චිත්‍ර උගන්වන්න එපා ..එය නොකල හැකි දෙයක්..!නොකල යුතු දෙයක් ..!!

චාල්ස් දයානන්ද විසිනි

චිත්‍ර උගන්වන්න එපා ..
එය නොකල හැකි දෙයක්..!
නොකල යුතු දෙයක් ..!!

ළමාචිත්‍ර යනු ඉගැන්විය යුතු පුහුණු කලයුතු විෂයක් නොව ලමයා තුලින් නිතැතින්ම මතුවන ආත්ම ප්‍රකාශනයට දී ඇති නමයි.

ඒ තුළ ඇත්තේ දරුවාගේ චිත්තාභ්‍යන්තරයෙන් පැන නගින අව්‍යාජ ප්‍රකාශනයයි .එය අතිශය නිදහස්‍ ය.නිවහල් ය.ළමාචිත්‍ර නම් විෂය බිහි වන්නේම මෙම හැඟීම් ප්‍රකාශනය ට ඉඩ ලබා දීම සඳහාය.

ලංකාව තුළ මෙම විෂය රෝපනය කල විශිෂ්ඨ මිනිසා වන්නේ 43 කණ්ඩායමේ චිත්‍ර ශිල්පියෙක් වන බීලිං මහතාය .එවකට ඔහු චිත්‍ර කලා අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කලේය .ඔහු මෙය හැඳින්වූයේ ..” හැඟීම් වැමෑරීම ” ලෙසයි .ඔහුගේ මුවග නිතර තිබූ
වැකියක් වූයේ “..Let them vomiting their feelings ..” යන්නයි .

ළමාචිත්‍ර වල වැරදි නැත .ඉගැන්වීමට ,හරිගැස්සීමට,
වෙනස් කිරීමට දෙයක් නැත .එය
නිතැතින්ම පැනනගින්නකි.
ළමාචිත්‍ර වල ඇති ප්‍රධාන ගුණ
වන්නේ ..නිතැත්බව,සියත්බව
සංකේතාත්මක බව ,වියුක්ත බව
හා අව්‍යාජ බවයි.මේවා කිසිම විෂය නිර්දේශයකින් ,සිද්ධාන්ත වලින් ,නිර්නායක වලින් ඉගැන්විය හැකි දේ නොවේ .

අප කලයුතු වන්නේ දරුවාට තම නිදහස් හැඟීම් ප්‍රකාශ කිරීමට
සුදුසු අවකාශයක් තනාදීම හා අගැයීමයි.

දිනක් එක් දරුවෙක් අලියෙකු ඇඳ රෝස පාට ගෑවේය .එය එසේ
නොවන බවත් කලුපාට ගාන ලෙසත් පියා උපදෙස් දුන්නේය .
දරුවා වගේවගක් නැතුව
අඳින්නට විය .එවිට පියා කේන්තියෙන් ..” මම කීවා නේද ඕක වැරදියි කියලා ..කලු පාට ගාන්න කියලා ” කීය

දරුවා ඉතා සන්සුන්ව චිත්‍රය දෙස
බලාගෙනම “..මේ සායම් වලකට වැටිච්ච අලියෙක් ..”කියා දිගටම අදින්න විය ….මේ දරුවා කෙතරම් විචක්ෂණ ද..සායම් වලවල් කොහෙවත් නැති බව දරුවා දනී.ඔහු තම මෝඩ තාත්තා නිහඬ කිරීමට ක්ෂණික ව තැනට සුදුසු නුවණ භාවිතා කලේය .

දරුවන්ගේ සිතීම ,විචක්ෂණ බව ,විමර්ශනය යන සියලු දේ ළමාචිත්‍ර තුලින් ගොඩ නැගේ.

අපේ සමාජය උත්සාහ කරන්නේ
ළමයා ලවා ස්වාභාවික දේම අනුකරණය කරවීමටය .තමන් කැමති දේ ලමයා ලවා ඇන්දවීමට ය.කිසිම ළමාචිත්‍රයක්
වැරදි නැත ..වැරදියි ..යන වචනය සාපේක්ෂ එකකි.ස්වාභාවික දේට සාපේක්ෂව අඳින චිත්‍ර වැරදියි
යන මෝඩ තර්කය සමාජය තුල පැතිර ඇත්තේ දිගු කලක් ස්වාභාවික දේම පිටපත් කරමින්
ගෙන ආ අනුකාරක වාදී අධ්‍යාපන ක්‍රමය නිසාය ..මිනිස් රූප අඳින්නේ ඔහොම නෙවෙයි ..ගස් අඳින්නේ ඔහොම නෙවෙයි ..ලෙස වැඩිහිටියන් හා ගුරුවරුන් ස්වාභාවික ජායාරූපී අනුකරණම චිත්‍ර තුලින් අපේක්ෂා කරති.

මේ ගතානුගතික සිතීම ඔවුන් තුළ රෝපනය වී ඇත්තේ සියවසක් තිස්සේ පවත්වාගෙන ආ යල්පැනගිය විෂය නිර්දේශ නිසාය .අධ්‍යාපන ක්‍රමය නිසාය …අපි ඉංග්‍රීසින් හදුන්වාදුන්
එම ක්‍රමයම කරතබාගෙන ඉදිරියට නොව පසුපසට යමින් සිටිමු..!!