වැඩ කරන ජනතාවගේ කඩා වට්ටන ජීවන තත්ත්වය රැක ගනිමු! වැඩ කරන ජනතා බලය සංවිධානය කරමු!

ලංකා වෙළඳ සේවක සංගමයේ (CMU) 37 වෙනි නියෝජිත සම්මේලනය

2023 පෙබරවාරි 17

යෝජනා

  • වැඩ කරන ජනතාවගේ කඩා වට්ටන ජීවන තත්ත්වය රැක ගනිමු!
  • අපේ සංගමය ගොඩ නගමු!
  • වැඩ කරන ජනතා බලය සංවිධානය කරමු!

පූර්විකාව

අප සංගමයේ 37 වෙනි සම්මේලනය පැවැත්වෙන්නේ, 1948 නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින අප ඉතිහාසයේ පෙර නොවූ විරූ කාලයකදීයි.

මේ රටේ සාමාන්‍ය, වැඩකරන ජනතාවගේ ජීවිත අනතුරේ බව අපගේ විශ්වාසයයි. ඔවුන්ගේ මූලික මානව හිමිකම් රජයේ ප්‍රහාරයට දිගින් දිගටම ලක්ව ඇතිවා පමණක් නොව, ශිෂ්ට වැටුපක් උපයා ගැනීමට, අභිමානවත් ජීවිතයක් ගත කිරීමට සහ තම පවුල්වල මූලික අවශ්‍යතා සපයා ගැනීමට ඇති හැකියාව ද පිහි තුඩ අග රැඳී ඇත.

එබැවින් අපි අපගේ සම්මේලනය මූලික ප්‍රශ්න දෙකකින් ආරම්භ කරමු:

අප මෙහි පැමිණියේ කෙසේද? අපගේ ඉදිරිමඟ කුමක්ද?

ආර්ථික අර්බුදය

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් කරලා. රටේ දෛනික ජන ජීවිතය පවත්වා ගෙන යෑමට අවශ්‍ය කරන ආහාර, ඉන්ධන, ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන වියදම පියවා ගැනීමට රටට, තව දුරටත්, නොහැකි වෙලා. රුපියලේ වටිනාකම හරි අඩකින් පමණ පහත වැටිලා.

ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යමින් පවතින තත්ත්වය හේතුකොට ගෙන, විශේෂයෙන් ග්‍රාමීය සහ අඩු වරප්‍රසාදිත පසැල්වල ළමුන් පාසැලට ගෙන්වා ගැනීම දිරි ගැන්වීම අරබයා රජයේ අනුග්‍රහයෙන් සපයන ලද ආහාර වේල නතර කර දැමීමට රටේ පාසැල් බොහෝමයකට සිදු වෙලා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ආහාර ස්වල්පයක් හෝ කොහෙත්ම නැති ගෙවල්වල ජීවත් වෙන ළමුන් වැඩි පිරිසක් පාසැල් හැර යන තත්ත්වයක් උදා වෙලා. එය අධ්‍යාපනය ඔවුන්ගෙන් සොරා ගැනීමක්.

තත්ත්වය තවත් නරක අතට පත් කරමින් විදෙස් සංචිතවල දරුණු හිගකම හේතු කොටගෙන අපගේ සෞඛ්‍ය සේවාවන් අඩපණ වෙලා. ජීවිත රක්ෂක බෙහෙත් ද්‍රව්‍ය ඇතුලුව, අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් හිඟයක් පවතින අතර සමහර බෙහෙත් ද්‍රව්‍ය කොහෙත්ම නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් තීරණාත්මක සැත්කම් සහ පිළිවෙත් අත්හිටුවා තියෙනවා. ‘රෝගීන්ට බෙහෙත් ද්‍රව්‍ය ගන්න පෝලිමේ ඉන්න සිදුවේ නම්, ඔවුන්ගේ ජීවිත නැති වේවි’යැයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රකාශය මෙම සම්මේලනය සිය බලවත් අධානයට යොමු කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රීපොජපෙ ආණ්ඩුවේ අසාර්ථකත්වය

මෙම සම්මේලනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අප්‍රසන්න අසාර්ථකත්වයට සිය අවධානය යොමු කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජය යටතේ, වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ, අපගේ විදෙස් සංචිත මුලුමනින්ම සෝදා පාළුවට  ලක් කොට ඇති අතර ශ්‍රී ලංකාව ස්වෛරී ණය ගෙවීම් පැහැර හරින බවත් ප්‍රකාශ කර තියෙනවා. ඉන්ධන, ගෑස්, භූමි තෙල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදෙස් විනිමය නොමැති තත්ත්වය හමුවේ  ජනයා ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා දින ගණන් පෝලිම්වල ලගිනවා අප දැක තියෙනවා. පැය දොළහේ විදුලි කප්පාදු නිසා කර්මාන්ත, ව්‍යාපාර සහ ගෘහයන් ඉතාමත් අසීරුතාවන්ට මුහුණ දුන්නා. සේවකයිනට රැකියාවන්ට යන්න බැරි තත්ත්වයක් උදා වුනා. අපේ පාසැල් වසා දැමුනා.

