධ බව පෙන්වා දෙන ආචාර්ය මයිකල් මෙන්සර් නිගමනය සම්බන්ධයෙන් කිසිවෙකු විසින් විරුද්ධත්වය ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවක දී බොහෝ විට සිදු වන්නේ එම විරුද්ධත්වයට හේතු වූ කාරණය යෝජිත සම්මුතියට අනුව සමථයට පත් කළ හැකි ආකාරය පළමුවෙන් ම වෙනත් අයෙකු විසින් පැහැදිලි කරනු ලැබීම යි.[44]. එම පැහැදිලි කිරීම අසාර්ථක නම් විරෝධයට පාදක වූ තර්කයට අනුකූල වන ලෙස සම්මුතිය සඳහා ඉදිරිපත් වූ යෝජනාව ප්‍රතිශෝධනය කරනු ලැබේ. එහෙත් එසේ යෝජනාව ප්‍රතිශෝධනය කිරීම මඟින් විරෝධතාව සමනය කළ නො හැකි බව පෙනී ගිය හොත් උපයෝගී කර ගත හැකි තවත් ක්‍රම තුනක් ඉතිරි වේ. ඉදිරිපත් ව ඇති සමථ යෝජනාව ගැන වැඩිදුරටත් පැහැදිලි කිරීම් ලබා ගැනීමෙන් පසු විරෝධතාව දැක්වූ තැනැත්තා විසින් සිය විරෝධතාව ඉවත් කර ගැනීම ඉන් පළමු වැන්නයි. එහෙත් එසේ නො වී ප්‍රතිශෝධිත යෝජනාව පිළිගැනීම විරෝධතාකරු විසින් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඉතිරි වන්නේ විකල්ප දෙකකි. ඉන් පළමුවැන්න විරෝධතාකරු විසින් යෝජනාව මුළුමනින් ම අවහිර කිරීමයි. එය බොහෝ දුරට නිෂේධ බලය භාවිත කොට යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හැම සහභාගි වන්නෙකුට ම ඇති අයිතිය යොදා ගැනීමකි. එහෙත් තමන් විරුද්ධ වුවත් අන් අයගේ එකඟත්වයෙන් යෝජනාව සම්මත කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුගේ විශාල අකැමැත්තක් නැත්නම් ඔහුට “පැත්තකට වී” යෝජනාවට සහයෝගය නො දක්වා සිටිය හැකි ය. ඒ අනුව අන් අය විසින් යෝජනාව සම්මත කොට ඒ අනුව කටයුතු කිරීම ගැන විරෝධතාකරු අමනාපයක් නො දක්වන නමුත් එම යෝජනාවට අනුව කටයුතු කිරීමේ වගකීමකට තමා බැඳී නැති බවට පිළිගැනීමක් අන් සභිකයගෙන් ලබා ගනී. 

ඇතීනියානු වර්ගයේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හරියට ම ක්‍රියාත්මක වීමට නම් පුරවැසියන් අවංක වීම සහ සිය පුද්ගලික අභිමතාර්ථ අබිබවා පොදු යහපත පිණිස කැප වූ අය වීම අත්‍යවශ්‍ය විය. ඒ නිසා නිවැරදි මනෝ ගතිය පමණක් නො ව ‘එක හිතකින්’ කටයුතු කිරීමේ හැකියාවත් ඔවුන්ට තිබිය යුතු ය. ජේන් මැන්ස්බ්‍රිජ් එය හඳුන්වන්නේ ‘ඒකීය ප්‍රජාතන්ත්‍රවාදය’ (unitary democracy) ලෙසයි.[45] ඇයට අනුව කිසියම් ප්‍රතිපත්තියකට සහයෝගය දැක්වීම පමණක් නො ව සියලු දෙනා ම එම සහයෝගය දක්වන්නේ එක ම හේතු මත වීමත් එවැනි ඒකීය ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය වේ.  සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ මුල්කාලීන මාදිලිය සමජාතීය (homogeneous) ප්‍රජාවක් පිළිබඳ කතන්දරයක් ලෙස සැලකිය හැකි ය.   

ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් පුරවැසියන්ගේ සාමූහික සාකච්ඡාව සහ නීති සම්පාදනය කිරීම පමණක් නො වේ. ආණ්ඩුකරණය  සහ පරිපාලනය ද එයට අයත් ය. හැම ඇතීනියානු පුරවැසියෙකුට ම පරිපාලනයට දායක වීමේ අයිතිය තිබුණා පමණක් නො ව කිසියම් කාලසීමාවක් සඳහා රජයේ නිලයක් දැරීම ද ඉටු කළ යුතු වගකීමක් විය. හමුදා සේවය, බදු එකතු කිරීම ආදියේ සිට උත්සව සංවිධානය කිරීම සහ පොදු ස්ථාන පවත්වා ගෙන යෑම දක්වා ඉටු කළ යුතු ආණ්ඩුවේ විවිධ රාජකාරි කටයුතු ඒ අතර විය. හමුදා ජනරාල් වැනි විශේෂ ප්‍රාගුණ්‍යයක් තිබිය යුතු තනතුරුවලට පුද්ගලයන් තෝරා ගනු ලැබුවේ සමාන ඡන්දයෙනි. අනෙකුත් සියලු තනතුරු සඳහා පුරවැසියන් නම් කරනු ලැබුවේ කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගැනීමෙනි. එසේ තෝරා ගත් අයට සේවා දීමනාවක් ගෙවනු ලැබූ නමුත් සේවා කාලය කෙටි එකක් විය. එක් පුරවැසියෙකුට එක සේවා කාලයකට වඩා තම තනතුර තබා ගත නො හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු පුද්ගලයෙකුට හෝ පවුලකට ආණ්ඩුවේ කිනම් ආයතනයක් සම්බන්ධයෙන් වුව ද තම බලය තහවුරු කර ගැනීම අසීරු විය. 

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එවැනි වැදගත් නිදර්ශන ඇතැම් ගෝත්‍රික සමාජවල ද පැවතුණි. ඒ අතරින් එක් විශිෂ්ට උදාහරණයක් වන්නේ උතුරු ඇමෙරිකාවේ පැවති ඉරොකොයිස් (Iroquois) යනුවෙන් හැඳින්වෙන ස්වදේශීය ගෝත්‍රික ෆෙඩරේෂණයයි. අවාසනාවකට මෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ නිජ බිම ඇතන්ස් නුවර ලෙස සලකන බොහෝ අයගේ නිසි අවධානයට යොමු ව නැතත් ආචාර්ය මයිකල් මෙන්සර් පෙන්වා දෙන පරිදි ඉරොකොයිස් ෆෙඩරේෂණය මෙතෙක් මිහි මත ඇති වූ වඩාත් ම ශක්තිමත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විය හැකි ය.[46]ගෝත්‍ර පහකින් සමන්විත ව ක්‍රි.ව. 1570-1600 අතර ගොඩනැගුණ බව සැලකෙන ඉරොකොයිස් ෆෙඩරේෂණයට අයත් වූ ජනගහනය ප්‍රමාණයෙන් 20,000ක් පමණ විය. දිගු කාලයක් තිස්සේ පාරම්පරික ව පැවත ආ මුහුණට මුහුණ ලා සාකච්ඡා කරන රැස්වීම් ක්‍රමවේදයක් අනුගමනය කළ ඉරොකොයිස් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය නිසා දේශපාලන බලය ඒකරාශි වීම, ධුරාවලි සහ පංති ක්‍රම ඇති වීම ද වැළකුණු අතර ගෝත්‍රිකයන් වැඩි දෙනෙකුට ප්‍රතිපත්ති සම්පාදනය, නෛතික හා දේශපාලනික විනිශ්චයට දායක වීම සහ පරිපාලනයට සහභාගි වීමට ද ඉඩ සැලසුණි.  

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන දෘෂ්ටිකෝණයකින් බැලූ විට ඉරොකොයිස්වරුන් කිහිප ආකාරයකින් ම ඇතීනියන්වරුන් ඉක්මවා යන බව ආචාර්ය මෙන්සර් පෙන්වා දෙයි. ඇතන්ස්වල මෙන් නො ව ඉරොකොයිස් ක්‍රමය යටතේ දේශපාලන තීරණ ගැනීමේ දී ස්ත්‍රීන්ට ද පූර්ණ සහභාගිත්වය හිමිවුණි. ස්ත්‍රීන් සඳහා වෙනම මන්ත්‍රණ සභාවක් තිබූ අතර ෆෙඩරේෂණයේ සාකච්ඡාවට ලක් වන  සියලු කරුණු සහ යෝජනා පළමුවෙන් ම ස්ත්‍රීන්ගේ මන්ත්‍රණ සභාව තුළ සාකච්ඡා කළ යුතු විය. තීරණ ගැනීම සැම විට ම අවසානය දක්වා සාකච්ඡා කොට සියල්ලන්ගේ ම ඒකමතික එකඟත්වයෙන් සිදු විය යුතු විය. ඒ අතින් එය ඇතන්ස් නුවර ‘එකාවන් ව තීරණ ගැනීමේ’ සම්ප්‍රදායට බෙහෙවින් සමාන ය. එසේ ස්ත්‍රීන්ගේ මන්ත්‍රණ සභාව තුළ එකඟත්වයට පැමිණ ගනු ලැබූ තීරණ ඉන් අනතුරු ව පැවැත්වෙන පුරුෂ සම්මන්ත්‍රණ සභාවේ දී සාකච්ඡාවට ලක් විය යුතු ය. අදාළ යෝජනාව සම්බන්ධයෙන් පුරුෂ සම්මන්ත්‍රණ සභාවේ ඒකමතික තීරණය ලැබුණොත් එය නැවත ස්ත්‍රී මන්ත්‍රණ සභාවට යොමු කරන අතර  අවශ්‍ය නම් එහි දී අවසාන වරට යෝජනාව නැවත විමසුමට ලක් කෙරේ. මෙම ක්‍රමය අනුව ඉරොකොයිස් සමාජයේ පාලනය පිළිබඳ සියලු යෝජනා පළමුව ස්ත්‍රීන් විසින් අනුමත කරනු ලැබිය යුතු විය.   

ඉරොකොයිස් ජනගහනයෙන් වැඩි පිරිසක් අද අප පුරවැසියන් ලෙස හඳුන්වන නිත්‍ය නේවාසිකයෝ ය. එහෙත් නිත්‍ය නේවාසිකයන් නො වන විදේශිකයන්ට පවා ඉරොකොයිස්  දේශපාලන ක්‍රමයේ කොටස්කරුවන් ලෙස සලකා නිසි ගරු බුහුමන් දැක්වූහ. ඇතීනියන්වරුන් මෙන් ඉරොකොයිස්වරු වහල් හිමියෝ ද නො වූහ. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන්ගේ වටිනාකම් සහ ක්‍රමවේදය දේශපාලනයට පමණක් සීමා වූවක් නො ව ආර්ථිකය සහ කුටුම්බ ක්‍රමයට ද පැතිර ගිය එකක් විය. ඉරොකොයිස්වරුන්ගේ බිම් මට්ටමේ (grassroot level) ආර්ථික ක්‍රමයේ විශිෂ්ට ලක්ෂණය වූයේ ධනය සහ දේපළ අතළොස්සක් අතර සමුච්චයනය වීම හෙවත් ඒකරාශි වීම වැළැක්වීමයි. ඒ වෙනුවට ආර්ථික සම්පත් සියලු ගෝත්‍ර සහ කණ්ඩායම් අතර සංසරණය විය යුතු වූ දෙයක් ලෙස සලකන ලද අතර සාමාජිකයන් අතර පැවති ශ්‍රම දායකත්වය බෙහෙවින් සහභාගිශීලී වූවක් විය. එපමණක් නො ව පාරිසරික තිරසාරත්වය (environmental sustainability) පිළිබඳ ඉරොකොයිස්වරුන්ගේ වටිනාකම් සහ භාවිත ඉතා ප්‍රගාමී විය. තිරසාරත්වය ඔවුන් සැලකුවේ අවම වසයෙන් ‘හත්මුතු පරම්පරා වක්’ (7 generations) හෙවත් පරම්පරා හතක්වත් පැවතිය යුතු දෙයක් ලෙස ය.  

ඇතන්ස් නුවර මෙන් නො ව ඉරොකොයිස්වරුන්ගේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇරඹුණේ ම “ගැටුම් අවසන් කොට සාමය පවත්වා ගැනීම මඟින් පුද්ගල ස්වීයත්වය, කණ්ඩායම් අයිතිවාසිකම් සහ බලතල සුරකින අතර අනෙකුත් සංස්කෘති සම්බන්ධයෙන් විවෘත හා අන්තර්ග්‍රහනීය (inclusive) ආකල්පයක් ඇති සමාජ ගතිකත්වයක් පවත්වා ගැනීම සහතික කිරීම”[47]උදෙසා ය. ඉරොකොයිස් මන්ත්‍රණ සභා වාර ආරම්භ කරන ලද්දේ “ඉරොකොයිස් සභාවේ පරිපූර්ණ එකඟත්වයකට පැමිණීමේ අරමුණ ඉටු කර ගැනීම පිණිස රැස්ව ඇති සියලු සචේතනික සිත්වලට පොළෝ මහීකාන්තාව, ජලය, වන සතුන් සහ ගහ කොළවල සිට මේඝ ගර්ජන, සඳ මිත්තණිය සහ ක්ෂීරපථයට අධිපති සියලු භූතාත්මයන්ට එකතුව ඉවහල් වන ලෙස” [48]ආයාචනා කරමිනි.  

ඉරොකොයිස් ආර්ථිකය කෘෂිකර්මය, දඩයම, වෙළඳාම යන අංශවල මිශ්‍රණයක් වු වත් කේන්ද්‍රීය ජීවනෝපාය වූයේ බෝග වගාවයි. ඒ වගාවේ මූලිකාංග වූයේ ඔවුන් විසින් සහෝදරියන් තිදෙනා ලෙස හැඳින්වුණු ඉරිඟු, බෝංචි සහ බටානා වට්ටක්කා යන බෝග තෙවර්ගය යි. ඒවා සලකන ලද්දේ හුදෙක් ප්‍රධාන කෘෂිකාර්මික බෝග වසයෙන් පමණක් නො ව ඉරෝකියානු සංස්කෘතියේ එන උත්පත්ති කතන්දරයේ මූල භාණ්ඩ ලෙස ය. ඒ නිසා එම බෝගවලට සුවිශේෂ අනන්‍යතාවක් තිබුණු අතර ඒවා සලකන ලද්දේ ඉරොකොයිස් සය ජාතීන්ගේ ඥාතීන් ලෙස ය. ඉරොකොයිස් ස්ත්‍රී පුරුෂ ශ්‍රම විභජනය අනුව ස්ත්‍රීන් කුටුම්බ පාලනය සහ වැවිලි කටයුතුවල නිරත වීම කළ  අතර පුරුෂයන්ගේ කාර්ය ලෙස සැලකුණේ සකසුරුවමින් දඩයම් කිරීම සහ වන සම්පත් උකහා ගැනීම, වෙළඳ කටයුතු හා ආරක්ෂාව ආශ්‍රිත කටයුතු ය. මේ හේතුව නිසා නිෂ්පාදන අතිරික්තය පිළිබඳ තීරණ ගැනීම සහ වාසභූමිය අවට ගොවි ඉඩම් බෙදා දීම වැනි පරිපාලන කටයුතු හුදෙක් ස්ත්‍රීන්ගේ නායකත්වය යටතේ සිදු විය.[48]  

ස්වභාවධර්මය ක්‍රියා කාරකයක් මෙන් ම පරිත්‍යාගයක් ලෙස ද තේරුම් ගැනීම ඉරොකොයිස්වරුන් ඉඩම් සහ දේපළ සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය ද බිම් මට්ටමේ ආර්ථිකය ක්‍රියාත්මක වූ ආකාරය ද ඔවුන්ගේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ද වටහා ගැනීමට උපකාරී වේ. ඉරොකොයිස්වරුන්ට අනුව ඉඩම් යනු කිසියම් පවුලකට හෝ පුද්ගලයෙකුට අයත් සම්පතක් නො වී ය. ඒ නිසා මිනිසුන් යනු ඉඩම්වලට අයත් ජීවීන් කොටසක් මිස ඉඩම් යනු මිනිසුන්ට අයත් දෙයක් නො වේ. ගොවිතැන් කිරීමේ දී ඉඩම් කොටස්වලට වෙන් කර පවුල් අතර බෙදා දෙන ලද්දේ වරිගයේ දෙටු මෑණිවරුන් විසිනි. එහෙත් මේ ස්ත්‍රීන් විසින් එසේ ඉඩම් බෙදීම සිදු කරන ලද්දේ අත්තනෝමතික තීරණ මත නො ව වරිගය විසින් පිළිගෙන තිබූ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව එක් එක් පවුලේ ප්‍රමාණය, කෘෂි කාර්මික හැකියාව සහ සාධාරණත්වය සලකමිනි. සාමාන්‍යයෙන් වැඩි සාමාජික සංඛ්‍යාවකින් යුතු පවුල්වලට හොඳ ම ඉඩම් ලැබුණි. කෘෂිකර්මයට විශේෂයෙන් දක්ෂ පවුල් වී නම් ඒවාට වැඩිපුර ඉඩම් ලැබුණු නමුත් එසේ වැඩිපුර ලැබුණු ඉඩම් සරුසාර ඉඩම් නො විය යුතු විය. වඩා සශ්‍රීක වෙතැ’ යි හැඟුණු ඉඩම් කන්නයෙන් කන්නයට පවුලෙන් පවුලට මාරු විය. මෙම විධිවිධාන විස්තර කිරීම වැදගත් වන්නේ ඉඩම් බෙදීම හුදෙක් අවශ්‍යතාව අනුව නො ව දක්ෂතාව ද සලකා සිදු වූවක් නිසා ය. එය කිසියම් දුරකට පරණ සමාජවාදී ආප්තෝපදේශය වූ “හැම කෙනෙකුගෙන් ම ඔහුගේ හැකියාව අනුව සහ හැම කෙනෙකුට ම ඔහුගේ අවශ්‍යතාව අනුව” යන්න සිහි ගන්වයි.[49] මෙසේ මාරුවෙන් මාරුවට හොඳ ඉඩම් අතිනත යැවීම සමාන අවස්ථා සැලසීම සහ බලය සංකේන්ද්‍රණය වීම වළක්වා  සාධාරණත්වය ඉටු කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරකි. එසේ හොඳ ම ඉඩම් කන්නයෙන් කන්නයට සීට්ටු ඇදීමෙන් මාරු කිරීම ඇතන්ස් නුවර පැවති කුසපත් ඇදීමේ ක්‍රමයට මහේස්ත්‍රාත් ධුර වැනි වැදගත් තනතුරු සඳහා පුද්ගලයන් තේරීම හා සමාන ය. ඉන් අපේක්ෂා කළේ ද කිසියම් පවුලකට හෝ පවුල් කිහිපයකට බලය සංකේන්ද්‍රණය කර ගැනීමට ඉඩක් නො තැබීමයි.

ඉරොකොයිස් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හැරෙන විට සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තවත් එවැනි නිදර්ශන බොහෝ පැරණි සමාජවල පවතින්නට ඇත. ඉන්දියානු සමූහාණ්ඩු සම්ප්‍රදාය ගැන ලියන ස්ටීවන් මුහිබර්ගර් ගණ හා සංඝ ආදි වසයෙන් හැඳින්වුණු ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම පිළිබඳව ප්‍රමාණවත් විස්තරයක් වර්ණ හෙවත් කුල ක්‍රමය උත්කර්ෂණයට නැංවූ බ්‍රාහ්මණික සම්ප්‍රදායට අයත් මනුස්මෘතිය හා කෞටිල්‍යගේ අර්ථශ්‍රාස්ත්‍රය වැනි කෘතිවලින් හුවා දක්වනු ඇතැ’යි බලාපොරොත්තු නොවිය හැකි බව පවසයි.[50] ඉන්දියානු ගණ සංඝයක් වූ වජ්ජීන් අතර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නට ඇතැ’යි මහා පරිනිබ්බාණ සූත්‍රයේ එන ඇතැම් කරුණුවලට අනුව අපට අනුමාන කළ හැකි ය. එම සූත්‍රයට අනුව මගධ රට රජකම් කළ අජාසත්ත රජු  අති ප්‍රබල වජ්ජීන් යටත් කර ගැනීමට අදිටන් කොට ඒ සඳහා බුදුන් වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට සිය ඇමතියෙකු යැවීය. එහෙත් සූත්‍රයේ එන පරිදි වජ්ජීන් යටත් කිරීමට අපහසු හේතු බුදුන් වහන්සේ විස්තර කරන්නේ අර ඇමතියාට නො ව උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ට ය. මහා පරිනිබ්බාණ සූත්‍රයේ එන එම විස්තරයට අනුව වජ්ජීන් කිසියම් ආකාරයක සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වා ගෙන ගිය බව පෙනේ.  

පුරාතන ග්‍රීසියේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය පැවති කාලය තුළ ඇත්ත වසයෙන් ම ග්‍රීසිය සංස්කෘතික ව වඩාත් සමීප වූයේ බ්‍රිතාන්‍ය දූපත් ඇතුළු යුරෝපයට වඩා උතුරු අප්‍රිකාවට, මැදපෙරදිගට හා බැක්ට්‍රියානු ප්‍රදේශවලට බැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ නිජබිම යුරෝපය යැයි සැලකීම නිවැරදි නො වන බව ඩේවිඩ් ග්‍රේබර් සහ ඩේවිඩ් වෙන්ග්‍රෝ පෙන්වා දෙති. ප්‍රජාතන්ත්‍රවාදය වනාහි ඉතා භයානක ආණ්ඩුක්‍රමයකැ’යි හැරෙන්නට වෙනත් කිසිවක් කියූ ගත් කතුවරයෙක් 19 වන සියවසට පෙර යුරෝපයෙන් සොයා ගත නො හැකි තරම් බව ද ඔවුහු පවසති. උදාහරණයක් ලෙස ඔවුන්ට අනුව නිදහස, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේ වර්තමාන ප්‍රතිමාන (norms) බටහිර සම්ප්‍රදායේ නිපදවීම් ලෙස හැඳින්වීම වොල්ටෙයාර් (1694-1774) වැනි යුරෝපීය  විද්වතෙකු විමතියට පත් කරන්නක් විය හැකි ය.[51]  

කෙසේ වෙතත්, නූතන යුගයේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව ඇරඹෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවේචනයක් ලෙස 18 වැනි සියවසේ දී ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ජීන් ජැක් රූසෝ විසින් ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක්’ පිළිබඳ සංකල්පය හඳුන්වා දෙනු ලැබීම සමඟයි. උතුරු ඇමෙරිකාවේ ප්‍රංශ ජනාවාස බිහි කිරීමට ගිය ගවේශකයන් ඇමරිකානු ස්වදේශික ජනයාගේ පාලන ක්‍රම සහ ඇවැතුම් පැවතුම් ගැන ලියූ දේවල් රූසෝ කියවා තිබුණි. 

ආචාර්ය කැරොල් පේට්මන් විස්තර කරන අන්දමට පුරවැසි සහභාගිත්වය පිළිබඳ රූසෝ ඉදිරිපත් කරන තර්කය ඒ ගැන ඇති වෙනත් බොහෝ තර්කවලට වඩා වෙනස් ය. රූසෝට අනුව මහජනතාව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් තමන්ට ඇති බලය කිසි සේත් ම අත්හැර දමා නො මැත. අර කණ්ඩායමට අයත් අය ලෙස හෝ මේ සමාජ පන්තියට අයත් අය ලෙස හෝ නො ව රටක පුරවැසියන් වසයෙන් එකමුතුව මුළු දෙන අවස්ථා පැමිණි සැම විටක ම ඔවුහු එම ව්‍යවස්ථා සම්පාදන ශක්‍යතාව වර්ධනය කර ගනිති. එවැනි අවස්ථාවල දී ඔවුන් රැස් වන්නේ ස්වාර්ථකාමී තනි පුද්ගලයන් ලෙස නො ව සියල්ලන්ගේ ම අනාගත අභිවෘද්ධිය සඳහා අනෙකුත් පුරවැසියන් සමඟ එක් ව දේශපාලන එකමුතුවක් පවත්වා ගැනීම පිණිස ය. එය පුද්ගලික අවශ්‍යතාවක් නො ව පොදු අවශ්‍යතාවකි. මේ පොදු අවශ්‍යතාව පැන නැගිය හැක්කේ ඔවුන් අතරින් හැම කෙනෙක් ම තම ජීවනෝපාය හෝ පදිංචි ස්ථානය හෝ නිසා ඇතිවිය හැකි ළැදියා නො තකා හැමදෙනෙකුගේ ම පොදු යහපත නිශ්චය කර ගැනීම තකා කටයුතු කරන විට දී ය. පොදු ජනතාවගේ ‘පොදු අභිලාෂය’ (general will) බිහි වන්නේත් ප්‍රදර්ශනය වන්නේත් එසේ ය. රජයේ කාර්යය වන්නේ එකී ‘පොදු අභිලාෂය’ සාක්ෂාත් කර දීමයි.

රූසෝ ගේ මතයට අනූව කිනම් නමකින් ඇමතුව ද ඡන්දයෙන් පත් වන මැති ඇමතිවරුන් යනු මහජනතාවගේ නියෝජිතයෝ නො ව පොදු අභිලාෂය අනුව පරිපාලන කටයුතු ඉටු කරන අයයි. රූසෝ පෙන්වා දෙන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලු ම ජනතාව විසින් දේශපාලන තීන්දු ක්‍රියාවට නංවන ක්‍රමයකි. එහෙත් රටකට විශාල මිනිසුන් සංඛ්‍යාවක් සිටින බැවින් එය ප්‍රායෝගික ව ඉටු කළ නො හැක්කකි. ඒ අනුව ආණ්ඩු කිරීම යනු හුදෙක් අර කී පොදු අභිලාෂය සාක්ෂාත් කිරීමයි. ඒ නිසා අන් අයට පෙර ආණ්ඩුව නීතියට ඉඳුරා ම කීකරු වීම අත්‍යවශ්‍ය ය. එහෙත් රූසෝ අවධාරණය කළ පරිදි හැම විට ම උතුම් වන්නේ නීතිය නො ව මුළු දෙන පුරවැසියන්ගේ ව්‍යවස්ථාදායක ශක්‍යතාවයි.[52] නීතිය උද්ගත වන්නේ එතැනිනි. 

රූසෝ අදහස් කළ පරිදි පුරවැසියන්ගේ මුළු දීමෙන් නිරූපණය වන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ අභිප්‍රාය වූයේ ආණ්ඩුව නීතියට අවනත කරවන සාධාරණ සමාජයක් (a just society) ගොඩනැගීමයි. ඒ සඳහා සමාජයේ සාමාජිකයන්ගේ ක්‍රියාශීලී දේශපාලන සහභාගිත්වය අත්‍යවශ්‍ය ය.

දේශපාලන ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී යැ’යි හැඳින්වීම පිණිස ජාතික මට්ටමේ නියෝජන ආයතන තිබීම පමණක් ප්‍රමාණවත් නො වන බවත් රූසෝගේ මතය විය. ඒ අනුව යමින් පසු කාලීන විචාරකයෝ පෙන්වා දුන් පරිදි “ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පද්ධතියක පැවැත්ම පිණිස සහභාගිත්ව සමාජයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වේ. ඉන් අදහස් වන්නේ ආර්ථික ක්ෂේත්‍රය ද ඇතුළු, එහෙත් එයට පමණක් සීමා නො වී, සියලු දේශපාලන පද්ධති ප්‍රජාතන්ත්‍රීකරණය වූ සමාජයක් තිබීම යි”.[53] මෙහි දී  රූසෝ අනුගමනය කළ තවත් විචාරකයෝ “කාර්ය සාධනීය පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය සබල ගැන්වීම (empowerment) සහ අධ්‍යාපනය යන දෙක ම පුරවැසියන්ට ලබා දිය හැක්කේ පුරවැසි සහභාගිත්වය සඳහා ලැබෙන අවකාශය වැඩි කිරීමෙන්”[54]බව අවධාරණය කළහ.

මෑත කාලයේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂව කරුණු ඉදිරිපත් කළ මුල් ම ශ්‍රාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ගෙන් කෙනෙකු වූයේ මිෂිගන් සරසවියේ ආචාර්ය ආර්නොල්ඩ් කවුෆ්මාන් ය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය (Participatory Democracy) යන යෙදුම මුලින් ම භාවිත කරන්නට ඇත්තේ 1960 ගණන්වල දී කවුෆ්මාන් විසින් යැ’යි ඇතැම් විචාරකයෝ පවසති. කවුෆ්මාන් තර්ක කළ අන්දමට පුරවැසියන්ගේ  සෘජු සහභාගිත්වය සහතික කරන ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රමයක් මඟින් පුද්ගලයන්ගේ බුද්ධි මහිමය නිසැක ව ම වැඩි දියුණු වේ. ඔහුට අනුව “සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය නිසා බොහෝ ඵලදායී දේවල් ඇතිවිය හැකි වුවත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණීය කරනු ලබන ප්‍රධානතම කරුණ වූයේත් වන්නේත් මනුෂ්‍යයන්ගේ හැඟීම්, චින්තනය, සහ ක්‍රියාකාරකම්  වැඩි දියුණු කිරීම සඳහා එය විසින් ලබා දෙන ඉමහත් දායකත්වයයි.”.[55]ඒ අර්ථයෙන් ගත් විට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා බොහෝ දේවල් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයට කළ හැකි ය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයෙන්  කෙරෙන්නේ  හුදෙක් පුරවැසියන් කුරිරු පාලකයන්ගෙන් ආරක්ෂා කිරීම පමණක් නො ව  දේශපාලන වසයෙන් පුරවැසියන් සබල ගැන්වීම සහ ඔවුන්ගේ  බුද්ධිමය සංවර්ධනය ඇති කිරීමයි.

කවුෆ්මාන්ට අනුව ප්‍රමුඛතා සම්බන්ධයෙන් එකඟ වීම සඳහා පවත්වන මූලික සාකච්ඡාවලට පුරවැසියන් සහභාගි වීම මෙන් ම විධිමත් තීරණ ගැණීමේ දී සහ තීරණ ක්‍රියාත්මක කිරීමේ දී සමානයන් ලෙස පුරවැසි දායකත්වය ලබා දීම යන කරුණු දෙක ම සහභාගිත්වය යන්නට අයත් ය. කෙනෙකුගේ කාර්ය සාධනීය හා නිර්මාණාත්මක හැකියා වර්ධනය කර ගැනීම සහ සන්තුෂ්ටිය සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉටු කරනු ඇතැ’යි යන්න ප්‍රතික්ෂේප කළ හැකි ආනුභාවික හෝ දාර්ශනික හෝ සාක්ෂි මෙතෙක් ඉදිරිපත් ව නැති බව ද කවුෆ්මාන් පෙන්වා දුන්නේ ය.  

නිකම් ම නිකම් ස්වාර්ථකාමී පුද්ගලික මිනිසෙකු වනවාට වඩා පුද්ගලයෙකු කල්පනාකාරී පොදු පුරවැසියෙකු බවට පත් කිරීමට නම් සහභාගිත්ව සමාජයක් අවශ්‍ය ය. ඒ නිසා ප්‍රජා මූල සහභාගිත්වයකින් තොර ව පොදු යහපත මුඛ්‍ය කරගත් සමාජයක් ගොඩ නැගිය නො හැකි බව සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කළ අයගේ අදහස විය. මෙම අදහස තවදුරටත් පුළුල් කරමින් ස්වයං පාලිත ප්‍රජාවකට පදනම විය යුත්තේ එම ප්‍රජාවේ සමජාතීය (homogeneous) ස්වභාවයට වඩා ඔවුන්ට ලැබෙන ප්‍රජා අධ්‍යාපනය, සහභාගිත්ව ආයතන ක්‍රමය සහ ප්‍රජා මූල ආකල්ප තුළින් ගොනු වෙන ඔවුන්ගේ පොදු අරමුණු බව සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින විචාරකයෝ ප්‍රකාශ කළහ.[56] ඒ නිසා දේශපාලන න්‍යාය පත්‍රයේ මහජන පාලනය, දේශපාලන තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම ද පුරවැසි සහභාගිත්වය ප්‍රමුඛ කොට සිදු විය යුතු බව ද ඔවුහු පළ කළෝ ය. 

