Originally From: https://vivaranalk.com/අරගලයට-තවත්-අභියෝගවලට-මු/

විධායක ජනාධිපති තනතුර අත් නොහැරිය ද ගෝඨා ගමත් රටත් හැර අතීතයේ ශ්‍රී ලංකාවත් සමග සමීප සබඳතා තිබුණු මාලදිවයිනට පලා ගියේය. කලින් පුරවැසි භාවය ලබා දුන් ඇමරිකාව දැන් ඔහුට වීසා හෝ ලබා දීමට සූදානම් නැත. අවසානයේ දී මුස්ලිම් රටකට අයත් ගුවන් යානයකින් මුස්ලිම් රටකට සිදු විය. මෙහිදී මුස්ලිම් යන්න විශේෂයෙන් අවධාරණය කෙළේ ඔහු සිංහල බෞද්ධකම පලිහක් කර ගත් ජාතිවාදී නායකයෙකු වූ නිසාය. අවසානයේ දී ඔහු පරිභව කළ, නොසලකා සිටි මුස්ලිම් රටක පිහිට පැතීම සැබැවින්ම දෛවයේ සරදමකි. අන්තවාදී ජාතිවාදීන්ගේ උරුමය එයයි.

ගෝඨා රටින් පැන ගියේ ජාතික දේශපාලනයට තවත් පිළිකා කාරක එන්නතක් ලබා දීමෙනි. ඒ කිසිම ආකාරයේ ජනවරමක් නැති, රට මුහුණ දී ඇති බරපතළ තත්වය ගැන තැකීමක් නැති රනිල් වික‍්‍රමසිංහ වැඩ බලන ජනාධිපති තනතුරට පත් කිරීමෙනි. ඒ පිළිබඳව බෙහෙවින් ප්‍රමාද වී ගැසට් නිවේදනයක් නිකුත් වුවද එම පත්වීම නිල වශයෙන් සිදු වූවාද යන්න සැක සහිතය. කෙසේ වුවත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති තනතුරට අයත් බලතල යටතේ හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පැනවීමට සූදානම් ය. එමෙන්ම අගමැතිවරයෙකු නම් කරන ලෙස පාර්ලිමේන්තුවේ කතානායකට ද නියෝගයක් නිකුත් කර ඇත. කතානායක එම නියෝගය ක්‍රියාත්මක කරන ආකාරය ගැන අරගලයට එක් වූ මහජනතාව උනන්දුවෙන් බලා සිටිති. ඒ ඔවුන්ට කිරි පිටි, ගෑස්, ඉන්ධන මෙන්ම ජීවන මාර්ග අහිමි කළ දුර්දාන්ත පාලනයෙන් නිදහස් වන්නේ කෙසේද යන්න වැදගත් නිසාය.

මේ රටේ සුවහසක් ජනතාව ලක්ෂ ගණනින් මහ මගට බැස්සේත් දිවි පරදුවට තබා උද්ඝෝෂණය කෙළේත් ගෝඨා පාලනයෙන් අහිමි කළ තම ජීවිත ආපසු ලබා ගැනීමට ය. එම අවශ්‍යතාවය අරගලයට නායකත්වය දුන් තරුණ ශිෂ්‍ය කොටස් කැටි කර දැක් වූයේ ගෝටා ගෝ හෝම් සටන් පාඨයෙනි. අව් වැසි නොතකා ? දහවල් නොබලා ඔවුන් ගාලූ මුවදොර කඳවුරු ලා සිටියේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ය. ඔවුන්ගේ සහායට සමාජයේ ඉහළම පංතිවල සිට නාගරික දුප්පතුන් දක්වා සියලු ජන කොටස් ඉදිරිපත්වීම අරගලයට එක් වූ සෑම ජන කොටසකටම මහත් ශක්තියක් මෙන්ම ආශ්වාදයක් විය. දිවා ? එහි රැඳී සිටි අරගලකරුවන්ට ආහාර පාන බෙහෙත් හේත් මෙන්ම නීතිමය ආරක්ෂාව ලබා දීමට ද විවිධ තරාතිරම්වලට අයත් ව්‍යාපාරිකයන් මෙන්ම වෘත්තිකයන් ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙනි. එය එක්තරා ආකාරයකින් සියලු ජන කොටස් සහභාගි වූ සියලු දෙනාගේම අරගලයකි. එය දෙවන නිදහස් සටනක් වන්නේ එම අර්ථයෙනි. වසර හැත්තෑ හතරකට පෙර බ්‍රිතාන්‍යයන්ගෙන් ලබා ගත් නිදහස ජාති ආගම් භේද නොතකා සියලු දෙනාටම සමානවත් සාධාරණවත් අර්ථවත් කිරීමට ගත් උත්සාහයකි.

ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් නොවුවත් භාවිතයෙන්ම සියල්ල අතහැර මහ ? කාටත් නොදන්වා ගුවන් හමුදාවේ සහායෙන් රටෙන් පලා යෑම අරගලයේ වැදගත් සන්ධිස්ථානයකි. ගෝඨා පැන යෑමෙන් අරගලකරුවන්ගේත් රටේ මහජනතාවගේත් අපේක්ෂා සම්පූර්ණ වන්නේ නැත. එක අතකින් ගොඨාට නොදෙවෙනි පුද්ගලයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් ප්‍රතිපාදනයක් අනුව වැඩ බැලීමට පත්ව සිටී. කිසිදු ජනවරමක් නැති වුවද ඔහු එම තනතුරට පත්වීම නිසා දේශපාලනයටත් ආර්ථිකයටත් කළ හැකි හානිය සුළු පටුවෙන් තැකිය නොහැකිය. බටලන්ද වධකාගාරයට සහ භාණ්ඩාගාරයේ බැඳුම්කර වංචාවට සම්බන්ධකම් ඇති මෙම පුද්ගලයාගෙන් ඊට වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. ඔහු දුර්වල නායකයෙකු වුවද කඩදාසි කොටියෙකු සේ සැලකීම භයානක ය. එමනිසා බරපතළ අභියෝගය ජයග්‍රහණය කෙළේයැයි විරාමයක් ගැනීමට හෝ උදම් ඇනීමට තත්වයක් තවම නැත.

2022July15[1]_money_back

විධායක ජනාධිපතිකම රටේ පවතින අනෙකුත් නීති රීති සහ සම්ප‍්‍රදායන් නොතකා තමන්ට රිසි දෙයක් කැමති ආකාරයට කිරීමට වරමක් කර ගත් ගෝඨා පලවා හැරීම සැබැවින්ම ජයග‍්‍රහණයකි. එහෙත් එය සම්පුර්ණ වන්නේ එම දුර්දාන්ත පාලනය සංඛේතවත් කරන අනෙකුත් ලක්ෂණ ද පරාජය කිරීමෙනි. එය ගෝඨා පලවා හැරීමට වඩා දුෂ්කර අසීරු කාර්යකි. එම දුෂ්කර කාර්ය සාර්ථක කර ගත හැකි වන්නේ අරගලයට ශක්තියක් මෙන්ම ධෛර්යක් වූ බලවේග වඩාත් දැඩිව පෙළ ගැසීමෙන් සහ තමන් ගැන අධිතක්සේරුවකින් කටයුතු කිරීම අතහැරීමෙනි.

මෙවැනි බහුජන අරගලයක් ජයග්‍රහණය කරා ගෙන යෑමේ දී පසු කළ යුතු කඩඉම් ගැන මනා අවබෝධයක් එහි නායකත්ව භූමිකාවක් ඉටු කරන පුද්ගලයන් සහ සංවිධාන තුළ තිබිය යුතුය. එක් තීරණාත්මක ජයග්‍රහණයකින් උදම්ව තම තමන් අතර ඇති සමහර වෙනස්කම් සහ නොඑකඟතා පෙරට ගෙන කටයුතු කිරීම අරගලයට පසුබෑමක් වන අතර එහි සැබෑ ශක්තිය වූ ලක්ෂ සංඛ්‍යාත මහ ජනතාව දුර්මුඛ කිරීමට ද හේතුවක් වනු ඇත. සාමකාමී අරගලයක් සාර්ථක කිරීමට නොසෙල්වන කැපවීමකින් යුත් නායකත්වයක් මෙන්ම ඔවුන්ට නොපසුබටව සහාය දෙන ජනතාවක් ද අනිවාර්ය ය. පරමාර්ථ කෙතරම් උත්තුංග වුවද, කැපවීම අසිමිත වුවද ජනතාවගේ අකලංක සහාය නොලැබූ අරගල ඛේදවාචකයකින් අවසන් වූ අවස්ථා ඉතිහාසයේ අපමණ ඇත.

