සෝවියට් සංගමය බිඳවැටීම…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

2022 දෙසැම්බර් මාසය සෝවියට් සංගමය බිඳවැටීමේ 31 වන සංවත්සරය සනිටුහන් කරයි. බලවත්ම විකෘති කම්කරු රාජ්‍යය කඩා වැටෙමින් අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබියදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොමියුනිස්ට්වාදීන් කියාගත් අය රාජ්‍යය සහ එහි වත්කම් කොල්ල කන්නට විය. ධනවාදය එහි අවලස්සන හිස ඔසවා ගත් අතර එහි මිල ගෙවීමට සිදුවූයේ සෝවියට් කම්කරුවන්ටය.

ධනවාදයේ ඇම්බැට්ටයින් විසින් සෝවියට් සංගමයේ බිඳවැටීම යනු “කොමියුනිස්ට්වාදය“ අභිබවා “නිදහස් වෙළඳපල ආර්ථිකය” ලබාගත් අවසාන ජයග්‍රහණය ලෙසින් ඉදිරිපත් කරන ලදී. දශක තුනකට පෙර එය ධනේශ්වරය සහ එහි ක්ෂමාලාපකයින් තුළ ප්‍රීති ප්‍රමෝදයක් ඇති කළේය. ඔවුන් සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ අවසානය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා කතා කතා කළහ. එතැන් සිට ලෝක පරිමාණව මාක්ස්වාදයේ අදහස්වලට එරෙහිව පෙර නොවූ විරූ මතවාදී ප්‍රහාරයක් එල්ලවන ආකාරය අප දුටුවෙමු. අතාර්කික ලෙස උත්කර්ශයට නගනු ලැබූ එයට සීමාවක් නොවීය.

දශක තුනකට පසු, මෙම මුග්ධ මිත්‍යාවන් සියල්ල කණපිට පෙරළී ඇත. මහා අවපාතයෙන් පසු ධනවාදය එහි වඩාත්ම බරපතල අර්බුදයට අවතීර්ණව ඇත. මිලියන ගණනක් විරැකියාව, දරිද්‍රතාවය, වැටුප් හා සුභසාධන කප්පාදු කිරීම් ඇතුළත් අනාගතයකට මුහුණ දී සිටිති. යුද්ධ, ගැටුම් සහ වසංගත විසින් සමස්ත පෘථිවියම විනාශ කරයමින් ඇත. පෘථිවියේ අනාගතය පාලනයකින් තොරව වෙළඳපල ආර්ථිකය විසින් කරනු ලබන විනාශ කිරීම් හා කොල්ල කෑම් නිසා අවදානමට ලක්ව ඇත. ධනවාදයේ ගෝලීය අර්බුදය සහ එහි බලපෑම් විසින් එදා කළ විශ්වාසදායක අනාවැකි ව්‍යාජයන් බවට පත් කර ඇත. සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු බටහිර නායකයින් විසින් කිරි පැණි ලබාදීම වෙනුවෙන් ලබාදුන් සියලු පොරොන්දු උණුසුම් උදුනක් මත තැබූ වතුර බින්දුවක් මෙන් වාෂ්ප වී ගොසිනි.

ඔක්තෝබර් විප්ලවය

1917 රුසියානු විප්ලවය මානව ඉතිහාසයේ වූ ශ්‍රේෂ්ඨතම සිදුවීමයි. ඉතිහාසයේ පළමු වතාවට පීඩිතයන් නැගී සිටියා පමණක් නොව, එසේ නැඟී සිට, බලය අතට ගෙන එය පවත්වා ගන්නට විය. ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් සියල්ල්ලේ ඒකාබද්ධ බලයට පවා නව කම්කරු රාජ්‍යය ඉවත් කර දැමීමට නුපුළුවන් විය.

