ග්‍රීසියේ වහලුන් වෙනුවෙන් ස්පාටකස් කළා වගේ මනුෂ්‍යත්වය නූතන වහල් භාවයෙන් ගලවා ගන්න කරන උදාර සටනක් අවශ්‍යයි!

ඥානසිරි කොත්තිගොඩ විසිනි

රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල නියතයක් නැහැ. නමුත් සිය‍යට අසූවක් වගේ සිදුවෙලා තිබෙන්නෙ පළමුව ආර්ථිකය ගොඩනැගීම. ඒ වගේම අපට පෙනෙනව ආර්ථික දියුණුවෙන් පස්සෙ ඇතිවන සමාජ ආකල්ප, සමාජ සංවර්ධනය මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමනට, සාමූහිකත්ව‍යට රුකුලක් වෙලා තිබෙනව කියල.

එහෙම වෙන්න හේතුව මොකක්ද?  කෑම්බීම්, ඉඳුම් හිටුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන මනුෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා ලෙස පිළිගැනෙන මේ කාරණා රටක ආර්ථික දියුණුවත් එක්ක හැම දෙනෙකුටම ලැබෙනව. එවැනි සමාජයක් තුළ ගොඩනැගෙන නිදහස් මනුෂ්‍යයාට ආදරය, සාමූහිකත්වය, නිදහස් සංකල්ප, ආකල්ප බලහත්කාරයෙන් නෙමේ නිසගයෙන් ඇතිවෙනව.

ආර්ථිකය කඩා වැටිල කන්න බොන්න, ඉන්න හිටින්න නැති තත්වයට තිබුන වෙලාවක තම‍යි ලෙනින් රුසියාවේ බලය ගත්තෙ. ඒනිසා ඔහු පළමුව කළේ රටේ ආර්ථිකය ගොඩනැගීම. ජාතීන්ගේ වෙන්වීමේ අයිතිය ප්‍රතිපත්තියක් ලෙස ලෙනින් පළමුව පිළිගත්ත. නමුත් යහපත් ආර්ථික තත්වයක් ඇතිවුනාට පස්සෙ තමයි ඒ ඒ භාෂාවන්, සංස්කෘතීන් අනුව රටවලට ස්ව පාලන අයිතිය ලබාදුන්නෙ. එහෙම දීල ඒ සියලු රටවල ඒකාබද්ධතාව‍යෙන් ඉතාමත් ශක්තිමත් සෝවියට් දේශය නිර්මාණය කළේ.

ජර්මනියේ හිට්ලර් කළේ ලෙනින් ගේ ක්‍රමයේ අනෙක් පැත්ත. ජර්මනියේ ආර්ථික වර්ධනය අන්තිමට පහළට වැටිල ෆැක්ටරිකාරයන්ගේ, කොම්පැණිකාරයන්ගේ, බැංකු හිමියන්ගේ ලාබ අඩුවෙලා තිබුණෙ. ආර්ථිකයේ මේ බිඳ වැටීම විසින් ලාබ ලබාගෙන මිනිසුන්ගෙන් වැඩ ගන්න නිර්මාණය කරගෙන තිබුණ ආණ්ඩුවේ බලය බිඳ වැටිල, ඒ බලය විරුද්ධ පාර්ශවයකට පත්වීමේ වටපිටාවක් නිර්මාණය වුනා. ඒක වලක්වා ගැනීම වෙනුවෙන්, ‍රාජ්‍ය බලය තවදුරත් තබා ගැනීම වෙනුවෙන් කොම්පැණිකාරයන්, දේපළ හිමියන්, බැංකු අයිතිකරුවන්, එකතුවෙලා හිට්ලර් බලයට ගෙනාව.

කඩා වැටුනු ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් හිට්ලර් පළමුව කළේ සමාජ මත‍යක් ගොඩනැගීම. මෙලොව උතුම්ම ජාතිය ආර්යයන්. එසේ නොවන අනෙක් ජාතින් හා සතුන් අතර වෙනසක් නැහැ. ඒනිසා ජ‍ර්මන් ආර්ය ජාතියේ උන්නතිය වෙනුවෙන් අනෙක් සියලු ජාතීන් මරා දමන්න ඕන. ඒ අත‍රිනුත් යුදෙව්වන් පළමුව මරා දමන්න ඕන. මේ වගේ මතවාදයක් සමාජගත කළ හිට්ලර් පළමුව ජර්මනියේ සිටි යුදෙව්වන් මරා දමන්නත්, ඔවුන්ගේ දේපළ මංකොල්ලකන්න හා ගිනි තියන්නත් පටන් ගත්ත. ශරීර හයිය, ශක්තිය තිබෙන ගැහැණු පිරිමි ඉතිරි කළා. ඔවුන් ගෙනැවිත් හිර කඳවුරු දාල ෆැක්ටරිවල වැඩට ‍යැව්ව. කාන්තාවන් ලිංගික කටයුතුවලට යොදා ගත්ත.