එමනිසා අරගලයේ සැබෑ ශක්තිය සහ ගාමක බලවේගය වූයේ කුමක් ද යන්න මෙම තීරණාත්මක අවස්ථාවේ දී පැහැදිලි කර ගැනීම අතිශයෙන් වැදගත් ය. ඉහතින් සඳහන් කළ ආකාරයට අරගලයේ ඉදිරියෙන්ම සිටි තරුණ ශිෂ්‍ය කොටස් ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂණයට කළ කැපවීම ඉතිහාසයේ අමරණීය වනු ඇත. එහෙත් ඔවුන්ට අමරණීයත්වයක් ලබා දෙන්නේ නමක් ගමක් නැති පෙනුමක් හැඩයක් නැති සුවහසක් ජනතාව බව කිසිසේත් අමතක නොකළ යුතුය. රාජපක්ෂලාගේ ආශීර්වාදය ලැබ අරලියගහ මන්දිරයෙන් මුදා හළ මැර කණ්ඩායම් මයිනා ගෝ ගමටත් ගෝටා ගෝ ගමටත් පහර දෙන විට වේදනාවට පත් වූයේ එහි සිටි පිරිස් පමණක් නොවේ. එම කුරිරු කි‍්‍රයාව රූපවාහිනී නාලිකාවලින් නැරඹූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දුක් සුසුම් ජුලි නම වැනිදා කුණාටුවට එක් වූ බව සිහිපත් කළ යුතුය. කඳුළු ගෑස් වැසි වරුසා වැස්ස වුවද අවිගත් සන්නද්ධ හමුදා පසු බැස්සවීමට අරගලයේ සාධාරණත්වය මෙන්ම අවිහිංසාවාදී බව හේතු වූ බවද සිහිපත් කළ යුතුය.

අරගලයේ ඉදිරි මග සැලසුම් කිරීමේ දී මේ කරුණු අමතක කිරීම මහත් ඛේදවාචකයක් වන බව නිසැකය. 

සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් ජනතාව අරගලයට සහාය දුන්නේ පැහැදිලිවම එය සාධාරණ අවිහිංසා කි‍්‍රයා මාර්ගයක් නිසා ය. දූෂණය වංචාව හොරකම් සහ මැරකම් ඉහවහා ගිය සමාජයකට අවශ්‍ය වන්නේ සාධාරණත්වයයි. ගෝටා ගෝ හෝම් සටන් පාඨයෙන් සංඛේතවත් වන්නේ එම අපේක්ෂාවයි. එය සම්පූර්ණ වන්නේ ගෝඨා පලවා හැරීමෙන් පමණක් නොවේ. එවැනි පුද්ගලයන් බිහිවීමට ඉඩ සැලසූ සමාජ ආර්ථික මෙන්ම දේශපාලන පසුබිම ද වෙනස් විය යුතුය. එම වෙනස ඇති කිරීම ගෝටා පලවා හැරීමටත් වඩා දුෂ්කර වෙහෙසකර ක්‍රියාවකි. ඒ සඳහා අරගලයේ දී දැක් වූ උනන්දුව සහ කැපවීමට අමතරව විවිධ මත දරන විවිධ තරාතිරම් සහ වුවමනාවන් ඇති ජන කොටස් සමග වැඩ කිරීමට අවශ්‍ය පරිචයක් ද ගොඩ නගා ගත යුතුය.

