ෆ්‍රෙඩ්රික් එංගල්ස් වෙතින් ලද උරුමය

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

අගෝස්තු 28 දිනට මාක්ස්වාදයේ සම කතෘවරයෙකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ජන්ම සංවත්සරය යෙදී ඇත. ඒ නිමිතිකොට, මාක්ස්වාදයේ අදහස් වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ලබා දුන් අමිල දායකත්වය පිළිබඳව නැවත විමසා බැලීමට අප මෙය අවස්ථාවක් කර ගනිමු.
මාක්ස්වාදය විසින් මාක්ස්ගේ නම දරා සිටින නමුදු, එංගල්ස් විසින් එයට ලබා දුන් වැදගත් දායකත්වය සහ මෙම දෙදෙනාගේ ජීවිත අතර පැවති ඓන්ද්‍රීය සම්බන්ධය අප කිසි විටෙකත් අමතක නොකළ යුතුය. දර්ශනය, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, භාෂා විද්‍යාව සහ මිලිටරි විද්‍යාවන් වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් තිබූ විශ්වකෝෂ මනසක් එංගල්ස් සතුව තිබූ බවට සැකයක් නැත. මිලිටරි විද්‍යාවන්  පිළිබඳව ඔහුගේ දැනුම විසින් ඔහුට ‘ජෙනරාල්’ යන අන්වර්ථ නාමය ලබා දුන්නේය.
බොහෝ විට, එංගල්ස් මාක්ස්ගේ සහායක කාර්යභාරයක් ඉටු කරන ආකාරයක් දක්නට ලැබුණි. මාක්ස් හැකි සෑම ආකාරයකින්ම දැවැන්තයා වූ අතර, එම සම්බන්ධතාවය එසේ පැවතීමටද එංගල්ස් වැදගත් දායකත්වයක් ලබා දුනි. සෑම විටම අතිශයින්ම නිහතමානී, එංගල්ස් මාක්ස් වෙත එම ගෞරවය ලබා දුනි. නමුත් මේ දෙදෙනා අතර හුවමාරු වූ අති විශාල ලිපි ගොන්න කියවන විට, එංගල්ස්ගේම වන සුවිශේෂී දායකත්වය නොතකා හළ නොහැකිය. මාක්ස් සමඟ එක්ව ඔහුද දේශපාලන දැවැන්තයෙක් විය.
1844 අගෝස්තු මාසයේදී ඔහු මාක්ස් හමුවූ අතර දෙදෙනා අතර මිත්‍රත්වය ආරම්භ විය. මෙය ලෝකය පරිවර්තනය කිරීමට හේතුවූ, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පැවති දේශපාලන සහ න්‍යායික සහයෝගීතාවයකට මඟ විවර කළේය. මෙම සහයෝගීතාවය ‘ජර්මානු දෘෂ්ටිවාදය’ වැනි න්‍යායික කෘතීන් මාලාවකින් ආරම්භ වූ අතර එය වසර කිහිපයකට පසු කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ උත්කර්ශයට විය. මෙම ක්‍රියාවලියේදී, ඔවුන් දෙදෙනා එක්ව සියලු ආකාරයේ ව්‍යාකූල අදහස් සහ සංකල්ප දැරූ අනෙක් අය සමඟ සටන් කළහ.
තරුණ වියේදී මාක්ස් සහ එංගල්ස් යන දෙදෙනාම ශ්‍රේෂ්ඨ ජර්මානු දාර්ශනික හේගල්ගේ අනුගාමිකයෝ වූහ. ඔහුගේ ඉගැන්වීම් විප්ලවීය වූ බව නිසැකය. හේගල්ගේ අපෝහක ක්‍රමය ඔවුන් ලෝකය විග්‍රහ කිරීමේ අඩිතාලම බවට පත් වූ නමුත්, ඔවුන් එය විඥානවාදයෙන් ඉවත් කොට දෙපයින් නඟා සිටුවීය. ෆෝයබාෆ් හරහා ඔවුන් භෞතිකවාදීන් බවට පත් විය. භෞතිකවාදී දර්ශනය විසින් භෞතිකය ප්‍රාථමික ලෙසත් අදහස් ද්‍රව්‍යමය ලෝකයේ ප්‍රතිබිම්බයක් ලෙසත් පැහැදිලි කරයි.
