රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

බර්ලින් තාප්පයේ බිඳ වැටීම සහ නැගෙනහිර යුරෝපය හා සෝවියට් සංගමය තුළ පැවති ස්ටැලින්වාදයේ බිඳවැටීම ධනවාදයේ අන්තේවාසිකයින් විසින් විස්තර කරනු ලැබුවේ ‘කොමියුනිස්ට්වාදය’ට එරෙහිව ‘නිදහස් වෙලඳපොල ආර්ථිකය’ ලබාගත් අවසන් ජයග්‍රහණය හා සමාන ලෙසටය. දශක තුනකට පෙර, එය විසින් ධනේශ්වරය සහ එහි බත් බැලයින් තුළ ප්‍රීතියක් ජනිත කළේය. සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ අවසානය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා ඔවුන් කතා කරන්නට විය. එතැන් පටන් මාක්ස්වාදී අදහස්වලට එරෙහිව ලෝක පරිමාණයෙන් පෙර නොවූ විරූ ප්‍රහාරයක්ද එල්ල වන්නට විය.

එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් අමෙරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය යටතේ ‘නව ලෝක රටාවක්’ ගොඩනඟන බව ජයග්‍රාහී ලෙස ප්‍රකාශ කළේය. මාර්ටින් මැකෝලි කියා සිටියේ “සෝවියට් සංගමය තවදුරටත් නැත……මහා අත්හදා බැලීම අසාර්ථක වී ඇත… ප්‍රායෝගිකව සෑම තැනකම මාක්ස්වාදය අසාර්ථක වී ඇත. ධනවාදය සමඟ තරඟ කළ හැකි මාක්ස්වාදී ආර්ථික ආකෘතියක් නොමැත” යනුවෙනි.  “අපි දිනුවා!” යනුවෙන් The Wall Street Journal (24/5/89) කතුවැකිය ලිවීය. ෆ්‍රැන්සිස් ෆුකුයාමා “අප පශ්චාත් ඉතිහාස කාලපරිච්ඡේදයට පැමිණ ඇත… ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කර ඇති අතර මානව වර්ගයා ඉහළම ප්‍රඥාව කරා ළඟා වී තිබේ. ඉතිහාසය අවසන්ව ඇත” යනුවෙන් ඔහුගේ කුප්‍රකට ප්‍රකාශය සිදු කළේය.

දශක තුනකට පසු, එකකට පසු එකක් ලෙසින් මෙම මෝඩ මිත්‍යාවන් බිඳ වැටී ඇත. මහා අවපාතයෙන් පසු ධනවාදය මුහුණ දුන් බරපතලම අර්බුදවලට එය ඇතුළු වී ඇත. මිලියන ගනනක් ජනයාට මුහුණ දීමට සිදුව ඇත්තේ විරැකියාව, දරිද්‍රතාවය, කප්පාදු කිරීම් සහ සුභ සාධන හකුළා දැමීම ආදියෙන් සමන්විත අනාගතයකටය. ගැටුම් සහ යුද්ධ විසින් සමස්ථ ග්‍රහලෝකයම විනාශ කරමින් ඇත. පාලනයකින් තොර වෙළඳපොල ආර්ථිකය විසින් කරන ලද කාබාසිනියා කිරීම් නිසා මිහිතලයම අනතුරට පත්ව ඇත. මේ වනවිට, සිදුව ඇතිදේ පැහැදිලිව දැකිය හැකිව ඇති අතර එම උදාන වාක්‍ය හුදු උත්ප්‍රාසයන් පමණක් බවට පත්ව ඇත. ධනවාදය විසින් ඇතිකළ ගෝලීය අර්බුද සහ එහි බලපෑම් විසින් එම විශ්වාසදායක ලෙස කියා සිටි එම අනාවැකි බොරු කර ඇත. සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් පසු බටහිර නායකයන් විසින් කිරි‍යෙන් පැණි‍යෙන් ඉතිරුණු තත්ත්වයක් වෙනුවෙන් දුන් සියළු සුන්දර පොරොන්දු කතරකට වට දිය පොදක් මෙන් වාෂ්ප වී ගොස්ය.

