සුළං සහ සූර්ය විදුලි ප්‍රභව මිල වැඩිවීම හමුවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි දැක්ම කුමක්ද?

Originally From: https://thathu.com/2022/10/24/සුළං-සහ-සූර්ය-විදුලි-ප්ර/#like-18687

සුළං සහ සූර්ය විදුලි ප්‍රභව මිල වැඩිවීම හමුවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි දැක්ම කුමක්ද?

සියලු විදුලි ප්‍රභවයන් සමඟ පුනර්ජනනීය බලශක්ති පිරිවැය ඉහළ යමින් පවතී – නමුත් උද්ධමනය අඩු කිරීමේ පනත නැවතත් මිල පහත වැටීමට වේදිකාව සකසයි.

පසුගිය අවුරුද්දේ මුලදී,බොහෝ දෙනා සිතුවේ සුළං සහ සූර්ය බලශක්ති මිල වැඩි වීම හුදු අහඹුවක් පමණක් යනුවෙනි. ඇත්ත වශයෙන්ම, බලශක්තිය ගැන තොරතුරු ආවරණය කරන පුවත්පත් කලාවේදීන් බල ශක්ති ක්ෂේත්‍රයේ එක් නියතයක් ලෙස සැලකූයේ සුළං සහ සූර්ය බලශක්ති  මිල ගණන් දිගටම පහත වැටීමකට ආසන්න මට්ටමක පැවතීමයි. කෙසේවෙතත්, තවදුරටත් එම ප්රවණතාවය නොපවතින බවට ලකුණු පහලවී ඇත. දැන් ප්‍රවණතාව පහදිලියි: මිල ගණන් වැඩි වෙමින් පවතී – ඔව්, විශාල වශයෙන් වැඩි වෙමින් පවතී.

කෙසේවෙතත්, සුළං සහ සූර්ය බල කර්මාන්ත හා සම්බන්ධ ශුභාරංචිය වන්නේ, ඒවායේ සම්පත් අවම මිල අතර පවතිනු ඇත, ඉඑට හේ‍ටුව, බොහෝ දුරට සෑම ප්‍රධාන විදුලි ප්‍රභවයකම පිරිවැයේ ඉහළ යාමක් අත්විඳින බැවිනි. අගෝස්තු මාසයේදී සම්මත කරන ලද උද්ධමනය අඩු කිරීමේ පනතේ, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන එක්සත් ජනපදයේ තැනීම සඳහා දිරිගැන්වීම් අඩංගු වේ. එමඟින් රට තුළ සුළං සහ සූර්ය බලශක්ති අංග සහ කොටස්  සැපයුමේ වර්ධනයක නව යුගයක් උදාකිරීමේ ලා මෙන්ම ඒවායේ මිල අඩු කරන්නටද  උපකාරී වේ.

මෙම සතියේ (ඔක්‍තෝබර් 20 පල වූ ලිපියකි), මිල වැඩි වීමේ ප්‍රමාණය පිළිබඳව  අපට නව දත්ත කරුණු කිහිපයක් ලැබී තිබේ. පුනර්ජනනීය බලශක්තිය ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා මාර්ගගත වෙළඳපොළක් පවත්වාගෙන යන සියැටල් සමාගම, උතුරු ඇමරිකාවේ සූර්ය බල ගිවිසුම් මිල ගණන් පෙර වසරේ තුන්වන කාර්තුවට සාපේක්ෂව 2022 තුන්වන කාර්තුවේදී සියයට 30 කින් ඉහළ ගොස් ඇති බව සොයා ගත්තේය. එම කාල රාමුව තුළ සුළංබල ගිවිසුම් මිල සියයට 37 කින් ඉහළ ගියේය.

LevelTen හී සංවර්ධක සේවා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Gia Clark පැවසුවේ සුළං සහ සූර්ය බලශක්තිය සඳහා දිගු කාලීන ගිවිසුම් මිලදී ගැනීමට අවශ්‍ය සමාගම් සහ රජයන්ගෙන් ඉදිරිපත්වෙන “ප්‍රස්ථාරයෙන් බැහැර ඉල්ලුම” මගින් වෙළඳපල මෙහෙයවනු ලබන බවයි. බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් ලෙස හඳුන්වන මෙම කොන්ත්රාත්, සුළං සහ සූර්ය ව්යාපාර ක්රියාත්මක වන ආකාරයේ කේන්ද්‍රය වේ.