සමාජවාදය යනු සිහින දකින්නන්ගේ නිෂ්පාදනයක් නොව, නිෂ්පාදන බලවේගවල වර්ධනය හා පන්ති අරගලය තුළ මුල් බැසගත් එකක් බව මුලින්ම පැහැදිලි කළේ ඔවුන්ය. සමාජවාදය අවසානයේ විද්‍යාවක් බවට පත් විය. “ජර්මානු දර්ශනය නොමැතිව කිසිදා විද්‍යාත්මක සමාජවාදය බිහි නොවනු ඇත” යනුවෙන් එංගල්ස් කියා සිටියේය.
එංගල්ස් ඔහුගේ පසුකාලීන කෘති, එනම් “ලුඩ්විග් ෆෝයබාෆ් සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනයේ අවසානය”, “ඩුරිං විරෝධය” සහ “සොබාදහමේ දයලෙක්තිකය” යන කෘති මඟින් මාක්ස්වාදී දර්ශනයට සුවිශේෂී දායකත්වයක් ලබා දුනි.
1870 දී, එංගල්ස් ලන්ඩනයට සංක්‍රමණය වූයේ මාක්ස් හා ඔහුගේ ඒකාබද්ධ බුද්ධිමය සහයෝගීතාවයට සෘජු ලෙසම දායක වීමට මෙන්ම පළමු ජාත්‍යන්තරයේ වැඩකටයුතුවලට ක්‍රියාකාරී සහභාගී වීමට හැකි වන පරිදි ය. සියලුම රටවල දියුණු කම්කරුවන් එක් සංවිධානයක් තුළ එකට තබා ගැනීම වෙනුවෙන් ඔහු කළ මෙම කාර්යය අතිශයින් වැදගත්ය.
ඒ වන විට මාක්ස් ප්‍රාග්ධනයේ පළමු වෙළුම ලියා අවසන් කර තිබූ අතර තවත් වෙළුම් දෙකක් සඳහා කරුණු විස්තාරණය කරමින් සිටියේය. 1867 අගෝස්තු මාසයේදී පළමු වෙළුම අවසන් කිරීමෙන් අනතුරුව ඔහු එංගල්ස්ට මෙසේ ලිවීය: “මෙම වෙළුම අවසන්ය. එය කිරීමට හැකියාව ලැබීම ගැන මම ඔබට පමණක් ණයගැති වෙමි! මා වෙනුවෙන් ඔබ කළ ආත්ම පරිත්‍යාගය නොවන්නට එය විසින් ඉල්ලා සිටි, අතිවිශාල ශ්‍රමය යෙදවීමට නොහැකි වනු ඇත.
මාක්ස් තම කාලයෙන් වැඩි ප්‍රමාණයක් “ප්‍රාග්ධනය” කෘතිය සඳහා වැය කළ අතර, එංගල්ස් වෙනත් වාද විවාදවල නිරත වූ අතර, එමඟින් මාක්ස්වාදයේ මූලික සංකල්ප ගෙනහැර දැක්වීමට ඔහුට හැකි විය. මෙයට දර්ශනය, ස්වභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාවන් ගැන සොයා බැලූ ඩූරීං විරෝධය කෘතියද ඇතුළත් විය.