ඇමරිකාවේ ලෝක ආධිපත්‍යය පිළිබඳ සිහිනය ඉරාකය, සිරියාව සහ ඇෆ්ගනිස්ථානය තුළ ඇතිකළ විනාශයේ සුන්බුන් සමඟම වැළලී ගොස්ය. ධනේශ්වර ක්‍රමය තුළ මූලෝපාය සකසන්නන්ගේ සියලු නරිවාදම් බරු කර ඇත. ඉතිහාසය නැවත පැමිණ ඇත්තේ පළිගැනීමක් සමඟිනි. සෝවියට් ආර්ථිකයේ සෑම දෝෂයක්ම අතිශයෝක්තියට නැංවූ බටහිර නිරීක්ෂකයින්ම දැන් වෙළඳපල ආර්ථිකය පෙන්නුම් කරන අසාර්ථකත්වය පැහැදිලි කිරීමට යත්න දරමින් අඳුරේ අතපත ගාමින් සිටී. දැන් අප හමුවේ ඇත්තේ ආර්ථික කඩාවැටීම, දේශපාලන අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවය, ගැටුම් සහ යුද්ධ පමණි.

සෝවියට් සංගමයේ ස්වභාවය

1917 රුසියානු විප්ලවය මානව ඉතිහාසය තුළ සිදුවූ ශ්‍රේෂ්ඨතම සිදුවීමයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට පීඩිතයන් නැඟී සිටියා පමණක් නොව, නැඟී සිට, ඔවුන් විසින් බලය අල්ලාගෙන, එය පවත්වා ගැනීමටද සමත් විය. “බොල්ෂෙවික්වාදය ගැන කවුරුන් කුමක් සිතුවත්, රුසියානු විප්ලවය මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිදුවීම්වලින් එකක් බවත්, බොල්ෂෙවික් පාලනය ලෝක පරිමාණ වැදගත්කමක් ඇති සංසිද්ධියක් බවත් ප්‍රතික්ෂේප කළ නොහැක” යනුවෙන් ඇමරිකානු මාධ්‍යවේදී ජෝන් රීඩ් පවසා තිබුණි.

ලෝකයේ සියලුම අධිරාජ්‍යවාදී රටවල ඒකාබද්ධ ප්‍රහාරයන්ට පවා නව කම්කරු රාජ්‍යය ෛවත් කර දැමීමට නොහැකි විය. කෙසේ වෙතත්, සිවිල් යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැයක් දැරීමට සිදු විය. රුසියාව කිසි විටෙකත් ධනවත් ජාතියක් නොවූ අතර ලෝක යුද්ධයකින් සහ සිවිල් යුද්ධයකින් පසු කර්මාන්ත හා කෘෂිකර්මාන්තය යන දෙකේම තත්ත්වය නරක් විය.

රුසියානු විප්ලවය ලෝක විප්ලවයේ ආරම්භය විය යුතුව තිබුණ නමුත්, අප ඉදිරියේදී වෙනම ලිපියකින් සාකච්ඡාවට ගනු ලබන හේතු නිසා එය ඒ අයුරින් සිදු නොවීය. ආර්ථික වශයෙන් පසුගාමී රටක් තුළ විප්ලවය හුදකලා වීම නිලධාරි තන්ත‍්‍රයේ නැගීම සඳහා පදනම දැමීය. 1920 ගනන් අග වන විට, කම්කරු රාජ්‍යය ‘විකෘති කම්කරු රාජ්‍යයක්’ ලෙසට ට්‍රොට්ස්කි විසින් හැඳින්වූ තත්ත්වය කරා පිරිහී තිබුනි. පක්ෂය සහ රාජ්‍ය යාන්ත්‍රණය තුළ බිහිවූ නව නිලධරය සෑදී තිබුණේ විශාල වශයෙන්ම 1917 විප්ලවයේ සතුරන් ලෙස සිටි කොටස් වලිනි. ඔවුන් විසින් කම්කරු පන්තියෙන් හා ගොවි ජනතාවගෙන් දේශපාලන බලය උදුරා ගනු ලැබීය.

මෙම නව නිලධාරි කුලය කම්කරුවන්ගේ කර මතින් යමින් ජීවත් වූයේ බටහිර ධනපතියන්ගේ ජීවන රටාවට සමාන ආකාරයකිනි. ඔවුන්ට මහා මන්දිර, සුඛෝපභෝගී වාහන සහ වෙනත් සුඛෝපභෝගී දේ තිබුණි. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් තම ධනය උපයා ගත්තේ පුද්ගලික දේපළ අයිතියක් හරහා නොව රාජ්‍ය සම්පත් කොල්ලකෑම මඟිනි.