1960 ගණන්වල මුලදී සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව නැවත ඉස්මතු වන විට ප්‍රජාතන්ත්‍රවාදය ගැන විවාදයේ ආධිපත්‍යය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කළ අනුභූතික (empirical) න්‍යායිකයින්ට හිමි වී තිබුණි. දේශපාලනයට සහභාගි වීමට සාමාන්‍ය පුරවැසියන්ට අභිමතයක් මෙන් ම නිපුණත්වයක් ද නොමැති බැවින් වඩා සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ දැනුවත් අය මඟින් පුරවැසි නියෝජනයට ඉඩ සැලසීම බව මේ අනුභූතික න්‍යායිකයින්ගේ පොදු මතය විය. පුරවැසියන්ට තම දේශපාලන මනාපකම්වල ඵල විපාක සෘජු ලෙස නො දැනේ යැ’යි ද ඒ නිසා දේශපාලනය පිළිබඳ අවසාන නිගමනවලට එළඹීමට සාමාන්‍ය පුරවැසියන් මැලි වනු ඇතැ’යි ද ඔවුහු තර්ක කළහ.

මේ විවේචනවලට පිළිතුරු වසයෙන් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදීන් කියා සිටියේ සහභාගිත්වය සඳහා පුරවැසියන්ට අවශ්‍ය යැ’යි සලකන එකී ගුණාංග වර්ධනය වන්නේ සහභාගිත්වය තුළින් ම බවත් සහභාගිත්වය සඳහා ලැබෙන ඉඩප්‍රස්ථා වැඩි වන පමණට වඩ වඩා ඥානෝද්දීපිත (enlightened) සහ පොදු යහපත පිළිබඳ වඩා සවිඥානික පුරවැසියන් බිහිවීම වැඩි වන බවත් ය.[57] එනිසා උචිත තත්ව යටතේ පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සෘජු ව මැදහත් විය යුතු බවට ඔවුහු තර්ක කළහ.  

මේ විවාදවල දී සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණීකරණය කිරීමේ ලා මූලික කරුණු තුනක් ඉදිරිපත් විය. පළමු කොට ම සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් නිර්ව්‍යාජ සහ ප්‍රාමාණික වසයෙන් දියුණු අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරයි. ඒ අනුව දේශපාලනික, සමාජීය සහ ආර්ථික යන කිනම් ක්ෂේත්‍රයක වුව ද  තමන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් සාමූහික තීරණ ගන්නේ නම් පුරවැසියන් අතර දේශපාලන සමානාත්මතාව සහ පුරවැසියන්ගේ පුද්ගල ස්වීයත්වය වැඩි දියුණු වේ. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදයේ නියම තේරුම වන ‘ජනතාව විසින් පාලනය කරනු ලැබේ’ යන්න තහවුරු වේ. දෙවැනි ව  තීන්දු තීරණ ගැනීමේ දී පුරවැසියන්ගේ සහභාගිත්වය ඉහළ යෑම නිසා දේශපාලන ආයතන පිළිබඳ විශ්වාසය මෙන් ම ඒවාට ලැබෙන මහජන සහයෝගය වැඩි වේ. තෙවැනි ව, ඒ හා සමඟ ප්‍රජාතන්ත්‍රවාදය ද  වඩා විශ්වාස දායක හා විචක්ෂණ පාලන ක්‍රමයක් ලෙස තහවුරු වේ. 

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදීන් තර්ක කළ අන්දමට ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය වැඩි වීමට අනුගාමී ව සමාජ අසමානතාව ද අඩු විය හැකි ය. එමඟින් දේශපාලනික සමානාත්මතාව වැඩි වීම මෙන් ම හරයාත්මක වසයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම ගැන පෘථුල අවබෝධයක් ද ඇති වෙයි. ඇතැම් සමාජ-ආර්ථික කණ්ඩායම්වල දේශපාලන සහභාගිත්වය අඩු වීම ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ අවධානය අඩු වීමට හේතු වනවා පමණක් නො ව එවැනි පිටමංවීම් නිසා දේශපාලන තීන්දු ගැනීම වරප්‍රසාද ලත් කොටස්වල ඒකාධිකාරයක් බවට පත්වීමට ද හේතු විය හැකි ය. එවැනි තත්වයක දී දේශපාලන සහභාගිත්වයක් නොමැති කොටස්වල ඕනෑ එපාකම් ගැන කරදර වීමට වරප්‍රසාද ලත් කොටස් තැත් නො කරනවා පමණක් නො ව අවවරප්‍රසාදිතයන් ගේ දේශපාලන සහභාගිත්වය හැකි තරම් අවහිර කිරීමට ද ඔවුන් පෙලඹෙනු ඇත. මේ නිසා දේශපාලනයේ දී බහුජන නියෝජනයට වඩා ඇත්ත වසයෙන් ම වැදගත් වන්නේ බහුජන සහභාගිත්වයයි.

මේ අනුව දේශපාලන ක්‍රියාවලිය තුළ පොදු ජනතාවගේ භූමිකාව ඡන්දය දීමට පමණක් සීමා නො කොට ඔවුන් පරිපූර්ණ ලෙස දේශපාලන ක්‍රියාවලියට සහභාගි කර ගැනීම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට යුරෝපයේ ඇතැම් පළාත් පාලන ආයතන උත්සාහ කළහ. ඉතාලියේ ටස්කනි ප්‍රාන්තයේ ප්‍රාදේශීය කවුන්සලය 2007 දී  සම්මත කර ගත් අංක 69 දරණ ප්‍රාන්තීය හා ප්‍රාදේශීය ප්‍රතිපත්ති සැකසීමේ දී මහජන සහභාගිත්වය ප්‍රවර්ධනය කරන නීතියේ සඳහන් පහත දැක්වෙන ඡේද දෙක ඒ සඳහා උදාහරණයකට ගත හැකි ය. 

· “ප්‍රාන්තීය සහ ප්‍රාදේශීය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රජා සහභාගිත්වය අයිතියක් වසයෙන් සලකනු ලැබේ. මෙම නීතිය මඟින් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය සඳහා වන ආකෘති සහ විධිවිධාන ප්‍රගාමී ලෙස ප්‍රවර්ධනය කරන අතර එම අයිතිය කාර්යසාධක ලෙස සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය මූල්‍ය හා ක්‍රමවේදීය සම්පත් සැපයිය යුතු බව ද දැනුම් දෙයි.

·  පුරවැසි සහභාගිත්වය ශක්තිමත් කරන ස්වාධීන ව්‍යාපෘති යෝජනා කරන ලෙස මෙම නීතියෙන් ප්‍රාදේශීය පොදු අධිකාර, පාඨශාලා සහ සමිති සමාගම් වැනි සංවිධානාත්මක සමාජ සංවිධාන දිරි ගන්වයි.”

ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාරිනී ස්ටෙෆානි මැක්නල්ටි රටවල් 17ක මධ්‍යම ආණ්ඩු විසින් ප්‍රාදේශීය මට්ටමේ ආණ්ඩුකරණය සඳහා පුරවැසි සහභාගිත්වය  හඳුන්වා දීමට ගන්නා ලද ප්‍රයත්න පිළිබඳ  අධ්‍යනයක් කළා ය.  ඇය සිය ‘Democracy From Above?’ නම් කෘතියේ  පෙන්වා දෙන අන්දමට සහභාගිත්වය මුල්කරගත් ප්‍රතිසංස්කරණ වර්ග දෙකක් තිබේ. ඉන් පළමු වර්ගය ජාතික මට්ටමින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවකට අනුව හෙවත් ඉහළ සිට පහළට කෙරෙන විධාන අනුව හඳුන්වා දෙන සහභාගිත්ව වර්ගයයි. පාර්ලිමේන්තුව හෝ විධායකය විසින් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ජාතික මට්ටමින් ගනු ලබන තීරණයකට අනුව පළාත් සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය සඳහා සහභාගිත්ව ආයතන ක්‍රමයක් සැලසුම් කිරීම මේ පළමුවැනි වර්ගයට දිය හැකි උදාහරණයකි.  

දෙවැනි වර්ගය වසයෙන් සැලකෙන්නේ මූලික වසයෙන් ම බිම් මට්ටමේ මහජන ක්‍රියාකාරකම්වල දී සහභාගිත්වය මත තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම මුල් කර ගෙන දියත් කරන හුදකලා ව්‍යාපෘතිය. බොහෝ විට රාජ්‍ය නො වන සංවිධාන විසින් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් සමඟ එක් ව මහජන සහභාගිත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘතිවලින් දේශපාලනය ප්‍රතිසංස්කරණය කිරීමට විශාල බලපෑමක් ඇති නො වේ. බොහෝ විට ව්‍යාපෘති කාලයෙන් පසුව ඒවායේ ප්‍රජා සහභාගිත්වය අකර්මණ්‍ය වෙයි.  

මැක්නල්ටි ඇගේ කෘතියෙන් වැඩියෙන් අවධානය යොමු කරන්නේ පළමුවැනි වර්ගයට අයත් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය පුළුල් කිරීම පිණිස කෙරෙන දේශපාලන ප්‍රතිසංස්කරණ ලෙස  හඳුන්වා දෙමින් මධ්‍යම ආණ්ඩු විසින් දියත් කරන ලද වැඩ පිළිවෙළවල් ය. ඒවායින් බොහොමයක් ම මධ්‍යම ආණ්ඩුවල ප්‍රතිපත්ති තීරණ අනුව ප්‍රාදේශීය දේශපාලනයේ පුරවැසි සහභාගිත්වය වැඩි කිරීමට සැලසුම් කළ ඒවායි. 

ජාතික මට්ටමේ මැතිවරණවලින් තෝරා පත් වූ ඇතැම් දේශපාලනඥයන් මේ අන්දමින් ප්‍රාන්ත හා පළාත් පාලන මට්ටමේ ආණ්ඩුකරණයට පුරවැසියන් සහභාගී කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය යළි ගොඩ දමා ගැනීමට ප්‍රයත්න දැරීමක් ලෙස සැලකිය හැකි ය. ටික කලක සිට ලොව පුරා හැම රටක ම පාහේ මිනිස්සු ඔවුන්ගේ පාර්ලිමේන්තු  සභා සහ දේශපාලන පක්ෂ පිළිබඳ ව කලකිරී දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වෙමින් සිටියහ.[58]ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ගරා වැටීම නිසා බොහෝ ආණ්ඩුවලට එම රටවල ජනතාව අතර තම සුජාතභාවය තහවුරු කර ගැනීම අසීරු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘පාලන ක්‍රමය උඩු යටිකුරු කොට හදන්නෙමි’ යනුවෙන් වහසි බස් දොඩවමින් පැමිණෙන දේශපාලනික පිටස්තරයන්ට අනුග්‍රහය දැක්වීමට බොහෝ රටවැසියෝ පෙලඹුනහ. මේ ප්‍රවණතාව කිසිදු දේශපාලන අත්දැකීමක් නැති විකට නළුවෙක් 2015 දී රටේ නායකත්වයට පත්කර ගත් ගෝතමාලාවේ සිට කිසි දිනක දේශපාලන තනතුරක් දරා නැති රියලිටි ටීවී සංදර්ශනකාරයෙකු හා ව්‍යාපාරිකයෙකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති කර ගැනීම දක්වා විවිධාකාරයෙන් දක්නට ලැබුණි. 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය කඩවීම නිසා කලබල වූ ඇතැම් දේශපාලනඥයෝ සහභාගිත්ව ආණ්ඩුකරණය එක්තරා ප්‍රමාණයකට හඳුන්වා දී ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ දමා ගැනීමේ අටියෙන් ප්‍රාදේශීය මට්ටමේ ආණ්ඩුකරණය සඳහා පුරවැසි සහභාගිත්වය ප්‍රවර්ධනය කරන ආයතන ක්‍රමයක් පිහිටුවීමට හැකි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්හ. ඉන්දියාව, චිලිය, පිලිපීනය, උගන්ඩාව සහ වෙනිසියුලාව වැනි රටවල් ගණනාවක ජාතික මට්ටමේ දේශපාලනඥයන් විසින් ප්‍රාදේශීය අයවැය, පළාත් පාලන ආයතන මට්ටමේ ආණ්ඩුකරණය සහ ඒවාට ඡන්දයෙන් පත් වූ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ කටයුතු සන්නිරීක්ෂණය සඳහා පුරවැසියන් සහභාගි කර ගත හැකි විධිවිධාන හඳුන්වා දෙන ලදී. මෙයින් තහවුරු කිරීමට උත්සාහ කළේ සිය පොදු යහපත තකා ආණ්ඩු කිරීමෙහි සහ පාලනය සන්නිරීක්ෂණය කිරීමේ ලා පුරවැසියන්ට ද කොටස්කරුවන් විය හැකි බවයි. මේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි අය බොහෝ විට කියා සිටියේ එමඟින් මේ අතෘප්තිමත් යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ඵලදායක ලෙස ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බවයි.[59] 

2002 දී ගෝතමාලාවේ ජාතික කොන්ග්‍රස් සභාව ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජා සංවර්ධන සභාවලට සිය සංවර්ධන ප්‍රතිපත්ති සකස් කිරීමේ දී පුරවැසි සහභාගිත්වය සහිතව තීරණ ගැනීමට බලය පවරන නීතියක් සම්මත කිරීම ඒ සඳහා එක් උදාහරණයක් ලෙස සැලකිය හැකි ය. මැක්නල්ටි සිය කෘතියේ ගෝතමාලා නීතිය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ විශ්ලේෂණාත්මක විස්තරයක් ගෙන එයි.[60]ප්‍රජා සහභාගිත්වය පිළිබඳ ඒ නව නීතිය අනුව සැන් මිගෙල් ඩි එස්කොබාර් දිස්ත්‍රික්කයේ සුළු නගර සභා කොට්ඨාස අටක පිහිටුවන ලද ප්‍රජා සංවර්ධන සභා මඟින් නගර වැසියන් තමන්ට අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් දියත් කළේ ය. එහෙත් 2010 ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු ඔවුන්ගේ ප්‍රමුඛතා වෙනස් විය. ඒ අනුව වඩා යහපත් ජලාපවහන ක්‍රමයක් සහ සෞඛ්‍ය සායන ක්‍රමයක අවශ්‍යතාව ප්‍රමුඛත්ව ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබුණි. ඒ පිළිබඳ ජන මතය අවදි කොට ඒකරාශි කිරීමේ වැඩසටහනක් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ආරම්භ කර තිබුණි. එකී නව ප්‍රමුඛතා අනුව යාවත්කාලීන කළ ව්‍යාපෘති ලැයිස්තුවක් සමඟ ඔවුන් කිහිප වරක් ම නගරාධිපතිවරයා හමු වී ඒ සඳහා මුදල් වෙන් කිරීමේ සාකච්ඡාවක් දියත් කරන ලෙස  ඉල්ලා සිටියේ ය. එහෙත් සමාජ ක්‍රියාකාරීන් බොහෝමයක් නගරාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයේ අය නො වීම නිසා එම ඉල්ලීම් නො සලකා හැරිණි. එනිසා අධෛර්යමත් නො වූ සමාජ ක්‍රියාකාරීහු නගරසභා මැතිවරණය පැමිණි විට තම යෝජනාවලට සහාය දක්වන ලෙස අපේක්ෂකයන්ගෙන් ඉල්ලමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ.   

මැක්නල්ටිගේ මතය අනුව ඒ නිසා මෙවැනි ප්‍රතිසංස්කරණ නීතිවල කිසියම් වැදගත්කමක් තිබේ. ගෝතමාලාවේ ජාතික මට්ටමේ දේශපාලනයේ නිරත වන ප්‍රභූන් මෙවැනි ප්‍රතිසංස්කරණ වැළඳ ගන්නේ එමඟින් හෝ ගරා වැටෙන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත හැකි වෙතැ’ යි යන අදහසිනි. Democracy from Above නමැති කෘතියෙන් මැක්නල්ටි සාකච්ඡාවට ලක් කරන්නේ සංවර්ධනය වන රටවල ජාතික රාජ්‍ය මට්ටමේ විධාන මඟින් ප්‍රාදේශීය දේශපාලනයට සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීම සාර්ථකව කළ හැක්කක්ද යන්නයි. ඇය පෙන්වා දෙන පරිදි ගෝතමාලාවේ ප්‍රාදේශීය පාලන ආයතන සම්බන්ධයෙන් පුරවැසි දේශපාලන සහභාගිත්වයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීම තරමක් දුරට හොඳ දෙයකි. මන්ද එමඟින් ඡන්දයෙන් පත් වන ප්‍රාදේශීය මට්ටමේ මහජන නියෝජිතයන්ට පුරවැසියන් සම්බන්ධ ව ඇති වග වීම ශක්තිමත් කොට පාලන තන්ත්‍රය වඩා කාර්යක්ෂම කළ හැකි බැවිනි. එහෙත් උගන්ඩාවේ සහ රුවන්ඩාවේ ආණ්ඩු ප්‍රතිසංස්කරණවල දී සහභාගීත්වය ගැන කථා කළ අය ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වයට වඩා සැලකිලිමත් වූයේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාව සහ ඵලදායකත්වය වැඩි දියුණු කිරීම පිණිස ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කිරීමේ ලා ප්‍රාදේශීය මට්ටමෙන් රටවැසියන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව බව මැක්නල්ටි පෙන්වා දෙයි.  

එක් අතකින් බැලූ විට ජාතික මට්ටමේ එදිනෙදා දේශපාලනයට වඩා ප්‍රාදේශීය බිම් මට්ටමේ දේශපාලන ඒකක පාදක කර ගෙන මෙසේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමට තැත් කිරීම තාර්කිකය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ දී එක කොන්දේසියක් වන්නේ සහභාගි වන කණ්ඩායමේ ප්‍රමාණය සියලු සාමාජිකයන්ට ක්‍රියාකාරී ව සහභාගිවීමට හෙවත් සහභාගිත්ව ක්‍රියාවලියේ කාරකත්වය (agency) පවත්වා ගෙන යෑමට අපහසු වන තරම් විශාල නො විය යුතු බව යි. ඒ අනුව සහභාගිත්ව ක්‍රියාවලියට සහභාගි වන සංඛ්‍යාව පමණට වඩා කුඩා හෝ විශාල වීම එම කොන්දේසිය උල්ලංඝණය කිරීමකි. එනිසා ජනගහනය මිලියන ගණන් වන රටවල් සහ මහා මෙගා නගර පාලන ඒකක වසයෙන් සලකා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීම අසීරු ය. එවැනි සුවිශාල ජන රාශිවලට එකිනෙකා සහ සුහද ව සාකච්ඡා කොට කරුණු නිරාකරණය කර ගැනීමට තරම් සමීප දැන හැඳින ගැනීමක් ඇති කර ගැනීම ද අපහසු ය. 

මෙවැනි ඉහළ සිට මධ්‍යම රජයෙන් පනවනු ලබන ප්‍රතිසංවිධාන මඟින් ප්‍රාදේශීය හා බිම් මට්ටමේ මහජන සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමට ගන්නා ප්‍රයත්නවලින් ඇතිවෙන සත්‍ය බලපෑම ගැන ප්‍රමාණවත් අධ්‍යන මෙතෙක් කර නොමැති බව මැක්නල්ටි පවසයි. එහෙත් ජාතික මට්ටමින් ගන්නා තීරණවලට අනුව පළාත් පාලන ආයතනවලින් ක්‍රියාත්මක වන කටයුතුවල ප්‍රමුඛත්වය තීරණය කිරීමට සාමාන්‍ය පුරවැසියන්ට සහ සිවිල් සමාජ සංවිධානවලට අවස්ථාව සැලසීම මඟින් කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී බලපෑමක් ඇතිවෙන බව ඇගේ මතයයි.  

එහෙත් එම බලපෑම කරුණු කිහිපයක් මත රඳා පවතී. ඉන් ප්‍රධාන කරුණ වන්නේ ප්‍රජා සංවර්ධන සභා රැස්වීම්වලට මැදිහත් වන සිවිල් සමාජ සංවිධානවල ශක්තියයි. බොහෝ අවස්ථාවල දී නගරාධිපතිවරුන් තමන්ගේ ‘හෙංචයියන්’ වැඩි ප්‍රමාණයක් මෙවැනි නාගරික සංවර්ධන සභා රැස්වීම්වලට කැඳවා තම අභිමතය ජයග්‍රහණය කරවා ගැනීමට තැත් කර තිබුණි. සිවිල් සමාජ සංවිධානවල සහභාගිත්වය දුර්වල වී තිබූ ප්‍රජා සංවර්ධන සභාවල ඔවුන්ගේ උත්සාහය හැම විට ම පාහේ සාර්ථක විය. සහභාගිත්වය යනු බල ගැන්වීමේ (empowering) ක්‍රියාවලියක් බැවින් කලින් බලයක් නොමැති ව සිටි කොටසක් බල ගැන්වීම සිදු කළ හැක්කේ තවත් තැනක බලය අඩු කොට එම බලය අලුතින් බල ගැන්විය යුතු අය වෙත බෙදා දීම මගිනි. එවිට බලය අඩු වන ආයතන හා පුද්ගලයන් එම බලය වෙනත් ආකාරයකට හෝ නැවත ලබා ගැනීමට තැත් කිරීම ස්වභාවයයි. ගෝතමාලාවේ බොහෝ නගරාධිපතිවරුන් ප්‍රජා සංවර්ධන සභා තම සහචරයන්ගෙන් පුරවා ගැනීමට තැත් කළේ තමන් ළඟ තිබී බෙදා දීමට සිදු වූ ඒ බලය එසේ වෙනත් අන්දමකින් යළි අත්පත් කර ගැනීමට අදහස් කළ නිසා යි.  

ගෝතමාලා ප්‍රජා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ නීතිය සම්බන්ධයෙන් ඇතිවුණු තවත් විවේචනයක් වූයේ කලක් තිස්සේ පැවති ස්වදේශිකයන් (indigenous) ගේ පාරම්පරික ප්‍රජා සංවිධානවල කටයුතුවලට නව නීතිය නිසා අවහිර සිදු වූ බවයි. ගෝතමාලාවේ වැඩි ජනගහනයක් එහි මුල් පදිංචිකාරයන් ලෙස සැලකෙන මපුචෙ, අයිමාරා, කිචුවා, මිස්කිටෝ, කිචෙ, ඛක්චිකිල්, සුටුජිල්, මාම් සහ සපොටෙක් (Mapuche, Aymara, Quichua, Miskito, K’iché, Kaqchikel, Tzútujil, Mam and Zapotec) වැනි ස්වදේශික  ජන වර්ගවලට අයත් වූහ. ඔවුන්ට ආවේණික වු පාරම්පරික ප්‍රජා සංවිධාන ව්‍යුහ තිබුණි. නව සහභාගිත්ව නීතිය යටතේ සමාන්තර ප්‍රජා සංවර්ධන සභා හඳුන්වා දීම ඒවාට අභියෝගයක් විය. ඒ අතර ස්පාඤ්ඤ සම්භවයක් ඇති සුළුතර ප්‍රභූ පෙළැන්තිය ආර්ථික හා දේශපාලන බලය අතින් ප්‍රබල විය. බොහෝ නගරාධිපතිවරු මේ ප්‍රභූ පෙළැන්තියට අයත් වූහ. 

මැක්නල්ටිගේ විග්‍රහය තුළ සඳහන් නො වූවත් බිම් මට්ටමින් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමට මධ්‍යම රජය ගත් මේ ප්‍රයත්නය ඇතැම් විට ස්වාධීන ප්‍රජා ගුවන් විදුලි සේවා තිබුණේ නම් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. ලතින් ඇමෙරිකානු රටවල් අතරින් ගෝතමාලාව කලක් තිස්සේ බිම් මට්ටමේ (grassroots level) ප්‍රජා ගුවන් විදුලි සේවා මධ්‍යස්ථාන රැසක් පවත්වා ගෙන ගිය රටකි. සාමාන්‍යයෙන් සහභාගිත්ව සංනිවේදන වැඩසටහන් නිෂ්පාදනය හා ප්‍රචාරණය පාදක කරගත් මේ ප්‍රජා ගුවන් විදුලි සේවා මඟින් බොහෝ ස්වදේශික ජන කණ්ඩායම්වල සමාජ කතිකාවට, භාෂා හා සංස්කෘතික ප්‍රවර්ධනයට මෙන් ම අධ්‍යාපනයටත් සැලකිය යුතු දායකත්වයක් ලැබී තිබුණි. ඒවායින් බොහෝමයක් අදාළ වසමේ පිහිටි පල්ලියේ අනුග්‍රහය ඇති ව පවත්වා ගෙන ගිය ඒවා විය.  

එහෙත් 1960 සිට 1996 දක්වා ආණ්ඩුවේ හමුදා සහ විවිධ වාමවාදී සන්නද්ධ කණ්ඩායම් අතර සිවිල් යුද්ධය පැවති සමයේ මේ ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන මිලිටරිය විසින් දෘඩතර පාලනයකට ලක් කරන ලදි. හමුදා මර්දනය විවේචනය කළ ඇතැම්  ප්‍රජා ගුවන් විදුලිවල ජනමාධ්‍යකරුවන් සාහසික ලෙස ඝාතනය කර තිබුණි. ඒ අතර 1980 දී නවලිබරල්වාදී ප්‍රතිපත්ති අනුව ගෝතමාලා රජය ගුවන් විදුලි සංඛ්‍යාත වෙන්දේසියේ විකුණන ලද බැවින් මිල අධික ලංසු ඉදිරිපත් කිරීමට නො හැකි ව බොහෝ ප්‍රජා ගුවන් විදුලි සේවා අකර්මණ්‍ය වී ගියේ ය. ඒ අනුව වැඩි ගුවන් විදුලි සංඛ්‍යාත ප්‍රමාණයක් වාණිජ ගුවන් විදුලි සේවාවල ග්‍රහණයට නතු විය. තරඟකාරී මිලට වෙන්දේසියෙන් බලපත්‍ර ලබා ගත නො හැකි වූ ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන පොලිසිය විසින් වසා දමන ලදි.[61]සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය බිම් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට ඇත්ත අවශ්‍යතාවක් තිබුණේ නම් ප්‍රදේශීය දේශපාලනයේ පුරවැසි සහභාගිත්වය ශක්තිමත් කිරීමේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට  ප්‍රජා ගුවන් විදුලි සේවා පත් කළ යුතු ව තිබුණි. එහෙත් මධ්‍යම රජය විසින් ප්‍රාදේශීය දේශපාලනය සඳහා සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමේ ක්‍රමෝපායට එය අඩංගු නොවීය. සංනිවේදන විෂමතා ආමන්ත්‍රණය නො කොට සහභාගිත්වය සඳහා අවශ්‍ය දේශපාලන සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම අසීරු ය.

ඒ හැර ඉහළ සිට පහළට සහභාගිත්ව දේශපාලනය තල්ලු කිරීමට තැත් කරන මෙවැනි ප්‍රයත්නවල තවත් බොහෝ දුර්වලකම් දැක ගත හැකි ය. ස්වදේශික ප්‍රජා කණ්ඩායමක් විසූ සාන්ත මාරියා විසිටාසියොන්හි කරන ලද සමීක්ෂණයකට අනුව රාජ්‍ය නූතනීකරණය කිරීම සහ විමධ්‍යගතකරණය සඳහා බිහි කළ ප්‍රජා සංවර්ධන සභා වැනි නව ආයතන නිසා පවතින පාරම්පරික ස්වදේශික සමාජ ආයතනවල බල පෑම අඩු වීම ගැන ස්වදේශික ජනයා නො සතුටට පත් ව සිටියහ. නව ප්‍රජා සංවර්ධන සභා හරහා සංවර්ධන වැය විමධ්‍යගත කිරීම ඒ වන විටත් සැලකිය යුතු ප්‍රශ්නයක් ව තිබූ දූෂණය තවත් වැඩි කිරීමට හේතු වූ බව ඇතැම් නිරීක්ෂකයෝ වාර්තා කළහ.[62]

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ අත්හදා බැලීම්වලින් තහවුරු වන එක් කාරණයක් වන්නේ සහභාගිවීම අපේක්ෂා කරන ප්‍රජාවගේ දේශපාලනික, ආර්ථික, සාමාජික පමණක් නො ව සංනිවේදන සමානාත්මතාව ද ඒ සඳහා ඉතා වැදගත් වන බවයි.  

ආචාර්ය මයිකල් මෙන්සර්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය පුළුල් කිරීම අභිප්‍රාය ලෙස ප්‍රකාශ කරමින් දියත් කළ බොහෝ ප්‍රතිසංස්කරණ  ව්‍යාපෘති, වර්ග තුනකට බෙදිය හැකි ය.[63] පළමු වර්ගය මහජනතාව රවටන සහ බොරු සහභාගිත්වය සලසන වර්ගයයි. දෙවැන්න සංකේතාත්මක ව පමණක් සහභාගිත්වය ඉවසන වර්ගයයි. තෙවැන්න සහභාගිත්ව ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි වර්ගයයි. එම තුන් ආකාරයට අයත් ක්‍රියාන්විත පහත සඳහන් ලෙස අනුක්‍රමණිකව නැවත වර්ගීකරණය කළ හැකි ය.

1.රැවටීම/නිහඬ කිරීම: මෙවැනි සහභාගිත්ව වැඩසටහන්වල දී මහජනතාව සම්බන්ධ කර ගන්නා නමුත් මහජනතාවට නො මග යවන තොරතුරු ලබා දේ. තීරණ ගැනීම පිළිබඳ ව ඵලදායක හඬක් හෝ බලයක් මහජනතාවට නො ලැබෙයි – මේ සම්බන්ධයෙන් දී ඇති එක් උදාහරණයක් වන්නේ සංස්ථා මණ්ඩලවලට සේවක නියෝජිතයෙකු පත් කර සේවක සහභාගිත්වය ඇති බව ව්‍යාජ ලෙස නිරූපණය කිරීමයි. බොහෝ විට එහි දී සිදු වන්නේ සේවක නියෝජිතයාගේ මතය අවශේෂ බහුතරය විසින් උපක්‍රමශීලී ව නො සලකා හැරීමයි.

2. දැනුම් දීම: පාලන තන්ත්‍රය සිය ප්‍රතිපත්තියක් හෝ සැලැස්මක් ගැන මහජනතාවට දැනුම් දෙයි.  මේ වර්ගයට අයත් වන කටයුතු සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමක් ලෙස නො සැලකේ. හදිසි අවස්ථාවක දී නගර වැසියන් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යෑමට නගර සභාව විසින් සැලසුම් කරන ලද  වැඩපිළිවෙළක් පිළිබඳව දැනුවත් කිරීම වැනි කටයුත්තක් මේ සඳහා උදාහරණයකට ගත හැකි ය. ඒ පිළිබඳ ව නගරවැසියන්ට ප්‍රශ්න ඇසිය හැකි නමුත් විශේෂඥයන් විසින් සකසන ලද සැලැස්ම වෙනස් කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමක් පුරවැසියන්ගෙන් අපේක්ෂා නො කෙරේ. පුරවැසියන් විසින් කළ යුත්තේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ විට සැලැස්මට අනුව කටයුතු කිරීමයි.

3.උපදේශනය: ආණ්ඩුවේ ප්‍රතිපත්ති/තීරණ ගැන තම අදහස් පළ කරන ලෙස ආණ්ඩුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙහි දී සිදු වන්නේ පාලන තන්ත්‍රය විසින් මහජනයාට තොරතුරු දැනුම් දීම වෙනුවට මහජනයා සිය අදහස් උදහස් පාලන තන්ත්‍රයට දැනුම් දීමයි. මෙය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ප්‍රශ්නාවලියක් සහිත සමීක්ෂණ, ඉලක්ක ගත කණ්ඩායම් සාකච්ඡා (focus group discussions) වැනි තොරතුරු රැස් කිරීමේ මෙවලම් යොදා ගැනීමෙනි.

4. සාකච්ඡාව: ආණ්ඩුව සහ මහජනතාව ඇතැම් කරුණු හා ප්‍රතිපත්ති පිළිබඳව සංවිචාරණීය (deliberative) කතිකාවක් පවත්වයි. දෙවැනි සහ තෙවැනි වර්ග මත ගොඩනගන මේ වර්ගයට අයත් ව්‍යාපෘතිවලින් කෙරෙන්නේ දෙපැත්ත ම සහභාගි වන එක ම රැස්වීමක දී  ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න හා පිළිතුරු සාකච්ඡාවට ලක් කිරීමයි. සාර්ථකව සිදු කෙරෙන විට ප්‍රශ්න දෙපැත්තට ම යොමු විය හැකි නමුත් මහජනතාවගෙන් නැගෙන ප්‍රශ්නවලට ආණ්ඩුවේ නියෝජිතයන්ගෙන් දුර්වල හෝ වංක පිළිතුරු ලැබීමෙන් ප්‍රයත්නයේ අසාර්ථකත්වය පිළිබිඹු වේ.

5. එක් ව තීරණය කිරීම: ආණ්ඩුව සහ මහජනතාව යන කණ්ඩායම් දෙක අතර බලය සමාන ව බෙදා ගෙන එක් ව තීරණය කරති. උදාහරණයක් ලෙස කිසියම් ප්‍රතිපත්තියක් තීරණය කිරීම හෝ ක්‍රියාවක් තීන්දු කිරීමේ දී දෙපැත්තේ ම සමාන නියෝජනයක් ඇති තාවකාලික කමිටුවක් පිහිටුවා ඡන්ද බලය මහජනයා නියෝජනය කිරීමට තෝරා ගත් කමිටු සාමාජිකයන් අතර එක සමාන ව බෙදා ගනිති. එහෙත් ඒ අතර තීරණ ගැනීම හැකි තරම් දුරට එකඟත්වය මත පදනම් කර ගැනීමට උත්සාහ කරති.