ඉතිහාසයේ ඕනෑම රටක් තුළ නිශ්පාදන බලවේගයන් ලැබූ විශාලතම වර්ධනය ගෙනෙනු ලැබුවේ 1917 ඔක්තෝබර් විප්ලවය විසිනි. වසර 50 ක කාලයක් තුළ සෝවියට් සංගමය සිය දළ දේශීය නිෂ්පාදිතය නව ගුණයකින් වැඩි කළේය. දෙවන ලෝක සංග්‍රාමයේ දරුණු විනාශයක් තිබියදීත්, එය 1945 සිට 1979 දක්වා දළ දේශීය නිෂ්පාදිතය පස් ගුණයකින් වැඩි කළේය. 1950 දී සෝවියට් සංගමයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් 33% ක් පමණක් විය. 1979 වන විට එය සියයට 58% ක් බවට පත්ව තිබුණි. 1970 දශකයේ අග භාගය වන විට සෝවියට් සංගමය දැවැන්ත කාර්මික බලයක් වූ අතර එය නියත වශයෙන් ප්‍රධාන අංශ ගණනාවකදී සෙසු ලෝකය අභිබවා ගොස් තිබුණි. සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදයට පසු ලොව දෙවන විශාලතම කාර්මික නිෂ්පාදකයා වූ අතර තෙල්, වානේ, සිමෙන්ති, ඇස්බැස්ටෝස්, ට්‍රැක්ටර් සහ බොහෝ යන්ත්‍ර මෙවලම් නිෂ්පානයේ ප්‍රමුඛයා විය.

වැරදුනේ කොතැනද?

සෝවියට් කර්මාන්තය, විද්‍යාව හා තාක්‍ෂණය ලද ජයග්‍රහණ දැනටමත් පැහැදිලි කර ඇත. නමුත් පින්තූරයේ තවත් පැත්තක් තිබුණි. ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු රාජ්‍යය වෙනුවට බිහිසුණු ලෙස විකෘති වූ ස්ටාලින්ගේ නිලධාරිවාදී රාජ්‍යය එයට ආදේශ කොට තිබුණි. එය කම්කරු පන්තියේ දේශපාලන බලය දියකර හැරීමේ භයානක ප්‍රතිගාමී තත්ත්වයක් වූ නමුත් එය ඔක්තෝබර් සමාජ-ආර්ථික ජයග්‍රහණවලින් පැන නැඟුණ මූලධාර්මික ප්‍රතිඵලයක් නොවීය.

සමාජවාදය දෙසටද ධනවාදය දෙසටද? යනුවෙන් 1920 ගණන් වලදී ට්‍රොට්ස්කි කුඩා පොතක් ලිවීය. සැමවිටම සෝවියට් සංගමය සඳහා තීරණාත්මක ප්‍රශ්නය එය විය. නිල වශයෙන් ප්‍රචාරය වූයේ සෝවියට් සංගමය සමාජවාදයේ ජයග්‍රහණය කරා නොවැළැක්විය හැකි ලෙස ගමන් කරන බවයි. 1960 ගණන්වලදී කෲෂෙව් පුරසාරම් දෙඩුවේ සමාජවාදය දැනටමත් සාක්ෂාත් කර ගෙන ඇති බවත් සෝවියට් සංගමය වසර විස්සකට පසු පූර්ණ කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීමට යන බවත් කියමිනි. නමුත් සත්‍යය වූයේ සෝවියට් සංගමය වෙනත් දිශාවකට ගමන් කරමින් සිටීමයි.

සමාජවාදය කරා යන ව්‍යාපාරය ක්‍රමයෙන් අසමානතාවය අඩු කිරීමක් පෙන්නුම් කළ යුතුය. නමුත් සෝවියට් සංගමය තුළ අසමානතාවය අඛණ්ඩව ඉහළ ගියේය. මිලියන ගණනක් ජනතාව සහ නව විලාසිතාවන්ගේ ඇඳුම්, විශාල කාර්, සුවපහසු මහල් නිවාස සහ ගම්බද නිවාඩු නිකේතන ඇති වරප්‍රසාද ලත් නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් අතර දැවැන්ත පරතරයක් ඇති විය. සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය පිළිබඳ නිල ප්‍රචාරයන්ට වෙනස්ව පරස්පරතාව වඩාත් පැහැදිලිව පෙනෙන්ට විය.

ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, ආර්ථික සාර්ථකත්වය වානේ, සිමෙන්ති හෝ විදුලිය නිපදවන ප්‍රමාණයට ලඝු කළ නොහැකිය. සියල්ලටම වඩා ජීවන තත්වයන් රඳා පවතින්නේ හොඳ තත්ත්වයේ, ලාභදායී හා පහසුවෙන් ලබා ගත හැකි ඇඳුම්, සපත්තු, ආහාර, රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී සහ ඒ හා සමාන වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය මතය. නමුත් එම ක්‍ෂේත්‍රයන්හිදී සෝවියට් සංගමය බටහිරට වඩා පසුගාමී විය. බොහෝ දෙනෙකුට ඒවාට ප්‍රවේශයක් නොතිබියදී සුළු පිරිසකට ඒවා භුක්ති විඳීමේ හැකියාව නොපැවතියේනම් එයද එතරම් බැරෑරුම් නොවනු ඇත.

එය විසින් ඇතිකළ දුඛිත ප්‍රතිවිරෝධයන් තිබියදීත් ස්ටැලින්වාදයට මෙතරම් කාලයක් පැවතිය හැකි වීමට හේතුව වූයේ එහි පැවති ජනසතු කළ සැලසුම්ගත ආර්ථිකය විසින් දශක ගණනාවක් පුරා අසාමාන්‍ය වර්ධනයක් ලබා දීමයි. එහෙත් ගෙල සිර කළ නිලධාරිවාදී පාලනයේ ප්‍රතිඵලය වූයේ දූෂණය, වැරදි කළමනාකරණය, ගැටුම් හා නාස්තියයි. එය සැලසුම්ගත ආර්ථිකය ගෙන ආ වාසිසහගත තත්ත්වයන් යටපත් කොට දැමීය. සෝවියට් සංගමයේ වර්ධනය ඉහළ යත්ම නිලධාරිවාදයේ සෘණාත්මක බලපෑම් විසින් වඩාත් හානිකර ප්‍රතිවිපාක ඇති කළේය.

නිලධාරිවාදය සැමවිටම නිශ්පාදන බලවේගයන්ගේ සංවර්ධනය සඳහා තිරිංගයක් ලෙස ක්‍රියා කළේය. බැර කර්මාන්තය ගොඩනැගීමේ කාර්යය සාපේක්ෂව සරල වූවත්, බැර හා සැහැල්ලු කර්මාන්ත, විද්‍යාව හා තාක්‍ෂණය අතර සංකීර්ණ සබඳතා ඇති නවීන ආර්ථිකයක් බරපතල කඩාකප්පල් වීම් වලින් තොරව අධිකාරිවාදී නිලධාරයකට ක්‍රියාත්මක කළ නොහැකිය. ඉහළ මට්ටමේ මිලිටරි වියදම් පවත්වා ගැනීමේ පිරිවැය සහ නැගෙනහිර යුරෝපය කෙරෙහි එහි ග්‍රහණය පවත්වා ගැනීමේ පිරිවැය සෝවියට් ආර්ථිකයට තවදුරටත් බලපෑම් ඇති කළේය.

සියළු ආකාරයේ දැවැන්ත සම්පත් ප්‍රමාණයක්, බලවත් කාර්මික පදනමක් සහ ඉහළ මට්ටමේ කාර්මික ශිල්පීන්ගේ හා විද්‍යාඥයින්ගේ බල ඇණියක් සමඟ වුවද, නිලධරයට බටහිරට සමාන ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විය. ඵලදායිතාව සහ ජීවන තත්ත්වයන් පිළිබඳ වැදගත් ක්ෂේත්‍රයන්හි සෝවියට් සංගමය පසුපසින් විය. කිසිඳු කම්කරු පාලනයකින් තොරව – සෝවියට් සංගමයේ පාලනය ගෙනගිය මිලියන සංඛ්‍යාත කෑදර හා දූෂිත නිලධාරීන්ගෙන් සමන්විත – නිලධරය විසින් සෝවියට් ආර්ථිකය මත පටවා තිබූ දැවැන්ත බර එයට ප්‍රධාන හේතුව විය.