“සැපයුම දිගටම කරගෙන යා නොහැක,” යි ඇය පවසයි.

වාර්තාවේ ප්‍රධාන ඩොලර් අගය මෙගාවොට් පැයකට ඩොලර් 45.93 ක ජාතික සාමාන්‍යයක් වේ. එය සුළං සහ සූර්ය කොන්ත්‍රාත් දීමනා ඇතුළත් මිලක් වන අතර එය පසුගිය වසරේ තුන්වන කාර්තුවට වඩා සියයට 34 කින් ඉහළ ගොස් ඇති බව පෙනේ.

2018 දී, LevelTen වාර්තාව නිකුත් කිරීමට පටන් ගත් විට, මෙම අගය ඩොලර් 30 ට වඩා අඩු විය. මිල වැඩිවීමට හේතුව කුමක්ද?  Wood Mackenzie පර්යේෂණ ආයතනයේ සූර්ය කර්මාන්ත විශ්ලේෂක සාගර් චොප්රාගෙන් විමසා සිටිය විට ඔහු කියා සිටියේ බොහෝ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා විශාලතම වියදම වන සූර්ය පැනල මිල වැඩි වී තිබීම ප්‍රධාන හේතුවක් බවය. මෙම වසර ආරම්භයේදී සූර්ය පැනල සාමාන්‍යයෙන් වොට් එකකට ශත 35ක බැගින් අලෙවි විය. දැන්, එය ශත 45 ක් පමණ වන අතර සමහර ව්‍යාපෘති ශත 50 සීමාවට ඇතුළු වන බව ඔහු ප්‍රකාශ කරයි.

චොප්රා මෙයට හේතු සාධක ගනනාවක්ම ආරෝපණය කරන්නේය: ප්‍රථමයෙනම ඔහු ගෙනහැර පාන සාධකය වන්නේ චීනයෙන් සූර්ය උපකරණ ආනයනය කිරීම සඳහා වන තීරුබදු පැනවීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා සම්බන්ධ යයි පැවසෙන් චීනයේ ප්‍රදේශකින් කැණීම් කරන ලද සිලිකන් ඇතුළත් පුවරු තහනම් කිරීම වැනි එක්සත් ජනපද ප්‍රතිපත්ති වල සෘජු බලපෑමය.  මේ වසරේ සූර්ය බලශක්ති තීරුබදු පිළිබඳ වසර දෙකක තාවකාලික තහනමක්(moratorium) බයිඩෙන් පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නමුත් කලින් සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය  ක්‍රියාත්මව පැවති කාලය වර්තමාන මිල ගණන් වලට බලපාන තරම් ඩීර්ග එකක් විය.

සූර්ය පැනල මිල ඉහළ යාමද සිදුවන්නේ, ශ්‍රමය සඳහා ගෙවන ගාස්තුවල සිට ඉඩම් බදු ගැනීමේ පිරිවැය දක්වා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සෑම අංශයකම පාහේ  මිල ගණන් අධික වෙමින් පවතින අවස්ථාවක දී බව සිහියට නගා ගැනීම වැදගත්ය.

“හැම එකක්ම ඉහළ ගිහින්” චොප්රා පෙන්වා දෙයි.