ඇත්තෙන්ම අරගලයේ උච්චතම අවස්ථාවේ දී එහි නායකත්වය තුළ මෙම ගති ලක්ෂණ මැනැවින් තිබුණ බව දක්නට ලැබිණ. මතවාදී වෙනස්කම් ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව සාකච්ඡා සංවාද මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සම්මුතිකාමීව විසඳා ගැනීමේ සහ විරුද්ධ මතයට ගරු කිරීමේ සම්ප්‍රදායක් ගොඩ නැගෙමින් තිබිණ. තමන්ගේ හෝ සංවිධානයේ වුවමනාව කුමක් වුවද පොදු අරමුණට ඇති කැපවීම ඒ සියල්ලට වඩා වැදගත් බවට පිළිගැනීමක් තිබිණ. ඒ සඳහා ඔවුන් පෙළඹ වූ වැදගත්ම සාධකය වූයේ මුහුණ දීමට තිබු අභියෝගයේ බරපතළ කමයි. ඔවුහු ගෝටා ගෝ හොම් සටන් පාඨයෙන් ගාලු මුවදොර සිසිල් කළ මන්ද මාරුතය උණුසුම් කළහ. ඒ රාජපක්ෂ යන නම පවා ගුරුවරු, දෙවිවරු යන තැන්වල යෙදෙන ප‍්‍රත්‍යය එකතුකර රාජපක්ෂවරුන් යන නාමයෙන් හැඳින් වූ යුගයේ ය. එම අභීත හඬ නැංවීමේ ගෞරවය ඔවුන්ට අනිවාර්යෙන්ම හිමි විය යුතුය.

අරගලකරුවන්ට එම ධෛර්ය සහ ශක්තිය ලැබුණේ සටනට ආශීර්වාද කළ ජනතාව තුළින් බවද අමතක නොකළ යුතුය. ජනතාව ඔවුන්ට ආශීර්වාද කෙළේ ඔවුන්ගේ අරගලය තමන්ගේම අරගලය සේ හැඳින ගත් නිසාය. ජනතාවට ඔවුන් සමග අනන්‍යවිමට හැකි වූයේ සටන් පාඨයට අතරව අරගලකරුවන් තුළ පැවති සාමකාමී, සම්මුතිවාදී සහජීවන වැඩ රටාව නිසා ය. එම වැඩ රටාව බිහි වූයේ ඉහතින් දැක් වූ ආකාරයට සාකච්ඡාව හා සංවාදය තුළින් සම්මුතියක් ඇති කිරීමේ භාවිතය ප්‍රගුණ කළ නිසාය. එය මෙතෙක් අපේ රටේ වෙනත් දේශපාලන හෝ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් තුළ නොපැවති ගුණයකි. අපේ දේශපාලන උරුමයත් සම්ප්‍රදායත් වූයේ විරුද්ධ මත බැහැර කිරීම ය. බොහෝ විට එය ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් සිදු විය. මතවාදයෙන් පෝෂණය වූ වාමාංශික දේශපාලන පක්ෂ මෙන්ම සංවිධාන කැබලිවලට කැඞී ගොස් අතුරුදහන් වූයේ එම සම්ප්‍රදාය නිසාය.

තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති මෙම මොහොතේ අරගලයේ මුල් කාලයේ ප්‍රායෝගික අවශ්‍යතාවය නිසාම භාවිතයට ගත් සාකච්ඡාව සංවාදය සහ අවසානයේ සම්මුතියක් ඇති කර ගැනීමේ සම්ප‍්‍රදාය වඩාත් වැඩි කැපවීමකින් තහවුරු කර ගත යුතුය. එය අලූත් භාවිතයක් නිසා පහසු සරල කාරණයක් නොවනු ඇත. එහෙත් ඉන් බැහැර වුවහොත් මෙතෙක් පැවති සම්ප‍්‍රදායික දේශපාලන ව්‍යපාරවලට අත් වූ ඉරණම අරගලයටත් උරුමවීම වැළැක්විය නොහැකිය.

ඔබ සාමුහිකව දිනා ගත් ජනප‍්‍රසාදය දිගටම පවත්වා ගැනීම ඔබගේත් ජනතාවගේත් යහපතටම හේතු වන බවට කිසිදු සැකයක් නැත.  

Mahinda Hattaka

Mahinda Hattaka

       

Categories: Views

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published.