ක්‍රමානුකූලව මෙය වර්ධනය කරමින් රටවල් යටත් කරමින් යටත් කරගන්නා පිරිස් ජර්මනියට ගෙනැවිත් වහලුන් ලෙස තියා ගෙන වැඩ ගත්ත. මේනිසා ලොව පුරා කර්මාන්ත හිමියන් ජර්මනියට ඇවිත් වහල් ශ්‍රමයෙන් විශාල ලාබ ලබාගත්ත. ලාබයෙන් කොටසක් හිට්ලර්ගේ රජයටත් ලැබුණ. අඩියටම වැටිල තිබුණ ජ‍ර්මන් ආර්ථිකය කන්ද කපාගෙන පුරහඳ මෝදු වෙනව වගේ බලා සිටියදී පිබිදෙන්න වුනා. අවුරුදු තුන හතරකට වඩා ඒ පිබිදීම තිබුනේ නෑ. ආයෙමත් ආර්ථිකය අඩියටම වැටිල අමාවක උදාවුනා. හිට්ලර්ගේ මරණයෙන් පස්සේ තමයි නැවතත් ජර්මනිය ගොඩ ආවෙ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් රට ගොඩ ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති හිට්ලර්ගේ ප්‍රතිපත්තිත් සමග බොහොම සමානකම් තිබෙනව. 1650 ගණන්වලදී 14 වැනි ලුවී “රාජ්‍ය යනු මමයි” කිව්වා සේ රට ගොඩගැනීමේ සර්වතෝභද්‍ර ඥානය තිබෙන්නේ රනිල්ට පමණයි කියල හිතාගෙන තමයි ඔහු වැඩ කරන්නේ. එය ඕනෑම ඒකාධිපතියකුගේ තිබෙන පොදු ලක්ෂණයක්. මේ සිතුවිල්ල නිසා ජනාධිපති රනිල් යෝජනා කරන, ක්‍රියාත්මක කරන, නියෝග කරන කිසිදු කාරණාවක් විවේචනය කිරීම, පැහැර හැරීම, ක්‍රියාත්මක නොකර සිටීම “ත්‍රස්තවාදී” ක්‍රියාවක් වෙනව.

ලිබරල් රනිල් මේ ලෙසට රූපාන්තරණය වුනේ කොහොමද කියල සමහරු වැළපෙනව. රනිල්ගේ දෘෂ්ඨිය වෙලා තිබෙන්නෙ රටේ මොන ත‍රම් පුද්ගලික කර්මාන්තශාලා තිබෙනවද කියන මිණුම් දණ්ඩෙන් රටේ ආර්ථික සංවර්ධනය මනින්න. ඒ “ආර්ථිකය ගොඩ ගැනීමේ” මූලෝපාය ලෙස ඔහු දකින්නේ රජය යටතේ පාලනයවන සේවා හා නිෂ්පාදන ආයතන සියල්ල පුද්ගලික අංශයට දෙන්න ඕන කියල. මේක තමයි නව ලිබරල්වාදය කියල කියන්නෙ. එය අත්හදා බලන්න ඔහුට ලැබුණ පළමු හා අවසාන අවස්ථාව තමයි මේක.  

මේ වැඩ ටික කරගෙන යන්න නම් දැනට පවතින කම්කරු නීතිරීති, මානව හිමිකම්, මූලික මිනිස් අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්  බාධාවක්. නමුත් ඒවා සියල්ල අහෝසි කි‍රීමත් එතරම් පහසු නැහැ. ඒ නිරුවත් වැඩේට රනිල්ගේ බටහිර හාම්පුතුන් වුනත් එකඟ වෙන්නෙ නැහැ. එමනිසා ඒ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එසේ තිබෙන්න හරිනව. එසේ තිබියදී ඉන්ද්‍රජාලික ලෙස ඉතාමත් උපායශීලීව සියලු අයිතිවාසිකම් නිෂ්ක්‍රීයවන නව වහල් නීති සම්මත කරගන්නව. ඒ වෙනුවෙන් තමයි “ත්‍රස්ත විරෝධී පනත” ලෙස නව කෙටුම් පතක් මේවන විට ගැසට් කරළ තිබෙන්නෙ.