ප්‍රතිඵලය වූයේ සෝවියට් සංගමය බටහිරට වඩා පහළ වැටීමයි. සෝවියට් සංගමය තුළ නිශ්පාදන බලවේග අඛණ්ඩව වර්ධනය වන තාක්, ධනවාදය දෙසට වූ ප්‍රවණතාව එතරම් බලවත් නොවීය. නමුත් ස්ටැලින්වාදී බාධකය තත්ත්වය මුළුමනින්ම පරිවර්තනය කළේය. 1960 දශකයේ මැද භාගය පම්ණ වන විට නිලධාරිවාදී ලෙස පාලනය කරන ලද සැලසුම් කළ ආර්ථික ක්‍රමය එහි සීමාවන්ට ළඟා වී තිබුණි. සෝවියට් සංගමයේ වර්ධන වේගයේ වූ තියුනු පහත වැටීමකින් මෙය ප්‍රකාශ වූ අතර එය 1970 දශකය පුරාම අඛණ්ඩව පහත වැටෙමින් බ්‍රෙෂ්නෙව් යටතේ බිංදුවට ළඟා විය. ධනවාදයට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට සෝවියට් සංගමයට නොහැකි වූ විගස එහි ඉරණම තීන්දු විය.

මෙම අවධියට ළඟා වීමත් සමඟ, නිලධාරිවාදය අතීතයේ දී ඉටු කළ සාපේක්ෂව ප්‍රගතිශීලී භූමිකාවට පවා නැවතීමේ ලකුණ වැටුණි. සෝවියට් තන්ත්‍රය අර්බුදයට ගමන් කිරීමට හේතුව මෙයයි.

රුසියාවේ ස්ටැලින්වාදී නිලධරය විසින් සිදු කරන ලද දේශපාලන ප්‍රති-විප්ලවය විසින් කම්කරුවන්ගේ සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය මුළුමනින්ම දියකර හැරි නමුත් ඔක්තෝබර් විප්ලවය විසින් පිහිටුවන ලද දේපල සබඳතා විනාශ කළේ නැත. පාලක නිලධරය ජනසතු කළ, සැලසුම්ගත ආර්ථිකය මත පදනම් වූ අතර ට්‍රොට්ස්කි එහි ආර්ථිකය 20%කින් වර්ධනය වූ යුද්ධයට පෙර කාලයේ පෙන්වා දුන් ආකාරයට, අයථා කළමණාකරණය, නාස්තිය හා දූෂණය නිසා ධනවාදය තුළ මෙන් තුන් ගුණයක දැවැන්ත පිරිවැයක් දරමින් වුවද නිශ්පාදන බලවේග් වර්ධනය කිරීම අතින් සාපේක්ෂ ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කළේය.

එය අත්කර ගත් සාර්ථකත්වයන් තිබියදීත් ස්ටැලින්වාදයට සමාජයේ පැවති ගැටලු විස නැඳීමට නොහැකි විය. ජනසතු කළ සැලසුම්ගත ආර්ථිකය නිලධාරිවාදී රාජ්‍යය සමඟ පරස්පර විය. පළමු පස් අවුරුදු සැලසුම් තුළදී පවා සිදුවූ දැවැන්ත නාස්තිය සඳහා නිලධාරිවාදී තන්ත්‍රය වගකිව යුතු විය. මෙම පරස්පරතාව ආර්ථිකයේ සංවර්ධනය සමඟ අතුරුදහන් නොවූ අතර ඊට වෙනස්ව, ක්‍රමයට දරාගත නොහැකි එය මුළුමනින්ම බිඳ වැටෙන තෙක් එය වර්ධනය විය.

ට්‍රොට්ස්කිගේ විශ්ලේෂණය

මහා රුසියානු මාක්ස්වාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි, – නිශ්චිත ලෙස කල්තබා පුරෝකථනය කළ නොහැකි – වෙන්කළ නොහැකි ලෙසින් ලෝක පරිමාන වර්ධනයන් විසින් ඇති කරන බලවේගවල ජීවමාන ගැටුම තුළ සෝවියට් සංගමයට මුහුණ දීමට වන ඉරණම අවබෝධ කරගෙන තිබුණි. විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධය දිග හැරුණු සුවිශේෂී ආකාරය සෝවියට් සංගමයේ ඉරණම කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ අතර එය කිසිවෙකු විසින් හෝ අපේක්ෂා නොකළේය. ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