අනාගතය දෙස බලන විට, සූර්ය බලශක්ති ව්‍යාපෘති පිරිවැය සමතුලිත වී වසර කිහිපයක් ස්ථාවරව පවතිනු ඇතැයි හෙතෙම අපේක්ෂා කරයි. මෙහි ශුභාරංචිය නම් මිල වැඩිවීම මන්දගාමී වීම හෝ නතර වීමයි; එනමුත් නරක ආරංචියක් ද ඇත්: එනම් දැනටමත් හටගෙන ඇති මිල වැඩිවීම්  ඉක්මණින් පහළ යන්නේ නැත. අඩුම තරමින් ටික කාලයකටවත් පවතිනු ඇත

ඔහුගේ ඉදිරි දැක්මේ වඩාත්ම දිරිගන්වන කොටස වන්නේ, බොහෝ දුරට උද්ධමනය අඩු කිරීමේ පනතට සහ එහි එක්සත් ජනපදයේ පුනර්ජනනීය බලශක්ති කොටස් නිෂ්පාදනය කිරීමට සමාගම් සඳහා සපයන දිරිගැන්වීම් වලට ස්තුති වන්නට,  2025 දී පමණ සිදු වන්නාවූ දෙයයි.

උද්දමනය අඩුකිරීමේ පනත සම්මත වීමට පෙර සිටම, සූර්ය පැනල නිෂ්පාදකයෝ අර්ධ වශයෙන් තීරුබදුවලට ප්‍රතිචාර වශයෙන්  මේ රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරමින් සිටියහ. මෙහි එක් කැපී පෙනෙන උදාහරණයක් වන්නේ දකුණු කොරියාවේ Qcels ය.   සමාගම විසින් 2019 දී විවෘත කරන ලද කම්හල අසල ජෝර්ජියාවේ දෙවන පැනල කම්හලක් ඉදිකිරීමට සැලසුම් කරන බව නිවේදනය කර ඇත.

උද්ධමනය අඩු කිරීමේ පනතට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම,  එක්සත් ජනපදය තුළ වැඩියෙන් නිෂ්පාදන සිදු කිරීම පිණිස සම්පත් පැවරීමට සමාගම්වලට වසර කිහිපයක් ගතවනු ඇතැයි චොප්රා පැවසීය. එය සිදු වූ පසු, පැනල් සැපයුම අදට වඩා වැඩිවන වන යුගයක් ඔහු අපේක්ෂා කරයි; එය නිෂ්පාදකයින් අතර  තරඟයකාරිත්වය ඉහළ දැමීමට මෙන්ම,  මිල අඩුවීකට මග පෑදිය හැකිය.

මේ අතර, මිල වැඩි කිරීම් නොතකා, සංවර්ධකයින් විසින්වැඩි වේගයකින් සූර්ය හා සුළං ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යනු ලැබේ. විදුලිය  ගැනුම්කරුවන් සමහරක් ආයතනික ඉලක්ක හෝ රජයේ අවශ්‍යතා සපුරාලීම සඳහා එසේ කරති; එහි තේරුම වන්නේ මිලෙහි උච්චාවචනයන් ඉල්ලුමට වැඩි බලපෑමක් ඇති නොකරන්නේය යන්නයි.

එසේම, සුළං සහ සූර්ය බලශක්තිය සඳහා මිල වැඩිවීම් සිදුවෙමින් පවතින්නේ සියලු ප්‍රධාන විදුලි ප්‍රභවයන් සඳහා වන පිරිවැය ඉහළ යාමත් සමඟ  බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. තවද එම සියලු අස්ථාවරත්වයන් අවසානයේ සුළං සහ සූර්ය බලශක්ති ප්‍රභව සඳහා හිතකර වේ. මිලකරණයේ අඛණ්ඩ ව්‍යාකූලත්වයට එරෙහිව ආරක්ෂාවක් ලෙස සුළං බලාගාරයක් හෝ සූර්ය කෝෂ අරාවක් සම්බන්ධයෙන් දිගුකාලීන ගිවිසුමක් අත්සන් කිරීමේ ආකර්ෂණය ඉන් අවධාරනය කෙරෙයි. කෙසේවෙතත්, පහත වැටීමක් හැර වෙනත් මගකට යන සුළං සහ සූර්ය මිල ප්‍රස්ථාර  දැකීම තවමත් දැනෙන්නේ අමුතු දෙයක් ලෙසිනි.

Inside Climate News(October 20, 2022) හී පලවූ Once Cheap, Wind and Solar Prices Are Up 34%. What’s the Outlook? යන ලිපිය ඇසුරෙනි