සියලු ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් යටපත් කිරීමට ඔවුන්ට සිදු වූයේද මේ නිසා ය. මක්නිසාද යත් ඉඩ දුන් පළමු මොහොතේම නිලධාරි තන්ත‍්‍රයේ වරප‍්‍රසාද විවේචනයට ලක්වන බැවිනි. ධනපතියන්, අවම වශයෙන් ඉතිරිකිරීමේදී සහ ආයෝජනය කිරීමේදී ඓතිහාසිකව ප්‍රගතිශීලී භූමිකාවක් ඉටු කළ අතර, ඔවුන් ලාභය ලබා ගත්තේ ඒ වෙනුවෙනි. එහෙත් නිලධරය එවැනි කාර්යභාරයක් හෝ ඉටු කළේ නැත. එය සම්පූර්ණයෙන්ම පරපෝෂිත විය.

පරිපාලනයේ සෑම ස්ථරයකම ලැග සිටි නිලධාරීන්ට ආර්ථිකය දියුණු කිරීමට කිසිඳු උනන්දුවක් තිබුණේ නැත. ඔවුන් උනන්දු වූයේ ඔවුන්ගේම ස්ථාවරත්වය ගැන පමණි. ලෝකය සමාජවාදය කරා ගෙන යනවා වෙනුවට, නිලධාරි තන්ත‍්‍රය විසින් ඒ දෙසට වන වර්ධනයන් වළක්වා දැමූ අතර, වෙනත් තැන්වල විප්ලවීය වර්ධනයන්ට තිරිංගයක් ලෙස පවා ක්‍රියා කළේය. සෑම පරාජිත විප්ලවයක් විසින්ම රුසියානු කම්කරු පන්තිය තුළ ඇතිකළ මන්දෝත්සාහීභාවය තුළින් ප්‍රතිගාමී රාජ්‍ය නිලධරය තව තවත් පෝෂණය වූ අතර තම ග්‍රහණය තව තවත් ශක්තිමත් කර ගැනීමට ඔවුන්ට හැකි විය.

නිලධරයේ එම සාපරාධී ක්‍රියා තිබියදීත්, සෝවියට් සංගමය පසුගාමී, අර්ධ වැඩවසම් ආර්ථිකයක සිට දියුණු, නවීන කාර්මික දේශයක් බවට වේගයෙන් පරිවර්තනය විය. කම්හල්, පාරවල්, පාසල් හදමින් පිරිමින්ට මෙන්ම ස්ත්‍රීන්ටද අධ්‍යාපනය ලබා දෙමින්, දක්ෂ විද්‍යාඥයන් බිහිකරමින්, හිට්ලර් පරාජය කළ හමුදාව ගොඩනැඟුවේත්, පළමුවෙන් මිනිසකු අභ්‍යවකාශයට යවමින් රුසියාව නූතන යුගයට රැගෙන ගියේත් ජරාජීර්ණ වූ රුසියානු ධනේශ්වරය නොව ජනසතු දේපළ මත ගොඩනැඟුණු සැලසුම්ගත ආර්ථිකයයි.

ට්‍රොට්ස්කිට අනුව, සෝවියට් දේශය තුළ විය හැකියාවන් දෙකක් තිබුණි. ඉන් පළමුවැන්න වූයේ කම්කරු පන්තිය විසින් ස්ටැලින්වාදී නිලධරය (දේශපාලන විප්ලවයක් සිදු කිරීම හරහා) පෙරලා දමා ප්‍රතිවිරෝධතා වලින් තොර නිවැරදි සමාජ ආර්ථික පදනමක් මත සෞඛ්‍ය සම්පන්න රාජ්‍ය උපරිව්‍යුහයක් යලි ගොඩනැංවීම සහ ඒ හරහා  “සමාජවාදයට වූ මාර්ගය විවෘත කර ගැනීම” යි. දෙවැන්න වූයේ නිලධරයට, තම වරප්‍රසාද ස්ථිරසාර ලෙස ආරක්ෂා කර ගැනීමට ඇති වුවමනාව අවසානයේ “පෞද්ගලික දේපල අයිතිවාසිකම්” මගින් පමණක් සහතික කළ හැකි වීම නිසා ඔවුන් නැවත  ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම කරා ගමන් කරනු ඇති බවය.

ට්‍රොට්ස්කි සම්පූර්ණයෙන්ම නිවැරදි විය. ස්ටැලින්වාදී රාජ්‍යවල කම්කරුවන් කිහිප වතාවක්ම දේශපාලන විප්ලවය සිදු කිරීමට උත්සාහ ගත් නමුත් නිලධරය විසින් එම උත්සාහයන් කුරිරු ලෙස තලා දැමීය. 1953 ජුනි මාසයේදී නැගෙනහිර බර්ලිනයේත්, 1956 දී හංගේරියාවේ සහ 1968 දී චෙකොස්ලොවැකියාවේත් නැවත නැවතත් එසේ විරෝධතා සඳහා පැමිණි කම්කරුවන් තලා දැමීම වෙනුවෙන් සෝවියට යුධ ටැංකි යොදවනු ලැබීය.