මීළඟ අවුරුදු තුන, පහ හෝ දහය තුළ, සෝවියට් සමාජයේ ආර්ථික ප්‍රතිවිරෝධතා සහ සමාජ ප්‍රතිවිරෝධතා වර්ධනය වන්නේ කුමන දිශාවටද යන ප්‍රශ්නයට අවසානාත්මක හා නිශ්චිත ලෙසින් පිළිතුරු දිය නොහැක. උත්තරය රඳා පවතින්නේ – ජාතික පරිමාණයෙන් නොව ජාත්‍යන්තර පරිමාණයෙන් වන – සමාජ බලවේගයන්ගේ ජීවමාන ගැටුම මතය. එබැවින් සෑම නව අදියරකදීම, සැබෑ ලෙස පවතින සම්බන්ධතාවයන්, ප්‍රවණතාවයන් සහ අඛණ්ඩව සිදුවන අන්තර්ක්‍රියාකාරිත්වයන් පිළිබඳ නිශ්චිත විශ්ලේෂණයක් අවශ්‍ය කරයි.” ( ට්‍රොට්ස්කි, විප්ලවය පාවා දුන්නා, පි. 49 )

ට්‍රොට්ස්කි සෝවියට් රාජ්‍යයේ අනාගතය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තැබීමට ප්‍රවේශම් විය. ස්ටැලින්වාදී නිලධරය ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා “ඉදිරි අවධියකදී අනිවාර්යයෙන්ම [ධනවාදී] දේපල සම්බන්ධතා සඳහා සහයෝගය ලබා ගත යුතු” බවට ඔහු කළ අනාවැකිය නියත වශයෙන්ම නිවැරදි බව පෙන්නුම් කරයි. දුම්රියක එක් මැදිරියක සිට තවත් මැදිරියකට ගමන් කරන අයෙකු සේ, බොහෝ කලක් කොමියුනිස්ට් පක්ෂයේ සිටි නායකයින්, කළමනාකරුවන් සහ නිලධාරීන් ඔවුන්ගේ පක්ෂ කාඩ්පත් ඉරා දමමින්, විවෘතව “ව්‍යවසායකයින්” බවට පරිවර්තනය වීමේ පිළිකුල් සහගත දර්ශනය පෙන්වා සිටියේ ස්ටැලින්වාදී තන්ත්‍රය අව්‍යාජ සමාජවාදයෙන් කොතරම් දුරස්ව සිටියේද යන්නයි.

ස්ටැලින්වාදී තන්ත්‍රය පැවතියා සේ දිගු කලක් එය එලෙස කල් පවතිනු ඇතැයි ට්‍රොට්ස්කි බලාපොරොත්තු වූයේ කළේ නැත. ඔහුගේ අවසන් කෘතියේ දී ‘ස්ටාලින්’ හිදී ඒ වනවිට පැවති ස්වරූපයෙන් පාලන තන්ත්‍රය දශක ගණනාවක් පැවතිය හැකි බවට යෝජනා කර තිබූ බව සත්‍ය නමුත්, ඔහුව ඝාතනය කරන අවස්ථාවේදී එය නිම නොකළ පතක් ලෙසින් පැවති නිසා, ඔහුට එම අදහස තවදුරටත් වර්ධනය කිරීමට නොහැකි විය. දෙවන ලෝක යුද්ධය තුළ සෝවියට් සංගමය විශාල ලෙසින් ශක්තිමත් විය. ට්‍රොට්ස්කි විසින් තාවකාලික ඓතිහාසික අපගමනයක් ලෙස සැලකූ ස්ටැලින්වාදී තන්ත්‍රය දශක ගණනාවක් පැවතුනි. මෙය සෑම දෙයකටම, විශේෂයෙන් ජනතාවගේ විඥානය සහ නිලධර තන්ත්‍රය කෙරෙහිද ප්‍රබල බලපෑමක් ඇති කළේය.

කම්කරු පන්තිය දේශපාලන විප්ලවයක් හරහා ස්ටැලින්වාදී තන්ත්‍රය පෙරලා දමනු ඇතැයි ට්‍රොට්ස්කි බලාපොරොත්තු විය. නමුත් එවැන්නක් සිදු නොවන්නේ නම්, නිලධාරිවාදී ප්‍රති-විප්ලවීය ක්‍රියාවලියේ එක් අවධියකදී ඔක්තෝබර් විප්ලවය විසින් පිහිටුවන ලද දේපල සබඳතා පෙරලා දමනු ඇතැයි ඔහු කියා සිටියේය.