6.ස්වයං පාලනය හෝ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය: මහජනතාව තීරණය කරති. ආණ්ඩුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට ආධාර කරයි. පාලන තන්ත්‍රය මහජනයාට සිය බලතල පවරා දෙයි. මෙයට හොඳ නිදර්ශනයක් වන්නේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් තීරණය ජනමත විචාරණයක ප්‍රතිඵලවලට අනුව තීන්දු කිරීමයි. ඇතැම් පළාත් පාලන ආයතනවල වාර්ෂික අය වැය යෝජනා විවෘත පුරවැසි සහභාගිත්වය මත (participatory budgeting) පදනම් ව පිළියෙළ කිරීම ද මේ ගණයට වැටෙන ව්‍යාපෘතියක් විය හැකි ය. 

මධ්‍යම ආණ්ඩුවල මෙහෙයවීමෙන් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීම  අධ්‍යනය කළ ආචාර්ය මැක්නල්ටි මහජන සහභාගිත්වය පුළුල් කිරීම  අභිමතාර්ථය ලෙස පළ කළ රජයේ ප්‍රයත්නවල යථාර්ථය මෙසේ පැහැදිලි කරයි:

“ඇතැම් අවස්ථාවල දී මධ්‍යම රජය විසින් හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණ ප්‍රාදේශීය මට්ටමේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී සහභාගිත්වය වැඩි කිරීමට හේතු විය. විශේෂයෙන් බොලීවියාවේ ක්‍රියාත්මක වූ ක්‍රමය මඟින් පෙන්වා දෙන ලද පරිදි සංවිධානාත්මක සිවිල් සමාජ අංශය සහ කැපවීමෙන් වැඩ කරන නායකත්වයක් සහිත පරිසරයක ක්‍රියාවට නංවන ලද සහභාගිත්වලෝලී ප්‍රතිසංස්කරණවලින් ආණ්‍ඩුකරණයේ කාර්යක්ෂමතාව සහ ප්‍රතිචාරය (responsiveness) වැඩිදියුණු කළ හැකි බව පෙනී ගියේ ය. එහෙත් අධ්‍යනයට ලක් වූ හැම රටකින් ම දක්නට ලැබුණු උදාහරණවලින් පෙන්නුම් කළේ මධ්‍යම ආණ්ඩු විසින්  දියත් කරන ලද සහභාගිත්වය පිළිබඳ මෙවැනි ප්‍රතිසංස්කරණ සැලසුම්වලට ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති පුරුෂෝත්තම සහ ජාතිවාදී ප්‍රතිමාන මෙන් ම දූෂණය ද පිටු දැකිය නො හැකි බවයි.”[64]

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති විවේචන බොහොමයක් ම පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘති විසින් සාධාරණීකරණය කරන ඒවා ය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධාන විවේචකයෙකු වන රොබට් මිචෙල්ස් තර්ක කරන පරිදි ආයතන සහ සංවිධානවල ඇති ශ්‍රම විභජනයේ ස්වභාවය විසින් ම ප්‍රතිපත්ති සහ වැදගත් කරුණු සම්බන්ධ තීරණ ගැනීමවල දී බහුජන සහභාගිත්වය අධෛර්යමත් කරවයි.[65] 

ඔහු පවසන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන බොහෝ සංවිධාන තුළ පවා එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ නො හැකි ඒ නිසා ය. තවත් තර්කයක් වන්නේ දේශපාලන නායකත්වය විසින් මෙහෙයවනු ලැබීමට ඇබ්බැහි වී ඇති පුරවැසියන් ඊට වෙනස් ආකාරයක සහභාගිත්වයක් සඳහා පොලඹවා ගැනීමට අසීරු බවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්ද දායකයන් විසින් තරඟකාරී නායකයන් අතරෙන් කෙනෙකු තෝරා ගනු ලැබීම බවත් එකී නායකයන් විසින් දේශපාලන කරුණු තීන්දු කරන බව ඡන්ද දායකයන් දන්නා නිසා සහභාගිත්වය ගැන ඔවුන් තුළ උනන්දුවක් ඇති විය නො හැකි බව ඒ හා ආනුෂංගික තවත් තර්කයකි. තීරණ ගැනීමට කරදර නො වී ඒ පිළිබඳ විශේෂඥයන්ට එම කටයුත්ත ඉටු කිරීමට ඉඩ දීම, සහ බහුතරය සිය දේශපාලන නායකයින් පූජනීයත්වයෙන් සලකන බැවින් දේශපාලන නායකත්වයේ සිතැඟි අනුව තීරණ ගැනීමට ඉඩ දීම වැනි කරුණු ද සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ව යොදා ගන්නා ඇතැම් තර්ක අතර වෙති. මෙම විවේචන මුළුමනින් ම නො සලකා හැරිය හැකි ඒවා නො වන මුත් ඒ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත්කම්වලට වඩා නියෝජන  ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ ස්වරූපයයි.   

සහභාගිත්වය සඳහා අවශ්‍ය කරන කාලය සහ හැකියා බහු ජනතාව සතු ව නැතැයි යනුවෙන් 1960 ගණන්වල ඇති වූ විවේචනයට තුඩු දුන් හේතු, ගත වූ හැට වසර තුළ බෙහෙවින් වෙනස් වී ඇති බව කිව හැකි ය. අධ්‍යාපනික අවස්ථා පුළුල් වීම,  සංනිවේදන තාක්ෂණය  හා සමාජ මාධ්‍ය භාවිත කිරීමේ හැකියාව බෙහෙවින් වැඩි වීම ආදි සාධක සලකන විට විචාරාත්මක එළඹුමක් භාවිත කිරීමට බහු ජනතාවට ඇති හැකියාව 1960 ගණන්වලට වඩා කිසි සේත් ම වෙනස් වී නැතැයි කිව නො හැකි ය. සිදුවී අත්තේ එම හැකියා අන්‍යෝන්‍ය ලෙස මුවහත් කර ගැනීමට හැකි අවස්ථා සලසන විධි ක්‍රමයක් සහ මහජනයා අතර සංවිචාරණීය (deliberative) සංනිවේදනයකට දායක විය හැකි මහජන සේවා ජනමාධ්‍ය ක්‍රමයක් ඇති නො වීම යි.  

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇති විවේචන සලකමින් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත හැකි ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමට නම් කරුණු දෙකක් ඉටු විය යුතු බව ජොඑල් ඩි වොල්ෆෙ යෝජනා කරයි. ඒ අනුව පළමුවෙන් ම කළ යුත්තේ දේශපාලන වසයෙන් හෝ සමාජීය වසයෙන් අපයෝජනය කළ නො හැකි අන්දමේ සමානාත්මතාවක් සිය සාමාජිකයන් අතර සාක්ෂාත් කර ගැනීමට කැප වන කුඩා ප්‍රජා සමූහයන් සංවිධානය කිරීමයි. එසේ බිම් මට්ටමෙන් ප්‍රජා සමූහ සංවිධානය වීමෙන් පසු නිශ්චිත කරුණු සම්බන්ධයෙන් එවැනි  ප්‍රජා සමූහ අතර සාකච්ඡා සම්මේලන පවත්වා පොදු අවශ්‍යතා හා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ හැකියැ’යි වොල්ෆෙ පෙන්වා දෙයි. ඉන් පසු එම ක්‍රියාවලිය මඟින් නිර්ණය කරනු ලබන පොදු අවශ්‍යතා වෙනුවෙන් අව්‍යාජ ව පෙනී සිටින හා කටයුතු කරන දේශපාලන නායකයන්ට පමණක් සහාය ලබා දීමට ප්‍රජා සමූහ අධිෂ්ඨාන කළ යුතු යැ’යි ඔහු පවසයි.

දෙවැනි කාරණය නම් සහභාගිත්වය දිරි ගැන්විය හැකි වන්නේ සාමාජිකයන් අතර දේශපාලන සමානාත්මතාව ඇත්නම් පමණක් බැවින් ඒ සඳහා සුදුසු පියවර ගත යුතු ය යන්න යි. ආදායම් විෂමතාව උග්‍ර වන සමාජයක මෙය සැලකිය යුතු අභියෝගාත්මක කරුණක් වන බැවින් සහභාගිත්වය සඳහා අවශ්‍ය වන දේශපාලන සමානාත්මතාව ඇති කිරීමට නම් සැමට මූලික ආදායමක් සහතික කිරීමට දායක වන සුවිශේෂ පියවර සැලසුම් කළ යුතු ය. ඒ සඳහා එක් විසඳුමක් ලෙස  මෙම කෘතියේ 26 වැනි පරිච්ඡේදයේ සවිස්තර ව සාකච්ඡා වන ‘සැමට සාර්වත්‍රික මූලික ආදායමක් ලබා දීම’ යෙදා ගත යුතු බව  කැරොල් පේට්මන් යෝජනා කරයි.[66] විෂමතා අධ්‍යනය පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකෙන ආර්ථික විද්‍යාඥ තෝමස් පෙකටි පෙන්වා දෙන අන්දමට ආදායම් බෙදී යෑම සම්බන්ධයෙන් මානව ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම සමාජ විෂමතාව අප මේ වන විට අත්දකිමින් සිටිනවා විය හැකි ය.[67] පුරවැසියන් අතර වැඩි වන ආර්ථික අසමානතා සියලු ආකාරයේ දේශපාලන හා සමාජ සම්බන්ධතා තුළ ඔඩු දුවමින් යයි.  

සුලු දඩ මුදලක් ගෙවා ගැනීමට නො හැකි ව දස දහස් ගණන් සිරකරුවන් සිරකූඩුවල ලත වන අතර වංචනික ලෙස අයබදු ගෙවීම පැහැර හරින, අක්වෙරළ ගිණුම්වල (offshore accounts) මුදල් සඟවන ලොකු ව්‍යාපාරික සමාගම් සහ ධනකුවේරයින් ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ අරමුදල්වලට කෝටි සංඛ්‍යාත මුදල් පිරිනමයි. ඒ අනුව ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ ධනවතුන්ට තව තවත් ධනවත් වීමට ඉඩ සැලසෙන ලෙසය. ලංකාවේ රටවැසියන්ගෙන් 60% කට ලැබී තිබෙන්නේ අපොස සාමාන්‍ය පෙළ වත් සාර්ථක ව සමත් කර ගත නො හැකි මට්ටමේ අධ්‍යාපනයකි. තරුණ තරුණියන්ට ලැබෙන රැකියා බොහෝමයක් ම එන්න එන්න ම කොන්ත්‍රාත්තු හෝ මෑන්පවර් ක්‍රමයට ලැබෙන විශ්‍රාම වැටුප්වලට හිමිකම් නැති අස්ථිර ඒවායි. මේ ලක්ෂණ මඟින් පෙන්නුම් කරන්නේ සමාජය තුළ අප කවරෙක් ද සහ අපට කළ හැක්කේ කුමක් ද යන්න හුදෙක් අපට අත්පත් කර ගත  හැකි ආර්ථික සම්පත් මත තීරණය වන සෙයකි. 21 වැනි සිය වසේ ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගත හැකි වන්නේත්, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්ථාන්විත අත්දැකීමක් ලබා ගත හැකි වන්නේත් ආර්ථික, ලිංගික සහ වාර්ගික ඈ සියලු වර්ගවල පරිපීඩක අසමානතාවලට එරෙහිව කරන අරගල මගිනි. 

එයට ප්‍රවේශයක් ලෙස අවම වසයෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම සම සහභාගිත්වය සහතික කිරීමට ඉරොකොයිස්වරුන්ගේ සම්ප්‍රදාය අනුව යමින් ස්ත්‍රීන්ගෙන් පමණක් සමන්විත මන්ත්‍රණ සභාවකින් සියලු අණපනත්, අයවැය සහ ප්‍රතිපත්ති පළමුව සම්මත කරන ද්වි මණ්ඩල ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දීමට අප සූදානම් නො වෙන්නේ ඇයි? ගත වූ වසර හැත්තෑව පුරා පාර්ලිමේන්තුවලට හා දේශපාලන පක්ෂවලට කිසි සේත් ම කළ නො හැකි වූ විශිෂ්ට චින්තන හා සමාජ වෙනසක ඇරඹුම එය විය හැකි ය. 

සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය වඩා ඵලදායක ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ බිම් මට්ටමේ ආණ්ඩුකරණ කටයුතු සඳහා බව ඒ සම්බන්ධයෙන් ඇති අත්දැකීම් වලින් පෙනී යයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකෙහි ම ඇති දුර්වල කම් ඌණපූරණය කිරීම පිණිස සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (Deliberative Democracy) ද එකී ක්‍රම දෙක සමග යොදා ගැනීමේ හැකියාව දැන් අප විමසා බැලිය යුතුය. ඉදිරි පරිච්ඡේද දෙක ම වෙන් කරන්නේ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය විමසුමට ලක් කිරිමට යි. 

5. නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැතීම

හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැන ම කරුණු කාරණා ඉතා සැලකිල්ලෙන් හා ඉවසිල්ලෙන් සන්තුලනය කර බලන සාකච්ඡාවක්’ යන අදහස දෙන Deliberation යන ඉංග්‍රීසි පදයෙන් හැඟවෙන තේරුම සඳහායි. තවත් අන්දමකින් කිව හොත් සංවිචාරණීය සාකච්ඡාවක් යනු ඉදිරිපත් කරන කරුණු පිළිබඳ පොදු එකඟතාවක් සඳහා එකී කරුණු විවේක බුද්ධියෙන් (reason) හේතු යුක්ති සහිත ව සාකච්ඡා කිරීමයි.  

ඇතැම් අවස්ථාවල දී ඉතිහාසයෙන් අපට උරුම වී යැ’යි අප සිතන බොහෝ දේවල් අපට අත්විඳින්නට ලැබෙන්නේ මුල් ස්වරූපයේ විකෘතියක් ලෙස ය. අර්ථය සහ අන්තර්ගතය පිළිබඳ කොතෙක් විවාද තිබුණ ද සුජාතකරණය කළ හැකි එක ම ආණ්ඩුක්‍රමය ලෙස පෘථුල ව සලකන ප්‍රජාතන්ත්‍රවාදය ද එබන්ඳකි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන කොන්දේසි නිශ්චය කිරීමට දේශපාලන විද්‍යාඥයෝ අතිශය වෙහෙසක් දරති. බොහෝ විට එවැනි ප්‍රයත්නවලට යොදා ගන්නේ යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ පවතින භාවිත ඇසුරෙන් පරමාදර්ශී කරන ලද කොන්දේසි ය. එකී පරමාදර්ශ මතු ව එන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු තරඟකාරී මැතිවරණවල හා ලිබරල් අයිතිවාසිකම්වල මිශ්‍රණයක හරය වේ’ යන ඔවුන්ගේ මතවාද තුළින් ය. නිසැක ලෙස ම මේ ප්‍රයත්නවල වැදගත්කමක් ඇති නමුදු ඒවායේ උපයෝගීතාව බොහෝ විට ප්‍රතිමානක (normative) විග්‍රහවලට පමණක් සීමා වේ.  

ප්‍රායෝගික අර්ථයෙන් ගත් විට නූතන ප්‍රජාතන්ත්‍රවාදය කිසි සේත් ම ග්‍රීක පෞර රාජ්‍යවල පැවති මුල් ප්‍රජාතන්ත්‍රවාදයට සම නො වේ. ඒ නිසා අපේ දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී යැයි අප හඳුන්වන්නේ ඇයි? යන්න පිළිතුරු දීමට දුෂ්කර ප්‍රශ්නයක් බව නිසැක ය. ඉතින් දැනට පෙනෙන පරිදි ‘මහජනතාව විසින් පාලනය කරනු ලැබීම’ යන්න නිරූපණය කළ හැකි ආසන්නතම විධි ක්‍රමය තරඟකාරී ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ද යන්න නිර්දය ව විමසා බැලිය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ඊට වඩා අර්ථවත් ආකාරයකට සංකල්ප ගත කර හැකි වෙනත් ප්‍රායෝගික විකල්ප ක්‍රමවේද තිබේ දැයි පිරික්සා බැලීම යෝග්‍ය වන්නේ ඒ නිසා ය.  

ඇට්ලාන්ටික් (The Atlantic) යනු 1857 තරම් ඈත කාලයක සිට ඇමෙරිකාවේ පළවන ජනප්‍රිය මාසික සඟරාවකි. 1988 අගෝස්තු මාසයේ ඇට්ලාන්ටික් සඟරාවේ ආචාර්ය ජේම්ස් එස් ෆිෂ්කින් නමින් ලිපියක් පළ විය. ලිපිය පිටු දෙකකට සීමා වුවත් එහි අන්තර්ගතය බොහෝ දෙනෙකුගේ විස්මයට හේතු විය. ලිපිය පළ වුණේ ජ්‍යේෂ්ඨ ජෝජ් බුෂ් ජයග්‍රහණය කළ ඇමෙරිකානු ජනාධිපතිවරණයට මාස තුනකට පෙර ය.

එවකට ටෙක්සාස් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ තරුණ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ජේම්ස් ෆිෂ්කින් සිය ලිපියෙන් යෝජනා කර තිබුණේ ඇමෙරිකාව පුරා වෙසෙන පුරවැසියන් අතරෙන් කුසපත් ඇදීමෙන් අහම්බෙන් තෝරා ගත් 1500 දෙනෙකු සමඟ සියලු ජනාධිපති අපේක්ෂකයන් එක ම තැනක දී දෙසතියක කාලයක් සඳහා එකට මුණ ගැස්විය යුතු බවයි. එහි දී ජනාධිපති අපේක්ෂකයන් සිය දේශපාලන හා ආර්ථික සැලසුම් ප්‍රමාණවත් විස්තර සහිතව එසේ රැස් වන පුරවැසියන්ට ඉදිරිපත් කළ යුතු අතර එම යෝජනා හේතු යුක්ති සහිතව මැන බලමින් එකිනෙකා හා සාකච්ඡා කිරීමේ නොහොත් සංවිචාරණය (deliberation) කිරීමේ අවකාශය පුරවැසියන් 1500 ට ම ලැබිය යුතු ය. මේ පුරවැසි  සංවිචාරණය රූපවාහිනිය ඔස්සේ සජීවී ව ප්‍රචාරණය කරන බැවින් අවශේෂ පුරවැසියන්ට ද එයට කන් දී ජනාධිපතිවරණයේ දී මනා ලෙස දැනුවත් වූ තෝරා ගැනීමක් කළ හැකි ය. මේ කටයුත්ත සඳහා ග්‍රීසියේ පැරණි ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදයේ අංග දෙකක් සුවිශේෂයෙන් ම යොදා ගත යුතු බව ෆිෂ්කින් සිය ලිපියෙන් කියා සිටියේ ය. සහභාගී විය යුතු පුරවැසියන් 1500 දෙනා ම කුසපත් ඇදීමෙන් අහඹු (Random) ලෙස තෝරා ගැනීම ඉන් පළමුවැන්නයි. එහෙත් එසේ අහඹු ලෙස තෝරා ගත්ත ද හැකි ඉහළ ම විවිධත්වය නිරූපණය වන ලෙස පුරවැසියන් තෝරා ගැනීමට  සංවිධායකයින් වග බලා ගත යුතු ය. දෙවැන්න සහභාගී වන්නන්ට දිරි දීමනාවක් ගෙවීමයි. මෙම සංවිචාරණයට සහභාගි වන සියලු පුරවැසියන් අතර දේශපාලන සමානාත්මතාව සහතික කළ හැකි ය. ඒ ඔවුන් ලොට් නොහොත් කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගන්නා අය වීම නිසායැ’යි ෆිෂ්කින් පෙන්වා දුන්නේ ය. න්‍යායික ව බැලූ විට ඒ ක්‍රමය අනුව හැම ඇමෙරිකානු පුරවැසියෙකු සම්බන්ධයෙන් ම තෝරා ගනු ලැබීමට ඇති හැකියාව එක හා සමාන වේ. දේශපාලනමය අවස්ථාව හැමට සාධාරණ ලෙස බෙදී යෑමේ ඇතීනියානු සංකල්පය නැවත අවදි කිරීමක් ලෙස එය සැලකිය හැකි ය. 

 එහෙත් ඇත්ත වසයෙන් ම ෆිෂ්කින්ගේ හිතේ තිබුණේ ඔහුගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම මඟින් වෙනස් මාදිලියක ජන මත විමසුමක් අත්හදා බැලීමයි. එනම් අදාළ කරුණු ගැන කල්පනා නො කර තීරණය කරන විට මහජනතාව සිතන ආකාරය සහ එම කරුණු ගැන හොඳින් කල්පනා කර තීරණය කිරීමට අවස්ථාවක් ලැබුණු විට සිතන ආකාරය අතර ඇති වෙනස කුමක් ද යන්න ගැන ඔහු යෝජනා කරන සංවිචාරණීය මත විමසුම් ක්‍රමය මඟින් පරීක්ෂා කොට බැලීමයි.

මේ  වන විටත් නොබෙල් ත්‍යාගලාභී ඩැනියෙල් කාහ්නෙමන් සිය ප්‍රකට Thinking, Fast and Slow (සිතීම, වේගයෙන් සහ හෙමින්) නමැති කෘතිය පළ කර නොතිබිණි. ඉන් අවුරුදු 23කට පසු එම කෘතිය පළ කරමින් අප හිතන ආකාර දෙකක් ඇති බව චර්යා ආර්ථික විද්‍යාව (behavioural economics) සංවර්ධනය කිරීමට විශාල මෙහෙවරක් කළ මනෝ විද්‍යාඥයෙකු වූ කාහ්නෙමන් පෙන්වා දුන්නේ ය. වැඩියෙන් ම භාවිත වන වඩා ක්ෂණික පළමු අකාරයට අනුව අප තීරණ ගන්නේ කිසිදු ආයාසයක් නො ගෙන පුරුද්දට මෙනි. එහෙත් දෙවැනි ආකාරයට අනුව තීරණ ගැනීමේ දී අපි අපේ අවධානය හා සංවිචාරණීය හැකියාව උපරිම ලෙස භාවිත කරමින් විවේක බුද්ධියෙන් යුතු ව තීරණ ගැනීමට වග බලා ගන්නෙමු. අප බොහෝ විට දේශපාලන තීන්දු ගන්නේ පළමුවැනි අකාරයට ය. එහි දී ස්වායත්ත ව හිතනවාට වඩා අප කරන්නේ වැඩි කරදර නො වී අනුන් හිතන අන්දමට සිතීමයි. කාහ්නෙමන්ගේ ඒ පොත මට සිහි වුණේ ජේම්ස් ෆිෂ්කින් 2018 පල කළ ඔහුගේ Democracy When the People are Thinking යන අලුත් පොතේ නමින් ම කියවෙන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසුන් දැනුවත් ව සිතන විට පමණක් පවතින දෙයක් බව පෙන්වා දෙන විට යි. සංවිචාරණයේ අරමුණ එවැනි දැනුවත් සිතීමකට මිනිසුන් යොමු කිරීමයි.

කෙසේ වෙතත් හුදෙක් කිසියම් දේශපාලනඥයෙකුට ඡන්දය දීම නො ව එකිනෙකා හා සමඟ මෙන් ම විෂය විශේෂඥයන් සමඟ ද හේතු යුක්ති විමසමින් සාකච්ඡා කොට දැනුවත් ව තීරණයකට එළඹෙන ප්‍රජාතන්ත්‍රවාදය යන අර්ථයෙන් ‘සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය’ (‘deliberative democracy’) යන යෙදුම බිහිවුණේ 1988 ඇට්ලාන්ටික් සඟරාවේ ෆිෂ්කින් පළ කළ ඒ ලිපියෙනි.

නිශ්චිත සමාජ අභියෝග සම්බන්ධ සියලු අදාළ තොරතුරු සහ හේතු සාමූහික සංවිචාරණය කේන්ද්‍ර කොට සලකා බලා සහභාගිවන්නන් විසින් තාර්කික හා සංයුක්ත විසඳුම් සම්පාදනය කරන ක්‍රමයක් ලෙස සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්විණි. එහෙත් සහභාගිවන්නන් අතරින් ස්වාධිකාරී අතළොස්සකගේ ග්‍රහණයට එවැනි සාමූහික සංවිචාරණයක් හසු වීම වැළැක්වීම පිණිස නිසි ක්‍රියාමාර්ග ගත යුතු ය. ඒ නිසා එවැනි සංවිචාරණයක දී වඩා කුඩා උප කණ්ඩායම්වලට බෙදී සාකච්ඡා ඇරඹීම, සාකච්ඡා සෙනාරිවල (scenario) දළ සැකසුම් කල් තියා සකසා තිබීම, වෘත්තීය ප්‍රමාණකරුවන් හෙවත් මොඩරේටර්වරුන් යොදා ගැනීම සහ උප කණ්ඩායම්වල වාර්තා සාකච්ඡා කරන පූර්ණ සැසි වාර පැවැත්වීම වැනි විධි විධාන යොදා ගත යුතු බව ද ෆිෂ්කින් යෝජනා කළේ ය.

සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මෑත කාලයේ විශාල ශාස්ත්‍රීය සාහිත්‍යයක් බිහි වී තිබේ. එහෙත් ඒ සඳහා මුල් වූ ආභාසය 2500 වසරක් තරම් පැරණි ය. එය දේශපාලන සමානාත්මතාව තහවුරු කරමින් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගත් පුරවැසියන් සිය ගණනක සංවිචාරණීය කතිකා මඟින් ප්‍රධාන තීරණවලට එළඹුණු පැරණි ඇතන්ස් පාලනය දක්වා දිවෙන්නකි. අසල්වැසි මැසිඩෝනියානු රාජාණ්ඩුවේ මිලිටරි බලය වැඩි වීමත් සමඟ ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය ඇරඹුණි. ඒ සමඟ සංවිචාරණීය පාලන විධි ක්‍රමය ද අභාවයට ගියේ ය.

ඇට්ලාන්ටික් සඟරාවේ පළ කළ සිය යෝජනාව ෆිෂ්කින් බරපතළ කොට සැලකී ය. ඒ අනුව එවැනි සංවිචාරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය සහ සම්පත් සැපයිය හැකි සංවිධාන පිළිබඳ තොරතුරු රැස් කළ නමුත් 1992 ජනාධිපතිවරණය වන විටත් ඒ සම්බන්ධයෙන් තීරණයකට ඒමට ඔහුට නො හැකි විය. ඒ සා විශාල පිරිසක් රට පුරා විවිධ ප්‍රාන්තවල සිට ගුවන් මඟින් ගෙන ඒමේ බරපැන දරන්නේ කවුරුන් ද, ඔවුන් සඳහා සති දෙකක් නවාතැන් සැපයීම, සංවිධාන වියදම්  ආදිය ගැන විවිධ සාකච්ඡා ඇති වූ නමුත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල ඇතැම් මුල් පෙළේ අනුග්‍රාහකයෝ ෆිෂ්කින්ගේ අපූරු යෝජනාව ගැන වැඩි මනාපයක් නො දැක්වී ය.

ඒ අනුව ෆිෂ්කින් සිය යෝජනාව සංශෝධනය කොට අහඹු ලෙස තෝරා ගනු ලබන සහභාගිවන්නන් සංඛ්‍යාව 600 කට සීමා කිරීමටත් සංවිචාරණය එක සති අන්තයක දී පවත්වා නිම කිරීමටත් යෝජනා කළේ ය. සංඛ්‍යාව අනුව එය ඇමෙරිකානු ජනතාව නියෝජනය කිරීමට ප්‍රමාණවත් නියැදියක් බවත් නිසි ලෙස සංවිධානය කළොත් සංවිචාරණය සහ මත විමසීම සති අන්තයක දී ඉටු කර ගත හැකි බවත් ඔහුට වැටහී තිබුණි. ඒ වන විට ෆිෂ්කින් වඩා කුඩා ප්‍රමාණයේ සංවිචාරණීය ව්‍යාපෘති කිහිපයක් බ්‍රිතාන්‍යයේ සංවිධානය කර අත්දැකීම් ද ලබා ගෙන තිබුණි.

1996  දී බිල් ක්ලින්ටන් සහ බොබ් ඩෝල් අතර ඇමෙරිකානු ජනාධිපති තරඟය පැවැත්වෙන සමය වන විට ජේම්ස් ෆිෂ්කින් සිය සංවිචාරණීය ජනමත විමසුම දියත් කිරීමට ප්‍රායෝගික ව සූදානම් ව සිටියේ ය. ඒ අනුව 1996 ජනවාරි 18 වැනි දින සිට 21 වැනි දින දක්වා ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ දී ‘ජාතික ගැටලු සමුලුව’ (National Issues Convention) යන නමින් ප්‍රථම ඇමෙරිකානු සංවිචාරණීය ජනමත විමසුම පැවැත්වීමට ෆිෂ්කින්ට හැකි විය. ඒ සඳහා ඔහුට ඔස්ටින්හි මහ නගර සභාව, ඇමෙරිකානු මහජන විද්‍යුත් මාධ්‍ය සේවය ( Public Broadcasting Service) සහ ඇමෙරිකානු ගුවන් සේවය ද ඇතුළු සංවිධාන රැසක් සහයෝගය දැක්වී ය. පරිත්‍යාග වසයෙන් ඩොලර් මිලියන හතරක මුදලක් ද ඒ සඳහා එකතු වී තිබුණි. අහඹු ලෙස තෝරා ගත් පුරවැසියන්ගේ සංවිචාරණය සහ ජනාධිපති අපේක්ෂකයන්ගේ මැදිහත් වීම් PBS මහජන විද්‍යුත් මාධ්‍ය සේවා විසින් විකාශනය කරන ලද බැවින් අවශේෂ ජනතාවට ද මේ සංවිචාරණයට අවධානයකින් යුතු ව සවන් දිය හැකි විය.

එහෙත් මෙතරම් සහයෝගයක් තිබිය දීත් ජේම්ස් ෆිෂ්කින්ට විරුද්ධවාදීන්ගේ කටුක විවේචනවලට මුහුණ දීමට ද සිදු විය. සංවිචාරණය ඇරඹීමට පෙර එයට එරෙහි ව ලිපි රැසක් පළ කළ Public Perspective නමැති සඟරාව ඇමෙරිකාව පුරා ජනමාධ්‍යවේදීන් අතර බෙදා හැර තිබුණි. සංවිචාරණය යනු අහඹු ලෙස තෝරා ගත් පුරවැසියන් පිරිසකට කළ හැකි දෙයක් නො වන බවත් එය අනවශ්‍ය දෙයක් පමණක් නො ව අනතුරුදායක දෙයක් විය හැකි බවත් ඇතැම් විරුද්ධවාදීහු කියා සිටියහ.   

කෙසේ වෙතත් ෆිෂ්කින් එම විවේචනවලින් අධෛර්යයට පත් නොවීය. විද්‍යාර්ථීයෙකු වසයෙන් ඔහුට අවශ්‍ය ව තිබුණේ මෙවැනි සංවිචාරණීය ක්‍රියාවලියක්‍ මඟින් මිනිසුන්ට කිනම් ආකාරයක බලපෑමක් ඇති විය හැකි ද යන්න විද්‍යාත්මක ව විමසා බැලීමයි. සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස සහභාගි වන්නන්ගේ පරිඥානය වෙනස් වන ආකාරය වටහා ගැනීමට ෆිෂ්කින්ට අවශ්‍ය වී තිබුණි. ඒ සඳහා ඔහු සංවිචාරණයට පෙර, සංවිචාරණය අතර මග දී මෙන් ම සංවිචාරණය අවසානයේ දී සහභාගි වන්නන් විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නාවලි තුනක් පිළියෙළ කර තිබුණි. සහභාගි වන්නන් හැම දෙනෙකුට ම සංවිචාරණයට විෂය වන කරුණු සහිත තොරතුරු ගොනුවක් කල් තියා සපයා දී තිබුණි.  ඔවුනොවුන් අතර මෙන් ම විෂය විශේෂඥයන් සමඟ ද සාකච්ඡා කොට කරුණු විමසා බැලීමට හා ගැටලු නිරාකරණය කර ගැනීමට සහභාගි වන්නන්ට ප්‍රමාණවත් අවස්ථා ද සලසා දී තිබුණි.  නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණවලට අනුව සහභාගී වූ බොහෝ අය තුළ තමන් සහභාගි වන්නේ පොදු මෙහෙවරක් සඳහා ය යන හැඟීම, අන්‍යෝන්‍ය ගරුත්වය සහ ප්‍රසාද ජනක බව තිබුණු අතර පරස්පර මත ඉතා ඉවසිල්ලෙන් සහ සාවධාන ව සාකච්ඡා කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නිරන්තරයෙන් පවත්වා ගෙන යෑමට ද ඔවුහු සමත් වූහ.