මෙය රජුගේ නියෝගවලට එරෙහිවීම “රාජ ද්‍රෝහියෙක්” යැයි වැඩවසම් යුගයේ තිබුණ නීතියට, හිට්ලර්ට විරුද්ධ වුනොත් ලැබුණ දඬුවම් වලට සමාන එකක්. මේ පනතට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ සහය ජනාධිපති රනිල්ට ලැබෙනව. මොකද බයිඩන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි රනිල් මේ ක්‍රියාවට නංවන්නෙ. ඒක කෙක්කෙන් හෝ කොක්කෙන් කරන්න තමයි රනිල්ව බලයට ගෙනාවෙ. හිට්ලර් බලයට ඇවිත් වෘත්තීය සමිති සියල්ල තහනම් කළා. රනිල් පළමුව කරන්නේත් වෘත්තීය සමිති සියල්ල මේ පනත මගින් බල රහිත කිරීම.

එහි මුල් පියවර ලෙස වෘත්තීය සමිති නායකයන් නොසළකා හරිමින්, කෝචොක් කරමින් ඔවුන්ට විරුද්ධව සමාජ මතයක් හැදීම ආරම්භ කරලා තියෙන්නෙ. ඒකට වැඩ අල්ලන්න තමයි ඉන්ධන බෙදීම ක්‍රමවත් කරලා, ගෑස් මිල බස්සලා ණය අරගෙන පිටපොට ගහන්නේ. මෑත ඉතිහාසයේ මෙතෙක් දකින්නට නොලැබුණු ආකාරයේ ජන සහභාගිත්වයකින් යුත් අරගල මාලාවක් සිංහල ගම් දනව් සිසාරා ඇවිල ගියේ ‘ගෑස් දියව්, පෙට්‍රල් දියව්, ඩොලර් ගෙනෙව්’ කියලනෙ.

හිට්ලර් වෘත්තීය සමිති තහනම් කරමින්, රටවල් යටත් කරමින් වහල් ශ්‍රම හමුදාවක් ගොඩනැගුව වගේ “නව ත්‍රස්ත විරෝධී පනත” මගින් රනිල් – රාජපක්ෂ ජුන්ටාව හැර රටේ අනෙක් සියලු දෙනාම වහලුන් බවට පත්කරනව. වහල් ශ්‍රමයෙන් අධික ලාබ ඉපයීමට හැකි නිසා විදේශ කොම්පැණි රටට එන්න පුළුවන්. ඒ ලැබෙන ලාබයෙන් යම් කොටසක් රජයට බදු වශයෙන් ලැබේවි. රාජ්‍ය දේපළ විකිණීමෙනුත් ආදායමක් ලැබෙනව. මේනිසා රටේ ආර්ථික වර්ධනයක් ඇතිවෙනව. මේ ආදායමෙන් සමාජයේ අඩු ආදායම් ලාභීන්ට, රැකියාවලින් දොට්ට වැටෙන අයට යම් සහනයක් ලැබෙන්න ඉඩකඩක් තිබෙනව. සමාජ ආරක්ෂණ ජාලයක් හදන්න කියල ජාත්‍යන්ත‍ර මූල්‍ය අරමුදලත් ( IMF) නියෝග දීල තිබෙන්නේ මේ “ආර්ථික සංවර්ධනය” තුළ නැති බැරි එකා නැති භංගස්තානම වෙලා යන බව හොඳාකාරවම ඒ වෙද්දු දන්න නිසා.

ඒ අතර කර්මාන්ත හිමියන්ට අවශ්‍ය යටිතල පහසුකම් (අධිවේගී මාර්ග වැනි) ගොඩනැගීම් සිදුවන නිසා රටතුළ මුදල් සංසරණයවීමෙන් උද්ධමනයත් පහළ වැටීමේ විභවයක් පවතිනව. ලිබරල්වාදීන්ගේ මේ ෆැන්ටසිය ඉටු වුනොත් එදාට චන්දයක් ලැබේවි. ඒ පාර්ලිමේන්තුවේ අගමැති විදියට බොහෝවිට සුදුසුකම් ලබන්නේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වෙන්නත් පුලුවන්.