රුසියාව තුළ ධනවාදී ක්‍රමය ප්‍රතිස්ථාපනය වීමට ඇති විභවය සහ එහි ප්‍රතිවිපාක ගැන 1936 දී ට්‍රොට්ස්කි විසින් අනර්ඝ දුරදැක්මක් සහිතව පැහැදිලි කර ඇත:

“සෝවියට් තන්ත්‍රයේ බිඳවැටීමක් අනිවාර්යයෙන්ම සැලසුම්ගත ආර්ථිකයේ බිඳවැටීමට හේතු වන අතර එමඟින් රාජ්‍ය දේපළ අහෝසි කරනු ඇත. භාරයන් සහ කර්මාන්තශාලා අතර ඇති අනිවාර්‍ය බැඳීම ඉවත්ව යනු ඇත. වඩාත් සාර්ථක ව්‍යවසායන් ස්වාධීන මාවතට පැමිණීමට සමත් වනු ඇත. ඔවුන් කොටස් සහිත සමාගම් බවට පරිවර්තනය විය හැකිය, නැතහොත් ඔවුන්ට වෙනත් සංක්‍රාන්ති දේපළක් සොයාගත හැකිය – උදාහරණයක් ලෙස, කම්කරුවන් ලාභයට දායක වන ආකාරයේ ක්‍රමයක්. සාමූහික ගොවිපලවල් එකවරම හා වඩාත් පහසුවෙන් බිඳී යනු ඇත. වර්තමාන නිලධාරිවාදී ආඥාදායකත්වයේ බිඳ වැටීම, නව සමාජවාදී බලයකින් ප්‍රතිස්ථාපනය නොකළේ නම්, එයින් අදහස් කරන්නේ කර්මාන්ත හා සංස්කෘතියේ විනාශකාරී පරිහානිය සමඟ ධනවාදී සබඳතා කරා නැවත පැමිණීමයි.” ( ලියොන් ට්‍රොට්ස්කි, විප්ලවය පාවා දී, පි. 250-1 )

රුසියාවේ ඇත්ත වශයෙන්ම සිදු වූ දෙයෙහි ප්‍රධාන රේඛාවන් කොතරම් විශිෂ්ඨ ආකාරයට ට්‍රොට්ස්කි විසින් පෙරදැක තිබුණේදැයි යමෙකුට පෙනී යා හැකිය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ටෙඩ් ග්‍රාන්ට් විසින් විශේෂයෙන් රාජ්‍ය පිළිබඳ මාක්ස්වාදී න්‍යායට අදාළව ට්‍රොට්ස්කිගේ නිර්ධන පංතික බොනපාටිස්වාදය පිළිබඳ විග්‍රහය වර්ධනය කරමින් හා පුළුල් කරමින් රුසියාව තුළ ඇත්තෙ රාජ්‍ය ධනවාදයක්ය යන අදහස මුළුමණින්ම බිඳ දැමීය.

ස්ටැලින්වාදයේ අර්බුදය ධනවාදයේ පවතින අර්බුදයට ( හෝ “ රාජ්‍ය ධනවාදයට ” ) කුමන ලෙසකින්වත් සමාන නොවේ. දෙවැන්න වෙළඳපල අරාජිකත්වයේ සහ පෞද්ගලික හිමිකාරිත්වයේ ප්‍රතිඵලයකි. එහෙත්, සෝවියට් සංගමය තුළැ අධි නිෂ්පාදනය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොවීය. එය ජනසතු කළ සැලසුම්ගත ආර්ථිකයක් මත පදනම් වූ නමුත්, එය නොවැළක්විය හැකි ලෙසින් ඥාති සංග්‍රහය, දූෂණය සහ වැරදි කළමනාකරණය ආදී නිලධාරිවාදයේ සියලු දුර්විපාකවලින් පෙළුණි.

එහි ප්‍රයෝජනවත් කාලය බොහෝ ඉක්මවා නිශ්පාදන බලවේගවල වර්ධනයට දැවැන්තම විලංගුවක් බවට පත්ව ඇති, ජාතික රාජ්‍යයේ පවතින සීමිත ස්වභාවයද මෙයටම එකතු කළ යුතුය. පවා සෑම රටකටම, විශාලතම සුපිරි බලවතුන්ට පවා ලෝක වෙළඳපොළට සහභාගී වීමට බල කෙරෙන්නේ මන්දැයි මෙයින් පැහැදිලිය. මෙය කල්තියා මාක්ස් විසින් පුරෝකථනය කරන ලදී. එක් රටක සමාජවාදය පිළිබඳ අදහස ප්‍රතිගාමී මනෝරාජ්‍යයක් වීමට හේතුවද එයයි.