නිලධරයට, කම්කරු පාලනයට ඉඩ දීම සහ ධනවාදයට නැවත පැමිණීම යන දෙකින් තමන් කළ යුතු තෝරා ගැනීම තේරුම් ගැනීමට අපහසුවක් නොවීය. බටහිර අධිරාජ්‍යවාදීන්ට වඩා නිලධාරීන් කම්කරුවන්ට බිය විය. ඔවුන් ධනවාදය දෙසට යාමට වැඩි කැමැත්තක් දැක්වීය.

දශක ගනනාවක් පැවති ස්ටැලින්වාදී නිලධරයේ ආඥාදායක පාලනය විසින් පන්ති විඥානය පසුපසට ඇද දැමීම වෙනුවෙන් අප සිතුවාටත් වඩා බෙහෙවින් වැඩි බලපෑමක් ඇති කළේය. බොල්ෂෙවික්වාදයේ සම්ප්‍රදායන් දියකර හැරීම ස්ටාලින් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක විය. කම්කරු පන්තියේ වඩාත්ම දියුනු කොටස් සමූලඝාතනය කර තිබූ අතර, පාලන තන්ත්‍රය ට්‍රොට්ස්කි බලාපොරොත්තු වූවාට වඩා බොහෝ කාලයක් පැවතුනු නිසා, ඔක්තෝබර් විප්ලවයේ අව්‍යාජ සම්ප්‍රදායන් පිලිබඳ මතකය සෝවියට් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විඥානයෙන් අතුගා දමා තිබුණි.

නිලධරය ආර්ථික සංවර්ධනයේ සාපේක්ෂ විලංගුවක තත්ත්වයේ සිට නිරපේක්ෂ බාධකයක් දක්වා ගමන් කළේය. එනම්, කම්කරු පාලනයක් පැවතියේ නම් මුළු කාලය තුළම ආර්ථිකය වඩා වේගවත් හා වඩා තිරසාර ආකාරයකින් සංවර්ධනය කළ හැකිව තිබුණි. 1930 ගණන්වල සිට 1960 ගණන් දක්වා කාලය තුළ නිලධාරි තන්ත‍්‍රය යටතේ පවා යම් වර්ධනයක් පැවති අතර, ඇතැම් විටෙක එය වඩාත් වේගවත් විය. නමුත් 1970 ගණන්වල අවසානය වන විට ආර්ථිකය එක තැන පල්වීම පටන් ගෙන තිබූ අතර කඩාවැටීමක් ආසන්නව තිබුණි.

අවසානයේ දී සෝවියට් දේශයේ රාජ්‍යය සම්පත් කොල්ලකෑම හරහා ලබා ගත් දැවැන්ත ධනය සහ වරප්‍රසාද වලින් නිලධරය සෑහීමකට පත් නොවීය. ට්‍රොට්ස්කි පුරෝකථනය කළ පරිදි, ඔවුන් පරපෝෂිත කුලයක සිට පාලක පන්තියක තත්ත්වයට පරිවර්තනය වෙමින් ධනේශ්වර ප්‍රතිස්ථාපනය කිරීම දෙසට ගියහ

ධනේශ්වර ප‍්‍රතිවිප්ලවයේ බීජ රෝපණයටත්, පසුව එය සශ්‍රීක ලෙස වැඩීමටත් හේතුවූ පරිසරය මෙයයි. එම නිසා නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් දේශයේ බිඳ වැටීම කිසිසේත්ම සැබෑ සමාජවාදයේ බිඳවැටීමක් නොව, ස්ටැලින්වාදය ලෙස හැඳින්වූ, එහි විකෘති වූ විකට රූපයේ වූ බිඳවැටීමකි. ස්ටැලින්වාදයේ බිඳවැටීමෙන් පසු ඇති වූ වර්ධනයන් විසින් ධනවාදයට නිෂ්පාදන බලවේගයන් වර්ධනය කිරීමට සහ මානව වර්ගයා මුහුණ දෙන ගැටළු විසඳීමට කිසිඳු හැකියාවක් නොමැති බව නැවත නැවතත් තහවුරු කර ඇත. මනුෂ්‍ය වර්ගයා හට විමුක්තිය ළඟා කර දීමටත්, නිෂ්පාදන බලවේගය දියුණු කිරීමටත්, මිනිසාට ජීවත්වීමටත්, ඉදිරියට යාමටත් හැකි මට්ටමට පෘථිවිය යළිත් වරක් ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් හැකි එකම විකල්පය සැබෑ සමාජවාදයයි.

Categories: Views

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published.