හැබැයි මේ ආර්ථිකය බිම් මට්ටමේ සිට ගොඩනැගෙන එකක් නෙමේ. කෘතීමව ගොඩ නගන්නක්. හරියට වැස්ස පෑවිල්ල අනුව කාසල් ‍රී ජල මට්ටම නගිනව බහිනව වගේ. එමනිසා වසර දෙක තුනකින් ඊළඟ අදියරේ ආර්ථිකයේ කඩා වැටීම නවතින්නේ මිනිසුන්ට එදා වේල කන්න නැති, බේත් හේත් නැති විසාලා මහනුවරක.
හිට්ලර් පාර්ලිමේන්තුව ගිනි තිබ්බත් රනිල් තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව පාවිචිකරනව. “ෂටප් ඇන්ඩ් සිට්ඩවුන්” කියල ව්‍යවස්ථාදායක‍යට තමන්ගේ බලය පෙන්වල යටත් කරගන්නව. වරෙක පාර්ලිමේන්තුවේ මුළු විපක්ෂයම ජනතාව ඉදිරියේ අපහාසයට, උපහාසයට, අවමානයට ලක් කරන්නේ ජෝක් කරමින්. තමන්ගේ දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්ති පාර්ලිමේන්තුව තුළ සම්මත කරගෙන නීති බවට පත්කරනව. අධිකරණය පාර්ලිමේන්තුවට හා විධායකයට යටත් කරනව. රනිල්ට අවනත නොවන ජනමාධ්‍ය හීලෑ කරනව.

මේ සියල්ලට අනුමැතිය දෙන සිංහල බෞද්ධ වර්ගවාදී පොහොට්ටු ජුන්ටාවක් රනිල්ට ඉන්නව. මේ ජුන්ටාවේ ජනතා ද්‍රෝහී දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රතිපත්ති සෝදා පිරිසිඳු කර පිරුවට අන්දන ලිබරල්වාදී හේනෙ මාමාලා සෙට් එකක් ‍රනිල්ට ඉන්නව. ඔවුන් පට්ටපල් කෙබර ඇඳ බාමින්, ව්‍යාජ තොරතුරු, දත්ත පතුරුවා හරිමින් ජනතාව උසි ගන්වනව. හිට්ලර්ටත් මේවගේම සෙට් එකක් හිටිය. ඒකෙ ප්‍රචාරක අංශයේ නායකය තමයි ජෝෂප් ගොබෙල්ස්.

මේ ලෙසට රනිල් – රාජපක්ෂ ජුන්ටාව අවසානයේ නිර්මාණය කරන්නේ කුමක්ද?  විධායකය හා ව්‍යවස්ථාදායකයට සුපිරි බලයක් ආරෝපනය කළ, එකී ආයතන දෙකට අනෙක් සියලු ආයතන යටත් කළ, ජනතාව වහලුන් බවට පත්කළ, කොම්පැණිකාරයන්ට සහන සලසන මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනයක්. ඒ ම‍ර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනය හදන අත්තිවාරම තමයි “ප්‍රති ත්‍රස්ත පනත.”  මේකට තමයි ව්‍යවස්ථාපිත ෆැසිස්ට් පන්නයේ ‍රාජ්‍යයක් කියන්නෙ.

කොම්පඤ්ඤ වීදියට Slave Island කියල ඉංග්‍රීසියෙන් නම තැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්. යටත් විජිත පාලකයන් ඒ නම දැම්මේ පෘතුගීසි පාලනය යටතේ අප්‍රිකානු වහලුන් සඳහා රැඳවුම් ප්‍රදේශයක් ලෙස කොම්පඤ්ඤ වීදිය භාවිතා කළ නිසා. ජනාධිපති රනිල්ගේ නියෝගයෙන් පසුගිය පෙබ‍රවාරි 04 දා සිට Slave Island කියන නම ඉවත් කරළ ඉංග්‍රීසියෙනුත් කොම්පඤ්ඤ වීදිය කියල නම් කළා. කොම්පඤ්ඤ වීදියෙන් Slave Island කියන නම ඉවත් කළේ ඇමරිකන් යටත් විජිත පාලක 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහයාණෝ යටතේ මුළු රටම Slave Island කරන නිසා වෙන්න ඕන.