මෙම සම්මේලනය රාජපක්ෂ රෙජීමය රට විනාශය කරා ඇදගෙන යෑම හෙළා දකින අතර අපේ රට බංකොළොත්භාවයට පත් කළවුන් සිය තනතුරු සහ වරප්‍රසාද භුක්ති විඳිමින් තවමත් බලයේ රැඳී සිටීම පිළිබඳව අපගේ බලවත් පිළිකුල මින් ප්‍රකාශ කර සිටිනවා.

අරගලය: ජනතාව පරමාධිපත්‍යය සියතට ගනී

මෙම සම්මේලනය ජනාධිපති රජපක්ෂගේ පාලන තන්ත්‍රය සාර්ථකව බිඳ දැමූ ජනතවගේ ඓතිහාසික අරගලය අභිමානයෙන් යුතුව සනිටුහන් කර සිටිනවා. මුලින් වීදි කොන්වල සුළු පිරිස් වශයෙන පොදි ගැසෙමින්ද, පසුව කම්කරුවන් සහ වෘත්තිකයින්, ශිෂ්‍ය සහ වෙනත් පුරවැසි කණ්ඩායම් සමඟ අති විශාල වශයෙන් ඒකරාශි වෙමින් අර්බුදය අවසන් කරන වෙනසක් ඔවුන් – පද්ධති වෙනසක් – ඉල්ලා සිටියා. තුන් මසකට වැඩි කාලයක් ගාලු මුවදොර ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඒකරාශී වූ අතර – ජනාධිපති ගෝඨාභයට ඉවත්ව යන්නැයි ඉල්ලීම පිළිබිඹු කරමින් – එය ඉක්මනින්ම ‘ගෝඨාගෝගම’ බවට පත් වුනා. අපේ රටේ මෙවැනි ජන බලයක් මින් පෙර කිසිම දිනෙක දැක තිබුනේ නැහැ. බලවත් පවුල් පාලනයකට එරෙහිව නැගී සිටිමින් එය පෙරලා දමන්න පෙරට ආ අපේ පුරවැසියන්ගේ අධිෂ්ඨානයට මෙම සම්මෙලනය සිය උපහාරය පුද කර සිටිනවා. ඓතිහසික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එක්සත් ජනතා අරගලයක් සතු විභවය පිළිබඳව අපට සිහි ගන්වා ගනිමින් මෙම සම්මේලනය අරගලයෙන් තවදුරටත් ආශ්වාදය ලබා ගනී.

ප්‍රජාතන්ත්‍රවාදයේ සරදම: රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ලෙස පත් කර ගැනීම

ජනාධිපති ගෝඨාභයගේ අනුප්‍රාප්තිකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් රනිල් වික්‍රමසිංහව විධායක ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම මෙම සම්මේලනයේ අවඥාවට හේතු වෙනවා. ප‍්‍රසාද ආසන වෙන්කිරීම හරහා තම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරූ එකම සාමාජිකයා රනිල් වික‍්‍රමසිංහයි. ඔහු පසුගිය මැතිවරණයේදී එජාපය දරුණුම පරාජයට පත්කළ අතර  තම පක්ෂයට එකදු ආසනයක්වත් දිනා ගැනීමට අසමත් වුනා. වික්‍රමසිංහ ඔහුගේම මැතිවරණ කොට්ඨාසයෙන් පවා පරාජයට පත් වුනා. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතා පරමාධිපත්‍යය එවැනි විකෘති කිරීමකට සහ ප්‍රජාතන්ත්‍රවාදය සමච්චලයට ලක් කිරීමට මග පෑදීම පිළිබඳව සම්මන්ත්‍රණය හෙළා දකියි.

