ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට..

ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම,  සුජාත භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ / IMF ) විසින් පනවන ලද දැඩි කප්පාදු පියවර මගින් දැනටමත් පුරවැසියන් විනාශයට පත් කෙරෙමින් තිබෙන්නේ නම්, මෙම නව පනත් කෙටුම්පත ජාමූඅ විසින් නියම කර ඇති එම කොන්දේසි සහ ඉලක්කම නීතිගත කිරීමට උත්සාහ කරයි. යටත් විජිතකරණයෙන් නිදහස් වූ දා පටන් තුන්වන ලෝක ස්වෛරීභාවය, සෑම විටම ආර්ථික කටයුතු සම්බන්ධව පවා,  ජාත්‍යන්තර ගිවිසුම් සහ නීති මගින් සීමා කර ඇත. උදාහරණයක් ලෙස ලෝක වෙළඳ සංවිධානය (WTO) පිහිටුවීම ද ඇතුළුව අසමාන වෙළඳ ගිවිසුම් වලින් අප වැනි රටවල්  පීඩාවට පත් කළ නව යටත් විජිතවාදයේ කතාව මෙයයි. මෙම ගිවිසුම් නීතිරීති මත  පදනම් වූ ජාත්‍යන්තර පර්යායේ කොටසක් ලෙස ප්‍රකාශ කළත්, එම නීතිරීති ගොඩගැසී ඇත්තේ තමන්ට අවශ්‍ය පරිදි ඒවා කඩ කරන ඇමෙරිකාව වැනි බටහිර බලවත් ජාතීන්ට පක්ෂපාතීව ය.

මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ කොම්ප්‍රදෝරු දේශපාලන ප්‍රභූ පැලැන්තිය සහ නව ලිබරල් චින්තන මණ්ඩල මෙම ඊනියා නීති- පාදක පර්යාය නිරන්තරයෙන් ප්‍රවර්ධනය කරන්නේ “නීතියේ ආධිපත්‍යයේ” වැදගත්කම අවධාරනය කරමින්, සහ එම ක්‍රියාවලියේදී බටහිරයන්ගේ ඵල ප්‍රයෝජනයන් යථාර්ථයක් බවට පත් කරමිනි.

කෙසේ වෙතත්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත, ජාමූඅ විසින්ම නියම කර ඇති අත්තනෝමතික ඉලක්කයන්ම නීතියක් බවට පත් කිරීම යන,  නවතම පහළ මට්ටමකට ඇද වැටී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, හුදෙක් ජාතික ප්‍රතිපත්ති නියම කිරීමෙන් පමණක් නොව,  දේශීය නීතිය හරහා, දැන් ශ්‍රී ලංකාව පාලනය කිරීමට යයි.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හැරී එහි නිර්දේශ  ක්‍රියාත්මක කිරීමට පටන් ගත් පසුගිය වසර දෙක තිස්සේ සිට සහ ඉන්පසු 2023 මාර්තු මාසයේ ජාමූඅ සමග ගිවිසුමෙන් පසු එහි කොන්දේසි  ක්‍රියාත්මක කිරීමට  යෙදුණු  පසු, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ හෝ  ජනාධිපති ලේකම් කාර්යාලයේදීවත් නොව,   වොෂින්ටනයේ ජාමූඅ සහ ලෝක බැංකුවේ කාර්යාල තුළ බව වඩ වඩාත් පැහැදිලිය.

ඇත්ත වශයෙන්ම, කෙනෙකුට ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වටහා ගැනීමට අවශ්‍ය නම්, කළ යුතු වන්නේ ජාමූඅ ගිවිසුම සහ 2024 සිට 2027 දක්වා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා – හවුල්කාරිත්ව රාමුව ( Country Partnership Framework)  කියවීම පමණි. ජාමූඅ ගිවිසුමේ මිනුම් සලකුණු සහ යෝජිත නීති මෙන්ම ලෝක බැංකු ගිවිසුම එහි ලැයිස්තුගත කර ඇති වැඩසටහන් ද, ලංකාව අකුරටම අනුගමනය කරමින් සිටියි.

IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජොර්ජිවා [Kristalina Georgieva] මහත්මිය රනිල් වික්‍රමසිංහ සමඟ

මෙම සන්දර්භය තුළ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා විධිවිධාන සලසන බව ප්‍රකාශ කරන අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා, ආයෝජන මණ්ඩලය අවලංගු කරන අතරම කොමිෂන් සභා සහ ආයතන වැනි යාන්ත්‍රණ සකසයි.

මෙම පනත් කෙටුම්පත පදනම් වී ඇත්තේ  “ගෝලීය වෙළඳපොළට” ඒකාබද්ධ වීමත් සමඟ “අපනයන-මූලික වර්ධනය” හරහා  ලැබේ යැයි සිතන සමෘද්ධිය පිළිබඳ දෘෂ්ටිවාදී විශ්වාසයක් මත ය.

මෙම පනත් කෙටුම්පතේ බොහෝ විධිවිධාන ජාමූඅ හි අත්තනෝමතික ඉලක්ක සහ ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණ යෝජනා වේ.

“..ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් පහත සඳහන් කරුණු සඳහා විධිවිධාන සලසනු ඇත – (අ) රජය විසින් ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා – (i)  දළ දේශීය නිෂ්පාදිතයට රාජ්‍ය ණය  අනුපාතය 2032 වසර වන විට සහ ඉන්පසුව සියයට අනූපහකට වඩා අඩු වනු ඇති බව … දළ දේශීය නිෂ්පාදිතයට මධ්‍යම ආණ්ඩුවේ  වාර්ෂික ණය සේවාකරණ අනුපාතය විදේශ මුදල්වලින්  2027 වන විට  සියයට හතරයි දශම පහකට වඩා අඩු වනු ඇති බව.. ගොවි ඵලදායිතාව, ගොවි ආදායම් සහ කෘෂිකාර්මික අපනයන ඉහළ නැංවීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුය..කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය  පහත ඉලක්ක වෙත ළඟා විය යුතුය – (i) 2030 වසර වන විට සියයට හතළිහකට නොඅඩු විය යුතුය ; සහ (ii) 2040 වසර වන විට සියයට පනහකට නොඅඩු විය යුතුය.. 2032 වසර දක්වා ආණ්ඩුවේ අයවැයේ ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකයි දශම තුනක මට්ටමකට සහ  සහ 2032 වර්ෂයේ සිට ඉදිරියට එය දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් සියයට දෙකකට ළඟා වීම..”

මම ඉහත, කෙටුම් පත දීර්ඝ ලෙස උපුටා දැක්වූයේ, එහි විකාරසහගතබව පිළිබඳ හැඟීමක් අපට ලැබෙන පරිද්දෙනි. මෙම ජාමූඅ ඉලක්කවල අත්තනෝමතිකභාවය පිළිබඳ බොහෝ විවාද පවතී, මම තර්ක කළේ, ඒවා ප්‍රධාන වශයෙන් පවතින්නේ, සිදුවෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සමඟ ඇති  ණයහිමියන්ගේ ඵල ප්‍රයෝජනයන් ඉටු කිරීමට බව ය. නිදසුනක් වශයෙන්, ජාමූඅ හි ණය තිරසාර විශ්ලේෂණ ඉලක්ක වන, රාජ්‍ය ණයෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 95% ක් සහ විදේශ ණය සේවා කිරීමේදී දළ දේශීය නිෂ්පාදිතයෙන්  4.5% වන ඉලක්ක, සැබවින්ම තිරසාරද, නැතහොත් ඒවා අවම ණය සහන සඳහා වන ණයහිමියන්ගේ අවශ්‍යතා සඳහා හුදකේ සේවය කරන්නේද?