මෙතැනදි බොහෝ දෙනෙක් නගන ත‍ර්කයක් තමයි රනිල්ට මේ විදියේ පාලනයක් ගෙනියන්න ජනතා වරමක් දීල නැහැ කියල. හිට්ලර් කියන්නෙත් රනිල් වගේම ජනමතය‍කින් බලයට ආව පාලකයෙක් නෙමේ. දෙවරක් චන්දයෙන් පැරදුනු හිට්ලර් තුන්වෙනි වතාවේ “ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” එක්ක ගිවිසුම්ගත වෙලා චන්දය ඉල්ලුවා. ඒත් පරාදයි. අන්තිමේදී හිට්ලර් පාර්ලිමේන්තුවට ගිනි තියලා ඒක කළේ කොමියුනිස්ට්වරු කියල ප්‍රචාරය කළා. ඒ චෝදනා මත කොමි‍යුනිස්ට්වරු අත් අඩංගුවට ගත්ත. එහිදී තුවක්කුව ඔලුවට තියල හිට්ලර්ගේ “ජාතික සමාජවාදී” පක්ෂයට ( National Sozialismus) කොමියුනිස්ට්වරුන් ගේ පාර්ලිමේන්තු ආසන පවරන්න බලහත්කාරයෙන් ගිවිසුමකට අත්සන් ගත්ත. එහෙම තමයි හිට්ලර් පාර්ලිමේන්තුවේ බහුතර බලය ගත්තෙ. ජනාධිපති රනිලුත් අවශ්‍ය වුනොත් විවිධ උපක්‍රම මගින් විරුද්ධ පක්ෂ මන්ත්‍රීන් ආණ්ඩුවට ගනීවි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් තිබුණ රනිල් ජනාධිපති දක්වා ගිය ගමනත් හිට්ලර්ගේ ගමනට සමානයි. ඇමරිකානු සහයෙන් පාලන බලයට ආපු ගෝටා චීනෙත් එක්ක පාලනය ගෙනියන්න ගත්ත. ගෝටාගේ නොපැසුනු දේශපාලන පරිචය නිසා රටේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක ජනතා උද්ඝෝෂණ ඇතිවුනා. මේ උද්ඝෝෂණවලට ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයො, ලිබරල්වාදීන්, සල්ලිකාරයො සහභාගී වුනා. එයාලගෙ නායකයා වුනේ රනිල්. ගෝල්ෆේස් එකේ තිබුණ කූඩාරම් වලින් හරි අඩක් රනිල්ගේ. එතැන ප්‍රථමාධාර සේවය දුන් ශාන්ත ජෝන් ගිලන්‍ රථ සේවාවේ ප්‍රධානී ශාඛ්‍ය නානායක්කාර රනිල් පාක්ෂිකයෙක්. ඇමරිකන් සහ බටහිර බලවතුන්ගේ නොමඳ සහය මේ අරගලයට ලැබුනේත් රනිල් නිසා. ‘ගෝටා ගෝ ගමේ’ අරගලකාර නායකයන් කී දෙනෙක් දැන් ‘රනිල් කම් පුරේ’ සම්මාන පුරවැසියෝ වෙලා ඉන්නවද?  

නමුත් අරගලයේ එළිමහනට පෙනෙන නායකත්වයේ හිටියෙ නිර්ප්‍රභූන්. අරගලයේ බහුතර බලය තිබුනේ නිර්ප්‍රභූන්ට. සමාජ අවවරප්‍රසාදිතයන්ට. ගෝල්ෆේස් අරගල භූමියට පහර දුන් දවසේ රාත්‍රීයේ පොහොට්ටු මැති ඇමති නිවාස ගිනි තැබීම අදත් ප්‍රසිද්ධ රහසක්. මේ සියලු රංගන අවසානයේ අගමැති, ජනාධිපති දක්වා ගමනක් ගියේ රනිල්. දඩයම කරේ තියාගෙන යනකොට දඩයක්කරු කවුදැයි කියන්න පුලුවන් කියල ප්‍රසිද්ධ කියමනක් තියෙනව. මේක ධනපති පාලකයන් කරන ඉතා අනතුරුදායක බල සූදුවක්. රනිල් බය නැතිව මේ සූදුව කෙළියේ මේවන විට රටේ තිබෙන සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවාදීන් බව අතැඹුලක් සේ දන්නා නිසා.