විධායක බලතල අවභාවිත කිරීම:

ජනාධිපතිවරයා ලෙස බලයට පත් වූ දා සිටම, ජනතාවගේ හදිසි අවශ්‍යතාවන්ට කඩිනමින් විසඳුම් ලබා දෙනවා වෙනුවට, වික්‍රමසිංහ සිය ඒකාධිපති බලතල යොදා ගනිමින් සියලු සහ ඕනෑම ආකාරයක සාමකාමී විරෝධතාවයක් මර්දනය කිරීමට කටයුතු කර ඇති බව සම්මේලනය සටහන් කර සිටිනවා. රජය අපගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීමට අසමත් වීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් සාමකාමී පෙළපාලිවලට සහභාගි වූ ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ කුරිරු ප්‍රතිපාදන යොදා ගනිමින් ඔහු කටයුතු කර තියෙනවා. ජනකායන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර, කඳුළු ගෑස් සහ ශාරීරික ප්‍රහාර එල්ල කිරීමට ඉක්මන් වන සන්නද්ධ පොලිස් සහ එස්ටීඑෆ් සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට ගන්නා ඕනෑම උත්සාහයක් වැළැක්වීමට පියවර ගනු ලබනවා. මෙම සම්මේලනය විරෝධතා දැක්වීමට ජනතාව සතු අයිතිය රාජ්‍ය මර්දන හස්තය යොදමින් යටපත් කිරීම හෙළා දකිනවා.

මැතිවරණ කල් දැමීමේ නිවට උත්සාහය

තම පාලනය සහ රජය කෙරෙහි විශාල මහජන කෝපයක් හා අප්‍රසාදයක් ඇති බව හොඳින් දන්නා වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් උත්සාහ කරන්නේ පළාත් පාලන මැතිවරණය කූට උපක්‍රමවලින් කල් දැමීමටයි. අදාළ මුදල් නොගෙවීම නිසා තැපැල් ඡන්ද ලේඛන මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස රජයේ මුද්‍රණාලයට බලපෑම් කර ඇති බවක් පෙනේ. මේ හේතුවෙන් තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තියෙනවා. ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ නිවටකම අපගේ අවධානයට යොමු කර ගන්නා අතරම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ඔවුන් දරන තුච්ඡ උත්සාහයන් මෙම සම්මේලනය හෙළා දකිනවා.

ණය අර්බුදය: විසඳුමක් පෙනෙන තෙක් මානයේ නැත

ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, 2022 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 52 ට වඩා වැඩි විදේශ ණය බරක් ඇති බව සම්මේලනය තැති ගන්වන කරුණකි.

‘බේරා ගැනීමේ පැකේජයක්’ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කෙරෙන සාකච්ඡා සාර්ථකව අවසන් අදියරට පැමිණ ඇති බවට ජනාධිපති වික්‍රමසිංහ පුරසාරම් දෙඩුවත්, අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපගේ කිසිදු ණයහිමියෙකු සමඟ කිසිදු ප්‍රගතියක් මෙතෙක් ලබා ගෙන නොමැත. අපගේ සියලුම ණයහිමියන් සමඟ අපගේ ණය අඩු කර ගැනීම සඳහා එකඟතාවකට එළැඹෙන්නේ නැත්නම් IMF වෙතින් ශ්‍රී ලංකාවට සහනයක් ලැබෙන්නේ නැත. අපගේ ණය කපා හැරීමේ අදහසක් චීනයට නොමැති බව ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කිරීමත් සමඟ ම IMF ඊනියා සහන පැකේජය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.

විදේශ අරමුදල් ලබා ගැනීමට විශ්වාසදායක මාර්ගයක් නොමැති බැවින් ඉදිරි අනාගතයේ දී ජනතාවට තවදුරටත් අති  දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වීම කෙරෙහි මෙම සම්මේලනය සිය බරපතල අවධානය යොමු කර සිටිනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව මත පැටවෙනු ඇත

ඓතිහාසිකව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕනෑම රටක මැදිහත්වීම් සෑම විටම අතිමහත් බහුතරයකට වචනයෙන් විස්තර කළ නොහැකි දුක්ඛිත තත්වයන් උදා කර ඇති බව මෙම සම්මේලනයේ දැඩි අවධානයට යොමු කර සිටිනවා. මෙම අවස්ථාවේදීත් අරමුදල් මුදා හැරීමේ පූර්ව කොන්දේසියක් ලෙස IMF විසින් වක්‍ර බදු හරහා ඉන්ධන සහ බලශක්ති පිරිවැය අධික ලෙස ඉහළ දැමීමට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට තුඩු දෙන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම අරමුණු කරගත් පියවර මාලාවක් නියම කර තියෙනවා.

වත්මන් අර්බුදය ජනිත කිරීමට කිසිදු සම්බන්ධයක් නැති මේ රටේ සාමාන්‍ය ජනතාව මත බදු ප්‍රතිව්‍යුහගත කිරීමේ බර පැටවීමට රජය IMF සමඟ හවුල් වී ගනු ලබන පියවර මෙම සම්මේලනය හෙළා දකිනවා.