අවසානයේ දී සිය සංවිචාරණීය මත විමසුමේ අභිමතාර්ථය මුළුමනින් ම පාහේ ඉටු වූ බවට සෑහීමකට පත් වීමට ෆිෂ්කින්ට හැකි විය. සංවිචාරණයට පෙර සහ පසු තත්වය සසඳන විට සහභාගි වන්නන්ගේ අදහස්වල ඇතිවී තිබූ වෙනස් වීම විස්මය දනවන සුලු විය. දේශපාලන තීරණ ගැනීමේ සංකීර්ණ භාවය පිළිබඳ වඩා දැනුවත් වීම සිය අදහස් වෙනස් කර ගැනීමට සහභාගි වන්නන්ට සැලකිය යුතු ලෙස බලපා තිබුණි . සහභාගිත්ව සංවිචාරණය දේශපාලන තීන්දු ගැනීමෙහි ලා සහභාගී වූවන්ගේ හැකියාව සහ විදග්ධ බව බෙහෙවින් මුවහත් කළ බව නිසැක ලෙස පෙනී ගියේ ය. අවශ්‍ය මෙවලම්  හා තොරතුරු සැපයූ විට සාමාන්‍ය ජනතාවට ද  නිපුණ පුරවැසියන් බවට පත් විය හැකි බව පළමු වරට විද්‍යාත්මක ව තහවුරු කළ අවස්ථාව එය බව ෆිෂ්කින්ගේ ප්‍රයත්නය ගැන විවරණයක් කරමින් රේබෲක් පවසයි.[68]

සිය අත්හදා බැලීම නිසා වොයිස් කට්, සටන් පාට, වෙළඳ දැන්වීම් හා ඊනියා ජනමත සමීක්ෂණ යොදා ගෙන පැවැත්වෙන ගාල ගෝට්ටි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නියම මහජන මතය සාවධානව ඉස්මතු කර ගැනීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය වඩා ශක්තිමත් කිරීමට අවස්ථාවක් සැලසිය හැකි බව ෆිෂ්කින් විශ්වාස කළේ ය.

ජේම්ස් ෆිෂ්කින්ගේ මේ ශාස්ත්‍රීය කටයුතු දේශපාලන විද්‍යාවේ නියම සංවිචාරණීය හැරවුම නිසැක ව ම සලකුණු කළේ ය. බරපතළ ලෙස රෝගාතුර ව ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට නව ජීවන හුස්මක් පිඹීමට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති හැකියාව තව දුරටත් සැක කිරීමට කිසිදු දැනුවත් විද්‍යාර්ථීයෙකුට හේතුවක් නැති බව රේබෲක් පවසයි.  පුරවැසි සහභාගිත්වය යනු හුදෙක් පෙළපාලි යෑමට, වැඩ වර්ජනය කිරීමට, පෙත්සම් අත්සන් කිරීමට හෝ පොදු තැන්වල එක් රැස්ව ජන ඝෝෂා පැවැත්වීමට ඉඩ ලබා දීම පමණක් නො වේ. පුරවැසි සහභාගිත්වය යනු ආණ්ඩුකරණය තුළ නිතිපතා ආයතනික ව තහවුරු කළ යුතු දෙයකි. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය එයට මඟ සලසයි.

ඉන් පසුව ද ෆිෂ්කින් ලෝකයේ විවිධ රටවල සංවිචාරණීය මත විමසුම් සංවිධානය කිරීමට දායක විය. ෆිෂ්කින් වැඩ කළ ටෙක්සාස් ප්‍රදේශය මූලික වසයෙන් ඛනිජ තෙල් නිපදවීම මත යැපෙන ජනපදයකි. එසේ වුව ද ඛනිජ තෙල් වෙනුවට පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද ප්‍රවර්ධනය කිරීමට කැමැත්ත දක්වන ටෙක්සාස් වැසියන් පිරිස 52% සිට 84% දක්වා වැඩි කර ගැනීමට සංවිචාරණීය මත විමසුම් ක්‍රමය යොදා ගැනීම මඟින් ඔහුට හැකි විය.  එම සහයෝගය නිසා 2007 වන විට ටෙක්සාස් ජනපදය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වැඩි ම සුළං බල විදුලි ජනක ප්‍රමාණයකින් විදුලි බලය සපයා ගන්නා ජනපදය බවට පත් විය. ඒ හා සමාන සංවිචාරණීය මත විමසීම් ජපානයේ විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධයෙන් ද, බල්ගේරියාවේ රෝමා ජනවර්ගයට අඩු සැලකිලි දැක්වීම සම්බන්ධයෙන් ද, බ්‍රසීලයේ මහජන සේවකයන්ගේ වෘත්තීය හැකියාව දියුණු කිරීම සම්බන්ධයෙන් ද, චීනයේ නාගරික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද පවත්වා ඇති බව රේබෲක් පෙන්වා දෙයි. ඉතාමත් දරුණු වාර්ගික හා ආගමික බෙදීම් ඇති තැන්වල පවා ෆිෂ්කින්ගේ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදි විධික්‍රමය ඵලදායක ලෙස උපයෝගී කර ගෙන තිබේ. උදාහරණයක් වසයෙන් අයර්ලන්තයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාමූහික සංවිචාරණයකට ලක් කිරීමට අයර්ලන්තයේ එදිරිවාදී කතෝලික හා ප්‍රොතෙස්තන්ත්‍ර ආගම්වලට අයත් දෙමව්පියන් එකට එක් ව කටයුතු කළ හැකි විය. ඒ අනුව සාමාන්‍යයෙන් එකිනෙකා ගැන විවේචනය කිරීමට පුරුදු ව සිටි එදිරිවාදීන් එකිනෙකා හා සාකච්ඡා කිරීමට පෙලඹවීමට සංවිචාරණීය මත විමසුම් ක්‍රමය සමත් විය. 2021 ජුනිවල ෆිෂ්කින් කළ ඉදිරිපත් කිරීමකට අනුව මේ වන විට බටහිර රටවල් හැරෙන විට සෙනගාලය, ටැන්සානියාව, තායිලන්තය, උගන්ඩාව, ඝානා, බ්‍රසීලය, චිලිය, මොංගෝලියාවේ සහ මොරොක්කෝව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදී සංවිචාරණීය විධික්‍රමය උපයෝගී කර ගෙන තිබේ.

ඒ අතරින් අයිස්ලන්තයේ සහ මොංගෝලියාවේ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය උපයෝගී කරගත් අකාරය මේ පරිච්ඡේදයේ දෙවැනි භාගයෙන් සවිස්තරව සාකච්ඡාවට ලක් වේ.

පොදුවේ ගත් විට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) යනු ගැටුම් නිරාකරණය කරගැනීම සහ දේශපාලන තීන්දු තීරණ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාක්ෂාත් කරගැනීමට යොදා ගන්නා විචාරශිලී කාර්ය පටිපාටිමය එළඹුමක් ලෙස සැලකිය හැකිය. වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම පිණිස එය එහි විකල්පය වන මැතිවරණ තීන්දු තීරණ ගැනීමේ දී යෙදෙන සමුදායී ආකෘතිවලට (aggregative forms) වඩා වෙනස් වන්නේ කෙසේදැයි විමසා බැලිය හැකිය. සමුදායී ආකෘතියේදී සහභාගිවන්නන්ට සිදුවන්නේ දැනටමත් නිගමනය කර ඇති ආස්ථාන (positions) අතරින් තමන්ට අඩු වැඩි වසයෙන් එකඟවිය හැකි ආස්ථානය තෝරා ගැනීමයි. එහිදී එකී ආස්ථාන වෙනස් කිරීමට, වැඩි දියුණු කිරීමට හෝ නව ආස්ථානයක් සාකච්ඡාවට ලක් කිරීමට සහභාගිවන්නන්ට අවස්ථාවක් නො ලැබේ. උදාහරණයක් ලෙස සමුදායි ආකෘතියක් වන මැතිවරණ දේශපාලන ක්‍රියායනයකට (political process) සහභාගි වන ඡන්දදායකයින්ට තමන් අතර හෝ තමන් හා ඡන්දාපේක්ෂකයන් අතර ඇතිවන ගැඹුරු කතිකාවකින් මතුවන නව ආස්ථානයක් මනාප තේරීමක් ලෙස මැතිවරණ වේදිකාවට එකතු කිරීමට අවස්ථාවක් නො ලැබේ. මැතිවරණයකට තරඟ කරන පක්ෂ තමන්ගේ ම ප්‍රතිපත්ති සමුදායක් ඉදිරිපත් කරන අතර ඡන්දදායකයාගේ කාර්ය වන්නේ සිය මනාපයට ගැලෙපන ප්‍රතිපත්ති සහිත පක්ෂය හෝ අපේක්ෂකයා තෝරා ගැනීමයි. එකී ප්‍රතිපත්ති ඡන්දදායකයන්ගේ ක්‍රියාකාරි මැදිහත් වීමෙන් ගැඹුරු සංවිචාරණයට ලක් කොට වැඩි දියුණු කර ගැනීමේ අවකාශයක් සමුදායි ආකෘතිය තුළ සාමාන්‍යයෙන් නොපවතී. ඒ නිසා සමුදායි ආකෘතියේදී ඡන්දදායකයා යනු අකර්මණ්‍ය පුද්ගලයෙකු මිස සක්‍රිය පුරවැසියෙකු නොවේ. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය ඊට වෙනස් ව සහභාගිවන්නන් අතර කෙරෙන දැනුවත් සංවිචාරණයක ප්‍රතිපලයක් ලෙස අභිමත පරිදි වඩාත් ම සුදුසු ආස්ථානය මුලු මනින්ම අලුතින් ගොඩ නැගීමට, වැඩි දියුණු කිරීමට හෝ තෝරා ගැනීමට ඉඩ සලසයි.

හාබර්මාස්ට අනුව සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය යනු ලිබරල්වාදය (liberalism) හා සමූහාන්ඩුවාදය (republicanism) අතර පිහිටි තවත් සුවිශේෂ දේශපාලන ආකෘතියකි. එහෙත් මෙකී ආකෘති තුනටම පුද්ගලයාගේ ස්වතන්ත්‍රබාවය, පුරවැසියන්ගෙන් සමන්විත දේශපාලනික ප්‍රජාවක් සහ රාජ්‍යය සමග සහසම්බන්ධතාවක් ඇති සිවිල් සමාජයක් තුළ පිහිටුවා තිබෙන පොදු අවකාශය (public sphere) යන ගති ලක්ෂණ තුන ම පොදුය. එහෙත් ඒ පොදු ලක්ෂණ තුන ලිබරල්වාදය, සමුහාණ්ඩුවාදය හා සංවිචාරණීය ප්‍රජාතනත්‍රවාදය තුළ අවධාරණය වන්නේ එකිනෙකට වෙනස් ආකාරයෙනි. ඒ අනුව ලිබරල්වාදී ආකෘතිය වැඩි අවධාරණයක් යොදන්නේ පුද්ගල අයිතීන් යනු රජයේ බලපෑම් වලින් ආරක්ෂා කරගත යුතු ඒවා වසයෙන් සැලකීමට යි. සමුහාණ්ඩුවාදී හෙවත් ප්‍රජාමූලවාදී (communitrarian) ආකෘතියෙන් අවධාරණය කරන්නේ නිලධාරිවාදී රාජ්‍ය යන්ත්‍රණයක් වෙනුවට සදාචාරය මුල් කරගත් රටවැසියන්ගේ ස්වයංපාලනයකින් මෙහෙයවෙන දේශපාලනික ප්‍රජාවක් ගැන යි. එහෙත් සංවිචාරණීය ආකෘතියේ අවධාරණීය ලක්ෂණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විමුක්තිදායක විභවය උපයෝගි කොට දේශපාලනය පොදු යහපත තකා සංවිචාරණියව දමනය කරගැනීම සඳහා සිවිල් සමාජය මුල්කරගත් පොදු අවකාශයට දී ඇති තීරණාත්මක වැදගත් කම යි.

සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වටහා ගත යුතු කරුණ වන්නේ සංවිචාරණයයේදී මනාපයන් (preferences) ගොඩ නැගෙනවා මෙන්ම මනාප සම්බන්ධ කලින් තිබූ තෝරා ගැනීම් හා ඒවාට දී තිබූ ප්‍රමුඛත්වය ද වෙනස් විය හැකි බව යි. නියම සංවිචාරණයකදී ඊට සහභාගිවන්නන් අතර තමන් එතෙක් දැරූ මතය වෙනස් කරමින් වෙනත් මතයක් තෝරා ගැනීමට ඇති පෙළඹීම වැඩි විය යුතුය. සංවිචාරණයේ දී සුවිශේෂයෙන් සුලුතර මතය හා සුලු ජාතීන්ගේ පර්යාලෝක ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ නිසා පොදු යහපත මුල් කර ගැනීම මගින් ආත්මාර්ථකාමී ආකල්ප වල බලපෑම හැකිතාක් දුරට සංවිචාරණයේ දී අවම කළ යුතුය. ඒ අනුව කලින් වෙනත් අදහස් දැරුවන් අතර පවා සංවිචාරණය අවසානයේ දී එළඹෙන නිගමන පිළිගැනෙන අයුරින් ඉවසිලිවන්තව හා මිත්‍රශීලීව සංවිචාරණය සිදුවිය යුතුය.

අනෙකුත් එලඹීම් වලට වෙනස් ව විවිධාකාර සංවිචාරණිය ප්‍රජාතනත්‍රවාදී ආකෘති වල අඩංගු අංග ලක්ෂණ දහයක් පමණ සලකුණු කළ හැකි බව තෝමස් හොස්ලර් (2018:14-15) සිය The Media and the Public Sphere: A Deliberative Model of Democracy’ නම් කෘතියෙන් පෙන්වා දෙයි. ඒවා නම්

  • හුදෙක් ඡන්දය පමණක් භාවිතා කිරීමට හෝ ලබා ගැනීමට සීමා නොවී ඊට වඩා ඉහළ වටිනා කමක් පුරවැසියන් සහ ඔවුන්ගේ නියෝජිතයන් එකිනෙකා හා කෙරෙන සංවිචාරණයට ලබා දිය යුතුය.
  • මනා ලෙස දැනුවත් වූ තීරණ ගැනීමට එකී සංවිචාරණය සෘජුව ම උපයෝගි විය යුතුය.
  • සංවිචාරණය මගින් එළඹෙන තීරණ පොදු යහපත වැඩි දියුණු කරන ඒවා විය යුතුය.
  •  සමාජ තරාතිරම නොතකා සංවිචාරණයට සහභාගිවන සියල්ලෝ ම එක සමාන ස්වතන්ත්‍ර පුද්ගලයන් ලෙස එකිනෙකා විසින් පිළිගෙන මිත්‍රශීලී ව සැලකිය යුතුය.
  •  සංවිචාරණීය දේශපාලන ක්‍රියායනයකට කෙනෙකු සහභාගි වන්නේ ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අනුව බව සහභාගිවන සියල්ලන් ම විසින් පිළිගත යුතුය.
  • පොදු යහපත යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් පුරවැසියන් අතර විවිධ හා ඇතැම් විට එකිනෙකට පටහැනි මත තිබිය හැකි බැවින් සංවිචාරණයට පෙර එකී මත ගැන සහභාගිවන්නන් අවසාන නිගමනයකට නොපැමිණිය යුතුය.
  • සුදුසු මනාප සම්බන්ධයෙන් අවසානයේ එළඹෙන නිගමන හුදෙක් සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස සාක්ෂාත් කරගත් ඒවා විය යුතුය.
  • සංවිචාරණය හුදු පුද්ගලික සම්බන්ධතා මත කෙරෙන සාකච්ඡාවක් බවට පත් නොවී පුද්ගලික සම්බන්ධතා වලින් තොර බහුතරයක් හා කෙරෙන විවෘත හා අවංක සාකච්ඡාවක් විය යුතුය.
  • හැම විටම සංවිචාරණයට පාත්‍ර විය යුත්තේ පෞද්ගලික ලැදියා පිලිබඳ ව නොව පොදු යහපත හා සහබද්ධ වූ කරුණකි.
  • එහෙත් පුරවැසියාගේ නිදහස, සමානාත්මතාව හා ස්වතන්ත්‍රභාවය හා සෘජු ලෙස සම්බන්ධ නොවූ කාරණයක් වුවද පොදු යහපත හා සම්බන්ධ නම් සංවිචාරණයට ලක් කිරීමට හැකි ය.

 කෙසේ වෙතත් ‘සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය’ සහ ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය’ යන දෙක එකක් නො වේ. ජේම්ස් ෆිෂ්කින් සිය ‘When the People Speak’ නම් කෘතියේ පෙන්වා දෙන පරිදි සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන සමානාත්මතාව සමඟ ම සංවිචාරණය ද එක සමාන ව අවධාරණය කරයි.[69] එහෙත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය අවධාරණය කරන්නේ දේශපාලන සමානාත්මතාව සහ බහු ජන සහභාගිත්වයයි. මේ සංකල්ප දෙකේ ම ඇතැම් පොදු ලක්ෂණ තිබෙන නමුත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදීන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ තීරණ ගැනීමේ දී ප්‍රායෝගික ව ම බහු ජනතාවක් සහභාගී වීම ගැනයි. එහෙත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදීන් වඩා වැදගත් කොට සලකන්නේ එක්රැස් ව අදාළ විෂය පිළිබඳ ගැඹුරින් සලකා බැලීම සාර්ථක ලෙස කර ගත හැකි ප්‍රමාණයට අහඹු ලෙස (randomly) තෝරා ගත් මහජන නියැදියක් යොදා ගෙන කෙරෙන ගැඹුරු හා දැනුවත් සංවිචාරණයකින් පසුව එලඹිය හැකි එකඟත්වය මත තීරණ ගැනීමයි.  එහෙත් මේ සංකල්ප දෙක අවශ්‍යයෙන් ම එකිනෙකට හා ප්‍රතිවිරුද්ධ වටිනාකම්වලින් යුත් ඒවා ලෙස සැලකිය යුතු නො වේ. තීරණ ගැනීමේ දී සෘජු මහජන සහභාගිත්වය බොහෝ සහභාගිත්ව එළඹුම්වලින් වැදගත් කොට සැලකූ අන්දම අප පසුගිය පරිච්ඡේදයෙන් සාකච්ඡා කළෙමු. එහෙත් සිය සමීක්ෂණ පාදක කර ගෙන ෆිෂ්කින් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන සියලු තොරතුරු, සෘජු සහභාගිත්වය සහ සාකච්ඡා සඳහා සුදුසු රැස්වීම් ස්ථානයක් සපයන්නේ නම් වඩා දැනුවත් වීමේ හැකියාව සාමාන්‍ය ජනතාවට ඇති බවත් ඒ අනුව එතෙක් දරා සිටි මතය වෙනස් කිරීමට ඔවුන් සූදානම් බවත් ය.

ඉතා සරල අන්දමින් විස්තර කළොත් ෆිෂ්කින් විසින් හඳුන්වා දෙන ලද සංවිචාරණීය මත විමසීමේ ක්‍රමය මඟින් කෙරෙන්නේ විමර්ශනයට ලක් වන විෂය කරුණ පිළිබඳ ව හොඳින් කල්පනා කර බැලීමට තරම් ප්‍රමාණවත් කාලයක් ලැබුණොත් මහජනතාව සිය මුල් තීරණය වෙනස් කර ගන්නේ ද  යන්න විමසා බැලීමයි. එහි අරමුණ වැඩි කල්පනා කිරීමකින් තොර ව රැල්ල යන අත අනුව සාමාන්‍ය ඡන්දදායකයන් විසින් සම්ප්‍රදායානුකූල මැතිවරණ තේරීමක් කරනු ලබන ආකාරය මැන බැලීම නො ව මහජනතාවගේ ක්ෂුද්‍ර රූපයක් ලෙස සැලකිය හැකි ප්‍රමාණයෙන් කුඩා නියෝජන කණ්ඩායමක් යොදා ගෙන අදාළ කාරණය පිළිබඳ ව කෙරෙන හොඳ සංවිචාරණයකට පෙර සහ පසු ව ගන්නා තීරණ කිනම් ආකාරයකට එකිනෙකින් වෙනස් වන්නේ දැයි නිගමනය කිරීමයි.  මත විමසුමට ලක් කෙරෙන කණ්ඩායමෙන් ප්‍රමාණවත් ලෙස මහජනතාව නියෝජනය වන බව පෙනෙන්නේ නම් ප්‍රතිඵලය මඟින් ද බොහෝ දුරට නිරූපණය වන්නේ අදාළ තොරතුරු සැපයෙන දැනුවත් සංවිචාරණයක කොටස්කරුවන් වීමට ඉඩ ලැබුණොත් පොදු මහජනතාව සවිඥානික ව තීරණ ගන්නා ආකාරයයි. 

ෆිෂ්කින් ඇත්ත වසයෙන් ම අදහස් කළේ සිය සංවිචාරණීය මත විමසුම් ක්‍රමය පැරණි ඇතන්ස් නුවර පැවැති ජූරි සභා ක්‍රමය අනුව සැකසීමටයි.[70]නූතන ජූරි සභා ක්‍රමය මෙන් ඇතන්ස්හි  ජූරි සභා ක්‍රමය හුදෙක් අධිකරණයක විනිශ්චය සඳහා විනිසුරුට උපදෙස් දෙන කටයුත්තට යොදා ගත් එකක් පමණක් නො වී ය. එය ඇතන්ස් නුවර සමාජ දේශපාලනික හා ආර්ථික කරුණු පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ හා සාකච්ඡාවට ලක් කළ එක්ලෙසියා (Ecclesia) නමින් හැඳින්වුණ පුරවැසි මහ සභාවේ විධායක කමිටුව බඳු ආයතනයක් විය. එහි එක් සුවිශේෂ කටයුත්තක් වූයේ පුරවැසි මහ සභාව  හමුවට නීති විරෝධි හෝ වගකීම් විරහිත යෝජනා ගෙන එන අය විනිශ්චයට ලක් කිරීමයි. ඒ ජූරි සභාව සමන්විත වූයේ කුසපත් ඇදීමෙ ක්‍රමයට අහඹු ලෙස තෝරා ගත් පුරවැසියන් 500 කට කිට්ටු සංඛ්‍යාවකිනි. ඒ සා  විශාල සංඛ්‍යාවකින් යුතු ජූරි සභාවකට අල්ලස් දීම හෝ බලය යොදා මෙහෙයවා ගැනීම අසීරු කටයුත්තකි. ඒ නිසා එවැනි ජූරි සභා විභාගයකට මුහුණ දීමට සිදු වන ආකාරයේ අනීතික හෝ වගකීම් විරහිත යෝජනා එක්ලෙසියා මහ සභාවට ඉදිරිපත් නො කිරීමට ද ඇතන්ස්හි පුරවැසියෝ වග බලා ගත්හ. එක්ලෙසියා මහ සභාව විසින් සලකා බැලූ යෝජනා හා තීන්දු වැඩිදුරටත් සලකා බලා අවශ්‍ය නම් ඇතැම් තීන්දු සංශෝධනය කිරීමට ද එම ජූරි සභාවට බලය ලැබුණි.

එකී ඇතීනියානු ජූරි සභා ක්‍රමය දෙයාකාරයකින් සුවිශේෂ ය: එනම් දැඩි සංවිචාරණය සහ ජූරි සාමාජිකයන් කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගැනීමයි. එම සාධක දෙකේ ම එක්වීම සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අභියෝගයක් වූ ජනගහනයේ ප්‍රමාණය ආමන්ත්‍රණය කිරීම පිළිබඳ ගැටලුවට විශිෂ්ට විසඳුමක් වූ බව ෆිෂ්කින් අදහස් කරයි. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයේ දී අවසාන නිගමනයට පැමිණීම පිණිස සහභාගි වන හැම කෙනෙකුගේ ම අදහස් එක සමාන ලෙස වැදගත් කොට සැලකිය යුතු ය. මෙම ක්‍රියාවලිය සංවිචාරණීය ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්නේ අදාළ කරුණුවල හේතු යුක්ති බව මෙන් ම විෂය විශේෂඥයින්ගෙන් ලබා ගන්නා නව දැනුම ද එකිනෙකා කෙරෙහි ඇති සමාන ගරුත්වය පදනම් කර ගෙන තරයේ සාකච්ඡාවට ලක් කරන බැවිනි. එසේ සංවිචාරණීය වන අතර එම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන්නේ සහභාගි වන හැම කෙනෙකුගේ ම අදහස් එක සමාන සැලකිල්ලකින් සාකච්ඡාවට ලක් කරන බැවිනි.

ෆිෂ්කින් ඉදිරිපත් කළ සංවිචාරණීය මත විමසුම් ක්‍රමයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ දේශපාලන සමානාත්මතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවිචාරණයට ගරු කරන අතර ම ප්‍රමාණයෙන් විශාල නූතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළට මුහුණට මුහුණ ලා කෙරෙන විමර්ශනාත්මක සාකච්ඡා ක්‍රමයක් ගෙන ඒමයි. අන්තර්ජාලය පදනම් කරගත් සංනිවේදන ක්‍රම සමඟ යොදා ගත් විට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය තුළට වඩා පුළුල් මහජන සහභාගිත්වයක් ගෙන ආ හැකි ය. ඒ බව 2010 සිට 2013 දක්වා අයිස්ලන්ත වැසියන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා දැරූ ප්‍රයත්නයේ දී උපයෝගී කරගත් විවෘත සංවිචාරණීය (deliberative) ක්‍රමවේදයෙන් පෙන්නුම් කරයි. ඒ අනුව අයිස්ලන්ත අත්දැකීම ෆිෂ්කින් නිර්ණය කළ සංවිචාරණය සහ අහඹු ලෙස තෝරා ගත් මහජන නියැදිය යන සාධක දෙකට අතිරේක ව අන්තර් ජාලගත (online) මහජන සහභාගිත්වය ද සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් සාධකයක් ලෙස  එක් කළේ ය. ඒ නිසා අයිස්ලන්ත අත්දැකීම සවිස්තර ව සලකා බැලීම වටී.

2008 ආර්ථික අර්බුදයේ පීඩනය හමුවේ පවතින දේශපාලන ක්‍රමයට එරෙහිව ඒකරාශී වූ අයිස්ලන්ත රටවැසියෝ 2009 දී සිය රටට නව දැක්මක් අවශ්‍ය බව කියා සිටියෝ ය. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්ය දියත් කිරීම එම උද්ඝෝෂණයේ ම ඉල්ලීමක් විය. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී විනිවිදභාවය, විවෘතභාවය සහ මහජන සහභාගිත්වය යන කොන්දේසි තුන ප්‍රමුඛ කර ගත යුතු බව මහජන මතය විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා අන්තර්ජාල සංනිවේදනය හරහා සෘජු මහජන සහභාගිත්වය ලබාගත් ලෝකයේ ප්‍රථම ‘ජන මූල’ (crowdsourced) සංවිචාරණීය ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදන ක්‍රමය ලෙස බොහෝ දේශපාලන විද්‍යාර්ථිහු අයිස්ලන්ත අත්දැකීම අගයති.[71] ජන මූල යන්නෙන් මෙහි දී අදහස් වන්නේ ජන සමුදාය ප්‍රභවය කරගත් හෙවත් ජනතාවගෙන් එකතු කර ගත් යන තේරුමයි.  මාර්ග ගත හෙවත් ඔන්ලයින්(online) ක්‍රම යොදා ගෙන ‘ජන මූල’ ව්‍යවස්ථා සම්පාදනයක් සාර්ථක කර ගැනීමට නම්  ප්‍රමාණයෙන් කුඩා සමජාතීය ජනගහනයක්, ඉහළ අධ්‍යාපන මට්ටමක්, ඉහළ මැතිවරණ සහභාගිත්වයක් සහ ජනගහනයෙන් 96%කට අන්තර්ජාල පහසුකම් ඇති වාතාවරණයක් සහිත අයිස්ලන්තය ඒ සඳහා සුදුසු ම ස්ථානයක් වසයෙන් සැලකිය හැකි ය.

2008 ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බැංකු කඩා වැටීම නිසා වැඩි ම හානියක් ඇති වූ රටවල් අතරින් අයිස්ලන්තය ද එක රටක් විය. නවලිබරල්වාදී ප්‍රතිපත්ති අනුව මූල්‍ය අංශය නියාමනය කිරීම හැකි තාක් දුරට ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියක් එකල අයිස්ලන්තයේ පැවති දක්ෂිණාංශික ආණ්ඩුව විසින් කලක් තිස්සේ ක්‍රියාත්මක කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය අර්බුදයත් සමඟ 2008 ඔක්තෝබර් මස අයිස්ලන්තයේ විශාලතම බැංකු තුන කඩා වැටුණේ ය. බැංකුවල මේ කඩා වැටීම 320,000 ක් පමණ වූ අයිස්ලන්තයේ ජනගහනයෙන් වැඩි කොටසකගේ බැංකු ගිණුම් අනතුරේ දමමින් ඉතිරි කිරීම් දියකර ඔවුන් ආර්ථික ව්‍යසනයකට ඇද දැම්මේ ය. පවතින පක්ෂ දේශපාලනය ගැන මහජන කලකිරීම වැඩි විය. ‘හැළි වළං විප්ලවය’ (pots and pan revolution) යන නමින් හැඳින්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ දී ඉවුම් පිහුම් භාජනවලට තට්ටු කරමින් ජන ඝෝෂා නගමින් දහස් ගණනින් වීදි බට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන් ම නිරූපණය වූ මහජන විරෝධය බෙහෙවින් බරපතළ විය. එනිසා දක්ෂිණාංශික හා මධ්‍යමික කොටස් වලින් යුක්ත සභාග රජය අවසානයේ දී නව මහා මැතිවරණයක් කැඳවීය. ව්‍යවස්ථා සංශෝධනයක් පොරොන්දු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා වාමාංශික හරිත ව්‍යාපාරයට ඒ අනුව තාවකාලික සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලැබුණි.

ආර්ථික අර්බුදය නිසා අයිස්ලන්තයේ ප්‍රධාන බැංකු කඩා වැටීම එහි බිම් මට්ටමේ දේශපාලනය අවදි කර වීමට සමත් විය. එහි ප්‍රතිඵලයක්  ලෙස The Anthill හෙවත් ‘තුඹස’ නමින් සංවිධාන ගත වූ මහජන ව්‍යාපාරයක් අයිස්ලන්තයේ අනාගතය කෙබඳු විය යුතු ද යන්න සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළේ ය. එය ආරම්භ වූයේ 2009 නොවැම්බරයේ දී ‘ප්‍රථම ජාතික සංවාද සභාව’ යන නමින් පැවැත් වූ එක් දින සම්මේලනයකිනි. ඒ සඳහා පුද්ගලයන් 1500ක් සහභාගී වූ අතර එහි විශේෂත්වය වූයේ  ඒ අතරින් 1200 දෙනෙකු ම ජාතික ජනගහන ලේඛනයෙන් කුසපත් ඇදීමෙන් අහඹු (random) ලෙස තෝරා ගත් අය වීමයි. ඉතිරි 300 දෙනා තෝරා ගන්නා ලද්දේ විවිධ ව්‍යාපාර, වෘත්තීය සහ සිවිල් සමාජ සංවිධාන නියෝජනය කිරීම සඳහායි. මේ රැස්වීමේ දී කතිකා කරගත් කරුණු අතර ප්‍රධාන වූයේ අයිස්ලන්ත ආණ්ඩුව සහ පරිපාලනය ප්‍රතිශෝධනය කිරීමේ දී උපයෝගී කර ගත යුතු ප්‍රමුඛතා සහ ප්‍රවර්ධනය කළ යුතු සමාජ වටිනාකම් මොනවාද යන්නයි.  මෙකී සාකච්ඡා සභාවේ නිගමන ජනමාධ්‍ය මඟින් සහ නොයෙක් අතිරේක කතිකා හා සංවාද ඔස්සේ පොදු අවකාශය තුළ තවදුරටත් සාකච්ඡාවට ලක් විය. ප්‍රථම ජාතික සංවාද සභාවේ සාර්ථකත්වය දුටු නව රජය ව්‍යවස්ථා සම්පාදන වැඩ පිළිවෙළ සූදානම් කිරීම පිණිස විශේෂඥයින් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේ ය. මේ විශේෂඥ කමිටුව The Anthill සංවිධානයත් සමඟ එක් ව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ නිශ්චිත පියවරක් ලෙස ‘දෙවැනි ජාතික  සභාව’ කැඳවී ය.[72]

2010 නොවැම්බරයේ පැවති දෙවැනි ජාතික සභාවට සහභාගි වන අය නම් කරණු ලැබුවේ ද ජාතික ජනගහන ලේඛනයෙන් අහඹු (random) ලෙස කළ තෝරා ගැනීමකිනි. එසේ අහඹු ලෙස තෝරා ගැනීමේ දී රට පුරා සෑම පළාතකින් ම නියෝජනය වන සහ  හැකි තාක් දුරට එක සමාන ස්ත්‍රී පුරුෂ සංඛ්‍යාවක් අයත් වන ලෙස සහභාගි වන්නන් තෝරා ගැනිණි. මේ සඳහා The Anthill සංවිධානය අයිස්ලන්තයේ ප්‍රමුඛ සමීක්ෂණ සමාගමක ආධාරය ඇති ව ජනගහන ලේඛනය උපයෝගී කර ගෙන වයස් කාණ්ඩ, ස්ත්‍රී පුරුෂ භාවය සහ ප්‍රාදේශීය නියෝජනය හැකි තාක් දුරට සමාන වන අන්දමින් අහඹු ලෙස තෝරා ගත් පුද්ගල ලැයිස්තුවක් සකස් කළේ ය. අනතුරු ව එසේ තෝරා ගත් පුද්ගලයන්ට ඒ බව දැනුම් දී අදාළ කාර්ය පිළිබඳ කෙටි විස්තරයක් සමඟ ව්‍යවස්ථා සම්පාදනයට සහභාගි වීම පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත විමසා ලිපි යවන ලදි. එහෙත් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර ප්‍රමාණය 20% කට වැඩි නො වී ය. අනතුරු ව දුර කථන මඟින් ද ඒ පිළිබඳ පැහැදිලි කිරීම් කිරීමට සිදු විය. කෙසේ වෙතත් අවසානයේ දී අවශ්‍ය වූ 950 දෙනා තෝරා ගැනීමට හැකි වූයේ අහඹු ලැයිස්තුවේ සඳහන් 3000 ක් පමණ වූ පුද්ගල සංඛ්‍යාවක් විමසීමෙන් පසුවයි. එසේ තෝරා ගත් සහභාගි වන්නන් කිසියම් අන්දමකින් සහභාගි වීම ප්‍රතික්ෂේප කළ හොත් එම පුරප්පාඩු පිරවීමට සමාන නිර්ණායක අනුව සැකසූ විකල්ප ලැයිස්තුවක් ද සූදානම් කර තිබුණි. ඒ අනුව ක්‍රමවේදය බොහෝ දුරට අහඹු තෝරා ගැනීම අනුගමනය කළ ද අදාළ සහභාගිත්ව නිර්ණායක අනුගමනය කිරීම පිණිස ඇතැම් තේරීම් එම නියැදිය මඟින් ම අභිමතය අනුව තීරණය කිරීමට සිදු විය. එහෙත් මුලු තේරීම් ක්‍රමය විනිවිද පෙනෙන සුලු සාධාරණීකරණය කළ හැකි ක්‍රමයක් වසයෙන් පවත්වා ගැනීමට සංවිධායකයෝ උත්සුක වූහ.