ජනාධිපති වූ රනිල් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළේ අරමුණු කීපයක් මුල් කරගෙන. මැතිවරණ පෙරමුණ හරහා ප්‍රභූ විරෝධී ජනයා රොඳ බඳින හැටි දේශීය හා ජාත්‍යන්තර මිතුරු පාර්ශවයන්ට ඇස්පනාපිටම පෙන්වා දෙන්න. ගෝටා එලවීම හරහා ගොඩනැගුනු ප්‍රභූ විරෝධී ජන බලය බෙදා වෙන්කරන්න. අද ආණ්ඩු විරෝධී ප්‍රධාන පාර්ලිමේන්තුවාදී කඳවුරු දෙක වන ජාතික ජනබලවේගය හා සමඟි ජන බලවේගය සිටින්නේ නයි මුගටි සටනක. ආණ්ඩු විරෝධ‍ය කඳවුරු ගණනාවකට බෙදිල. චන්දය ප්‍රකාශයට පත් නොකළානම් බොහෝවිට විය හැකිව තිබුනේ මුළු විපක්ෂයම චන්දය ඉල්ලා ආණ්ඩු විරෝධී දැවැන්ත එක පෙරමුණක් බිහිකර ගැනීම. හිට්ලර් කළේ නාසි විරෝධීන් කොටස් කර මරා දැමීම හා වධකාගාරවල ගාල් කිරීම.

සිය අරමුණු සාක්ෂාත් කරගත් ජනාධිපති රනිල් “ව්‍යවස්ථාවේ පළාත් පාලන මැතිවරණයක් නැහැ. නැති මැතිවරණයක් කල් දාන්නේ කොහොමද” කියල පාර්ලිමන්ට් ජෝක් එකකින් චන්දය කල් දැමුව. ඊට ආනුෂංගික ලෙස ආණ්ඩු විරෝධී ජන බලය පෙන්වා නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම සඳහා මර්දන අණ පනත් සම්මත කර ගැනීමට බටහිර බලවතුන්ගේ අනුමැතියත් ලබා ගත්තා.

මේ අනුමැතිය නිසා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කමිටුව ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් යෝජිත ත්‍රස්ත විරෝධී පනත හෙලා දැක තිබුනත්, ඊට විරුද්ධව එක්සත් ජාතීන්ගෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන්, යුරෝපා සංගමයෙන්, IMF , ලෝක බැංකුවෙන් හෝ එවැනි ඇමරිකානුවාදී කිසිදු ආයතනයකින් තහංචියක් වැටෙන්නෙ නැහැ. රනිල් යන ගමනට තිරිංග දාන්නෙ නැහැ. එම ආයතන කරන්නාවූ යම් යම් ප්‍රකාශ හුදු මාධ්‍ය සංදර්ශන විතරයිි. එබැවින් මේ ජුන්ටාවේ කිසිදු ක්‍රියාවකට විරුද්ධව හූවකින් හෝ ඇමරිකානුවාදී ආයථනයන්ගෙන් සහයක් ලැබේවි යැයි සිතුවොත් එය මිරිඟුවක්.

දෙවැනි ලෝක යුද්දයෙන් පස්සේ ලෝක සුපිරි බලවතා බවට පත් වූ ඇමරිකාවේ සන්නද්ධ, දේශපාලන, ආර්ථික ආධිපත්‍ය ලොව පුරා පැතිරවීමට හා ආරක්ෂා කිරීමට තමයි එකී සියලුම ආයතන හා “සොෆ්ට් පව‍ර්” ගොඩනැගුවේ. නව ත්‍රස්ත පනත පිළිබඳ ලංකාවේ  NGO කසාය බීපු ගොළුවන් බවට පත්වෙලා සිටින්නේ මෙන්න මේ හේතුව නිසා. මෙහෙත් එහෙම නම් එහෙත් එහෙම තමයි. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒම තාවකාලිකව පස්සට ගත්තත්, රනිල්ම කියලා තිබුණ ඒක කඩිනමින් සම්මත කරගත යුතු එකක් කියල.

“සොෆ්ට් පවර්” කියන එකට ඇතුළත් වන්නේ හොලිවුඩ්, යූ ටියුබ්, ෆේස් බුක්, රාජ්‍ය නොවන සංවිධාන ( NGO ) , මානව හිමිකම්, කාන්තා, පරිසර වැනි සංවිධාන හා ආයතන.  නමුත් රාජපක්ෂලාට මානව හිමිකම් – යුද අපරාධ චෝදනා එල්ල වුනේ, වීසා තහනම් වුනේ, අවසානයේ ආණ්ඩු බලය පවා නැතිවුනේ ඇමරිකානු පිහිටෙන් බලයට ඇවිත් චීනයත් හාදකරගෙන එකගෙයි දීග කන්න ගිය නිසා. ‘දොන් නම් දොන්. සිමන් නම් සිමන්. දොන් සිමන් දෙකක් බැහැ’ කිව්වෙ කට කහනවට නෙමෙයි.