ඊළඟට, 2.3% ක ප්‍රාථමික අයවැය අතිරික්තයක  ( වියදම් ඉක්මවන රාජ්‍ය ආදායම් )   ඉලක්කයක් සහිත වත්මන් කප්පාදු තල්ලුව ඉහළ වර්ධනයක් ඇති ශ්‍රී ලංකාවේ සම මට්ටමේ  රටවල දිගටම පවත්නා අයවැය හිඟයට වඩා බෙහෙවින් වැඩි ය. එවැනි ප්‍රාථමික අයවැය අතිරික්ත ඉලක්ක නීතියක් බවට පත් කරන්නේ නම්, එය දශක ගනනාවක් ආර්ථිකය එකතැන පල්වීමේ ප්‍රතිඵලයක් උදාකරනු  ඇති  නමුත් තම අනාගත ණය ආපසු ගෙවීම සහතික කරනු ලබනු ණය හිමියන්ගේ ඵල ප්‍රයෝජන සඳහා සේවය කරයි.

ඊළඟට, ආහාරවලින් ස්වයංපෝෂිත වීමේ වැදගත්කම සහ අපගේ කුඩා පරිමාණ ගොවීන් නොසලකමින්  කෘෂිකාර්මික අපනයන සහ නවීකරණය සඳහා වන ලෝක බැංකු තල්ලුව, නැවත නැවතත් ආහාර අර්බුදවලට හා [දේපොළ සහ වත්කම්] අසන්තකකරණයට තුඩු දෙනු ඇත; එයද  නිකම්ම නරක ප්‍රතිපත්ති පමණක් නොව  දැන් නීතියක් බවට පත් වනු ඇත. තවද, ස්ත්‍රී  ශ්‍රමයේ අසංඛ්‍යාත අභියෝග නොසලකා හරිමින්, ස්ත්‍රීන් විධිමත් ශ්‍රම බලකායට තල්ලු කිරීමට ඉලක්ක අත්තනෝමතික ලෙස සකස් කෙරෙමින් පවතියි :  ප්‍රමාණවත් සමාජ ආරක්ෂණයක් නොමැති  අල්ප සමාජ සහයෝගය සහ බිහිසුණු සේවා තත්වයන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති දේවල් ය.

ජාමූඅ හි විධායකය

ශ්‍රී ලංකාව ගමන් කරන්නේ කොතැනටද, නව යටත් විජිත ගෝලීය පර්යායට සේවය කිරීම සඳහා ආණ්ඩුව තමන්ගේම ජනතාවට  කොතෙක් දුරට කෙලවනු ඇත්ද?කොමියුනිස්ට් ප්‍රකාශනයේ දී නූතන රාජ්‍යය ගැන කාල් මාක්ස් මෙසේ පැවසී ය:

“..නූතන රාජ්‍යයේ විධායකය යනු අන් කිසිවක් නොව සමස්ත ධනේශ්වරයේ පොදු කටයුතු කළමනාකරණය කිරීමේ කමිටුවක් පමණි..”

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා,  ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ ආරක්ෂකයා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු රට තුළ කළමනාකරණය කිරීමෙහි ලා පමණක් නොව, ඒවා රටේ  නීතියම බවට පත් කිරීමෙහි,   මාක්ස් ගේ එම අදහස,   නව උච්ඡස්ථානයන් කරා ඉදිරියට ගෙන යමින් සිටින්නේය..!

ඉදිරි සති හා මාස වැඩකරන ජනතාවට රාජ්‍යය සහ ස්වෛරීභාවය සඳහා ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කිරීම සඳහා වන කාලයක් වනු ඇත. ඒ අතරතුර, දේශපාලන විපක්ෂය කරන්නට යන්නේ කුමක්ද? ඔවුන් හුදෙක් උසාවිවල කන්නලව් කරන්නට යනවාද, මැතිවරණ එනතුරු බලා සිටිනවාද, නැතිනම් පාරට බසිනවාද?