මේ ජාතික සාකච්ඡා සභාවට සහභාගී වූ 950 දෙනාට පැවරුණු කාර්ය වූයේ “රටේ ආණ්ඩුව සහ ව්‍යවස්ථාව සංවිධානය කර ගැනීම පිළිබඳව මහජනතාව විසින් අවධාරණය කළ යුතු මුඛ්‍ය කරුණු මොනවා ද යන්න කතිකා කොට නිගමනය කිරීමයි”.  ඒ අනුව දිනක් පුරා පැවති සාමූහික බුද්ධි කළම්බක (brainstorming) සැසියක් මඟින් ලබාගත් විවිධ අදහස් ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රධාන තේමා අටක් යටතේ ලැයිස්තු ගත කෙරිණි. අනතුරු ව සාකච්ඡා සභාවට සහභාගි වූ සියල්ලෝ ම එක කණ්ඩායමකට අට දෙනෙකු වසයෙන් කණ්ඩායම්වලට බෙදී වට මේස සාකච්ඡා මඟින් එකී අදහස් තවදුරටත් සාකච්ඡාවට ලක් කර එක් එක් කණ්ඩායමේ නිගමන වෙන් වෙන් ව කෙටුම්පත් කළහ. මෙම ක්‍රියාවලිය මෙහෙයවීමට පුහුණු පහසුකම් සපයන්නන් (facilitators) යොදා ගැණිනි. ‘ලොඕස්’ යන නමින් හැඳින්වුණු එම පහසුකම් සපයන්නන් අදාළ කරුණු සම්බන්ධ ව තම පුද්ගලික අදහස් පළ කිරීමෙන් වැළකිය යුතු වූ අතර ඔවුන්ගේ මූලික කාර්යය වූයේ හැම සහභාගි වන්නෙකුට ම සිය අදහස් නො පැකිළ ව ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමයි. බොහෝ වට මේස සාකච්ඡා ආරම්භ වූයේ පහසුකම් සපයන්නා විසින් කරන ලද හැදින්වීමකට පසුවයි. සහභාගිත්ව සාකච්ඡා පැවැත්වීම පිළිබඳ විශේෂඥ පුහුණු ආයතනයක් විසින් පිළියෙළ කරන ලද සම්මන්ත්‍රණ කාලසටහන මෙම සාකච්ඡාවල දී තදින් අනුගමනය කෙරිණි.

පෙරවරුවේ පැවති සාකච්ඡාවලට සහභාගි වූවන්ගේ කාර්යය වූයේ ප්‍රධාන තේමා අටකට වර්ග කරන ලද විවිධ සාධකවලට අදාළ විය යුතු දැක්ම සහ වටිනාකම් කෙබඳු විය යුතු ද යන්න කතිකා කර ගැනීමයි. ඉන් අනතුරුව පස්වරුවේ මුල් කොටස වෙන් වූයේ එක් එක් තේමාව පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ කණ්ඩායම් අතර සාකච්ඡා පැවැත්වීමටයි. මෙහි දී අරමුණ වූයේ එතෙක් එකී තේමා සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ යෝජනා ඒවායේ වැදගත්කම අනුව ලැයිස්තු ගත කිරීම වුවත් සම්මන්ත්‍රණයේ මේ කොටසේ දී සාකච්ඡාව බෙහෙවින් සංවාදශීලී ස්වභාවයක් ගත්තේ ය.

එසේ එක් එක් තේමාව අනුව රැස් වූ කණ්ඩායම් සිය සාකච්ඡාවලින් පසුව උදයවරුවේ සංයුක්ත වූ ආකාරයට යළිත් රැස්ව මෙතෙක් තමන් එක්රැස් කරගත් කරුණු නැවත සිය මුල් කණ්ඩායම තුළ සමාලෝචනයකට ලක් කළේ ය. එක් එක් කරුණ නැවත ගැඹුරින් විමසනවාට වඩා මෙම සාකච්ඡා වටය සාමාන්‍ය අදහස් හුවමාරු කර ගැනීමක ස්වරූපය ගත්තේ ය. එසේ කතිකා කරගත් කරුණු අනුව එක් එක් වට මේසය මුලින් ම සිය මුඛ්‍ය නිර්දේශ පහ සකස් කොට අවසානයේ දී ඉන් වඩාත් ම වැදගත් නිර්දේශ  තුන ඡන්දයකින් සම්මත කර ගත්තේ ය.

මෙම සම්මන්ත්‍රණය අවසානයේ දී එළඹුණු නිගමනවලට අනුව නව ව්‍යවස්ථාවක තිබිය යුතු මුඛ්‍ය වටිනාකම් ලයිස්තුවක් සංවිධායකයින් විසින් පිළියෙල කරන ලදී. ඒ සඳහා අනුගමනය කළ පිළිවෙත මෙසේයි. කතිකාවට ලක් වූ එක් එක් තේමාව සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාවක තිබිය යුතු ම යැ’යි එක් එක් වට මේසය නිගමනය කරන කරුණ පළමුවෙන් ම තනි වැකියකින් ප්‍රකාශ කළ යුතු විය. ඉන් පසු එම කාරණය පිළිබඳ වට මේසය එක සිතින් එකඟ වූ නිර්දේශය තනි වැකියකින් ඉදිරිපත් කළ යුතු ය. අනතුරුව, ‘නව ව්‍යවස්ථාව සම්පාදනය කරන අයට ඔබ විසින් ඉදිරිපත් කරණු ලබන නිර්දේශ, උපදෙස් සහ ඉල්ලීම් මොනවාද?’ යන ප්‍රශ්නයට කණ්ඩායමේ වැඩි ඡන්දයෙන් තෝරා ගත් හොඳ ම පිළිතුරු තුන ලබා දිය යුතු විය. අවසාන වසයෙන් සංවිධායකයෝ පහසුකම් සපයන්නන් ද ඇතුළුව සම්මන්ත්‍රණයට සහභාගි වූ එක් එක් අයගෙන් නව ව්‍යවස්ථාව සම්බන්ධව ඒ අයගේ පුද්ගලික නිර්දේශ ද එකතු කර ගත්තේ ය. අවසානයේ දී සංවිචාරණෙය් සම කැඳවුම්කරුවන් ලෙස තුඹස සංවිදානය හා එක්ව කටයුතු කළ  විශේෂඥයින් හත් දෙනාගේ කමිටුව විසින් මේ ජාතික සභාවේ නිර්දේශ පිළිබඳ විවරණයක් සමඟ නව ව්‍යවස්ථාවක් සඳහා පිළියෙළ කළ සැලසුම් දෙකක් සහිත නිගමන සියල්ල ඇතුළත් පිටු 700 කින් සමන්විත වාර්තාවක් සම්පාදනය කරන ලදී.  එම වාර්තාව අදාළ සියලු ලේඛන සමඟ ඡන්දයෙන් තෝරා ගන්නා සාමාජිකයන් විසිපස් දෙනෙකුගෙන් සමන්විත වන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යොමු කිරීමට සූදානම් කෙරුණි.

අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළේ ඊ ළඟ වැදගත් පියවර වූයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන සාමාජිකයන් 25 දෙනෙකුගෙන් යුතු  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීමයි. නව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ව්‍යවස්ථා සම්පාදන පනතට අනුව දේශපාලනය ගැන අත්දැකීමක් නැති ඕනෑ ම කෙනෙකුට තෝරා පත් විය හැකි මෙම මණ්ඩලය ‘ආධුනිකයන්ගේ’ මණ්ඩලයක් ලෙස හැඳින්වීමට හැකියැ’යි අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ විස්තර කරන ආචාර්ය හෙලන් ලැන්ඩ්මොර්  සිය Open Democracy: Reinventing Popular Rule for the Twenty First Century නමැති කෘතියෙන් පෙන්වා දෙයි.[73] ඒ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින වෘත්තීය දේශපාලනඥයින් නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තේරී පත්වීම ව්‍යවස්ථා සම්පාදන නීතිය මඟින් වළක්වා තිබුණි. එහි අරමුණ වූයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තෝරා පත් වන්නන් අතරින් බහුතරය සාමාන්‍ය රටවැසියන් වීම සහතික කිරීමයි. මෙම විවෘත භාවය නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අයත් වන විසිපස් දෙනා තෝරා ගැනීමේ මැතිවරණයට 522 නෙක් තරඟ කළහ. වෙනත් සාම්ප්‍රදායික ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල මෙන් නො ව අවසානයේ දී තෝරා පත් වූ 25 දෙනාගෙන් අයිස්ලන්ත ජනසමාජයේ බහුවිධත්වය කදිමට නිරූපණය විය.

තාක්ෂණික හේතුවක් නිසා එම මැතිවරණයේ ප්‍රතිඵල අයිස්ලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ ද මැතිවරණයෙන් තෝරා පත් වූ 25 දෙනා පාර්ලිමේන්තුවේ සම්මුතියෙන් යළි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තෝරා පත් කෙරිණි. සාමාන්‍ය මැතිවරණයකින් තෝරා පත් වන වෘත්තීය දේශපාලනඥයන් හෝ පරිපාලකයන් වෙනුවට මෙවර තෝරා පත් වූ බොහෝ අය ආධුනික දේශපාලනඥයන් වසයෙන් සැලකිය හැකි ය. ජාතික සාකච්ඡා සභා දෙකෙහි ම කතිකා කොට පැමිණ තිබූ නිගමන ගැන තම ස්ථාවරය මැතිවරණයට පෙර ඡන්දදායකයින්ට පැහැදිලි කිරීමට ඔවුන්ට සිදුවී තිබුණි. තෝරා පත් වූ අපේක්ෂකයින් විසිපස් දෙනා අතර කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවා තිබුණේ දෙදෙනෙකු පමණි. නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ස්ත්‍රීන් දස දෙනෙකුගෙන් සහ පුරුෂයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත විය. ව්‍යවස්ථා සම්පාදන පනතට අනුව සාමාජිකයන් අතරින් අවම වසයෙන් 40%ක්වත් ස්ත්‍රීන් විය යුතු ය යන කොන්දේසිය එමඟින් සපුරා තිබුණි. තෝරා පත් වූ විසිපස් දෙනා අතර විශ්ව විද්‍යාල මහාචාර්යවරු පස් දෙනෙක්, ජනමාධ්‍යවේදීහු දෙදෙනෙක්, වෛද්‍යවරු තිදෙනෙක්, නීතිඥයෙක්, වෘත්තීය සමිති නායකයෙක්, ක්‍රිස්තියානි පූජකයෙක්, පොත් ප්‍රකාශකයෙක්, වීඩියෝ ක්‍රීඩා නිපදවන්නෙක්, වෙළඳ ව්‍යාපාරිකයෙක්, ජාතික කලා කෞතුකාගාරයේ වාස්තු විද්‍යාව පිළිබඳ කළමනාකරු, දේශපාලන විද්‍යාඥයෙක්, පාරිභෝගික සමාජ ක්‍රියාකාරිකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක් සහ ගොවියෙක් ද වූහ.

මේ තෝරා පත්වීම් විවිධත්වය අතින් විශාල පරාසයකට අයත් වුව ද ප්‍රාදේශීය හා සමාජ ආර්ථික නියෝජනය අතින් බැලූ විට තරමක් දුර්වල තේරීමක් විය. සාමාජිකයන් විසිපස් දෙනාගෙන්  විසිතුන් දෙනෙක් ම රටේ අගනුවර වූ රයික්ජවික් නගර වැසියෝ වූහ. තෝරා පත් වූ අය අතර විද්‍යාර්ථිහු ද සැලකිය යුතු පිරිසක් වූහ. තෝරා පත් වූ එක ම ගොවියා ද ගොවි සමිති ව්‍යාපාරයේ සභාපතිවරයායි. බොහෝ අයගේ ප්‍රධාන විවේචනයක් වුණේ තේරී පත් වී ඇති බහුතරයක් මධ්‍යම පංතියට අයත් අය වීමයි.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කටයුතු ඇරඹීමෙන් පසු සෘජු මහජන සහභාගිත්වය වැඩි වසයෙන් දක්නට ලැබුණේ අන්තර්ජාලය ඔස්සේ මහජන ප්‍රතිචාර ලැබෙන අවදියේ යි. ඒ වන විට පවත්වා තිබූ මූලික ජාතික සාකච්ඡා සභා දෙකේ ම නිර්දේශ මාධ්‍ය හරහා සහ විවිධ සංවාද මණ්ඩප මඟින් පොදු අවකාශය තුළ සාකච්ඡාවට භාජනය වී තිබුණ බැවින් පුළුල් ව්‍යවස්ථා සාකච්ඡාවකට සම්බන්ධ වීමට අවශ්‍ය දැනුම සැලකිය යුතු මට්ටමින් ජනගත ව තිබුණි. තමන්ට පැවරුණු  කටයුත්ත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සීමා කර හුදකලාව කෙටුම්පත සකස් කරනවා වෙනුවට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෝ බොහෝ දෙනෙක් එදිනෙදා සාකච්ඡා පිළිබඳ තම අදහස් කෙලින් ම අන්තර්ජාලය ඔස්සේ මහජනතාවට දැනුම් දෙමින් ඒ සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාර ලබා ගත්හ.

ව්‍යවස්ථා කෙටුම්පත්කරණයේ හැම අවධියක දීම සාකච්ඡාවට ලක් වී ඇති යෝජිත ව්‍යවස්ථා ඡේද අන්තර්ජාලය ඔස්සේ මහජනතාවට දැන ගැනීමට සලස්වනු ලැබී ය. ඒ අනුව ලැබුණු ෆේස්බුක්, ට්විටර්, විද්‍යුත් තැපෑල මඟින් මෙන් ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වෙබ් අඩවිය ඔස්සේ ලැබුණු මහජන ප්‍රතිචාර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කතිකා වඩ වඩා පොහොසත් කළේ ය. මේ ක්‍රියාවලියේ දී අන්තර්ජාලය ඔස්සේ විවිධාකාර ප්‍රතිචාර අදහස් 3600 ක් පමණ ලැබුණි. එම අදහස්වල දිග ප්‍රමාණය එකිනෙකට වෙනස් වූ අතර ඉන් සැලකිය යුතු අදහස් ප්‍රමාණයක් කලින් දක්වා තිබූ අදහස්වලට ප්‍රතිචාර වසයෙන් ලබා දුන් ඒවා විය. අවසානයේ දී ඒ අතරින් සංයුක්ත ලෙස සලකා බැලිය යුතු අදහස් 360ක් හඳුනා ගත හැකි විය.

ඒ හා සමාන ඔන්ලයින් ක්‍රමවලින් අදහස් ලබා ගන්නා වෙනත් අවස්ථාවල දී මෙන් ම මෙහි දී ද වැඩියෙන් අදහස් පළ කර තිබුණේ උගත් නාගරික වැඩිමහල්ලන් ය. රයික්ජවික් සරසවියේ නීති විද්‍යා පීඨයේ ආචාර්යවරියක වූ හෙල්ගා ඩොටිර්ගේ මතයට අනුව මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ අදහස් ලබා ගැනීමේ දී නිරීක්ෂණය වූ අන්දමට ඒ අවස්ථාව වැඩි වසයෙන් භාවිත කර ඇත්තේ තරුණ පරපුරට අයත් අයට වඩා දැනට මත් දේශපාලන වසයෙන් සැලකිය යුතු බලපෑමක් කළ හැකි මැදි වයසේ ස්වදේශික පිරිමින් බව ය. ඇය පවසන අන්දමට සෘජු ව පාර්ලිමේන්තුවට සිය අදහස් ඉදිරිපත් කළ අය අතර ඊට වඩා විවිධත්වයක් තිබුණි.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික ක්‍රමය අනුව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව තම අදහස් සෘජු ව ම පාර්ලිමේන්තුවට යොමු කළ පුද්ගලයන් සහ සංවිධාන 53 ට වඩා ප්‍රමාණයෙන් විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ තම අදහස් ඉදිරිපත් කිරීම සඳහා සහභාගී වී තිබුණි. අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීම බොහෝ විට නියෝජන විවිධත්වය අතින් දුර්වල විය. එහෙත් පාක්ෂික ස්ථාවර මත පාර්ලිමේන්තු කතිකාවලට ඉදිරිපත් කරන ප්‍රතිවිරුද්ධ අදහස් අනුපූරණය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය පාදක කරගත් කතිකා ඉතා වැදගත් වේ. මන්ද අන්තර්ජාලය නො වන්නට සාම්ප්‍රදායික ක්‍රම අනුව මැදිහත් වීම් කිරීමට බොහෝ අයට අවස්ථාව හෝ අවකාශය නො ලැබෙන බැවිනි. ඒ නිසා කතිකා සඳහා අන්තර්ජාලය ඔස්සේ crowdsourcing හෙවත් ජනමූලීය ව අදහස් ලබා ගැනීම සැලකිය යුත්තේ මහජන සහභාගිත්වය පිළිබඳ විකල්ප ක්‍රමවේදයකට වඩා එකිනෙකා අභිමුඛ ව කෙරෙන කතිකා හා සම්මන්ත්‍රණවලට අනුපූරකයක් ලෙස බව හෙලන් ලැන්ඩ්මොර් පෙන්වා දෙයි.

බොහෝ අවස්ථාවල දී ව්‍යවස්ථා සම්පාදනය ගැන කෙරෙන සාම්ප්‍රදායික පාර්ලිමේන්තු සාකච්ඡාවලට අනුව අවසාන කෙටුම්පත පවතින ව්‍යවස්ථාවට වඩා දියුණු එකක් වෙන්නේ දැයි කල් තබා කිව නො හැකි ය. එහෙත් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල කතිකාවේ විවිධ අවස්ථාවල දී අන්තර්ජාලය ඔස්සේ ලැබුණු ප්‍රතිචාරය හා දායකත්වය අවසාන ව්‍යවස්ථා කෙටුම්පතේ ස්වභාවය කෙබඳු විය හැකි ද යන්න පිළිබඳ විශ්වාසදායක අවබෝධයක් මහජනතාව අතර ඇති කිරීමට සමත් වූ බව ඇතැම් විචාරකයෝ පෙන්වා දුන්හ.[74] හුදෙක් මේ හේතුව නිසා ම පමණක් වුවද අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදන ප්‍රයත්නය සඳහා යොදා ගත් නව ප්‍රජාතන්ත්‍රවාදී කතිකා ක්‍රම පිළිබඳ ඉහත කී අපූරු අත්හදා බැලීම් ගැන උද්දාමයට පත් විය හැක්කේ එමඟින් ලබා ගත් ප්‍රතිඵල ගුණාත්මක වසයෙන් ඉහළ නම් පමණි. මහජන මතය අනුව සකස් කළ ව්‍යවස්ථාව හොඳ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකි වී ද? එය හොඳ ව්‍යවස්ථාවක් නම් එසේ හොඳ වූයේ එහි හැම සම්පාදන පියවරකට ම මැදිහත් වීමට සාමාන්‍ය ජනතාවට ඉඩ ලැබුණු නිසා ද?

මෙසේ සම්පාදනය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ වටිනාකම 2012දී පැවති ජනමත විචාරණයෙන් එයට තුනෙන් දෙකක මහජන කැමැත්ත ලැබීමෙන් තහවුරු වූ බව පෙනී යයි. එහෙත් එසේ ජනමත විචාරණයෙන් අනුමත වුව ද අයිස්ලන්ත පාර්ලිමේන්තුව එම ව්‍යවස්ථා කෙටුම්පත පසෙක තැබීමට තීරණය කිරීමෙන් එහි දුර්වලකම ද නිරූපණය වන බව පෙනී යයි.  

ඒ පිළිබඳ දැනට ලියැවී ඇති ශාස්ත්‍රීය විචාරවලින් ව්‍යවස්ථා කෙටුම්පතක් හොඳ වන්නේ කුමන ප්‍රමිති නිසාදැ’යි නො කියවේ. එහෙත් ඇතැම් ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත ආකෘතික වසයෙන් සංසක්ත (coherence) නො වීම හෙවත් නො ගැළපීම් ඇතිවීම එය සම්බන්ධ පළ වූ ප්‍රධාන විවේචනයකි. ජනමත විචාරණයෙන් සම්මත වූ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව අයිස්ලන්ත පාර්ලිමේන්තුව විසින් උපදේශන ලබා ගත් ඇතැම් යුරෝපීය නීති විශේෂඥයන් ද ව්‍යවස්ථා කෙටුම්පතින් යෝජනා කර තිබෙන ආයතන සහ ව්‍යවස්ථා වගන්ති අතර නොගැළපීම් ඇති බව පෙන්වා දීම ද කෙටුම්පත සංසක්ත නො වීම පිළිබඳ අදහස ශක්තිමත් කළේ ය. මේ නො ගැළපීම් පිළිබඳ විශේෂඥ මතවාද අයිස්ලන්ත ජනමාධ්‍ය විසින් බෙහෙවින් උපුටා දක්වනු ලැබුවේ ය. එහෙත්  ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ කතිකා අනුපූරණය කිරීමට අන්තර්ජාලය ඔස්සේ මහජන අදහස් ලබා ගැනීම පොදු සහභාගිත්වය වැඩි කරන හොඳ නවෝත්පාදනයක් ලෙස සැබැවින් ම අගය කළ යුතු බව ලැන්ඩ්මොර් පෙන්වා දෙයි. 

ලෑන්ඩ්මෝර්ගේ මතය අනුව කෙටුම්පතේ සංසක්ත භාවය පිළිබඳ විවේචනය ඒ තරම් වැදගත් දෙයක් නොවෙන්නේ එවැනි නො ගැළපීම් වැඩි අපහසුවකින් තොර ව විසඳා ගත හැකි බැවිනි. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයට දී තිබුණේ සිව් මසක සීමා සහිත කාලයක් වීම ද මෙවැනි නො ගැළපීම්වලට හේතු විය හැකි බව ද ඇය පවසයි.

ආකෘතික නො ගැළපීම් පිළිබඳ කාරණයට වඩා කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් ලෑන්ඩ්මෝර්ගේ නිරීක්ෂණය වූයේ මතභේදයට ඒ තරම් තුඩු නො දෙන ගුණාංග දෙකක් සම්බන්ධයෙන් යෝජිත කෙටුම්පත බෙහෙවින් හොඳ තත්වයක පැවතුණු බවයි. එම ගුණාංග දෙක ඇය හඳුන්වන්නේ “rights-heaviness” හෙවත් ‘අයිතිවාසිකම්වලින් බර වීම’ සහ  “democraticity” හෙවත් ‘ප්‍රජාතන්ත්‍රවාදිත්වය’ යනුවෙනි. අයිතිවාසිකම්වලින් බර වීම යනුවෙන් ඇය අදහස් කළේ  බලාපොරොත්තු විය යුතු පරිදි ම පුද්ගල අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව කෙතරම් ඉදිරිගාමී වී තිබේ ද යන්නයි. ‘බර වීම’(heaviness) යන්නෙන් අදහස් වුණේ කෙටුම්පතේ සඳහන් අයිතිවාසිකම් සංඛ්‍යාවෙන් මෙන් ම ගුණාත්මක බවින් ද කැපී පෙනීමයි. ව්‍යවස්ථාවක අයිතිවාසිකම් සඳහන් කිරීම එම අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩ ලැබේ ය යන්න පිළිබඳ සහතිකයක් නො වන නමුත් ඉතා විශද ව හා සුපැහැදිලි ව අයිතිවාසිකම් සඳහන් කර තිබීම ව්‍යවස්ථාවක ගුණාත්මක භාවය පිළිබඳ වැදගත් නිර්ණායකයකි. අභිමත අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ පැහැදිලි ව සඳහන් කර තිබීම ඒවා සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීම බව ව්‍යවස්ථාවෙන් ම නියම කිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදිත්වය යනුවෙන් ලැන්ඩ්මොර් අදහස් කළේ පටිපාටිමය වසයෙන් ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී ඇත් ද යන්න පමණක් නො ව ව්‍යවස්ථා සම්පාදනය ද කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ව සිදුවී ද යන්නයි. මෙකී නිර්ණායක දෙක ම අනුව අයිස්ලන්ත ව්‍යවස්ථා කෙටුම්පත සාර්ථක ව තිබූ බව  ලෑන්ඩ්මෝර්ගේ මතයයි.

ඒ හැර යෝජිත කෙටුම්පතේ සඳහන් වූ ඇතැම් නව අයිතිවාසිකම් එවකට තිබූ ව්‍යවස්ථාවේ හෝ ව්‍යවස්ථා විශාරදයන් විසින් පිළියෙළ කරන ලද ව්‍යවස්ථා සැලසුම්වල හෝ නො තිබූ ඒවා විය. එයට එක උදාහරණයක් නම්  නව ව්‍යවස්ථා කෙටුම්පතට අනුව අන්තර්ජාලයට පිවිසීමේ අයිතිය මහජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතියක් වසයෙන් පිළිගත යුතු වීමයි. ඒ හැර ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් වින්දිතයින් ආරක්ෂා කිරීම ද ආණ්ඩුවේ ව්‍යවස්ථාපිත කාර්ය භාරයක් බව කෙටුම්පතෙහි සඳහන් ව තිබුණි. ළමා අයිතිවාසිකම් පිළිබඳ විස්තීර්ණ පරිච්ඡේදයක් සහ අයිතියක් ලෙස නිරාගමික වීම සහ ප්‍රශ්න කිරීම ද ඇතුළු ව ආගමික නිදහස පෘථුල ලෙස අර්ථකතනය කිරීමේ හැකියාව ද කෙටුම්පතෙන් තහවුරු කර තිබුණි.

අයිස්ලන්ත ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලිය බෙහෙවින් විනිවිද පෙනෙන සුලු සංවිචාරණීය එකක් වූ බැවින් බහුතර ජනතාව ව්‍යවස්ථා සම්පාදනය ගැන සැලකිය යුතු අවබෝධයක් ඇති කර ගෙන තිබුණි. අවසානයේ දී පාරිසරික සංරක්ෂණය සම්බන්ධයෙන් යෝජිත වගන්ති පිළිබඳ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් මතු වූ නො රිස්සීම ඇතුළු නොයෙකුත් හේතු මත පාර්ලිමේන්තුව විසින් පැත්තකට කර තැබුවත් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක ඇති ඵලදායකත්වය මැනවින් පිළිබිඹු කළේ ය.

1__#$!@%!#__unknown.jpg

දහ අටවන සිය වසේ සිට ලිබරල් සමූහාණ්ඩුවාදීන් විසින් උත්කර්ෂණයට නංවන ලද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වා දුන් ඡන්දයෙන් තෝරා ගත් ප්‍රභූන් සහ ඔවුන්ගේ අන්තේවාසිකයන් මත විශ්වාසය තැබීමට වෙනස් ව විවෘත සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය නිසා සාමාන්‍ය ජනතාවට දැනුවත් ව සහ ඵලදායක ව දේශපාලනයට මැදිහත් වීමට ඇති හැකියාව අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රමවේදය තුළ බෙහෙවින් දක්නට ලැබුණි.

සැලකිය යුතු ධනයක් වියදම් කරමින් කිසියම් දේශපාලන පක්ෂයක නායකත්වයේ අභිමතය පරිදි ඉල්ලන ඡන්දයක දී නොයෙක් මුසාවාද ඇද බාමින්, ව්‍යාජ පොරොන්දු හා අල්ලස් ලබා දෙමින්  නියෝජිතයෙක් වසයෙන් තෝරා පත් කරවා ගැනීමට ප්‍රයත්න දරනවාට වඩා ඒ කිසිදු අකටයුත්තක් නො කර හුදෙක් ඡන්ද දායක නාම ලේඛනයේ ලියා පදිංචි වී සිටීම නිසා ම නීති සම්පාදනයට සහභාගි වීම සඳහා අහඹු ලෙස තෝරා පත්වීමට හැම පුරවැසියෙකුට ම එක හා සමාන අවස්ථාවක් ලැබෙන, සැලකිය යුතු රට වැසියන් පිරිසක් වැදගත් යැයි සලකන පනත් කෙටුම්පතක් ප්‍රජාතන්ත්‍රවාදී සංවිචාරණීය සභා, ජනමාධ්‍ය හා අන්තර්ජාලය භාවිත කොට සාමූහික ව සාකච්ඡා කොට තීරණය කළ හැකි විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් කෙතරම් යහපත් ද?.

6. මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි

ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන  හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ ද එය ද මුළුමනින් සාර්ථක උදාහරණයක් යැයි කිව නො හැකි ය.  එහෙත් ඕනෑම සන්දර්භයක් යටතේ වුවද විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක මුඛ්‍ය සාධකය වන්නේ “open mini-public” හෙවත් ‘විවෘත මිනි-ජන සමූහ’ බව ඇය පෙන්වා දෙයි..[75]Mini-public හෙවත් ‘මිනි-ජන සමූහ’ යන යෙදුම භාවිත වෙන්නේ කිසියම් ගැටලුවක් සංවිචාරණයට ලක් කිරීම සඳහා අහඹු ලෙස තෝරා ගත් සංඛ්‍යාවෙන් තරමක් කුඩා කණ්ඩායමකට සීමා වූ සාකච්ඡා සභාවලට යි.  සිය විචාර බුද්ධිය මෙහෙයවා පොදු වැදගත්කමකින් යුතු විෂය කරුණක් පිළිබඳව සංවිචාරණය (deliberation) කොට තීරණය කිරීම පිණිස රැස් වන එවැනි මිනි ජන සමූහ කුසපත් ඇදීමෙන් හෝ ඒ සමාන අහඹු ක්‍රමයකින් තෝරා ගත්, සාමාන්‍යයෙන් එකිනෙකා හා නිතර ඇසුරු නො කරන, විවිධ පසුබිම් වලින් යුත් පුරවැසියන්ගෙන් සමන්විත විය යුතු ය. මිනි ජන සමූහ සාකච්ඡාවල දී  මතු වෙන කරුණු හා යෝජනා සම්බන්ධයෙන් අවශේෂ මහජනතාවට දුරස්ථ ව ප්‍රතිචාර දැක්වීමට ඉඩ ප්‍රස්තා සලසා තිබිය යුතු ය.[76]

‘විවෘත මිනි ජන සමූහය’ (open mini-public) යනුවෙන් ලැන්ඩ්මොර් හඳුන්වන්නේ පොදු ජනයා විසින් පුරවැසි මුලපිරුම් (citizens initiatives) මඟින් ඉදිරිපත් කරන අදහස්වලට අනිවාර්යයෙන් ම විවෘත වූ ද අහඹු ලෙස (random) තෝරා ගත් සාමාජිකයන්ගෙන් සමන්විත වූ ද මහජන සභාවකි. එය බොහෝ දුරට අයිස්ලන්ත ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට තෝරා ගත් විසිපස් දෙනාගෙන් යුත් ව්‍යවස්ථා කෙටුම්පත් සභාවට සංයුතියෙන් සමාන ය. ඔස්ට්‍රියාවේ අනාගත කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිට එක්සත් රාජධානියේ වැඩිහිටි සුභසාධනය සඳහා මුදල් වෙන් කිරීම දක්වා විවිධ ප්‍රශ්න හා විසඳුම් සාකච්ඡා කිරීම පිණිස යුරෝපා රටවල් ගණනාවක පැවති සියයකට අධික එවැනි ‘විවෘත මිනි ජන සමූහ’ පිළිබඳ විස්තර http://www.participedia.net වෙබ් අඩවිය වාර්තා කරයි.[77]

‘විවෘත මිනි ජන සමූහ’ කතිකා ක්‍රමවේදය තුළ  විශේෂ මහජන සාකච්ඡා සභා පැවැත්වීම සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාශීලී ලෙස ජනමූලීය (crowdsourcing) අදහස් හා ප්‍රතිචාර ලබා ගැනීමට නිත්‍ය විධික්‍රමයක් තිබීම සුවිශේෂ අංගයකි. එම කතිකා ක්‍රමවේදයේ කූට ප්‍රාප්තිය වන්නේ මුඛ්‍ය කාරණය පිළිබඳ ජන මත විචාරණයකි. බොහෝ විට එය පවා ජනමූලීය ප්‍රතිචාර ලබාගත් ආකාරයට සමාන ව අන්තර්ජාල පහසුකම් ඔස්සේ ම ක්‍රියාත්මක කළ හැකි ය.  ඒ අනුව ‘විවෘත මිනි ජන සමූහයේ’ කාර්යභාරය වන්නේ කාර්යක්ෂම ව කතිකාව පවත්වා ගෙන යන අතර ම ඒ සඳහා පෘථුල මහජන සහභාගිත්වයක් ලබා ගැනීම බව ලැන්ඩ්මොර් පෙන්වා දෙයි. ඒ අතරම පුරවැසි මුලපිරුම්වල සිට ජනමත විචාරණයක් දක්වා යොදා ගත හැකි විධිවිධාන නිසා ‘විවෘත මිනි ජන සමූහය’ විසින් තීරණය කරණු ලබන න්‍යාය පත්‍රයට විශාල බලපෑමක් කිරීමට පොදු ජනතාවට හැකි වේ. ඒ හැර ‘විවෘත මිනි ජන සමූහයට’ අහඹු ලෙස තෝරා පත් වූ අය ඒ සඳහා ඇති වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව හා ට්විටර් පණිවිඩ ක්‍රම භාවිත කරමින් සාකච්ඡාවට භාජනය වන කරුණු පිළිබඳ ව පොදු ජනතාව හා නිරන්තර සංවාදයක යෙදෙයි. අහඹු ක්‍රමය අනුව තෝරා පත් වන පුරවැසියන් සියල්ලන්ට ම ඒ හැකියාව තිබේ දැයි නො දන්නා බැවින් ‘විවෘත මිනි ජන සමූහය’ සඳහා පත් කළ පහසුකම් සපයන්නන්ට හා කාර්ය මණ්ඩලයට ඒ සඳහා සහාය විය හැකි ය. අවසානයේ දී ඉතා වැදගත් කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාලය ද උපයෝගී කර ගෙන සිදු කරන ජනමත විචාරණයකින් සමස්ත මහජනතාව සහ විවෘත මිනි ජන සමූහය අතර පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සහ-සම්බන්ධතාව තහවුරු කළ හැකි ය.

මෙවැනි විවෘත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ඇති වාසි තුන් ආකාරයකින් විස්තර කළ හැකි බව ලැන්ඩ්මොර් පෙන්වා දෙයි. ප්‍රථමයෙන් ම විවෘත ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනප්‍රිය පාලනය පිළිබඳ පරමාදර්ශය විශ්වසනීය ලෙස ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයකි. එමඟින් ඉටු කෙරෙන්නේ මහජන අධිකාරය තහවුරු කිරීම පිණිස හැකි තාක් දුරට පුළුල්  ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය තහවුරු කිරීම යි. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැම් සාම්ප්‍රදායික ලක්ෂණ එය තුළ තිබිය හැකි වූව ද රාජ්‍ය සම්බන්ධයෙන් රටවැසියන්ගේ භූමිකාව වඩා සක්‍රිය හා සඵලදායී එකක් බවට පත් කිරීම අතින් එය සාම්ප්‍රදායික නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අබිබවා යයි. ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා මාර්ගෝපදේශ ලබා දීමේ දී මැතිවරණයෙන් මහජනතාවගේ කැමැත්ත ගැනීමෙන් පසු ඔවුන් ඈත් කොට තබනවාට වඩා විවෘත ප්‍රජාතන්ත්‍රවාදයෙන් කෙරෙන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නොකඩවා සන්නිරීක්ෂණය කරමින් එයට මැදිහත් වීමට මහජනතාව සබල ගැන්වීමයි.

දෙවනුව, විවෘත ප්‍රජාතන්ත්‍රවාදය යනු වඩා පුළුල් පුරවැසි සහභාගිත්වයක් සලසන ක්‍රමයක් බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදී තර්ක බුද්ධියට හෙවත් සාමූහික ප්‍රඥාවට (collective wisdom) වැඩි ඉඩක් සලසන ක්‍රමයකි. වෙනත් අන්දමකින් පැවසුවොත් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් පමණක් නො ව එහි ඇති විවෘත ස්වභාවය නිසාම රටවැසියන්ගේ සුභසාධනය, සෞඛ්‍ය සහ සන්තුෂ්ටිය වැනි පොදු යහපත පිළිබඳ කරුණු ගැන දැඩි අවධානයකින් යුතු ව වඩාත් හොඳින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයකි.

තෙවනුව, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා විවෘත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවරය, කල් පවතින සුලු ය. ඊට හේතුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මෙන් නොව විවෘත ප්‍රජාතන්ත්‍රවාදය කිසියම් කතිපයාධිපත්‍යයක ග්‍රහණයට හසු වීමට ඇති ඉඩ කඩ අඩු වීමයි. නොයෙක් ආකාරයේ ඒකාධිපති ප්‍රවණතාවලට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදී සුජාතභාවය භාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැඩි ශක්‍යතාවක් ඇත්තේ විවෘත සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයටයි.  

ලැන්ඩ්මොර් පෙන්වා දෙන අන්දමට විවෘත ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ මාදිලියක් සහිතව ද පවත්වා ගෙන යා හැකි ය. උදාහරණයක් ලෙස අයිස්ලන්තයේ විසිපස් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තෝරා පත්කර ගන්නා ලද්දේ ආධුනික දේශපාලනඥයින්ට පමණක් තරඟ කළ හැකි මැතිවරණයකිනි. මැතිවරණවලින් තොර කුසපත් ඇදීම වැනි ක්‍රමවලින් නියෝජන ක්‍රමයේ ඇති අඩුපාඩු ඌණ පූරණය වන්නේ නම් සහ ව්‍යවස්ථා හා නීති සම්පාදනයේ දී නිරන්තර මහජන මැදිහත් වීම් සඳහා ව්‍යවස්ථාපිත ක්‍රමවේද සලසා තිබේ නම් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂ ක්‍රමය මුළුමනින් ම අහෝසි වෙතැ’යි බිය විය යුතු නැති බව ලැන්ඩ්මොර් පවසයි. එහෙත් මැතිවරණ වියදම් නියාමනය, පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විධිවිධාන, අපේක්ෂකයන්ගේ අසද්භාවය සහ මැතිවරණ දූෂණ පිටු දැකීමේ අව්‍යාජ විධිවිධාන සහ විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතිත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන කොන්දේසි නොමැති ව පවත්වා ගෙන යන පාලන ක්‍රමයක දේශපාලන පක්ෂයක් යනු හුදෙක් බලය අල්ලා ගැනීමේ දේශපාලනය සඳහා අතළොස්සක් විසින් යොදා ගන්නා කෙමණකට වැඩි දෙයක් නො වේ.

විවෘත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට හැකි බව කලින් පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්ත අත්හදා බැලීම තහවුරු කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදය විවෘත කිරීම සඳහා විධිමත් සංවිචාරණය යොදා ගත් තවත් වැදගත් මෑත කාලීන අත්දැකීමක් ආසියානු රටක වැසියන් වන මොංගෝලියන්වරුන්ට ද තිබේ. එහි දී සංවිචාරණ ඡන්ද විමසුම (deliberative poll) නමැති ක්‍රමය හඳුන්වා ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් විවෘත කළ අන්දම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මහාචාර්ය ජේම්ස් ෆිෂ්කින් විසින් පළ කර තිබේ.[78] ඒ අනුව මොංගෝලියානු අත්දැකීම අදියර දෙකකින් යුක්ත ය. ඉන් පළමුවැන්න ක්‍රියාත්මක වුණේ 2015 දී ය. එහි මූලික අරමුණ උලන්බටාර් අගනුවර සම්බන්ධයෙන් යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති 14ක වැදගත්කම සහ ප්‍රමුඛත්වය මහජන මතය අනුව තීරණය කිරීමයි. ඒ සඳහා නගරවැසියන්ගේ විවිධ ස්තර නියෝජනය වන පරිදි කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගත් නිවාස 1502 ක නියැදියකින් පුරවැසියන් 400 දෙනෙක් තෝරා ගනු ලැබූහ. අහඹු නියැදියට (random sample) තේරුණු නිවාස සියල්ලට ම ව්‍යාපෘති 14 පිළිබඳ ප්‍රමුඛත්වය ප්‍රකාශ කළ හැකි ප්‍රශ්නාවලියක් සංවිචාරණයට පෙර පැවති ආධාරක සමීක්ෂණයේ දී ලබා දී තිබුණි. සංවර්ධන ව්‍යාපෘති 14 හි ප්‍රමුඛත්වය පිළිබඳ ඒ වන විට නගරවාසීන් අතර තිබූ මතය ගැන කිසියම් අවබෝධයක් ඒ අනුව ඇති කර ගත හැකි විය. එම ව්‍යාපෘති සියල්ල ම ණය ලබා ගැනීමෙන් ක්‍රියාත්මක කළ යුතු ඒවා විය. එම කාරණය ද සලකමින් ව්‍යාපෘතිවල වැදගත්කම අනුපිළිවෙළින් තේරීම සංවිචාරණීය ඡන්දදායකයන් ලෙස අහම්බයෙන් තෝරා ගත් පුරවැසියන්ගෙන් බලාපොරොත්තු වූ කටයුත්ත විය. එසේ අහඹු ක්‍රමයට තේරී පත් වූ සංවිචාරණ ඡන්ද හිමියන් 400 දෙනාට ම ඇරයුම් පත් සමඟ සාකච්ඡාවට ලක් වන ව්‍යාපෘති 14 පිළිබඳ අවශ්‍ය තොරතුරු අඩංගු ගොනුවක් යවා තිබුණි. සංවිචාරණ කතිකාව සඳහා අවම වසයෙන් ඉන් 300 දෙනෙකු පමණ පැමිණෙතැ’යි  බලාපොරොත්තු විය. එහෙත් අවසානයේ කතිකාව සඳහා 317 දෙනෙකු ම  පැමිණ තිබුණි.

ඒ අනුව ඔවුන් සියලු දෙනා ම කුසපත් ඇදීමෙන් එකකට පහළොස් දෙනෙකු පමණ වන කණ්ඩායම්වලට තෝරා වෙන් කොට ව්‍යාපෘති  පිළිබඳ ව සංවිචාරණ කතිකාව කර ගෙන යෑම  සඳහා ඉඩ සලසනු ලැබීය . එක් එක් ව්‍යාපෘතිය පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු මොඩරේටර්වරුන් හෙවත් මැදහත්කරුවන් විසින් සපයන ලද අතර නිශ්චිත න්‍යාය පත්‍රයකට අනුව හැම ව්‍යාපෘතියක් ගැන ම සංවිචාරණ සාකච්ඡා සැසි පැවැත‍්විණි. මොඩරේටර්වරුන් පුහුණු කර තිබුණේ සිය පුද්ගලික මතය ප්‍රකාශ කිරීමෙන් වැළකීම හා සහභාගි වන්නන්ගේ තේරීම්වලට බලපාන අන්දමින් මැදිහත් නො වී ම ඔවුන්ගේ භූමිකාවේ ප්‍රධාන කාර්යයක් ය යන අවබෝධය ද ලබා දෙමිනි. ඔවුන්ගේ කාර්ය වූයේ සියල්ලන්ගේ ම සහභාගිත්වය උත්තේජනය කරමින් හැම යෝජනාවක ම හොඳ සහ නරක සාකච්ඡාවට ලක් කිරීම සහ සහභාගි වන්නන් අතර අන්‍යෝන්‍ය ගෞරවය තහවුරු වන ලෙස ක්‍රියා කිරීමයි. එක් එක් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවතුණු කණ්ඩායම් සාකච්ඡා සැසි අවසන් වූයේ ප්‍රධාන සැසි වාරවලට පැමිණීමට නියමිත විශේෂඥයින්ගෙන් විමසිය යුතු කරුණු සහ ප්‍රශ්න මොනවාද යන්න තීරණය කර ගැනීමෙනි. මේ අන්දමින් ව්‍යාපෘති 14 ම සාකච්ඡා වෙන තෙක් දෙ දිනක් තිස්සේ මාරුවෙන් මාරුවට කණ්ඩායම් සාකච්ඡා සැසි සහ ප්‍රධාන සාකච්ඡා සැසි පැවැත‍්විණි. අවසාන දිනයේ දී සියල්ලෝ ම පළමුවෙන් ම පැවැත්වුණු ආධාරක සමීක්ෂණයේ දී බෙදා දුන් ප්‍රශ්නාවලිය නැවත විමර්ශනයට ලක් කරමින් ව්‍යාපෘති ප්‍රමුඛත්වය තීරණය කළෝ ය.

ඒ අනුව පුරවැසියන් විසින් සංවිචාරණ ඡන්ද ක්‍රමයෙන් තීරණය කළ ව්‍යාපෘති ප්‍රමුඛත්වය අනුව නගරසභාව විසින් නව ක්‍රියාන්විත සැලැස්මක් සකස් කළේ ය. එම සැලැස්ම 2016 යෝජනා අංක 174 යටතේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතර ඒ අනුව කටයුතු ඉටු කිරීමට නගරවැසියන් සහ සියලු ම රාජ්‍ය ආයතන බැඳී සිටී. ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙස තෝරා ගන්නා ලද නගරයේ පාසල්වල පංති කාමර උණුසුම් කිරීම ඇතුළු ප්‍රමුඛ ව්‍යාපෘති ගණනාවක් ම කල් නො යවා ම දියත් කෙරිණි.

අගනුවර ව්‍යාපෘති 14 පිළිබඳ ප්‍රමුඛත්වය තීරණය කිරීමට පැවැත්වූ සංවිචාරණ ඡන්දයේ සාර්ථකත්වය දුටු මොන්ගෝලියානු පාර්ලිමේන්තුව සංවිචාරණ ඡන්ද ක්‍රමය ව්‍යවස්ථාපිත කිරීම පිණිස “Law on Deliberative Polling” හෙවත් ‘සංවිචාරණ ඡන්දය පිළිබඳ නීතිය’ යනුවෙන් විශේෂ නීතියක් 2017 පෙබරවාරියේ දී සම්මත කළේ ය. මෙම නීතිය මඟින් පක්ෂග්‍රාහිත්වයකින් තොර ව සහ වෘත්තීය ප්‍රමිති අනුව සංවිචාරණ ඡන්ද විමසුමක් පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන විස්තර කර තිබුණි. සංවිචාරණ ඡන්ද විමසුම පිළියෙළ කිරීම සහ ඊට විෂය වන කරුණු නිරවුල් ව ඉදිරිපත් කිරීම සඳහා උපදේශන මණ්ඩලයක් පත් කිරීම, එහි කාර්ය සහ බලතල, නියැදි සැකසීම, අහඹු තෝරා ගැනීම සහ ආධාරක සමීක්ෂණ සඳහා වෘත්තීය සමීක්ෂණ ආයතනයක් යොදාගැනීම, නියැදියේ ප්‍රමාණය සහ සංවිචාරණ ඡන්ද විමසුම සඳහා සහභාගි විය යුතු අවම සංඛ්‍යාව ආදී කරුණු එම නීතිය මඟින් නිර්ණය කර තිබුණි. ප්‍රාදේශීය, පළාත් බද හා ජාතික මට්ටමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සංවිචාරණ ඡන්ද පැවැත්වීමේ නිර්ණායක වෙන් වෙන් ව නීතිය මඟින් විස්තර විය. සංවිචාරණ ඡන්ද ක්‍රමය පිළිබඳ නීතිය යටතේ පැනවූ එක් විශේෂ විධිවිධානයක් වූයේ පාර්ලිමේන්තුව මඟින් මොන්ගෝලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ යෝජනා සාකච්ඡා කිරීමට පෙර එම යෝජනා ජාතික සංවිචාරණ ඡන්දයකින් අනුමත වී තිබිය යුතු බව නියම වීමයි.

ඒ අනුව ඉදිරිපත් වූ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා 2017 අප්‍රියෙල්වල පැවැත්වුණු සංවිචාරණ ඡන්දයක දී විමසුමට ලක් විය. සංවිචාරණ ඡන්දයට පෙර සූදානමක් ලෙස සලකා බැලිය යුතු විවිධ ව්‍යවස්ථා සංශෝධන රට පුරා පැවති විවිධ රැස්වීම්වල ඒ වන විට සාකච්ඡාවට ලක් වෙමින් තිබුණි. මහජනතාව විසින් කරන ලද එකී මැදිහත්වීම් සලකමින් සංවිචාරණ ඡන්ද උපදේශන කමිටුව අදාළ යෝජනා සම්බන්ධයෙන් න්‍යාය පත්‍රයක් සකස් කොට ප්‍රසිද්ධ කළේ ය. එයට අනුව මූලික ආධාරක සමීක්ෂණය සඳහා ප්‍රශ්නාවලියක් සහ සංවිචාරණය සඳහා අවශ්‍ය තොරතුරු පත්‍රිකා සකස් කරන ලදී.

සංවිචාරණ ඡන්දදායකයන්ගේ නියැදිය සැකසීම සිදු කරන ලද්දේ ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසිනි. ඒ සඳහා රටේ නොයෙක් ප්‍රදේශවලින් විවිධ සමාජ මට්ටම් නියෝජනය වන ලෙස කුසපත් ඇදීමේ ක්‍රමයට අහඹු ලෙස කුටුම්බ 1568ක් තෝරා ගන්නා ලදී. තෝරාගත් හැම නිවසකට ම ගිය සමීක්ෂකයෝ මූලික ප්‍රශ්නාවලිය මත ගෘහමූලිකයා හෝ සංවිචාරණයට සහභාගි වීමට පවුලේ අය විසින් තෝරා ගත් සාමාජිකයා ආධාරක සමීක්ෂණයට සහභාගි කර ගත්තේ ය. සමීක්ෂකයන් ඇත්ත වසයෙන් ම එකී නිවාසවලට යන්නේ දැ’යි නිරීක්ෂණය කිරීම පිණිස GPS හෙවත් ගෝලීය තැන් සෙවුම් පද්ධති තාක්ෂණය යොදා ගැනිණි. තෝරා ගත් නිවාස 1568 අතරෙන් 1554ක් ආධාරක සමීක්ෂණය සම්පූර්ණ කළ අතර ඉන් සංවිචාරණයට සහභාගි වීමට කැමැත්ත පළ කළ නිවාසවලින් අහඹු ලෙස තෝරා ගත් නිවාස 785කට සංවිචාරණ ඡන්ද විමසීමට සහභාගි වීමේ ආරාධනා පත්‍ර යවන ලදී. අනතුරු ව පැවති සංවිචාරණ සැසි වාර උලන්බටාර් නගර ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවති සංවිචාරණ වැඩපිළිවෙළට බෙහෙවින් සමාන විය. සංවිචාරණයට ලක් වූ ව්‍යවස්ථා සංශෝධන යෝජනා හය සම්බන්ධ ව විවිධ මානවලින් විමසන ප්‍රශ්නාවලියක් සංවිචාරණ කණ්ඩායම් කතිකාවල දී පිළියෙළ කරන ලදු ව අනතුරු ව ඒවා පදනම් කොට ප්‍රධාන සාකච්ඡා සැසි පැවැත‍්විණි. සියලු සංවිචාරණ සාකච්ඡා අවසානයේ යෝජනා හය ප්‍රමුඛත්වය අනුව ලැයිස්තු ගත කළ විට යෝජනා දෙකක් සම්බන්ධයෙන් හැර ඉතිරි ප්‍රතිඵලය බොහෝ දුරට මුලින් ම කළ ආධාරක සමීක්ෂණයේ ප්‍රතිඵල හා සමාන බව පෙනී ගියේ ය.

ආධාරක සමීක්ෂණයේ දී 61% ක් කැමති වූ පාර්ලිමේන්තුවේ කටයුතු සන්නිරීක්ෂණය කිරීම සඳහා දෙවැනි මන්ත්‍රණ සභාවක් පිහිටුවීමේ යෝජනාව සංවිචාරණ සාකච්ඡා වටවලින් පසුව 30% දක්වා අඩු වීම සංවිචාරණ ඡන්දයේ දී ඇති වූ කැපී පෙනෙන වෙනසක් විය. සංවිචාරණ ඡන්දයෙන් 50% ට වැඩි කැමැත්තක් ලබා ගැනීමට නො හැකි වූ නිසා එය පාර්ලිමේන්තු සාකච්ඡාව සඳහා අනුමත නො විණි. ඒ පිළිබඳ තිබූ ප්‍රධාන විවේචනය වූයේ යෝජිත දෙවැනි මන්ත්‍රණ සභාවේ නියෝජනය ද පක්ෂ ක්‍රමය අනුව සිදුවන්නක් බැවින් පාර්ලිමේන්තුවට වෙනස් ආකාරයක සේවයක් ඉන් ඉටු නො වන බවයි. දෙවැනි මන්ත්‍රණ සභාව කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතු බවට යෝජනාවක් තිබුණේ නම් සමහර විට ඒ තීරණය වෙනස් වන්නට ඉඩ තිබුණි. අඩු සංවිචාරණ ඡන්දයක් ලැබීමෙන් ප්‍රතික්ෂේප වූ අනෙක් යෝජනාව වූයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් වූ එක් වතාවකට සීමා කිරීම සහ සෘජු ඡන්දයකින් ජනාධිපති තෝරා පත් කිරීම වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් මඟින් ජනාධිපති තෝරා ගැනීමයි. මූලික ආධාරක සමීක්ෂණයේ දී ඒ සඳහා 61.5% ක් කැමැත්ත පළ කර තිබූ නමුත් සංවිචාරණ ඡන්ද විමසීමේ දී එය 41% දක්වා අඩු විය. ආධාරක සමීක්ෂණයේ දී 57% ක් කැමති වූ කැබිනට් මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම හා ඉවත් කිරීම අගමැතිවරයාට පැවරිය යුතු ය යන යෝජනාවට සංවිචාරණ ඡන්දයේ දී 73% ක මනාපයක් ලැබීම අනික් කැපී පෙනෙන වෙනසයි.

සංවිචාරණ ඡන්දයේ ප්‍රතිඵල පාර්ලිමේන්තුවේ දී උණුසුම් සාකච්ඡාවකට ලක් විය. වඩාත් කැපී පෙනෙන කාරණය වූයේ ආණ්ඩු කරන දේශපාලන පක්ෂය ප්‍රබල ලෙස අනුමැතිය දැක්වූ ජනාධිපතිවරයා තේරිමේ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව සහ ප්‍රධාන විරුද්ධ පක්ෂය අනුග්‍රහය දැක්වූ ද්විමණ්ත්‍රණ සභාව යන යෝජනා දෙක ම සංවිචාරණ ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබීමයි. මේ නිසා සංවිචාරණ ඡන්ද ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂ අකැමැත්තක් දැක්වූවත් අවසානයේ දී පාර්ලිමේන්තුව සංවිචාරණ ඡන්දයෙන් 50% කට වැඩි අනුමැතියක් ලබාගෙන තිබූ යෝජනා අනුව අවශ්‍ය වූ  පරිදි 2/3 වැඩි ඡන්දයකින් ව්‍යවස්ථාව සංශෝධනය කළේ ය.

මොන්ගෝලීය සංවිචාරණ ක්‍රමයේ මූලික පියවරවල් මෙසේ අනුපිළිවෙළින් පෙළ ගැස්විය හැකි ය:

  1. අදාළ මහජන න්‍යාය පත්‍රයට අඩංගු කළ යුතු යෝජනා සහ විකල්ප සාකච්ඡා කිරීම පිණිස රට පුරා පැවති පුරවැසි රැස්වීම් මාලාව.
  2. උපදේශන මණ්ඩලයේ සාකච්ඡා – ආධාරක සමීක්ෂණය සඳහා යෝජනා හා ප්‍රශ්නාවලිය.
  3. අහඹු සංවිචාරණ සභාවේ සාකච්ඡාව සහ තීරණය.
  4. .නො සලකා හැරිය යුතු යෝජනා සනිටුහන් කරමින් අවශ්‍ය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
  5. තුනෙන් දෙකක වැඩි ඡන්දය ලැබේ නම් යෝජිත නිර්දේශ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීම.

මේ අත්දැකීම විස්තර කරමින් මොන්ගෝලියානු පාර්ලිමේන්තුවේ කථානායක සන්දන්ෂතාර් ඔහුගේ පුද්ගලික නිරීක්ෂණ මෙසේ පළ කළේ ය:

“සංවිචාරණයේ දී රටවැසියන් අතර හුවමාරු වූ අදහස් උදහස් ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවලියේ දී ඉතා වැදගත් විය. පුරවැසි සහභාගිත්වය සහ පුරවැසියන්ට කන්දීම සංශෝධන ක්‍රියාවලියේ දී කේන්ද්‍රිය කරුණක් වූ අතර අපි ඒ සඳහා පුළුල් උපදේශන යන්ත්‍රණයක් යොදා ගත්තෙමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රට පුරා යමින් පුරවැසි රැස්වීම්වලට සහභාගි වෙමින් විවිධ අදහස්වලට කන්දෙමින් වැසියන් සමඟ සාකච්ඡා කළහ. එහි දී අපට දහස් ගණන් අදහස් සහ යෝජනා එකතු කර ගැනීමට හැකි විය. මෙතෙක් යොදා ගත් අනෙකුත් සියලු ම උපදේශන ක්‍රම හා සසඳන විට සංවිචාරණ ඡන්ද ක්‍රමය නිසා වඩාත් දැනුවත් සහ ප්‍රවේසමෙන් සලකා බලන ලද අදහස් සහ විශාල දත්ත ප්‍රමාණයක් අපට ලබාගත හැකි විය. ඒවා සංඛ්‍යාවෙන් මෙන් ම ගුණාත්මක බවින් ද ඉහළ මට්ටමක තිබුණි. ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාවේ දී අපට ඒවා බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඒ අනුව විශේෂඥයන්ගේ ද සහාය ඇති ව සංශෝධන තවදුරටත් විශුද්ධ කිරීමට අපට හැකි විය. එහෙත් සංවිචාරණ ඡන්ද ක්‍රමය මඟින් තහවුරු කළ මූලධර්මය සමස්ත ක්‍රියාවලිය තුළ ම නිරූපණය කළ බව අවසාන ප්‍රතිඵලයෙන් මනාව පෙනී යයි.”[79]

දැන් පාර්ලිමේන්තු කටයුතු සඳහා පමණක් නො ව පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ද ආදේශ වන නීතියක් බවට පත් ව ඇති මොන්ගෝලියාවේ මේ අත්දැකීම විධිමත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මඟින් වඩා අන්තර්ග්‍රහණීය හෙවත් සියල්ලන් අතුළත් වෙන සාමූහික තීරණ ගැණීමේ හැකියාව තහවුරු කරයි. එමඟින් දේශපාලන තීරණ ගැනීමේ දිශානතිය දමනය කිරීම මහජනතාව අතට පත් කරයි. ඒ අනුව මහජනයාගේ සංවිචාරණ  ඡන්දයකින් අනුමත නො කරන කිසිදු තීරණාත්මක යෝජනාවක් පාර්ලිමේන්තුවට සම්මත කළ නො හැකි ය. මේ ක්‍රියාවලිය තුළ සංවිචාරණයට යොමු කරන සියලු යෝජනා සම්බන්ධයෙන් පුළුල් සමාජ සාකච්ඡාවක් ඇති වෙන අතර යෝජනාවලට පක්ෂ විපක්ෂ සියලු පාර්ශවවලට තම මතය සමානාත්මතාව මත අහඹු ලෙස තෝරා පත් කෙරෙන සංවිචාරකයන්ට ඉදිරිපත් කළ හැකි ය.

මොංගෝලියාවේ මේ අත්දැකීම පිළිබඳ විවරණයක යෙදෙන මහාචාර්ය ජේම්ස් ෆිෂ්කින් මහජනයා විසින් විචාරශීලී සංවිචාරණය මඟින් අන්ඩුකරණය දමනය (popular control) කර ගැනීමට අවශ්‍ය වන මූලික සාධක කිහිපයක් හඳුන්වා දෙයි.[80] ඉන් පළමුවැන්න අන්තර්ග්‍රහනීය බව (inclusiveness) හෙවත් සංවිචාරණයට එක්වීමට සියල්ලන්ට ම සමාන අවස්ථා ලැබෙන ක්‍රමවේදයක් තිබිය යුතු වීමයි. ඒ අනුව අහඹු ලෙස කරන තේරීමක දී සමාජයේ ඕනෑ ම කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ වත් පොහොසත්කම්, ස්ත්‍රී පුරුෂ භාවය හා අනෙකුත් සමාජ විෂමතා නො සලකා තීන්දු ගන්නා ඡන්දදායකයෙකු ලෙස සංවිචාරණයට තෝරා පත් වීමට ඉඩ ලැබේ. අවධාරණය කරන ඊ ළඟ වැදගත්  සාධකය වන්නේ එකිනෙකට වෙනස් තෝරා ගැනීම් (choice) කිරීමට හැකි වීමයි. එනම් සංවිචාරණයේ දී අදාළ කාරණය ගැන තෝරා ගැනීමට ඇති අනෙකුත් විකල්ප එකිනෙකට සැලකිය යුතු ලෙස වෙනස් වූ සහ යථාර්ථවාදී වූ ඒවා වීමයි. තෙවැන්න මනා ලෙස දැනුවත් කළ සංවිචාරණයයි (informed deliberation). ඉන් අදහස් වන්නේ ඉදිරිපත් ඇති යෝජනා සහ විකල්පවලට පක්ෂ ව හා විපක්ෂ ව ඇති කරුණු කාරණා හොඳින් විමසා බලා කල්පනා කිරීමට මහජනයා පොලඹවන සියලු වැදගත් දත්ත සහ තොරතුරු පුළුල් ලෙස සමාජ ගත කිරීමයි. අනෙක් වැදගත් සාධකය ලෙස ෆිෂ්කින් සඳහන් කරන්නේ සංවිචාරණයේ නිර්දේශිත ප්‍රතිඵල ප්‍රායෝගික වසයෙන් ක්‍රියාත්මක වීමයි (impact). එනම් සංවිචාරණය මඟින් තීන්දු වූ තෝරා ගැනීම් ආණ්ඩුකරණය සම්බන්ධ තීරණ වසයෙන් කල් නො යවා නිශ්චිත ව ක්‍රියාවට නැංවීමයි.

අයිස්ලන්තීය සහ මොන්ගෝලියානු උදාහරණවලින් පෙන්නුම් කළ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යායික මට්ටමේ අදහස් කලක් තිස්සේ ම සාකච්ඡාවට ලක් ව තිබුණු ඒවා ය. ජේම්ස් බොමන් සහ විලියම් රෙග් විසින් සංස්කරණය කොට 1997දී පළ කළ Deliberative Democracy: Essay on Reason and Politics නමැති ලිපි සංග්‍රහයේ ඒ පිළිබඳ ජෝන් රොව්ල්ස් සහ ජෝසුවා කොහෙන් වැනි ප්‍රකට දේශපාලන විද්‍යාඥයන් ඉදිරිපත් කළ මතවාද සහ නිර්දේශ සංගෘහීත කර තිබේ. අනෙකුත් බොහෝ දේශපාලන න්‍යායවල දී මෙන් ම එකී නිර්දේශ දේශපාලන භාවිතයේ දී පරමාදර්ශ ලෙස සලකා යොදා ගත හැකි ඒවා ය. 

