රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

ආණ්ඩුව මේ මොහොතේ තම මර්දනයේ දෑත් අරගලයේ දිසාවට යොමු කොට ඇත. විශේෂයෙන්ම අරගලයට නායකත්වය දෙන සංවිධාන හා තනි පුද්ගල චරිත වටා ද කැරකෙමින් ඔවුන් දඩයම් කිරීමට මාන බලමින් සිටී. අරගලය ආරම්භයේ පටන් එහි තොරතුරු වාර්තා කරමින් හා සංවිධාන කටයුතුවලට මැදිහත්වෙමින් සිටි මාධවේදී තරිදු උඩුවරගෙදර සීඅයිඩියට කැදවා ප්‍රශ්න කළේය. ඒ ඔහු පවත්වාගෙන යන මාධ්‍ය චැනල වෙත ඔහු මුදා හැර ඇති වීඩියෝ සහ ඒවාට යොදා ඇති මාතෘකා සම්බන්දයෙන් ප්‍රශ්ණ කිරීමටය. තම දෑත් මත තීන්ත ආලේප කරගනිමින් නිර්මාණශීලී ලෙස තම විරෝධය ප්‍රකාශ කළ උද්ඝෝෂකයන් පිරිසක් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ සියලු දෙනා වත්මන් ආණ්ඩුවට තම විරෝධය දක්වා ඇත්තේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව තම නිර්මාණකරණයන් භාවිතා කරමින් වීම විශේෂය. ආණ්ඩුව විසින් අරගලයට එරෙහිව ගෙනයන සෑම ආකාරයකම මර්ධනය අප විසින් දැඩි ලෙස හෙළා දකින අතර ආණ්ඩුව නිර්මාණකරුවන් ඉලක්කකොට ගෙන යන මර්ධනයටද අප එලෙසින්ම විරුද්ධ වන්නෙමු.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේම කලාකරුවන් හා නිර්මාණකරුවන් තම ප්‍රචාරක වැඩ පිළිවෙලේ ඉදිරියෙන්ම තබා ගෙනය. ආණ්ඩුව බලයට පත්වූ ආසන්නයේම ගම් දනවුවල තරුණයින් තම හැඟීම් ප්‍රකාශ කළේ තාප්පවල බෝක්කුවල චිත්‍ර ඇඳීමෙනි. රාජපක්ෂවරුන් බලයට ඒම වෙනුවෙන් වේදිකාවල පට්ට ගැසූ ලංකේය අභිමානය, නිවහල්කම, අදීනත්වය වැනි තේමාවන් එදා බොහෝ නිර්මාණවලට තේමාවන් සපයා තිබුණද අද තත්ත්වය ඊට වෙනස්ය.

කලාව හා සාහිත්‍ය යනු හුදෙක් කලාකරුවන්ගේ මනසේ මැවෙන සිතුවිලි සමුදායක් පමණක් නොව, එය ඔවුන් (නිර්මාණකරුවන්) යථාර්ථය ග්‍රහණය කර ගැනීමට දරන උත්සාහයක ප්‍රතිඵලයකක්ද වේ. එනම් කලාකරුවාගේ නිර්මාණය වනාහී ඔහුගේ සිතේ මැවෙන සංකල්ප රූප ලෙස නොව එය ඔහු මුහුණ දෙන සමාජ යථාර්ථයයි. රටේ ණය අර්බුදය, විදේශ විනිමය අර්බුදය, අධි උද්ධමණය, දරාගත නොහැකි බඩු මිළ හා මිනිසුන් මියෑදෙන භාණ්ඩ පෝලිම් අද අප මුහුණදෙන යථාර්ථයේ කොටස්ය. මේ නිසා කලාකරුවන් / නිර්මාණකරුවන් ඒවාට සවේදීවීම ස්වාභාවිකය.

ගෝල්ෆේස් අරගල බිමේ රැඳී සිටින සාමාන්‍ය ජනතාවත්, අරගලයට සම්බන්ද වෘත්තීමය කලාකරුවනුත් අතින් නිර්මාණය වූ විවිධ කලා කෘති අරගල බිමේ දක්නට ඇත. ඒ සියල්ලක්ම ප්‍රශ්ණ කරන්නේ මේ මොහොතේ අප මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලුය. අරගලය තුලින් මතුවන කලා කෘති යනු එම අරගලයේ හා අරගලයට මුල් වූ හේතූන්ගේ ප්‍රකාශනයන්ය. මැයි 9 දා අරගල බිමට කඩා වැදුන ආණ්ඩුවේ මැර කණ්ඩායම් ඒ සියල්ලද විනාශ කර දැමීය. ධනපති රාජ්‍යටත් එහි මර්ධන යාන්ත්‍රණයටත් කලාව හා කලා කෘතීන් යනු තමන්ට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක තලා පොඩිපට්ටම් කල හැකි දේකට වැඩි දෙයක් නොවන බවට අපට ඉතිහාසය පුරාම පන්වා දී ඇත.