එනයින් බලනකල නව ත්‍රස්ත පනතට සංශෝධන කතා පලක් නැති පඩික්කම් පිරවීමක් හා සමාජ විරෝධය තනුක කිරීමේ උපායක් විතරයි. බලු බෙට්ටේ කොයි කෙළවරත් එක‍යි කිව්වලු. මෙවැනි විෂය බද්ධයක් තුළ “මේ සිංහල අපගෙ රටයි, අපි ඉපදෙන මියෙන රටයි” කියමින් සිංහ කොඩි වනමින් ගෝටා එලෙව්වා වගෙ රනිල් – රාජපක්ෂ ජුන්ටාවේ ජනතා විරෝධී ම‍ර්දන ප්‍රතිපත්ති පරදවන්න නම් බැරිවේවි. ගහක් උදුරා දමන්නනම් කරටිය නෙමේ මුල බලලයි තීන්දු ගන්න ඕන. එහෙම නොවුනොත් ලොකු වන්දියක් ගෙවන්න වෙන්නෙ.

ආණ්ඩු විරෝධීන් සිටින්නෙ දකුණේ සිංහල බෞද්ධ චන්ද වලින් ආණ්ඩු පෙරළන්න නම් ඒක රනිල්ට අභියෝගයක් නෙමේ. තවමත් ඇතමුන් කියනව, ලියනව “අපි ත්‍රස්තවාදයෙන් අවුරුදු 30 ක් බැට කෑ ජාතියක්. අපි අරගල කරන්නේ අතේ ගල් කැටයක්වත් නැතිව. එහෙව් අපි කොහොමද ත්‍රස්තවාදීන් වෙන්නෙ” කියල. මේ වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ මොකක්ද? සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යය පිළිගන්න අපට ත්‍රස්තවාදීන් කියන්න එපා. අපි කොහොමද ත්‍රස්තවාදීන් වෙන්නෙ. ත්‍රස්තවාදීන් ඉන්නෙ උතුරු නැගෙනහිර විතරයි කියලනෙ. මේවා රෙද්දෙ රෙවිලත් බෙට්ටෙ කැටයම් හොයනවගේ කතා.

“ත්‍රස්තවාදියා” යන නාමකරණය පීඩක ප්‍රභූ පාලකයන් විසින් පීඩිත අරගලකරුවන්ට දෙන නාමකරණයක් බව දැන්වත් මොළ කුහරයට දමාගත්තොත් ඉදිරි අරගලවල සෞඛ්‍යට හොඳයි. එදා “රට බෙදන දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය”,  මෙදා  “ආර්ථිකයෙන් රට ගොඩයන්න නොදෙන සිංහල බෞද්ධ ත්‍රස්තවාදය” වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

එබැවින් ඝනීභූත මතවාදයන්, ආකල්පයන්ගෙන් මිදී, කිසිදු ජාත්‍යන්තර උදව් උපකාර නොලබා රටේ හතර දිග්බාගයේ මනුෂ්‍ය ආත්මය ලැබ තිරිසනුන් නොවූවන්ටයි දෙපයින් නැගී සිටිමින් මේ අහියෝගයන්ට මුහුණ දෙන්න වෙන්නෙ. ඒක පාර්ලිමේන්තු යන්න නෙමේ. ගලීලයේ වහලුන් වෙනුවෙන් යේසුස් වහන්සේ කළා වගේ, ග්‍රීසියේ වහලුන් වෙනුවෙන් ස්පාටකස් කළා වගේ මනුෂ්‍යත්වය නූතන වහල් භාවයෙන් ගලවා ගන්න කරන උදාර සටනක්.
නැතිනම් වෙන්නේ “මිනීමල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි” කියමින් හි‍රගෙවල් හා වධකාගාර ගානෙ, ඉස්පිරිතාල ගානෙ බඩ ගාන්නත්, මිනී පෙට්ටි උස්සාගෙන යන්නත් විතරයි.

-ඥානසිරි කොත්තිගොඩ