දේශපාලන ආර්ථිකය පිළිබඳ ඔහුගේ අතිවිශාල කාර්යය අවසන් කිරීමට පෙර මාක්ස් මිය ගියේය. මාක්ස් විසින් ඉතිරි කරන ලද කෙටුම්පත් භාවිතා කරමින්, එංගල්ස් තම පර්යේෂණ පසෙකට දමා මාක්ස්ගේ කෘතිය සම්පූර්ණ කිරීම, එනම් ප්‍රාග්ධනයේ වෙළුම් දෙක සහ තුන සංස්කරණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීමේ දැවැන්ත කාර්යය භාර ගත්තේය. මාක්ස්ගේ නොතේරෙන අත් අකුරු තේරුම් ගත හැකි වූයේ ඔහුටම පමණි.
එංගල්ස් විසින් මාක්ස්ගේ මරණයෙන් වසරකට පසුව ලියන ලද “පවුල, පෞද්ගලික දේපළ සහ රජය බිහි වූ හැටි” ලිවීම ඔහු සැළකුවේ මාක්ස්ගේ අවසාන බලාපොරොත්තුව ඉටු කිරීමක් ලෙසය. මෙම කෘතිය භෞතිකවාදී සංකල්පය මානව ඉතිහාසයේ ඈත අතීතයට යොදාගත් “පවුල, පෞද්ගලික දේපළ සහ රජය බිහි වූ හැටි” කෘතිය නූතන සමාජවාදයේ මූලික කෘතිවලින් එකක් ලෙස සැලකිය හැකිය.
මාක්ස්ගේ මරණයෙන් පසු, ඔහුගේ මරණය දක්වා වසර දොළහක් පුරා පසු ලෝක සමාජවාදයේ සෘජු හා අභියෝග නොකළ නායකයා බවට පත් වූයේ එංගල්ස්ය. මේ කාලය පුරාම, එංගල්ස් විද්‍යාත්මක සමාජවාදය ආරක්ෂා කරමින්, විකෘති කිරීම් සහ වැරදි වැටහීම් වලට පිළිතුරු ලබා දුන්නේය.
දෙවන ජාත්‍යන්තරයේ බලවේගයන්ට මග පෙන්වීම වෙනුවෙන් එංගල්ස් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. ඔහු සූරිච් හි පැවති ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනයට සහභාගී විය. ෙහි අවසන්සැසියේදී ඔහු නියෝජිතයන් ඇමතුවේ පළමුව ඉංග්‍රීසි, දෙවනුව ප්‍රංශ භාෂාව, හා අනතුරුව ජර්මන් භාෂාව යොදා ගනිමිනි.
ඔහුගේ අවසාන කාලය තුළ පවා ජර්මානු සහ ප්‍රංශ ශාඛාවන් තුළ මතු වූ බලගතු අවස්ථාවාදී අදහස්වලට අභියෝග කිරීමට ඔහු බිය නොවීය. මාක්ස්ගේ ප්‍රංශයේ සිවිල් යුද්ධයට ඔහුගේ නව හැඳින්වීමත් සමඟ ඔහු අවස්ථාවාදීන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. මෙහිදී ඔහු අවධාරණය කළේ රාජ්‍යය යනු “එක් පන්තියක් තවත් පන්තියක් විසින් පීඩනයට පත් කිරීමේ යන්ත්‍රයක් මිස වෙනෙකක් නොවේ, ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයදී එය රාජාණ්ඩුවකට වඩා අඩු නොවේ” යනුවෙනි.
එංගල්ස්ගේ ජීවිතය සහ ඔහුගේ දායකත්වයේ සෑම අංශයක්ම අධ්‍යයනය කළ ට්‍රොට්ස්කි, එංගල්ස් ඉතා අගනා තක්සේරුවක්ද සපයා ඇත: “එංගල්ස් යනු නිසැකවම ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගේ අතර සිටින ඉහළම ගණයේ වන, හොඳින්ම ඒකාබද්ධව සිටි උදාර පෞරුෂයකි. ඔහුගේ ප්‍රතිරූපය නැවත නිර්මාණය කිරීම කෘතඥතාපූර්වක කාර්‍යයක් වනු ඇත. එය ඓතිහාසික යුතුකමක්ද වේ…”