ගෝඨාභය විසින් කලින් තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයින්ට නැවතත් ආරාධනය කර සිටියේ වැඩි ඈතක නොවේ. පෙනෙන ලෙසට ඔහුගේ උවමනාව ජනතාවට නිදහසේ අදහස් කියා පෑමට ඉඩ දීම නොව ජනතාව තව දුරටත් ඔහුගේ 2019 ජනාධිපතිවරණ වේදිකාව විසින් මවන ලද මුළාව තුළ ජනතාව රඳවා තැබීමයි.

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ගැන මහා ඉහළින් පාරම්බාන ධනපති ක්‍රමය තම ආධිපත්‍ය ප්‍රශ්න කෙරෙන ඕනෑම අවස්ථාවක එම නිදහස උදුරාගන්නේ මේ අකාරයටය.

“නව නිදහස් ලෝකය” ලෙස තමන් විසින්ම හඳුන්වා ගන්නා දියුණු ධනේශ්වර රටවලදී පවා කලාව හා ප්‍රකාශනයේ නිදහස ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට යටත් කොට ඇත. ජුලියන් අසාන්ජ් සහ එඩ්වඩ් ස්නෝඩන් විසින් ලෝකයේ බලගතු රාජ්‍යන් හා ඒවාට සම්බන්ධ ඔත්තු සේවාවන්, මාධ්‍ය වල තොරතුරු හෙළිකිරීමත් සමඟ ඔහුන් පසු පස පවා පිස්සු බල්ලන් මෙන් පන්නමින් සිටීම පෙන්නුම් කරන්නේ ඊනියා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාරම්බාන දියුණු ධනේෂ්වර රටවල අර්බුදයේ නිරුවතයි.

ට්‍රොට්ස්කිට අනුව; “ධනේශ්වර සමාජයේ පරිහානිය යන්නෙන් අදහස් කරන්නේ, සමාජ ප්‍රතිවිරෝධතා නොඉවසිය හැකි තත්ත්වයකට උග්‍රවීමක් වන අතර, ඒවා නොවැලැක්විය හැකි ලෙසම පුද්ගලයන් අතර ප්‍රතිවිරෝධතා බවටද පරිවර්තනය වී කිසිදා නොමැති ආකාරයකින් කලාවේ විමුක්තිය වෙනුවෙන් වන දැවෙන ඉල්ලීම්වලට ඉඩ විවර කරයි. තවද, පිරිහෙමින් පවතින ධනවාදය විසින්, කොතරම් සුළු වශයෙන් වුවද අපගේ යුගය තුළ කලාවේ විවිධ ප්‍රවනතා වර්ධනය කිරීම සඳහා වුවමනා අවම තත්ත්වයන් ඇති කිරීමට හෝ සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇත. එය සෑම අලුත් වචනයක් පාසා අවතාරයක් දුටු කලක මෙන් බියපත් වන්නේ, ඒවා තවදුරටත් ධනවාදයට නිවැරදි කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ කාරණයක් නොව, තම ජීවිතය හා මරණය පිළිබඳ කාරණයක් වීම නිසාවෙනි. පීඩිත ජනතාවට ඔවුන්ගේම වූ ජීවිතයක් පවතී. ….. සංස්කෘතියේ වඩාත්ම සංකීර්ණ, වඩාත්ම සංවේදී හා ඒ සමඟම අවම ආරක්ෂාවක් සහිත කොටස වන කලාව, ධනේශ්වර සමාජයේ පරිහානිය හා දිරාපත්වීමෙන් වැඩිපුරම පීඩා විඳිති.” අද අප මුහුණ දී සිටින්නේ මෙම යථාර්ථයටයි.

කලා කරුවා කලාවේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ගෙනයන සටනේදී තවදුරටත්, ධනේෂ්වර රාජ්‍යයේ හා එහි පාලනයේ සීමාවන් වටා පමණක් කරැකැවෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කොටස් පිටුපස ගමන් කිරීම හෝ යල් පැනගිය ජාතිකවාදය කරා ආපස්සට ගමන් කිරීම ප්‍රයෝගික නොවන්නේ ද මේ හේතුවෙනි.

කලා නිර්මාණයේ හා ප්‍රකාශනයේ පරිපූර්ණ ස්වාධිනත්වයක් වෙනුවෙන් අප කොන්දේසි විරහිතව පෙනි සිටින්නෙමු. ඒ එය යම් ආචාරධාර්මික ක්‍රියාවක් ලෙස නොව ඵෙතිහාසික වශයෙන් ගත් කල දිරාපත්වී යන ධනපති ක්‍රමයට විරුද්ධව කරන අරගලයට කලාවේ නිදහස තීරණාත්මක සාධකයක් වන බවත් කලාවේ පූර්ණ නිදහස ධනවාදයට විරුද්ධව ගෙන යන අරගලය හා බැදී ඇති බවත් අවබෝධ කර ගන්නා නිසාය.

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වන සටන, මිලෙච්ඡ ධනපති ක්‍රමයටත්, පසුගාමී ජාතිකවාදයටත් විරුද්ධව, වැඩකරන පංතිය ගෙන යන සටන වටා සංවිධානය වෙමින් හා එම සටන පෙරටු කර ගනිමින් ඉදිරියට ගෙනයාම තුළ පමණක්, එය ඵලදායී අවසානයක් කරා ගෙන යා හැකි වනු ඇත.

Categories: Views

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published.