රුසියාවේ අසාර්ථක වූයේ කොමියුනිස්ට්වාදය හෝ සමාජවාදය හෝ නොවේ

රුසියාවේදී සහ නැගෙනහිර යුරෝපයේදී අසාර්ථක වූයේ කුමන ආකාරයකට හෝ මාක්ස් හෝ ලෙනින් හෝ විසින් වටහාගෙන තිබූ කොමියුනිස්ට්වාදය හෝ සමාජවාදය නොවේ. එහි තිබුණේ නිලධාරිවාදී හා ඒකාධිපති විකට රූපයකි. සමාජවාදය කරා ගමන් කිරීම වෙනුවෙන් නිර්ධන පංතිය විසින් කර්මාන්ත, සමාජය සහ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කිරීම අවශ්‍ය බව ලෙනින් පැහැදිලි කළේය. අව්‍යාජ සමාජවාදය. අනිවාර්යයෙන්ම දැවැන්ත දූෂණය, ඥාති සංග්‍රහය, නාස්තිය, වැරදි කළමනාකරණය සහ වියවුල් ඇතිකරන වරප්‍රසාදිත නිලධාරිවාදී ප්‍රභූ පැලැන්තියක පාලනය සමඟ කුමන ආකාරයකින් හෝ නොපෑහේ

අත්හදා බැලීම අසාර්ථක වූ බවට සමාජවාදයේ සතුරන් නින්දා සහගත ලෙස පිළිතුරු දෙනු ඇත. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ ස්පිනෝසාගේ වචන වලින් අපි ඔවුනට පිළිතුරු දෙමු. අපගේ කර්තව්‍යය වන්නේ වැලපීම හෝ සිනාසීම හෝ නොව කරුණු අවබෝධ කර ගැනීමයි. එහෙත් සෝවියට් සංගමයේ සිදුවූ දේ පිළිබඳව ධනේශ්වර සතුරන්ගේ සියලු ලියවිලිවලි පීරා බැලුවද බරපතල පැහැදිලි කිරීමක් සොයා ගැනීමට නොහැකි වනු ඇත. ඔවුන්ගේ ඊනියා විශ්ලේෂණයන්ට විද්‍යාත්මක පදනමක් නොමැති බැවින් ඒවා අන්ධ වෛරයෙන් පෙලඹවන ලද නිශ්චිත පන්ති අවශ්‍යතා පිළිබිඹු කරයි.

ධනවාදය දෙසට යන ගමන විසින් රුසියාවේ සහ සෝවියට් සංගමයට අයත්ව තිබූ ප්‍රදේශවල ජනතාව විශාල පියවරකකින් පසුපසට ගෙන ගොස් ඇත. සමාජය පසුපසට ඇද දමා ඇති අතර, ආගම, ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය සහ ධනවාදයේ අනෙක් සියලුම “ආශීර්වාදයන්” පිළිබඳව ඔවුනට ඉගෙනීමට සිදුවනු ඇත.

රුසියානු ධනවාදයේ දුර්වලම තැන නම් එය දැන් ලෝක ධනවාදයේ ඉරණම සමඟ පෙකණි වැලකින් සම්බන්ධ වී තිබීමයි. එය මෙම ක්‍රමය තුළ ඇති සියලුම කුණාටු හා ආතතීන්ට එය යටත් වන අතර ඒ තුළින් තමන්ගේම මාරාන්තික අර්බුදයට අවතීර්ණ වනු ඇත. මේවා ආර්ථික හා දේශපාලනික වශයෙන් රුසියාවට ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇත. වැඩි කල් යන්නට මත්තෙන් රුසියානු කම්කරුවන් පරාජයේ බලපෑම් වලින් සුවය ලබා නැඟිටිනු ඇත. එසේ වූ විට ඔවුන් ඔක්තෝබර් විප්ලවයේ සම්ප්‍රදායන් සහ අව්‍යාජ බොල්ෂෙවික්වාදයේ අදහස් ඉක්මනින් නැවත සොයා ගනු ඇත. රුසියාවේ සහ මුළු ලෝකයේම කම්කරුවන්ට ඉදිරියට යා හැකි එකම මාර්ගය එයයි.