අපේ වැඩ කරන ජනතාවගේ දුක

ඉදිරි මාස සහ වසර කිහිපය තුළ මේ රටේ වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය විශාල වශයෙන් පහත වැටෙනු ඇති බවට මෙම සම්මේලනය සංගමයේ සාමාජිකයින්ගේ අවධානයට යොමු කර සිටිනවා. හාම්පුතුන් දහස් ගණන් සේවකයන් නිර්දය ලෙස දොට්ට දමා වැටුප් කප්පාදු කොට ප්‍රතිලාභ ඉවත් කර ගන්නා විට වැටුප්-ශ්‍රමිකයින් ඒ වන විටත් COVID හි ප්‍රතිවිපාකවලට ගොදුරු වී සිටියා. දැවැන්ත උද්ධමනයේ ප්‍රතිඵලයක් ලෙස වැටුප්-ශ්‍රමිකයින්ගේ වැටුප් 20% සිට 30% දක්වා පහත වැටී තියෙනවා. වෙනත් වචන වලින් කිවහොත්, රුපියල් 50,000 ක වැටුපක් ලබන  වැටුප්-ශ්‍රමිකයෙකුගේ මූර්ත වැටුපේ වටිනාකම රුපියල් 35,000 ක් පමණි. මින් වැටුප්-ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය  දැඩි කඩා වැටීමකට තුඩු දී ඇති අතර, ඔවුන්ගේ ජීවන තත්වය තියුනු ලෙස ක්ෂය වීමට හේතු වී තියෙනවා.

ආර්ථික අර්බුදය කඩතුරාවක් ලෙස යොදා ගනිමින් සමාගම් විශාල සංඛ්‍යාවක් – අසාමාන්‍ය ලාභ ලබන ආයතන පවා – තම සේවකයන්ට අර්ථවත් වැටුප් වැඩිවීමක් ලබා දී නොමැති කාරණය මෙම සම්මේලනයේ දැඩි අප්‍රසාදයට හේතු වී තියෙනවා.

ඉදිරිමඟ

වෘත්තීය සමිති පිහිටුවීමේ අයිතිය කප්පාදු කරමින් කම්කරුවන්ගේ කේවල් කිරීමේ ශක්තිය දුර්වල කිරීම ඉලක්ක කරගත් පියවරයන් හඳුන්වා දීමට රජය දරන උත්සාහයන් පිළිබඳව ද මෙම සම්මේලනයේ දැඩි අවධානය යොමු කර සිටිනවා.

මෙම තත්ත්වයන් යටතේ සංගමය පහත සඳහන් යෝජනා මෙම 37 වන නියෝජිත සම්මේලනයට ඉදිරිපත් කරනවා:

1. ඉදිරි මාස සහ වසර තුළ අපගේ ශක්තීන් ශාඛා මට්ටමින් CMU නැවත     ගොඩනැගීමට, වර්ධනය කිරීමට සහ අපගේ සාමාජිකත්වය පුළුල් කර ගැනීම සඳහා කේන්ද්‍රගත කිරීමට

2. ඵලදායී ලෙස කේවල් කිරීම සඳහා අපගේ ශාඛා සමිති ශක්තිමත් කිරීම සහ බලමුළු ගැන්වීමට සහ ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සහතික කරන සාමුහික ගිවිසුම් දිනා ගැනීමට

3. වැඩ කරන ජනතවගේ ජීවන තත්ත්වයන් ආරක්ෂා කරන ජාතික අවම වැටුපක් සඳහා සටන් කිරීම සඳහා සමාන අදහස් ඇති අනෙකුත් වෘත්තීය සමිති සමඟ අත්වැල් බැඳගැනීමට

4. අපගේ ණය අවලංගු කිරීම හෝ සැලකිය යුතු ලෙස අඩු කර ගැනීම සඳහා අරගලය කිරීමට වෘත්තීය සමිති සහ අනෙකුත් සංවිධාන සමඟ පුළුල් සන්ධානයක් ගොඩ නඟා ගැනීමට

5. අපගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සහ අපගේ ජීවන තත්ත්වයන්ට අහිතකර ලෙස බලපාන සියලුම ප්‍රතිපත්තීන්ට එරෙහිව අරගලය කිරීම සඳහා වෙනත් වෘත්තීය සමිති සහ සංවිධාන සමඟ එකට ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප සාමාජිකයින් දැනුවත් කිරීමට සහ බලමුළු ගැන්වීමට

6. අපගේ ජාත්‍යන්තර අනුබද්ධිත ආයතන සමඟ සබඳතා ශක්තිමත් කරගෙන අපගේ අරගලයන්ට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට