දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම.

2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු.

3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ පැවැත්වීම සහතික කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. එය පරිධියේ ආර්ථික සංවර්ධනයද වේගවත් කරයි. ඒ අනුව සියලුම පළාත්වල නිසි කලට මැතිවරණ පැවැත්වීම සඳහා උද්ඝෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ‍ සියළු ප්‍ර‍ජාතන්ත්‍රවාදී පක්ෂත්, සමාජ සහ දේශපාලන ක්‍රියාකාරීන් සමඟත් වැඩ කිරීමට දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය(SDPT) උත්සාහ කරනු ඇත.

4. දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SDPT) පහත සඳහන් අරමුණු ඇතිව දෙමළ, සිංහල, මුස්ලිම් සහ උඩරට ප්‍රජාවන් අතර වැඩ කරන ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් එක්සත් ක්‍රියාමාර්ගවල නියැලෙනු ඇත.

  • පළාත් පාලනය ශක්තිමත් කිරීම,
  • සියලුම ප්‍රජාවන් සඳහා සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉල්ලා සිටීම සහ
  • ආන්ඩුව සහ සිංහල සහ දෙමළ ස්වෝත්තමවාදී පක්ෂ විසින් සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් හෑල්ලුවට ලක් කරන ඕනෑම උත්සාහයකට විරුද්ධ වීම.

5. පසුගිය වසර 46ක කාලය තුළ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කළ යුතුය. අනාගතයේදී මෙවැනි පනත් ගෙන ඒමට අපි විරුද්ධ වන්නෙමු. සියලුම දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමු.

6. පසුගිය ශතවර්ෂ දෙක තුළ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලබා දුන් වතු කම්කරුවන්ට තවමත් ඉඩම් අයිතියක්, ආර්ථික සුරක්ෂිතභාවය හෝ තැපැල් ලිපිනයක අයිතියක්වත්  නොමැත. මේ ජනතාවට ස්වාධීනව තම ජීවිතය ගොඩනගා ගැනීමට හැකි වන පරිදි රජය නොපමාව ඉඩම් ලබා දිය යුතුය.

7. ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික සහ බහු ආගමික ජාතියක් බව සහතික කිරීමට ව්‍යවස්ථාමය සහතික තිබිය යුතුය. එය කිසිම ජන කොටසකට තර්ජනයක් නොවිය යුතුයි.

8. රජයේ ප්‍රමුඛතාවන් විය යුත්තේ සෑම පුරවැසියෙකුගේම මූලික අවශ්‍යතා දැරිය හැකි මිලකට ලබා ගත හැකි බව සහතික කිරීමයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා රාජ්‍ය සේවාවන් ලෙස පැවතිය යුතුය. මෙම අත්‍යාවශ්‍ය සේවාවන් පෞද්ගලීකරණය කිරීමෙන් අති බහුතරයකගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරනු ඇත. රැකියා විරහිතයන් සහ සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස් සඳහා ප්‍රමාණවත් සුබසාධන ප්‍රතිපාදන තිබිය යුතුය.

9. කෘෂිකාර්මික, කාර්මික සහ ධීවර යන ක්ෂේත්‍රවල වැඩ කරන සියලුම ජනතාවට සතුටුදායක සමාජ ආරක්ෂාවක් ලබාදීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුය.

10. රාජ්‍ය ආයතන සහ ආගමික ආයතන ඇතැම් විට ආරක්‍ෂක අංශ යොදා ගනිමින් විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක නියැලී සිටින අතර මෙම තත්ත්වය එම ප්‍රදේශවල ජනතාවගේ පැවැත්මට තර්ජනයක් වනවා මෙන්ම එම ජනතාවගේ ආර්ථික අවස්ථා අහිමි කරයි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල මේ ඉඩම් කොල්ලකෑමේ වැඩපිළිවෙළ වහා නතර කළ යුතුය.

11. අසමානුපාතික ප්‍ර‍මාණයෙන් හමුදා සහ ආරක්‍ෂක අංශ ස්ථානගත කර තබා ගැනීම හා ආරක්ෂක අංශ විසින් විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටීම, උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ කනස්සල්ලට ප්‍රධාන හේතුවකි. මෙය උතුරු-නැගෙනහිර ජනතාව අතර අනවශ්‍ය සැකයන්, කලකිරීම් සහ නොසන්සුන්තාව ඇති කරයි. මෙය ප්‍රජා සබඳතාවලටද බලපාන අතර ආර්ථිකයේ ගරාවැටීමටද බලපායි. මේ නිසා එම ප්‍රදේශවල ආරක්ෂක අංශවල පුද්ගල සංඛ්‍යාව අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

12. දිගුකලක් පැවති යුද්ධයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විපතට පත් වූවන්ගේ පවුල්වලට ඉමහත් පීඩාවක් ඇති කරයි. ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා මෙම ප්‍රශ්නයට වහා විසදුම් ලබාදීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, අනාගතයේදී එවැනි උල්ලංඝනයන් වැළැක්වීම සඳහා සුදුසු ව්‍යවස්ථාදායක සහ ආයතනික යාන්ත්‍රණයක් ඇති කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

13. මෑත කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙමින් පවතින අතර එමගින් අපගේ සමාජ දේහය විනාශ කරයි. මේ පිළිබදව ප්‍රජාව තුළ දැනුවත්භාවය වැඩි කිරීමට පියවර ගත යුතු අතර තත්ත්වය පාලනය කිරීම සඳහා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ විශේෂ ක්‍රියාමාර්ග ගත යුතුය.

14. කුල භේදය අපේ සමාජය තුළ, විශේෂයෙන්ම උතුරු පළාතේ ශාපයක් වන අතර, ජනතාව දුක්ඛිත තත්ත්වයට පත් කිරීම සහ අයිතිවාසිකම් සහ ගෞරවය අහිමි කිරීම සඳහා වර්ණභේදවාදී භාවිතයට නොඅඩු භාවිතයක් වේ. මේ පිළිබදව සියලුම ප්‍රජාවන් අතර දැනුවත්භාවය ඇති කිරීම අවශ්‍ය වන අතර පැරණි වැඩවසම් සමාජවල සිට පැවත එන මෙම භාවිතයන්ට එරෙහිව සටන් කිරීම සඳහා සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. එවැනි අඩු සැලකිළි දැක්වීම් ප්‍රවර්ධනය කරන්නන්ට දඬුවම් කිරීම සඳහා දැඩි නීති සම්පාදනයක අවශ්‍යතාවය ද පවතී.

15. අපේ සමාජයේ කාන්තාවන් විවිධ තාඩන පීඩනවලට සහ වෙනස්කම්වලට ලක් වෙති්. මෙයට එරෙහිව සටන් කිරීමට අපට බලවත් සමාජ ව්‍යාපාරයක් අවශ්‍යය වන්නේය. සමාන අවස්ථා සම්බන්ධ නීති ශක්තිමත් කිරීම සහ ඡන්දයෙන් තේරී පත් වූ සභාවල සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සමාන කාන්තා නියෝජනය සහතික කිරීමේ අවශ්‍යතාවයක් පවතී.

16. දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු සහ මරණ සංඛ්‍යාව කනස්සල්ලට හේතු වන බරපතල කරුණකි. මේ සදහාවූ නියාමන විධිවිධානවල ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට පියවර ගත යුතුය. මීට අදාළ දෙපාර්තමේන්තු සහ ප්‍රජා සංවිධානවල සම්බන්ධීකරණ ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය ද පවතී.

17. සියළුම ජන කොටස්වලට අයත් ජාතිවාදී දේශපාලන බලවේග විසින් ශ්‍රී ලාංකීය ජනතාව බෙදා වෙන් කරන ලදී. තිස් අවුරුදු සිවිල් යුද්ධය වාර්ගික සංහිඳියාවට තවදුරටත් හානි කළේය. යුද්ධය අවසන් වූ දා සිට, ප්‍රජාවන් අතර අවබෝධය ශක්තිමත් කිරීමට හෝ සියලු ප්‍රජාවන් සඳහා සමානාත්මතාවය තහවුරු කිරීමට හෝ කිසිදු බැරෑරුම් උත්සාහයක් ගෙන නොමැත. මෑත කාලීනව ආගමික ගැටුම් ඇති කිරීමට සියලු ජන කොටස්වලට අයත්  ඇතැම් පුද්ගලයන්ගේ උත්සාහයක් ද පවතී. මෙම අඛණ්ඩ ප්‍රවණතාවයට එරෙහිව සටන් කිරීම සඳහා සියලූ ප්‍රගතිශීලී බලවේග සහ සමාජ සමානාත්මතාවය වෙනුවෙන් කැපවී සිටින සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතුය.

18. “අරගලය” නැඟිටීමේ ජනතා අභිලාෂයන් අපි පිළිගනිමු. එය මූලික වශයෙන් පාලක පංති ප්‍රභූන්ගේ දූෂණයට, ඥාති සංග්‍රහයට සහ මේවා නිසා ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට එරෙහිව අවධානය යොමු කළ ව්‍යාපාරයක් වූයේ ය. එහි සීමිත සාර්ථකත්වය නොතකා එම දූෂිත පාලක දේශපාලන පන්තීන්ම ආන්ඩුවේ පාලනය තුළ තවමත් රැදී සිටිති. දූෂණය සහ පාලකයන්ගේ බලතල අවභාවිතය දිගින් දිගටම සිදුවුවහොත් නැවත කැරැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැක.

19. මෙම කලාපයේ ධීවර සම්පත විනාශ කරන බොටම් ට්‍රෝලිං සහ වෙනත් නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම භාවිතය වහාම නතර කළ යුතුය. ධීවර ප්‍රජාව අතර පවතින ආරවුල් විසඳා ගත යුත්තේ සියලුම පාර්ශ්වකරුවන් අතර සාකච්ඡා මාර්ගයෙනි. දේශසීමාවේ දෙපස සිටින ධීවර ප්‍රජාවන් අතර සුහදව සමථයකට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි තමිල්නාඩු රජයෙන් ඉල්ලා සිටිමු. ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝණය කිරීම සහ කච්චතිව් ප්‍රශ්නය ධීවරයන්ගේ එදිනෙදා ප්‍රශ්නවලට සම්බන්ධ නොකළ යුතුය. එසේ කිරීමෙන් මෙමය ගැටලු තව තවත් අවුල් කරනු ඇත.

20. වර්තමාන ලෝක පර්යාය තුළ, ධනවතුන් පොහොසත් වන අතර ජනගහනයෙන් අතිමහත් බහුතරයක් දුක් විඳිමින්, කුසගින්නෙන්, දරිද්‍රතාවයෙන්, විරැකියාවෙන්, ණයට හිර වී, බිහිසුණු තත්වයන් යටතේ ජීවත් වෙති. මෙම ලෝක පිළිවෙල වෙනස් කළ යුතු අතර, දුක්විඳින බහුතරයකගේ අවශ්‍යතා සඳහා සේවය කරන නව ලෝක පිළිවෙලක් ස්ථාපිත කිරීමට අපි අපේක්ෂා කරමු.

21. පලස්තීනුවන් සියොන්වාදී පාලනයේ ආක්‍රමණවලට සහ ජන සංහාරයට ලක්වන බව පැහැදිලි කරුණකි. 1948 සිට පලස්තීනුවන් දස දහස් ගණනක් ඝාතනය කර ඇත. මෙම ගැටුම සියළුම බටහිර ආසියාතික රටවලටම බලපායි. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ මිලිටරි ආක්‍රමණ වහා නැවැත්වීම සහ කලාපයට ස්ථිර සාමයක් ගෙන ඒම සඳහා රාජ්‍ය දෙකක් ඇති කිරීමේ විසඳුම පිළිගනු ඇතැයි අපි විශ්වාස කරමු.

22. මිනිසුන් විසින් වගකීම් විරහිතව පරිසරය සූරාකෑම නිසා පෘථිවිය ශීඝ්‍රයෙන් වාසයට නුසුදුසු තත්ත්වයට පත්වෙමින් තිබේ. පරිසරය ආරක්ෂා කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු අතර දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සාමූහික සෘජු ක්‍රියාමාර්ග දියත් කිරීමේ අවශ්‍යතාවයක් පවතී.

23. මානව වර්ගයාගේ සාමය, සමාජ සමානාත්මතාවය, නිදහස, ස්වාධීනත්වය සහ සහෝදරත්වය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන ලෝකයේ සියලුම පුද්ගලයින් සහ සංවිධාන සමඟ ශක්තිමත් ක්‍රියාකාරී සබඳතා ගොඩනඟා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට අපගේ පක්ෂය උත්සාහ කරනු ඇත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ වැඩසටහන් සඳහා කැපවී සිටින රටවලින් සහ ආණ්ඩුවලින් සහ දේශපාලන පක්ෂවලින් පාඩම් ඉගෙන ගැනීමට අපි උත්සාහ කරන්නෙමු.