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී මූලික ප්‍රජාතන්ත්‍රික ආයතන වල ව්‍යුහය කෙසේ සැකසිය යුතුද යන්න මෙන් ම පොදු ප්‍රතිපත්‍ති සහ නීතිය පිළිබඳ වැදගත් තීරණ ගැනීමේදී එකී ආයතනවල සාමාජිකයන් එකිනෙකා සමග කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව ද  ප්‍රතිමානීය දැක්මක් (normative view) සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (Deliberative Democracy) යන යෙදුමෙන් මූලික ව ඉදිරිපත් වෙයි. ජොෂුවා  කොහෙන් පවසන අන්දමට:

“සහභාගිවීමේ දී සමානාත්මතාවය පදනම කොට පුරවැසියන් අතර කෙරෙන විවෘත තර්කන සහ හේතු යුක්ති කිරීම්  සඳහා අවශ්‍ය වන ඵලදායක තත්වයන් සහ කොන්දේසි සාධාරණීය කරමින් පැවැත්වෙන ප්‍රජාතනත්‍රවාදී සමාගමයක් පිළිබඳ ප්‍රතිභානශීලී පරමාදර්ශයක් (intuitive ideal) ලෙස සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්විය හැකිය. එවැනි සමාගමයක දී සාමූහිකව තෝරාගත් ප්‍රශ්න සඳහා සුදුසුතම විසඳුම් සංවිචාරණීයශීලී ව යුක්ති යුක්ත කොට සොයා ගැනීමේ ලා එක සමාන කොටස්කරුවන් වීමට පුරවැසියෝ කැපවෙති. නිදහස් විවෘත සංවිචාරණයකට අවශ්‍ය කරන ව්‍යුහය එම සමාගමයේ දී සහතික කළ හැකි නම් සංවිචාරණයේ සුජාතබාවය තහවුරු කිරීමට සිය සාමූහික සහජ ඥානය ප්‍රමාණවත් වෙතැයි ඔවුහු සලකති”.[81]

කොහෙන් නිර්ණය කරන මේ පරමාදර්ශී තත්වය යථා ලෝකයේ ඇති ප්‍රජාතනත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුවලින් නිරූපනය නොවන බව සැබැවකි. එහෙත් මේ පරමාදර්ශය සාක්ෂාත් කරගත යුතු දෙයක් බව සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදියෝ පවසති. ඔවුන් කියන අන්දමට සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම සංවිචාරණය (deliberation) මුල්කොට ප්‍රතිසංස්‍කරණය කළ හැකිය. ඒ සඳහා සුදුසු යැයි සැලකෙන එළඹුම් කිහිපයක්ම යෝජනා වී තිබේ. ඒ සියල්ලක්ම ගැන හැම සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදියෙක් අතර ම එකඟත්වයක් නැති නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සුජාතභාවයට මූලික විය යුත්තේ සංවිචාරණය ම බවට සියල්ලෝ ම එකඟවෙති. මිනිසුන් සිය අදහස් වලට හේතු දැක්විය යුතුය. එමෙන් ම ඒ හා සමාන විවෘත මනසකින් යුක්තව ඒ සම්බන්ධයෙන් අන් අයට කීමට ඇති දේවල්වලට ද උනන්දුවෙන් සවන් දිය යුතුය. එසේ සාවධාන ව සංවිචාරණය තුළින් පමණක් එකඟත්වයට පැමිණිය නොහැකි දෙයක් වෙත් නම් අවසානයේ දී ජන්දෙයන් ඒ ගැන තීරණය කිරීමට පුරවැසියන්ට සිදුවනු ඇත. එහෙත් ඒ වන විට ඔවුන් අදහනු ඇත්තේ සංවිචාරණයට පිවිසෙන විට දැරූ අදහස ම නොව සංවිචාරණය තුළින් ම පෝෂණය වූ ඊට වඩා පොහොසත් අදහසකි.

ඒ අනුව සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය යනු සංවිචාරණයේ වැදගත් කම තදින් ම අවධාරණය කරන ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමකි. සංවිචාරණය යන්නට යෙදන ඉංග්‍රිසි යෙදුම වන deliberation යන්නට ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්දකෝෂයේ දෙන තේරුම වන්නේ සංවිචාරණය යනු ‘කිසියම් කාරණයක්, විශේෂයෙන් ම තීරණයක් ගැනීමට ඇති කාරණයක් ප්‍රවේසමෙන් හිතාමතා බැලීමේ කාර්යයි’. සංවිචාරණිය ප්‍රජාතන්ත්‍රවාදයේ දී එම කාර්යය දේශපාලනමය වසයෙන් එක හා සමාන පුද්ගලයන් ලෙස මිනිසුන් විසින් එක්ව කරන කටයුත්තකි. එහිදී ඔවුහු තම තමන්ගේ අදහස් සම්බන්ධයෙන් හේතු දක්වන අතර එම හේතු සාධාරණ ඇගැයීමකට ලක් වෙතැයි බලාපොරොත්තු වෙති. වෙනත් අන්දමින් කිවහොත් හුදෙක් හේතුවල ඇති වටිනාකම මත ඒ පිළිබඳ ව එකඟවිය හැකි විනිශ්චයකට හෝ පොදු නිගමනයකට එළඹීමේ අරමුණින් ඒ හේතු ඇගයීමට ලක් කළ යුතුය. ඒ අන්දමින් විස්තර කළ විට සංවිචාරණිය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අභියෝගාත්මක හා වැදගත් ම කාරණය වන්නේ මිනිසුන් හුදෙක් එකිනෙකාට කන්දීම හා එකිනෙකා හා තර්ක කිරීම නොව නැණවත් වන්නේ කිනම් විසඳුමක්දැ’යි අවංකවම දැන ගැනීමට හැකි වන අන්දමට මිනිසුන් එකිනෙකා හා කතා බහ කර ගැනීමයි.

දේශපාලන සංවිචාරණයේ දී අන් හැම දෙයකට ම වඩා මුඛ්‍ය කාරණය වන්නේ සහභාගි වන්නන් හෙවත් සංවිචාරකයන් අතර ඇති එක සමානාත්මතාව පිළිබඳ හැඟීම සංවිචාරණය සම්බන්ධයෙන් වැදගත් පූර්ව කොන්දේසියක් වීමයි. කුසපත් ඇදීමේ ක්‍රමය මඟින් එක සමාන ව තෝරා ගත් නිසා තීරණ ගැනීමට බලය ඇති කිසිදු සහභාගි වන්නෙකුට අන් අය අබිබවා ගිය හැකි විශේෂ තත්වයක් හිමි නො වේ. ඒ නිසා නියම සංවිචාරණයක යෙදෙන කොටස්කරුවන් විධිමත් ව මෙන් ම හරායාත්මක ව ද සමානයෝ ය.

ඔවුන් විධිමත් ලෙස සමානයන් වන්නේ සංවිචාරණය සඳහා උපයෝගී කර ගන්නා කිසිදු නීතියක් හෝ රෙගුලාසියක් හෝ මඟින් කිසියම් පුද්ගලයෙකුට විශේෂ වරප්‍රසාදයක් සැලකිල්ලක් නො ලැබෙන බැවිනි. සංවිචාරණීය විධි ක්‍රමය තුළ හැම අදියරක දී ම සංවිචාරණීය හැකියා ඇති හැම කෙනෙකුට ම සම අවස්ථා ලැබේ. ඒ අනුව න්‍යාය පත්‍රයට කරුණු ඇතුළත් කිරීම, යෝජනා ඉදිරිපත් කිරීම සහ යෝජනා යුක්ති යුක්ත කිරීම හෝ විවේචනය කිරීම හැම සංවිචාරකයෙකුට ම කළ හැකි විය යුතු ය. එමෙන් ම තීරණ ගැනීමේ දී හැම කෙනෙකුට ම එක සමාන හඬක් තිබිය යුතු ය.

සහභාගි වන්නන් හෙවත් සංවිචාරකයන් හරායාත්මක වසයෙන් සමාන යැ’යි යන්නෙන් කියවෙන්නේ කිසිදු සංවිචාරකයෙකුගේ වත්කම් හා බලගතු බව සංවිචාරණයේ දී ඔහු හෝ ඇය හෝ ලබා දෙන දායකත්වයේ ස්වභාවය තීරණය වීමට හේතු නො විය යුතු බවයි.  එමෙන් ම එවැනි විශේෂ සමාජ තත්වයක් සංවිචාරණයේ දී කිසිදු අධිකාරි භූමිකාවක් ඉටු නො කළ යුතු ය. සමානයන් අතර නිදහස් සංවිචාරණයක් සඳහා රාමුවක් ඇති කිරීම ගැන හැරෙන විට කිසිදු සංවිචාරකයෙකු පවතින ක්‍රමය තුළ ඇති අනෙකුත් අයිතිවාසිකම් හා රෙගුලාසිවලින් බැඳී නැත. ඒ වෙනුවට ඔවුහු පවතින ක්‍රමය ද සිය සංවිචාරණීය විනිශ්චයේ එක් ආරම්මණයක් (object) ලෙස සලකති.

හැම නියම සංවිචාරණයක් ම අවසානයේ දී හේතු යුක්ති කිරීම මඟින් පොලඹවන ලද සම්මුතියකට එළඹිය යුතු ය. එක සමානයන් ලෙස සියලු  විකල්ප පිළිබඳ නිදහස් ව සහ සහේතුක ව කරන ලද ඇගයීමකින් එළඹුණු ප්‍රතිඵලය මත අවසානයේ දී කටයුතු කිරීමට කැප වී ඇති සියල්ලන්ට ම එම සම්මුතිය ඒත්තු යන සුලු විය යුතු ය. එහෙත් සුදුසු ම කොන්දේසි යටතේ වුව ද නිත්‍ය වසයෙන් ම සම්මුතිශීලී යුක්ති යුක්ත කිරීමක් සිදු වෙතැ’ යි සහතිකයක් නැත. එසේ සම්මුතියකට එළඹිය නො හැකි සංවිචාරණයක දී වැඩි ඡන්දයෙන් නිගමනයකට එළඹිය යුතු ය.

සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය විධිමත් ලෙස  සංකල්ප ගත කිරීමේ දී විශේෂයෙන් සංවිචාරණය ප්‍රායෝගික වසයෙන් යොදා ගැනීමේ දී සැලකිය යුතු ලක්ෂණ කිහිපයක් ගැන ජොෂුවා කොහෙන් මෙසේ සඳහන් කරයි:

1. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩ ස්වතන්ත්‍ර සමාගමයක් (independent association) ලෙස සැලකිය හැකි ය. එහි සාමාජිකත්වයට කාලසීමාවක් නොමැත.

2.සමාගමයේ සියලු සාමාජිකයන් එකාවන් ව පිළිගන්නා පරිදි (එසේ පිළිගන්නා බව පොදු දැනුමකි)  සමාගමය සඳහා වන කොන්දේසි සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන මෙන් ම සංවිචාරණය සඳහා රාමුවක් සපයන ප්‍රමිති වසයෙන් සැලකිය යුතු ය. සංවිචාරණයක ප්‍රතිඵල  සුජාතකරණය කිරීමේ පදනම සංවිචාරණය නිදහස් එකක් වීම යි.

3.සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුත්වවාදී (pluralistic) සමාගමයකි. එහි සාමාජිකයන්ගේ මනාප, අවබෝධය සහ ජීවන වටිනාකම් විවිධ ය. සාමූහික තේරීම් පිළිබඳ ගැටලු සංවිචාරණය මඟින් විසඳා ගැනීමට ඔවුන් කැප වී ඇති නමුත් ඔවුන්ගේ අරමුණු එකිනෙකට වෙනස් විය හැකි ය. එනිසා ඉදිරිපත් ව ඇති යෝජනා සම්බන්ධ ව බුද්ධි ගෝචර බව හැරෙන විට අනිවාර්යයෙන් සැලකිය යුතු සුවිශේෂ මනාප, අවබෝධ හෝ වටිනාකම් ඇතැ’යි ඔවුහු නො සිතති.

4. ප්‍රජාතන්ත්‍රවාදී සමාගමයක සාමාජිකයන් සංවිචාරණීය ක්‍රමවේදය සලකන්නේ එකී සමාගමය සුජාතකරණය කිරීමේ ප්‍රභවය ලෙසයි. එනිසා ඔවුන්ගේ සමාගමය හුදෙක් සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නක් නො ව සංවිචාරණය මූර්තිමත් කරන දෙයක් ලෙස ඔවුන්ට හැඟී යා යුතු ය. එනිසා සංවිචාරණයේ ප්‍රතිඵල මෙන් ම සංවිචාරණය ඇත්තට ම සිදු වන ආකාරය ද ඉතා වැදගත් ය.

5. සංවිචාරණීය සමාගමයේ යෙදෙන හැම දෙනෙකුට ම සංවිචාරණීය හැකියා එනම් සබුද්ධිමත් හේතු දැක්වීමක් කළ හැකි බවට සියලු සාමාජිකයන් පිළිගත යුතු ය. ඉන් අදහස් වන්නේ ඉදිරිපත් ව ඇති යෝජනා පිළිගැනීම, වෙනස් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම තාර්කික ව ඉටු කිරීමේ හැකියාව සහ සංවිචාරණයේ ප්‍රතිඵල අනුව කටයුතු කිරීමේ හැකියාව සියල්ලන්ට ම ඇත යන්නයි.

ජොෂුවා කොහෙන් හඳුන්වා දෙන ideal deliberative procedure හෙවත් පරමාදර්ශී සංවිචාරණීය ක්‍රමවේදයට අනුව සංවිචාරණය පෙළ ගැස්වීමේ දී කරුණු තුනක් ප්‍රධාන වේ.  පළමුවෙන් ම සංවිචාරණය සඳහා න්‍යාය පත්‍රයක් තීරණය කළ යුතු ය. දෙවනු ව  න්‍යාය පත්‍රයේ අඩංගු කර ඇති  පිළිතුරු සැපයිය යුතු ගැටලු සම්බන්ධ හේතු යුක්ති කළ හැකි විකල්ප විසඳුම් කිහිපයක් තිබිය යුතු ය. තෙවනු ව අවම වසයෙන් ඉන් එක විකල්පයක් අවසානයේ දී එකඟ විය හැකි එකක් විය යුතු ය. අවසාන ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදි ලෙස සුජාතකරණය කළ හැකි වන්නේ එය සමානයන් අතර නිදහස් සහ සබුද්ධික ලෙස එකඟත්වයකට පැමිණිය හැකි විසඳීමක් වුවහොත් පමණි.

නියම සංවිචාරණයක් (ideal deliberation)සිදුවීමට තවත් වැදගත් කොන්දේසි දෙකක් සපුරා ලිය යුතු යැයි කොහෙන් පවසයි.  පළමුවෙන් ම සංවිචාරණයට සහභාගි වන අය බැඳී සිටින්නේ ඔවුන්ගේ සංවිචාරණය හා සම්බන්ධ පූර්ව කොන්දේසිවලින් සහ එම සංවිචාරණයේ ප්‍රතිඵලවලින් පමණක් බව සියල්ලන් විසින් ම පිළිගත යුතු වීමයි. යෝජනා සලකා බැලීමේ දී ඔවුන්ගේ සංවිචාරණීය චර්යාව ඉන් පෙර පැවති සම්මුති සහ එකඟතා නිසා සීමා නො විය යුතු ය. දෙවනු ව ඔවුන් විසින් එකඟ වන ප්‍රතිඵලය අනුව කටයුතු කිරීමට හැකි වනු ඇතැ’යි යන සහතිකයක් සහභාගි වන්නන්ට තිබිය යුතු ය. ඒ අනුව සංවිචාරණය මඟින් තීරණයකට එළඹීම ම එම තීරණයට අනුව කටයුතු කිරීම සාධාරණීකරණය කිරීමට  ප්‍රමාණවත් හේතුවක් විය යුතු ය. 

සංවිචාරණය යුක්ති යුක්ත කළ හැකි හෙවත් තර්ක බුද්ධි ගෝචර විය යුතු ය. ඉන් අදහස් වන්නේ සංවිචාරණයේ යෙදෙන්නන් කිසියම් යෝජනාවක් ඉදිරිපත් කරන විට, ප්‍රතික්ෂේප කරන විට හා විවේචනය කරන විට එසේ කිරීම සම්බන්ධ ඔවුන් ඉදිරිපත් කරන හේතු පැහැදිලි ව හා තාර්කික ව සඳහන් කළ යුතු බවයි. ඔවුන් එසේ හේතු ඉදිරිපත් කරන්නේ එකී හේතුවල සබුද්ධික බව අනුව තත් යෝජනාවේ ඉරණම විසඳේ ය යන බලාපොරොත්තුවෙන් මිස ඔවුන්ගේ සමාජ තත්වය හෝ බලය  නිසා යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු ය යන අදහසින් නො වේ. හාබර්මාස් සඳහන් කරන අන්දමට නියම සංවිචාරණයේ දී “වඩා හොඳ තර්කයක් හැරෙන විට වෙනත් කිසිදු බලයක් භාවිත නො වේ”.[82]සහභාගි වන අනෙක් අය මෙහි දී හේතු ඉදිරිපත් කරන්නේ වෙනස් අරමුණු සහිත සමානයන් අතර කෙරෙන නිදහස් සංවිචාරණයක් මඟින් කරුණු කාරණා තීරණය කිරීමට තමන් කළ කැපවීම සලකමිනි. ඉදිරිපත් වන ඇතැම් යෝජනා සාධාරණ ඒවා විය හැකි වුවත් සංවිචාරණයේදී පිළිගත හැකි හේතු දැක්වීමක් මඟින් සාධාරණීකරණය නො වෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කළ යුතු ය. යෝජනා සම්බන්ධ  සුදුසු තේරීම් තීරණය කිරීමේ දී හුදෙක් එම තේරීම් පුරවැසියන්ගේ මනාපය හා ගැළපෙනු ඇත යන්න පමණක් නො ව ඒවා සංවිචාරණීය ක්‍රමය යොදා තෝරා ගත් ඒවා වීම වැදගත් ය. විධිමත් සංවිචාරණයක මූලික කොන්දේසිය වන්නේ සමානාත්මතාවයි. නො එසේ නම් මිෂෙල් ෆූකෝ පැවසූ අන්දමට සංවිචාරණයක ප්‍රතිඵල තීරණය කරන්නේ බලය මිස තර්කණය නො වේ.[83]ඇතන්ස් නුවර සම්ප්‍රදාය අනුව යමින් ෆිෂ්කින් හඳුන්වා දුන් අන්දමට සංවිචාරණයේ දී සහභාගි වන්නන් අහඹු ලෙස තෝරා ගැනීම සහ බල කණ්ඩායම් ගැසීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වන්නේ එබැවිනි. සංවිචාරණයට සහභාගි වන අය එකිනෙකා නාඳුනන එකිනෙකා ගැන නො දන්නා අය වන තරමට තර්ක බුද්ධිය විසින් මිස බලය විසින් සංවිචාරණයේ ප්‍රතිඵල තීරණ කිරීම වැළැක්විය හැකි ය.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දී මෙන් නො ව සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයේ දී වැඩි අවධානයක් යොමු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව විවෘත එකක් වීම සහ එය සමානයන් අතර සංවිචාරණීය බව මුල් කොට සිදු කළ යුතු එකක් වීම ගැනයි. දේශපාලනඥයන් විසින් මෙහෙයවනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු වේගයෙන් සුන් ව යමින් තිබේ. ෆුකෝ තර්ක කළ අන්දමට සාකච්ඡාවක ප්‍රතිඵල තර්කණය විසින් නො ව බලය විසින් තීරණය කිරීමට වැඩි ඉඩකඩක් ඇත්තේ පක්ෂ ක්‍රමය මත පදනම් වූ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ය. බොහෝ දේශපාලනඥයන් දූෂිත බවත් ඔවුන් පොදු යහපත තකා තර්කානුකූල ව තීරණ ගනු ඇතැ’යි විශ්වාස කළ නො හැකි බවටත් පැතිර ඇති මතය ප්‍රබල ය. ඒ හැර ලංකාවේ බොහෝ ජනමාධ්‍ය විසින් දේශපාලනය වාර්තා කරනු ලබන පක්ෂග්‍රාහී ආකාරය පිළිබඳව සමාජ මාධ්‍යවල පළවන සෝපාහාස සහ නර්මාලාපවලින් ද පැහැදිලි වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇති පොදු අවිශ්වාසයයි. දේශපාලනඥයන්ගේ දේශපාලන ඥානය පිළිබඳ අධිකාරය තවදුරටත් පිළිගැනීමට තමන්ට හේතුවක් නැති බව පොදු ජනතාවට වැටහෙමින් තිබේ. මේ නිසා අප අත්දකින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල අඩුවක් ඇති බව පැහැදිලි ය. එම අඩුව සපුරා ලිය හැකි වන්නේ සාමාන්‍ය ජනතාව වැඩි වැඩියෙන් දේශපාලන ක්‍රියාකාරිත්වය තුළට ගෙන ඒමෙනි. සාමූහික ව දේශපාලන තීන්දු ගැනීමේ දී බොහෝ පුරවැසියන්ට තමන්ගේ වෘත්තීය හා පුද්ගලික ජීවිතයේ නොයෙක් අත්දැකීම් උපයෝගී කර ගත හැකි ය. දේශපාලන පක්ෂ නායකයන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමට පුරවැසියන්ට බල කිරීමක් කළ නො හැකි ය. තර්ක බුද්ධියට අනුව තීරණ ගැනීමට වැඩි හැකියාවක් ඇත්තේ සංවිචාරණශීලී ජන සමූහයකට මිස පක්ෂ නායකත්වයේ විධානය අනුව කටයුතු කරන දේශපාලනඥයන්ට නො වේ. ඒ නිසා දේශපාලනය හුදු නියෝජනය පිළිබඳ කාර්යයක් නො ව නිරන්තරයෙන් මහජනයාට විවෘත කාර්ය සාධක ලෙස සංවිචාරණීය වූ කාර්යයක් බවට පත් විය යුතු ය.  ඒ අනුව  දේශපාලන තීරණ පොදු යහපත මුල් කර ගෙන ගන්නා ඒවා බවට පත් කළ හැකිවා පමණක් නො ව පොදු ජනතාව විසින් හෘදයංගම ව පිළිගනු ලබන ඒවා බවට ද පත් කළ හැකි ය. අඩු ම වසයෙන් එම උපන්‍යාසය පරීක්ෂා කර බැලීම වටී.

එදිනෙදා ජීවිතයේ දී  සාමාන්‍යයෙන් බොහෝ රටවැසියන්ට සිදු වන්නේ මොකක් හෝ මිථ්‍යාවකට ඡන්දදායකයා පොලඹවා ගැනීම අරමුණු කරගත් සිය ගණන් පණිවිඩවලට මුහුණ දීමට මිස දේශපාලන, ආර්ථික හා සාමාජීය කටයුතු සම්බන්ධයෙන් ඥානෝද්දීපනය වෙන අදහසක්, තොරතුරක් ලබා ගැනීමට නො වේ. තරඟකාරී මැතිවරණ ක්‍රමය තුළ තරඟ කරන පක්ෂවලට අවශ්‍ය වන්නේ මිථ්‍යාව හෝ පතුරා මැතිවරණ දිනීම මිස විසඳිය යුතු ප්‍රශ්න හා සම්බන්ධ ඇත්ත සාකච්ඡා කොට ඡන්දදායකයන් දිනා ගැනීම නො වේ. විවිධ ව්‍යාපාරික ළැදියා මත ස්වචන්දයෙන් ම පත් වන ලොබි කණ්ඩායම්වල බලපෑම්වලට පමණක් බොහෝ විට නතු වන තරඟකාරී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණයකින් තෝරා පත් වෙන අපේක්ෂකයන්ට පක්ෂ නායකත්වයේ අභිමතයට අනනුකූල ව අව්‍යාජ සංවිචාරණයක් පැවැත්වීමට දිරි ගැන්වීමක් නො ලැබේ. එනිසා අයිස්ලන්ත සහ මොන්ගෝලියානු නිදර්ශනවලින් තහවුරු වන පරිදි එවැනි ක්‍රමයක් තුළ වුවද ප්‍රබල සංවිචාරණීය අංගවලින් යුත් මහජනයාට විවෘත සංවිචාරණ ඡන්ද ක්‍රමයක පැවැත්ම ව්‍යවස්ථාව මඟින් ම සහතික කර තිබීම වැදගත් වර්ධනයකි. ඒ මඟින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය සමානාත්මතා මූලධර්මය මත මැතිවරණ අතර දී වුව ද ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ඵලදායක ලෙස මැදිහත් වීමට පොදු ජනතාවට අවකාශ ලැබේ.

7. දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය

ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය පදනම වන්නේ දේශපාලන සමානාත්මතාව යි (political equality). එහෙත් එතෙක් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදයට සාක්ෂාත් කර ගැනීමට නො හැකි වූයේ ද එය යි. ඒ හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට දේශපාලනික ආයතනවල ස්වරූපය දක්වා වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය යැයි සැලකෙන අනිකුත් හැම දෙයක් ම ප්‍රජාතන්ත්‍රවාදයක අනිවාර්ය අවශ්‍යතාවලට වඩා හුදු වෛකල්පික අවශ්‍යතා ලෙස සැලකිය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉඳුරා ම වැදගත් වන්නේ සියලු වැසියන් අතර තිබිය යුතු දේශපාලන සමානාත්මතාව යි. දේශපාලන බලයේ සංයුතිය සහ දේශපාලන බලය මෙහෙය වෙන ආකාරය සමස්ත ප්‍රජාව අනුමත කරන්නේත්, දේශපාලන බලය සමස්ත ප්‍රජාවට වග වන දෙයක් බවට පත් වන්නේත්, දේශපාලන සමානාත්මතාව සහතික වුව හොත් පමණි. එහෙත් දේශපාලන සමානාත්මතාව යනු හුදෙක් වයස සම්පූර්ණ වූ හැම පුරවැසියෙකුට ම මැතිවරණයක දී භාවිත කිරීම පිණිස එක සමාන ඡන්ද බලයක් හිමි ව තිබීම පමණක් ම නො වේ. 

ඡන්ද බලය සමාන ව තිබුණ ද දේශපාලන සමානාත්මතාව අවහිර කරන වෙනත් සාධක ගණනාවකි. රටවැසියන් අතර ඇති  අත්‍යන්ත සමාජ හා ආර්ථික විෂමතා ඒ අතරින් මුල් තැන ගනී. අවවරප්‍රසාදිත ජන කොට්ඨාස දේශපාලනයෙන් පිට මං කිරීම, ජනමාධ්‍ය දුරාචාරය, අසමාන අවස්ථා නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අපහසු වීම සහ ජනමාධ්‍ය හා මැතිවරණ ක්‍රියාවලිය කූට ලෙස මෙහෙයවීම යනාදිය මඟින් ද දේශපාලන සමානාත්මතාව ඇතිවීම වැළකේ. එවිට සමස්ත ප්‍රජාවගේ යහපත වෙනුවට එම සමස්තයෙන් කොටසකගේ යහපත වෙනුවෙන් දේශපාලන බලය භාවිත කරනු ඇත. එසේ ම එකී දේශපාලන බලය මෙහෙයැවෙන්නේ ද සමස්ත ප්‍රජාව විසින් නො ව වරප්‍රසාද ලත් සුළු පිරිසක් විසිනි. 

දේශපාලන සමානාත්මතාව කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් ද යන්න “ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක එක් එක් සාමාජිකයන් අතර තිබිය හැකි බලයේ වෙනස ප්‍රචණ්ඩත්වයක් ලෙස භාවිත කිරීමට තරම් වැඩි එකක් නොවිය යුතු ය” යනුවෙන් හා “වෙනත් අයෙකු මිලට ගැනීමට තරම් කිසිවෙකු පොහොසත් නො විය යුතු අතර තමන්ව විකුණා ගැනීමට බල කෙරෙන තත්වයකට පත් වෙන තරම් කිසිවකු  දුප්පත් නො විය යුතු ය.”[84] යනුවෙන් රූසෝ සමාජ ගිවිසුම (Social Contract) පිළිබඳ සිය ප්‍රකට කෘතියේ කළ අවධාරණයෙන් නිරූපණය වේ. රූසෝ ඉන් අදහස් කළේ  වරප්‍රසාද ලත් අයගේ ප්‍රචණ්ඩත්වය හුදු පරපීඩනයකට හා දුප්පතුන්ගේ දිළිඳුකම හුදු අසාධාරණත්වයකට ලඝු කරනවාට වඩා ඒ දෙකම ප්‍රජාතන්ත්‍රවාදය අවලංගු කරන මූලික සාධක ලෙස සැලකිය යුතු බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පුරෝගාමීන් ලෙස සැලකෙන ග්‍රීසියේ පුරාණ ඇතීනියන්වරුන් දේශපාලන සමානාත්මතාව ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ලෙස සැලකූ බව බර්ක්ලි සරසවියේ ආචාර්ය වෙන්ඩි බ්‍රවුන් සිය ‘In the Ruins of Neoliberalism’ නම් කෘතියේ පෙන්වා දෙයි.[85]ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු තුන ලෙස ඇතීනියන්වරුන් සැලකුවේ ඇතන්ස්හි පුරවැසි සභාවේ දී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීමටත්, එම අදහස්වලට පුරවැසි සභාව විසින් කන් දෙනු ලැබීමටත් හැම පුරවැසියෙකුට ම ඇති අයිතිය හෙවත් අයිස්ගෝරියා (isegoria), නීතිය ඉදිරියේ සියල්ලන් සමානයන් ලෙස සැලකීම හෙවත් අයිසොනොමියා (isonomia) සහ එක සමාන ඡන්ද බලය සමග දේශපාලන නිලතල සඳහා ඉදිරිපත් වීමට ඇති එක සමාන අයිතිය හෙවත් අයිසොපොලිටෙයා (isopoliteia ) යන මූලික කොන්දේසි තුන යි. පුරවැසි ඇතීනියන්වරුන් අතර දේශපාලන සමානාත්මතාව ඇති කිරීමට එම කොන්දේසි තුන අත්‍යවශ්‍ය බව සැලකුණි. ඇතීනියන්වරු නිදහස අගය කළ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ අවම වසයෙන් අර කී මූලික කොන්දේසි තුන මඟින් තහවුරු වන සමානාත්මතාවක් මත පමණක් බවත් තේරුම් ගත්හ.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාධකය වසයෙන් ‘දේශපාලන සමානාත්මතාව’ සැලකුවොත් ලිබරල්, සුලු ධනේශ්වර, ධනවාදී, සමාජවාදී ආදී විවිධාකාර විශේෂණ පදවලින් හැඳින්වෙන වර්තමාන ප්‍රජාතන්ත්‍රවාද කිසිවක් එම සාධකය ප්‍රමාණවත් තරම් සපුරා නැති බව පෙනී යනු ඇත. හැරත් එකී මාදිලියේ ප්‍රජාතන්ත්‍රවාදවල කිසියම් සාධනීය ලක්ෂණයක් වී ද ඒවා ද පසුගිය දශක කිහිපය තුළ  අතුරුදහන් වී අනුක්‍රමයෙන් නිර්ප්‍රජාතන්ත්‍රවාදී වෙමින් තිබේ.  එහෙත් ධනවාදී ආර්ථිකයක් ඇති ජාතික රාජ්‍ය ව්‍යුහයක් තුළ, අත්‍යන්ත සමාජ හා ආර්ථික විෂමතා තුරන් කොට දැනුම ලබා ගැනීමේ අවස්ථා අසමාන වීම වළක්වා සියල්ලන්ට පිළිගත හැකි දේශපාලන සමානාත්මතාවක් ඇති කර ගත හැක්කේ කෙසේ ද යන්න සැලකිය යුතු අභියෝගයකි. නූතන රාජ්‍යයේ සියලු ආකෘති ප්‍රජාතන්ත්‍රවාදී බවක් පෙන්වීමට තැත් කරන නමුත් ඒවා ඇත්ත වසයෙන් ම ප්‍රජාතාන්ත්‍රික නො වේ යැ’යි කාල් මාක්ස් පැවසුවේ එබැවිනි.

ඒ අනුව මුල්කාලීන යුරෝපියානු නූතනත්වය විසින් හඳුන්වා දෙන ලද ධනවාදය, ජාතික-රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්ප ත්‍රිත්වය අතරින් භාවිතයේ දී  ප්‍රායෝගික වසයෙන් වඩාත් දුර්වල ම සංකල්පය බවට පත් ව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය බව පෙනී යයි. මේ ත්‍රිත්වය අතරින් ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙන් ම නිර්ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ද මෙහෙයවිය හැකි ය. එමෙන් ම ජාතික රාජ්‍යය අඩු වැඩි වසයෙන් දේශපාලන සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට මෙන් ම බෙහෙවින් දුර්වල කිරීමට ද යොදා ගත හැකි ය. ඇත්ත වසයෙන් ම 20 වැනි සියවසේ ඇති වූ ලෝක මහා යුද්ධ දෙකටත් වර්තමාන ජනවාර්ගික යුද්ධවලටත් ජාතික රාජ්‍ය සංකල්පය බෙහෙවින් බලපා තිබේ.

ඉදින්, හුදෙක් ධනවාදී ආර්ථික වර්ධනයේ අත පල්ලෙන් පහළ ආදායම් ලබන්නන් අතරට වැටෙනු ඇතැ’යි  කියන සෞභාග්‍ය පිළිබඳ පුරසාරම් නො තකා  ප්‍රජාතන්ත්‍රවාදය නියමාර්ථයෙන් ම අත්විඳීමට සියල්ලන්ගේ දේශපාලන සමානාත්මතාව තහවුරු කරන්නේ කෙසේ ද? දේශපාලන සමානාත්මතාව ඇතිවෙන්නේ සමාජ විෂමතා අවම කිරීමෙන් බව සැලකූ විට එදිනෙදා ජීවත් වීම පිණිස අවශ්‍ය කරන සාර්වත්‍රික මූලික ආදායමක් (universal basic income), දැරිය හැකි කුලියකට/මිලකට ගත හැකි නිවාස, ගුණාත්මක නිදහස් අධ්‍යාපනය  සහ ප්‍රමාණවත් නිදහස් සෞඛ්‍ය සේවා යනාදිය රජයේ නිසි මැදිහත් වීම් මඟින් සහතික කළ හැකි විය යුතු ය. අඩු ආදායම් ලබන කොටස් අතර දේශපාලන සහභාගිත්වයේ ලා ඇතිවිය හැකි ඉච්ඡාභංගත්වය ඒ මඟින් අවම කළ හැකි ය. එමෙන් ම නිරවද්‍ය තොරතුරු සංසරණය,  ගුණාත්මක ප්‍රජා අධ්‍යාපනය, සාධාරණ හා පාරදෘශ්‍ය මැතිවරණ සහතික කිරීම, දේශපාලන නිලතල දැරීමට අවවරප්‍රසාදිත කණ්ඩායම් දිරිගැන්වීම, ප්‍රතිපත්ති හා නීති සම්පාදනයේ දී විවෘත සංවිචාරණීය සහභාගිත්වය සඳහා අවස්ථා සැලසීම ආදිය සඳහා උචිත ප්‍රතිපත්ති ද සමාජයට ක්‍රියාත්මක කළ හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාව පිළිබඳ  තවත් වැදගත් සාධකයක් වන්නේ පොදු දේවල්, පොදු පහසුකම්  සහ පොදු අයිතිය යි. හැමට එක ලෙස කාර්යක්ෂම ව සේවය සලසන පොදු ප්‍රවාහන සේවා, පොදු අධ්‍යාපන ක්‍රමයක් සහ පොදු සෞඛ්‍ය සේවයක් ඒ අතර ඉතා වැදගත් ය. පොදු දේවල් යනුවෙන් හැඳින්වෙන හැම දෙයක් ම පොදු අයිතිය යටතේ නො පවතින බව ආචාර්ය බොනී හොනිග් සිය ‘Public Things – Democracy in Disrepair’ නම් කෘතියේ පෙන්වා දෙයි.  අවශ්‍ය වන්නේ ඒවා පොදු යහපත තකා අධීක්ෂණය හෝ නියාමනය වීම හෝ පොදු භාවිතය සඳහා යොදා ගැනීම යි. උදාහරණයක් වසයෙන් බොහෝ පොදු විශ්ව විද්‍යාලවලට පෞද්ගලික ධන සම්පත්, හෝ අරමුදල් යෙදෙන නමුත් ඒ නිසා ම ඒවා පෞද්ගලික දේපළ බවට පත් නො වේ. මන්ද ඒවා පොදු යහපත මුල්කරගත් නියාමනයක් යටතේ පොදු පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතු බැවිනි. පොදු දේවල්වලට පාසල්, විශ්ව විද්‍යාල, රෝහල්, රජයේ වනාන්තර සහ කැලෑ ප්‍රදේශ, ජාතික වනෝද්‍යාන, සිර ගෙවල්, මහාමාර්ග හා අනෙකුත් මං මාවත්, ගමනා ගමන සේවා, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, වරාය හා ගුවන් තොටුපළවල්, සුසාන භූමි, පොලිසිය, හමුදාව, ආණ්ඩු සහ රාජ්‍ය ආයතන, විදුලි, වායු, න්‍යෂ්ටික සහ අනෙකුත් බල ශක්ති ප්‍රභව, සාගර, ගංගා, ජලාශ හා ජල සැපයුම් පද්ධතිය හා තෙල් නල මාර්ග, තරංග සංඛ්‍යාත, ගුවන් විදුලි හා රූපවාහිනී ජාල, පුස්තකාල සහ තවත් බොහෝ දේවල් ඇතුළත් වේ.

එහෙත් ජාතික රාජ්‍යයක දේශපාලන බලය ඉක්මවා ගිය ක්ෂේත්‍රයක් වන ‘පොදු ලෝක උරුමය’ (Global Commons) නිර්ණය කරන්නේ මනුෂ්‍ය වර්ගයේ පොදු උරුමය යන මූලධර්මය සලකමිනි. භූමිය, වනාන්තර, මුහුදු සහ සාගර, වායු ගෝලය හා දේශගුණ පද්ධති ආදි වසයෙන් මේ පොදු ලෝක උරුමයේ ස්වරූපය කුමක් වුව ද තිරසාර හා සෞභාග්‍ය සම්පන්න අනාගත ලෝකයක් පිළිබඳ අපේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට නම් එකී සාධක සියල්ලෙහි යහපැවැත්ම තහවුරු වීම අත්‍යවශ්‍ය වේ. ස්වාභාවික විද්‍යා පිළිබඳ නවීනතම සොයා ගැනීම් නූතන ශිෂ්ටාචාරය ආරම්භයේ සිට අපේ පරිසරය මුහුණ දී ඇති අවදානම් හැරවුම් ලක්ෂ්‍යන් පිළිබඳ අපට අනතුරු හඟවා තිබේ. මෙකී හැරවුම් ලක්ෂ්‍යන් පසු කළ විට ආපසු නිවැරදි කළ නො හැකි පරිදි ඇතිවෙන විපර්යාස පිළිබඳ විද්‍යාඥයන් අවුරුදු ගණනාවක් තිස්සේ නොකඩවා කොතෙකුත් අවවාද දී තිබේ. එහෙත් ප්‍රතිපත්ති සම්පාදනයට සෘජු ව සම්බන්ධ වන සැලකිය යුතු බල ව්‍යුහ සහ ඒවායේ අනුග්‍රාහක ආයතන විසින් එම අනතුරු ඇඟවීම් බොහෝ විට මුළුමනින් ම නො තකා හැර තිබේ. එහි ප්‍රතිඵලය ගෝලීය උණුසුම වැඩි වීමට බලපාන සාධක අවම කිරීම සම්බන්ධයෙන් සාමූහික ව ක්‍රියා කිරීමට කටයුතු යෙදීමට අප අපොහොසත් වීම යි.

ස්වාභාවික සම්පත් බෙදා ගැනීම සහ නැවත බෙදී යෑමේ රටාව බොහෝ විට බහුතරයේ අවශ්‍යතාව නො තකන සුළුතරයක ප්‍රමුඛතා අනුව සිදු වන දෙයක් බවට පත්වී තිබේ. උදාහරණයක් වසයෙන් දේශගුණය වෙනස් වීම පිළිබඳ නියාම සහ විවිධාකාර අත්දැකීම් දිගින් දිගට ම උද්ධච්චකමින් ප්‍රතික්ෂේප කරන බලවේගවලින් මෙහෙයවන ලෝකයක ජීවත් වීමට අපට සිදුවී තිබේ. ඉහත කී දේශගුණික වෙනස්කම්වලට තුඩු දුන් කරුණු බොහෝමයක් ඇති වූයේ ද එකී බලවේගවල ක්‍රියාකාරකම් හේතු කර ගෙනයි. දේශගුණික විපර්යාස එදිනෙදා ජීවිතයට අතිශයින් විනාශකාරී ලෙස බලපා ඇති අන්දම ගැන අපි දැනටමත් බොහෝ දේ දන්නෙමු.

පොදු දේවල් යනු සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයක පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. පොදු දේවල් පවත්වා ගෙන යෑම හා පරිහරණය පිළිබඳ කතිකාව ප්‍රජාතන්ත්‍රවාදය බිහි වීමට මූලික හේතුවක් විය. පොදු දේවල්වලින් තොර ව පොදු ජනතාවක් ද නැත. එවැනි පොදු දේවල් නොමැති නම් ප්‍රජාතන්ත්‍රවාදය හුදෙක් මැතිවරණ, බහුතරයේ පාලනය හා පාර්ලිමේන්තු විවාද පිළිබඳ පටිපාටිවලට පමණක් සීමා වෙනු ඇත. පොදු දේවලින් සමන්විත වන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය හෝ පොදු දේවල්වල අයිතිය, කාර්ය සාධනය සහ පැවැත්ම සම්බන්ධයෙන් රජයට ඇති වග වීම  නැතිව ගියොත් ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසිභාවයකට පැවැත්මක් ද නො තිබෙනු ඇත.

පොදු දේවල් පුද්ගලීකරණය කිරීමට පක්ෂ වන බොහෝ අය එය සාධාරණීකරණය කිරීමට තැත් කරන්නේ එමඟින් වඩා කාර්යක්ෂම සේවාවක් සැපයිය හැකි ය යන තර්කය මතය. පොදු දේවල් සම්බන්ධ නිලධාරිවාදය නිසා නාස්තිය වැඩි වෙන බවත් සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන වෙළඳපොළ පාදක කරගත් දිරිගැන්වීම්වලින් එකී සේවා ඈත් කර තැබීම සිවිල් සේවයේ ආකල්පය බවත් ඒ සම්බන්ධ ආනුෂංගික තර්ක ය. ඒ අනුව අකාර්යක්ෂම වන්නේ සමාගම් නිලධාරිවාදය නො ව රජයේ නිලධාරිවාදය යි. රජයේ අධීක්ෂණයකට වඩා වෙළඳපොළට වග කියන පුද්ගලික අංශයේ සේවා සපයන්නන් රජයේ ආයතනවලට වඩා විශ්වාසදායක යැයි කල්පනා කෙරේ. එහෙත් ඉතාමත් කාර්යක්ෂමව සේවය සලසන පොදු සේවා ඇති බව අප දනිමු. ප්‍රංශය ඩෙන්මාර්කය වැනි ඇතැම් යුරෝපීය රටවල පොදු ප්‍රවාහන සේවා හා මහජන සෞඛ්‍ය සේවා ඒවාට කදිම උදාහරණ ය. වඩා නාස්තියක් සිදු වන්නේ පුද්ගලික අංශයේ පාලනයෙන් ද නැත හොත් රාජ්‍ය අංශයේ පාලනයෙන් ද යන්න සම්බන්ධයෙන් ඇති සාක්ෂි පිළිබඳ ව අනුභූතිවාදීන්ට ඇති තරම් තර්ක කළ හැකි වූවත් හුදු  කාර්යක්ෂමතාවට වඩා පොදු දේවල්වල පැවැත්ම අත්‍යවශ්‍ය වන තවත් වැදගත් සාධක ඇති බව අප අමතක නො කළ යුතු ය. ප්‍රජාතාන්ත්‍රික පුද්ගලභාවය හෙවත් ප්‍රජාතන්ත්‍රීය පුරවැසිභාවය නමැති සාධකය එක් ව අල්ලා ගෙන සිටින මැලියම වන්නේ පොදු දේවල් ය. ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය පුරවනු ලබන්නේ පොදු දේවල්වලිනි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමාජිකයන්ගේ සමාජීය හැඩගැසීම, ඌනතා සම්පූර්ණ කිරීම, නිදහස අත්විඳීම, තහංචි පැනවීම ආදියෙන් ඔවුන් පුරවැසිභාවයට පත් වන්නේ පොදු දේවල් නිසා ය.

ඒ නිසා හුදෙක් කාර්යක්ෂමතාවේ නාමයෙන් සිදු වන පෞද්ගලීකරණය ද ඇතුළු ව රාශි භූත ‍වෙන නොහොත් සමුච්චයනය වන ධනය විසින් දේශපාලන බලයේ ලීවර අත්පත් කර ගනු ලැබීම වැළැක්වීමට නිතර විමසිලිමත් වීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. ධනය සමුච්චයනය වීම කෝපරේට් – සාමූහික හෝ පුද්ගලික ආදි කොයි මට්ටමෙන් පැවතිය ද එහි අභිප්‍රාය වන්නේ එකී බලයේ ලීවර අත්පත් කර ගැනීම මඟින් ධනය ඒකරාශි වීම තව තවත් වැඩි කර ගැනීමේ ආත්මාර්ථකාමී අවශ්‍යතාව ඉටු කර ගැනීම යි.  ඒ අවශ්‍යතාව ඉටු කර ගැනීම පිණිස අවවරප්‍රසාදිත සහ ආන්තික කොටස්වලට දේශපාලන අයිතිය ලබා දීම සීමා කිරීමට වුවද සමුච්චයනය වන ධනය පසුබට වන්නේ නැත . කොටින් ම ජාතික රාජ්‍ය හා ධනවාදය යටතේ ප්‍රජාතන්ත්‍රීය පැවැත්මක් සහතික කර ගැනීමට නම් සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම්වල සිට ගුණාත්මක අධ්‍යාපනයක් දක්වා පොදු පහසුකම් සියලු දෙනාට ම සහතික කිරීමත්, ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සාධාරණ ලෙස බෙදී යන ලෙස ප්‍රතිව්‍යාප්ත (redistribution) කිරීමත්, ධනය සමුච්චයනය වීම අරමුණු කර ඇතිවෙන ජාවාරම් හා දූෂණ ක්‍රියා වැළැක්වීමත් අනිවාර්යයෙන් ම සිදු විය යුතු ය.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම තහවුරු කිරීමට නම් වෙළඳපොළට පමණක් සහ වෙළඳපොළ ජය ගත් අයට පමණක් පාලනය බාර දීමට දරන ප්‍රයත්නයට ඉඩ නො දිය යුතු ය. ඇත්ත වසයෙන් කළ යුත්තේ දේශපාලන සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම පිණිස වෙළඳපොළ බලපෑම නියාමනය කිරීම යි.

ධන කුවේරයන් අතළොස්සක් බිහි කර බහුතරය සාපේක්ෂ දිළින්දන් වසයෙන් තබා ගැනීම ධනවාදයට ආවේණික වූ   “සමාජ ප්‍රශ්නය” වසයෙන් 19 වැනි සිය වසේ සිට ම පැවත එන්නකි. මෙලෙස “සමාජ ප්‍රශ්නය” රාමු ගත කිරීමේ දී දුප්පතුන් කෙරෙහි දැක්විය යුතු කරුණාව, සාධාරණත්වය හෝ සමාජ අසහනය ගැන සැලකිලිමත් වීම ධනවාදයට දිය හැකි විසඳුම් ලෙස සැලකුණි. එහෙත් ඊට වෙනස් ව ඇත්ත වසයෙන් ම අවශ්‍ය වන්නේ අසල්වැසි බිම් මට්ටම දක්වා ස්වයංපාලනයක් පවත්වා ගෙන යෑමට හැකි වන සේ හැම පුරුෂයෙක් ම හැම ස්ත්‍රියක් ම හැකි තරම් සවිබල ගැන්වීම යි. එය වළක්වන සමාජීය හා ආර්ථික අසමානතා තීව්‍ර වීමට ඇති හැකියාව දේශපාලන සමානාත්මතාව තහවුරු කිරීම මඟින් අවහිර කළ යුතු ය.

අප අතර ඇති බහුවිධත්වය හා නොයෙකුත් වෙනස්කම් තිබිය දී වුව ද අන්‍යෝන්‍ය විශ්වාසය අත්විඳිය හැකි අප ‘සමාජය’ යනුවෙන් හඳුන්වන පොදු අවකාශයේ ශක්තිමත් වර්ධනය ද  ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය ය. ප්‍රායෝගික වසයෙන් ගත් විට රජය සහ අපේ පුද්ගලික ජීවිතය අතර පිහිටා තිබෙන ‘සමාජය’ නමැති මේ පොදු අවකාශය එකිනෙකට වෙනස් සම්පත් හා පසුබිම් සහිත ව පැමිණෙන පුරවැසියන් එකට එක් කරන සහ අන්‍යෝන්‍ය වසයෙන් එකට ඉගෙන ගැනීමට සලස්වන තැනයි. පොදු යහපත මුල් කර ගනිමින්  අප දේශපාලන වසයෙන් එක් රැස් වන්නේත් අප දේශපාලන වසයෙන් බලාත්මක කරවනු ලබන්නේත් සමාජය තුළ යි. දේශපාලනයට පිවිසීමේ හැකියාව, දේශපාලන හඬ නැංවීම සහ සේවා පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති විෂමතා නිරූපණය වන්නේ ද සමාජය නමැති පොදු අවකාශය තුළයි. එය අපේ දරු මුනුබුරන්ගේ අනාගතයේ යහපත් අයහපත් බව නිරූපණය කරන අවකාශය යි. 

සමාජය යනු මතිභ්‍රමයක් නොව සැබවින්ම පවතින අවකාශයකි. එහි සුගමතාවය (Intelligibility) හෙවත් සුපැහැදිලි බව මෙන් ම මහජනතාව ස්තරායනය(stratifying) කිරීමේ ලා එයට ඇති හැකියාව ද අප අත්දැක තිබේ. එහෙත් ඒ සියල්ල අබිබවා යුක්තිය සහ පොදු යහපත ගැවසෙන අවකාශය ද සමාජය යි. කෙසේ වෙතත් ‘සමාජය’ යන්න සංකල්පීය වසයෙන්, ප්‍රතිමානික වසයෙන් සහ ප්‍රායෝගික වසයෙන් විනාශ කර දැමීම නවලිබරල්වාදී (neo-liberal) ආර්ථික හා දේශපාලන දර්ශනයේ අරමුණයි. ( නවලිබරල්වාදයේ එකී ආත්මාර්ථකාමි දේශපාලන දැක්ම ගැන අපි වෙන ම පරිච්ඡේදයකින් සාකච්ඡා කරමු.) එහෙත් මානව සංහතියේ සාමූහික ප්‍රවර්තනය සහතික කළ හැක්කේ අප සියල්ලන්ගේ ම අන්‍යෝන්‍ය පැවැත්ම හිතකර ගෝලීය පරිසරය හා ඒකාබද්ධ කළ හැකි සංවිචාරණීය සමාජයක් ගොඩනැගීම මඟින් පමණි.

සංවිචාරණීය සමාජයක් free copyDownload

“සංවිවාරණීය සමාජයක්” සම්පූර්ණ කෘතිය

මුද්‍රිත පොත ලබා ගැනීමට විමසන්න:

අගහස්‍ ප්‍රකාශකයෝ. 717/2 ඹාදින්නාගොඩ, රාජගිරිය. දුරකතනය 0773985968


[1] Badiou, Alain with Lancelin, Aude, (2019) In Praise of Politics, Medford: Polity Press, p.12

[2] 19 වන සියවසේ ජීවත් වූ ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වූ ජෝන් මිල්ටන්ගේ යෙදුමකින් ජනිත වූව කැ’යි සැලකෙන “හෝමෝ එකොනොමිකස්” යන යෙදුමෙන් අදහස් කෙරෙන්නේ මනුෂ්‍යයන් යනු නිරන්තරයෙන් ම සිය ස්වාර්ථකාමී අරමුණු ප්‍රශස්ත ලෙස ඉටු කර ගැනීමට තාර්කිකව වෑයම් කරන සත්ව විශේෂයක් බවයි. මේ ඒකාකෘතික ප්‍රතිරූපය ප්‍රතික්ෂේප විය යුත්තේ ඇයි යන්න 12 වැනි පරිච්ඡේදයේ දී සවිස්තරව සලකා බලමු.

[3] https://phys.org/news/2020-08-cold-ice-age.html Retrieved on 02 Jan 2021

[4] https://climate.nasa.gov/news/2915/the-atmosphere-getting-a-handle-on-carbon-dioxide/  Retrieved on 02 Jan 2021

[5] හරිතාගාර ආචරණය (greenhouse effect) යනු පෘථිවිය මතුපිට උණුසුම් කරන ස්වාභාවික ක්‍රියාවලියකි. සූර්ය බලශක්තිය හිරු රැස් ලෙස පෘථිවිය මතට පතිත වූ පසු ඉන් කොටසක් පරාවර්තනය වී අවකාශයට ආපසු යන අතර ඉතිරිය කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායුවලින් අවශෝෂණය වී යළි පොළොව දෙසට විහිදෙයි. වායුගෝලයේ හරිතාගාර සංයුතිය වැඩි වෙන විට එසේ පොළොවට යළි විකිරණය වන තාපය ද වැඩි වෙයි. ඒ අනුව ගෝලීය උණුසුම ද ඉහළ යයි. මූලික හරිතාගාර වායු ලෙස සැලකෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ඕසෝන් සහ ජල වාෂ්ප අංශුයි.

[6] ] Sri Lanka submitted a Nationally determined Contribution (NDC) to the UNFCCC in September 2016, which includes a target to increase the national forest cover from 29.7% to 32% by 2030. –  Sri Lanka’s Forest Reference Level submission to UNFCC, 2017

[7] Perera, Anoma (2018) ‘Sustainable Management of Tropical Humid Forests of Sri Lanka in the Face of Climate Change’ in Sri Lanka Forester, N.D.R. Weerawardane et. al (eds.), Volume 39, Forest Department, Colombo, pp. 14-19

[8] Schmitter, Philippe C (2020), ‘Democracies’ in Sage Handbook on Political Science, Berg-Schlosser Dirk (eds.), London: Sage, p. 730

[9] Vieira, Mónica Brito and Runciman, David (2008) Representation, Cambridge: Polity Press, pp.15-16

[10] Landmore, Helen (2020) Open Democracy: Reinventing Popular Rule for the 21st Century, Princeton: Princeton University Press, p. 3

[11] Vieira, Mónica Brito and Runciman, David (2008) Representation, Cambridge: Polity Press, p 38

[12]  Wood, Gordon S. (1900) The American Revolution: A History. New York: Modern Library; Reprint edition, p. 154 (KE)

[13] Piketty, T. (2014) Capital in the Twenty-First Century. Cambridge, MA: Harvard University Press. p.11(KE)

[14] https://www.colombotelegraph.com/index.php/the-19a-allows-private-broadcasters-to-legally-skew-elections/ – Retrieved on 02 Feb 2021

[15] https://theconversation.com/broadcast-impartiality-rule-has-helped-labour-to-achieve-biggest-poll-shift-since-1945-78949  Retrieved on 02 Feb 2021

[16] Richard Sambrook, (2012), Delivering Trust Impartiality and Objectivity in the Digital Age, Oxford: the Reuters Institute Study of Journalism

[17] Rodríguez-Castro, Marta et al (2020) Public Service Media as a Political Issue, Journal of Information Policy Vol. 10, PA: Penn State university Press, PA, pp. 439-473,

[18] Landmore, Helen (2020) Open Democracy: Reinventing Popular Rule for the 21st Century, Princeton NJ: Princeton University Press  p. xiii-xiv

[19] https://blogs.oii.ox.ac.uk/policy /finnish-decision-to-allow-same-sex-marriage-shows-the-power-of-citizen-initiatives/  – Retrieved 04 Feb 2021

[20] https://thediplomat.com/2017/10/south-koreas-nuclear-energy-debate/  – Retrieved 04 Feb 2021

[21] https://news.stanford.edu/2017/05/02/collaboration-stanford-leads-mongolian -parliament-passing-law-public-opinion-polling/  – Retrieved 04 Feb 2021

[22] Badiou, Alain with Lancelin, Aude, (2019) In Praise of Politics, Medford: Polity Press. p.3

[23] ibid, p.4

[24]   Rousseau, Jean-Jacques. 1997. The Social Contract and Other Later Political Writings. Edited by V. Gourevitch. Cambridge: Cambridge University Press, p.114

[25] Brito Vieira, M. and Runciman, D. (2008). Representation, (Cambridge: Polity Press). p. 125

[26]  Edwards, J. G. (1970). ‘The Plena Potestas of English Parliamentary Representatives’, in Historical Studies of the English Parliament, ed. E. B. Fryde and E. Miller, 2 vols. Cambridge: Cambridge University Press, I, pp. 136–49.

[27] Brito Vieira, M. and Runciman, D. (2008). Representation (Cambridge: Polity Press).p.15

[28]  Wood, G. S. (1992). Democracy and the American Revolution. In Democracy: The Unfinished Journey, 508BC to AD1993, ed. J. Dunn (Oxford: Oxford University Press), pp. 95–105.

[29] Brito Vieira, M. and Runciman, D. (2008). Representation (Cambridge: Polity Press).p.15

[30]  Davies, R. G. and J. H. Denton (eds) (1981). The English Parliament in the Middle Ages. Manchester: Manchester University Press.

[31] Dowlen Oliver, (2008) The Political Potential of Sortition, Exeter: Imprint Academics,

[32] Dowlen, Oliver, (2008) The Political Potential of Sortition, Exeter: Imprint Academics p. 144

[33]  John, Gastil & Erik, Olin Write (2019), Legislature by Lot, New York: Verso, p.11 KE

[34] https://www.irishtimes.com/news/ireland/irish-news/the-citizens-assembly-a-canny-move-on-the-road-to-repeal-1.3510373 – Retrieved on 13 July 2021

[35] Badiou, Alan with Lancelin, Aude, (2019) In Praise of Politics, Medford: Polity Press, pp.13-14

[36] Ehrenberg, V. (1968), From Solon to Socrates, London: Methuen.

[37] Dahl, Robert A.  (1961) Who Governs? Democracy and Power in an American City, New Haven: Yale University Press, p. 1.”

[38] Schumpeter, Joseph (1975), Capitalism, Socialism and Democracy New York: Harper & Row, p. 285, conditions for democracy 289-296.

[39] Schumpeter, Joseph (1950) Capitalism, Socialism and Democracy, Melbourne: George Allen & Unwin Ltd, p. 242

[40] Schumpeter, Joseph (1975), Capitalism, Socialism, and Democracy, New York: Harper & Row, p. 269.

[41] ඇතන්ස් නුවර පැවති පාලන ක්‍රමය අනුව වහලුන් යනු දාසකම් කළ අය පමණක් නොවේ. බොහෝ විට සිවිල් සේවකයන් සහ පොලිස් භටයන් ලෙස කටයුතු කළේ ද පුරවැසියන් නො වන වහලුන් ය.

[42] Mansbridge, Jane. 1980. Beyond Adversary Democracy. New York: Basic Books. pp. 13-14

[43] ibid. p 32

[44] Menser, Michael (2018): We decide!: theories and cases in participatory democracy, Temple University Press  p. 266

[45] Mansbridge, Jane. (1980). Beyond Adversary Democracy. New York: Basic Books. pp. 13-15

[46] Menser, Michael (2018): We decide!: theories and cases in participatory democracy, Philadelphia PA: Temple University Press,  p. 7

[47] Menser, Michael (2018): We decide! theories and cases in participatory democracy, Philadelphia PA: Temple University Press, pp.17 -18

[48] Mann, Barbara Alice. (2000). Iroquoian Women: ἀ e Gantowisas. New York: Peter Lang.  p. 166

[49] Mann, Barbara Alice. (2000). Iroquoian Women: ἀ e Gantowisas. New York: Peter Lang.  pp. 217-218

[50] Muhlberger, Steven (2011) Republics and Quasi-Democratic Institutions in Ancient India in The Secret History of Democracy, Ishakan. B and Stockwell. S (eds.) London: Palgrave Macmillan, p.50

[51] Graeber, David and Wengrow, David (2021) The Dawn of Everything: A new History of Humanity, New York: Allen Lane, p 30 KE‍

[52] Pateman, Carole (1985).  Problem of Political Obligation: A Critique of Liberal Theory. Berkeley, CA: University of California Press. pp. 152, 150-162

[53] Pateman, Carole (1970) Participation and Democratic Theory. Cambridge: Cambridge University Press Pp.42-43

[54] Vick, Jason (2015)  “Participatory Versus Radical Democracy in the 21st Century: Carole Pateman, Jacques Rancière, and Sheldon Wolin,” New Political Science, Vol 37, No. 2, p. 208

[55] Kaufman, Arnold (1969). “Participatory democracy and Human Nature.” In The Bias of Pluralism, edited by William Connolly, 178-200. New York: Atherton Press, p. 184

[56] Barber, Benjamin R, (2004) Strong Democracy, Oakland CA: University of California Press p. 117.

[57] Pateman, Carole.  (1970) Participation and Democratic Theory, Cambridge: Cambridge University Press pp.42-43

[58] Norris, Pippa (2011). Democratic Deficit: Critical Citizens Revisited. New York: Cambridge University Press.

[59] Poletta, Francesca (2013). “Participatory Democracy in the New Millennium.” Contemporary Sociology 42(1): 40–50”

[60] McNulty, Stephanie L. (2019) Democracy from Above? Stanford: Stanford University Press, pp 13-14 (KE)

[61] Lauer, Polly W., “Community Radio in Guatemala: A Half-Century of Resistance in the Face of Repression” (2017). Undergraduate Honors Theses. Paper 1051. JSTOR

[62] McNulty, Stephanie L. McNulty (2019) Democracy from Above? Stanford: Stanford University Press, pp 214-224 (KE)

[63] Menser, Michael(2018): We decide!: theories and cases in participatory democracy, Temple University Press,  pp. 61-63

[64] McNulty, Stephanie L. McNulty (2019) Democracy from Above? Stanford University Press, Stanford, p. 264(KE)

[65]  Michels, Robert (1961). Political Parties: A Sociological Study of the Oligarchical tendencies of Modern Democracy, Free Press New York – quoted by Joel D. Wolfe in “A Defence of Participatory Democracy”. The Review of Politics. Cambridge University Press 47 (3): 370–389.

[66]  Pateman, Carol (2004) “Democratizing Citizenship: Some Advantages of a Basic Income.” Politics and Society 32, no. 89: pp. 89-105.

[67] Thomas Piketty, Capital in the 21st Century and Joseph Stiglitz, The Price of Inequality: How Today’s Divided Society Endangers Our Future.

[68] Reybrouck, David Van (2016). Against Elections: The Case for Democracy, London: Bodley Head, p. 111

[69] Fishkin, J (2009) When the People Speak, New York: Oxford University Press, p. 121.

[70] Fishkin, J (2009) When the People Speak, New York: Oxford University Press, p. 11.

[71] Hudson, Alexander (2021) The Veil of Participation, Cambridge: Cambridge University Press, pp. 114-115

[72] https://participedia.net/case/130 – Retrieved on 14 June 2021

[73] Landemore, Hélène (2020) Open democracy: reinventing popular rule for the twenty-first century, Princeton: Princeton University Press, p.160

[74] Hudson, Alexander. 2018. “When Does Public Participation Make a Difference? Evidence from Iceland’s Crowdsourced Constitution.” Policy & Internet 10(2): 185–217. doi:10.1002/poi3.167.

[75] Landemore, Hélène (2020) Open democracy: reinventing popular rule for the twenty-first century, Princeton: Princeton University Press, p. 92

[76]  Graham Smith and Maija Setälä (2018) Mini-Publics and Deliberative Democracy in The Oxford Handbook of Deliberative Democracy, Andre Bächtiger, et. al.  (eds) Oxford: Oxfords University Press, Oxford P.311

[77] https://participedia.net/collection/7119?page=1 Retrieved on 12 Aug 2021

[78] Fishkin, James S.  and Siu, Alice (2021) Mongolia: Piloting Elements of a Deliberative System; Deliberative Democracy in Asia, Baogang He et.al (eds.) New York: Routledge, pp. 191-204

[79] Letter from Chairman Great Hural (Speaker of the Parliament) available at https://cdd.sta nford.edu/mm/2020/02/mongolia-letter.pdf.

[80] Fishkin, James S. and Siu, Alice (2021) Mongolia: Piloting Elements of a Deliberative System; Deliberative Democracy in Asia, Baogang He et.al (eds.) New York: Routledge, p. 191

[81] Cohen, Joshua (1989) ‘Deliberation an d Democratic Legitimacy’ in Allan Hamlin and Philipp Pettit(eds) Global Polity, Oxford:Blackwell p. 21

[82] Habermas, J. (1975). Legitimation Crisis, trans. T. McCarthy (Boston, MA: Beacon Press) p.108

[83] Foucault, M. (2001). Power [vol. 3 of The Essential Works of Foucault, 1954–1984], ed. J. B. Faubion, trans. R. Hurley and others (New York: New Press).

[84] Rousseau, Jean-Jacques, [1762] 1968, The Social Contract (London: Penguin,) pp,96

[85] Wendy Brown (2019) In the Ruins of Neoliberalism, New York: Columbia University Press, pp. 24